'යුද කලාපයේ හා වතුකරයේ මන්දපෝෂණය බරපතලයි' - ආසියානු මානව හිමිකම් කොමිසම
- Post 24 April 2015
උතුරු නැගෙනහිර පළාත්වල ළමයින් අතරින් 46%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, ඇතැම් ප‍්‍රදේශවල එම ප‍්‍රතිශතය 50%ට වැඩි බවත් ශ‍්‍රී ලංකාවේ ළමයින්, ගර්භනී කාන්තාවන් හා කිරිදෙන මව්වරුන් අතර බහුලව පැතිර පවත්නා මන්දපෝෂණයට එරෙහිව බලධාරීන්ට බලපෑම් එල්ලකිරීමේ ව්‍යාපාරයක් අරඹමින් ආසියානු මානව හිමිකම් සංවිධානයක් කියා සිටී.
රට පුරාම ළමයින් හා කාන්තාවන් අතර පැතිර පවත්නා මන්දපෝෂණය හා නිරක්තිය බැරෑරුම්ව සැලකිල්ලට ගතයුතු භයානක තත්ත්වයක් බව, ශ‍්‍රී ලංකා රජය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතන විසින් සිදුකරන ලද සමීක්‍ෂණ වාර්තාවලින් හෙළිවන්නේය’යි හොංකොං සිය මූලස්ථානය කොටගත් ආසියානු මානව හිමිකම් කොමිසම (Asian Human Rights Commission - AHRC) සිය බලපෑම් ව්‍යාපාරය දියත්කරමින් පවසයි.
රාජ්‍ය ආයතන කිහිපයක් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතන හා විවිධ සංවිධාන 2010 සිට 2015 දක්වා 'ළමා මන්දපෝෂණය තුරන් කිරීමේ' වැඩසටහන්වල නියැලී සිටියත්, ගැටළුව ජයගැනීමට නොහැකි වී ඇතැ’යි කොමිසම වැඩිදුරටත් පවසයි.
දරුවන්ගේ හා කාන්තාවන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳ සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2010දී පවත්වන ලද ජන සංඛ්‍යා හා සෞඛ්‍ය සමීක්‍ෂණයට (Demographic and Health Survey - DHS) අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල ළමා මන්දපෝෂණ තත්ත්වය රටේ සෙසු පළාත් හා සසඳන කල සැළකිය යුතු මට්ටමකින් ඉහළ අගයක් ගනී. රටේ සාමාන්‍ය ළමා මන්දපෝෂණ ප‍්‍රතිශතය 29%ක් වනවිට මේ පළාත්වල එය 46% ක් තරම් ඉහළ අගයක් ගනී. ගැහැනු ළමයින් අතර එහි ප‍්‍රතිශතය 42%ක් වනවිට පිරිමි ළමයින් අතර එය 50%කි.
මාතෘ අධ්‍යාපනයේ ඌනතාව
ළදරු මන්දපෝෂණයේ පහළ මට්ටම් සමඟ මාතෘ අධ්‍යාපනයේ ඌනතාව තදින් බැඳී පවතින බව ද ආසියානු මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි. මේ අනුව, අධ්‍යාපනයක් නැති මව්වරුන්ගේ ළමයින් අතර මන්දපෝෂණයේ ව්‍යාප්තිය 63%ක් වන අතර, ප‍්‍රාථමික අධ්‍යාපනය ඇති මව්වරුන්ගේ දරුවන් අතර මන්දපෝෂණය 54%ක් ද, ද්විතීයික අධ්‍යාපනය ඇති මව්වරුන්ගේ දරුවන් අතර එම ප‍්‍රතිශතය 42%ක් ද, තෘතීයික අධ්‍යාපනය ඇති මව්වරුන්ගේ දරුවන් අතර 36%ක් ද වෙයි.
ශ‍්‍රී ලංකාවේ ළමයින් හා කාන්තාවන් අතර උග‍්‍ර මන්දපෝෂණයේ වැඩවීම, රටේ තිස් අවුරුදු සිවිල් යුද්ධයේ හා පුළුල්ව පැතිරී ඇති දිළිඳුභාවයේ ප‍්‍රතිඵලයක් බව ද මේ දක්වා කළ සමීක්‍ෂණවලින් අනාවරණය වේ.
නැගෙනහිර පළාතේ මඩකලපුව, ති‍්‍රකුණාමලය හා අම්පාර දිස්ත‍්‍රික්වල ළමා මන්දපෝෂණ ප‍්‍රතිශතය පිළිවෙලින් 53%, 45%, සහ 44%ක් වේ. උතුරු පළාතේ වවුනියාව හා යාපනය දිස්ත‍්‍රික්කවල එය 51% සහ 43%කි.
වතුකරයේ බර අඩු දරු උපත් බහුලයි
2006-07 ජන සංඛ්‍යා හා සෞඛ්‍ය සමීක්ෂණයන්ට අනුව, බර අඩු දරුවන් බිහිවීමේ වැඩිම අගය වාර්තා වන්නේ වතුකරයෙනි. මේ ප‍්‍රදේශවල දරු උපත් 31%ක් අඩු බර දරු උපත් වේ. නුවරඑළිය හා බදුල්ල දිස්ත‍්‍රික්කවලින් වැඩියෙන්ම බර අඩු දරු උපත් වාර්තා වූ 2000 සමීක්ෂණයට වඩා මෙය 10%ක වැඩිවීමකි. නුවරඑළියේ මේ ප‍්‍රතිශතය 33.8%ක් වූ අතර, බදුල්ල දිස්ත‍්‍රික්කයේ එය 21.9%ක් විය.
ශ‍්‍රී ලංකාවේ අවම වේතන ලබන්නන් අතර වතු කම්කරුවෝ ද වන අතර නිල සංඛ්‍යාලේඛනවලට අනුව 1991 - 2006 වකවානුවේ වතු කම්කරුවන් අතර දිළිඳු භාවයේ වර්ධනය 56%කි.
ශ‍්‍රී ලංකාව පුරාම වයස අවුරුදු පහට අඩු ළමයින් අතර පාචනය, දරුණු ශ්වසන රෝග, මැලේරියාව හා වෙනත් උණ රෝග පුළුල්ව පැතිර පවතී. මාස 6-11 දරුවන් අතර උණ රෝග ව්‍යාප්තිය 22.8%ක් වන අතර, මාස 12-23 දරුවන් අතර එය 21.5%කි.
‘තුනෙන් එකක් ණයකාරයෝ’
යුනිසෙෆ් සංවිධානය (UNICEF) හා ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් 2008 ජුනි 08 වැනිදා නිකුත් කරන ලද පෝෂණ හා ආහාර සුරක්‍ෂිතතා අගැයීමේ සමීක්‍ෂණ වාර්තා උපුටා දක්වන ආසියානු මානව හිමිකම් කොමිස පවසන්නේ සමීක්‍ෂණයට ලක්වූ පවුල් සිය මාසික ආදායමෙන් 37.9%ක් ආහාර සඳහා වියදම් කරන බවයි. සමීක්ෂණයට භාජනය වූ පවුල්වලින් තුනෙන් එකකට සිය මිලදී ගැනීම් සඳහා ණය ගැනීමට බලකැරී තිබිණි. සමීක්ෂණයට අනුව පවුල් 32%කට පසුගිය මාස 12 තුළ අවම වශයෙන් එක් වතාවක්වත් 'ප‍්‍රමාණවත් තරම් ආහාර නොතිබුණු' අතර වතුකරයේ මේ ප‍්‍රතිශතය 55.9%ක් විය.
පවුල් 39.1%ක මාසික ආදායම රුපියල් 9,000කට (US$ 79) අඩු බව යුනිසෙෆ් - ලෝක ආහාර වැඩසටහන් වාර්තාව හෙළිකරයි. යාපනයේ පවුල්වලින් 60%ක් අඩුම ආදායම් ලබන්නන්ගේ ප‍්‍රවර්ගයට අයත් වූ අතර එම ප‍්‍රතිශතය බදුල්ලේ 55%ක්ද රත්නපුරයේ 51.7%ක්ද විය.
වැඩීම බාලවූ දරුවෝ
නිරක්තියේ ව්‍යාප්තිය ගැබිණි මව්වරුන් අතර 16.2%ක් ද, කිරිදෙන මව්වරුන් අතර 19.6%ක් ද, මේ දෙකොට්ඨාසයටම අයත් නොවන කාන්තාවන් අතර 21.7%ක් ද වන බවද අදාළ වාර්තා පෙන්වා දෙයි. මාස 0-59 අතර වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 20%ක් නොවැඩුණු දරුවන් සේ සැළකෙන අතර, 11.7%ක් කෘෂ හා 21.6%ක් අඩු බර දරුවෝ වූහ. නොවැඩුණු දරුවන්ගේ අනුපාතය නුවර එළිය, බදුල්ල හා රත්නපුර දිස්ත‍්‍රික්කවල පිළිවෙලින් 40.9%, 23.9% සහ 21.6% විය. කොළඹ දිස්ත‍්‍රික්කයේ මෙම ප‍්‍රතිශතය 17.4%කි.
ගෘහ ඒකකවලින් ඉහළ ප‍්‍රතිශතයක් ‘‘තත්ත්වයට මුහුණදීමේ උපායක් ලෙස ණයට ගත් ආහාරවලින් හා අඩුකරන ලද ආහාර වේල්වලින්’’ යැපෙන බවත්, කාන්තාවන් අතර නිරක්තියේ ව්‍යාප්තිය හා පෙර පාසල් වයසේ ළමයින් අතර මන්දපෝෂණය පැතිරයාම බරපතල මහජන සෞඛ්‍ය ගැටලූවක් බවත් UNICEF-WFP වාර්තාවේ නිගමනය විය.
දිගින් දිගටම පැවැති ආණ්ඩුවල ආර්ථික ප‍්‍රතිපත්ති හොඳින් සැලසුම් කරන ලද ඒවා නොවන බව පෙන්වා දෙන ආසියානු මානව හිමිකම් කොමිසම 'ජනතාවගේ ජීවන තත්ත්වය ශක්තිමත් කිරීමෙහි ආණ්ඩුවේ උත්සාහය අසාර්ථක වී ඇති අතර, ආදායම් බෙදීයාමේ විෂමතාව හේතුවෙන් ලංකාවේ ජනතාව දිළිඳුභාවයට හා බරපතල සෞඛ්‍ය ගැටලූවලට මුහුණපා සිටින' බව වැඩිදුරටත් පවසයි.☐
© JDS