JDS Sinhala

යාපනයේ හමුදාවට පවරාගත් ඉඩම් ඉල්ලා මහජන විරෝධය නැඟ එයි

ලිකාමම් උතුර අධි ආරක්‍ෂිත කලාපය ලෙස නම්කොට  රජයේ හමුදා විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින සිය ඉඩම් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට  බලපෑම් කළ යුතු යැයි උතුරු වලිකාමම් උන් හිටි තැන් අහිමිවූවන්ගේ සංවිධානයේ සභාපතිවරයා කියා සිටියි.

උතුරු වලිකාමම් ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරන ෂන්මුගලිංගම් සජීවන්  මේ බව ප්‍රකාශ කර සිටියේ, දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද නියෝජිත පිරිසක් සමග නොබෝදා පැවති හමුවකදී ය.

අවරුදු විසි පහක් අවතැන්

දකුණු ආසියානු කලාපයේ ජනගහනය, සරණාගතයින් සහ ආගමන කටයුතු පිළිබඳ ඇමරිකානු නිලධාරි සූසන් හෙයිලිගේ ප්‍රධානත්වයෙන් යුත්  නියෝජිත පිරිසක් පසුගිය (27) වැනිදා යාපනේ සංචාරයක නිරත වූ අතර ඔවුහු උතුරු වලිකාමම් හි යුද අනාථයින් ලැගුම් ගෙන සිටින චුන්නාකම් සභාපතිපිල්ලේ අවතැන් කඳවුර ද නිරීක්ෂණය කළහ.

මෙහිදී, වලිකාමම් අධි ආරක්‍ෂිත කලාපය යන නමින් රජයේ හමුදාව අත්පත් කරගෙන ඇති ජනතාව සතු  ඉඩම් පිළිබඳ තොරතුරු සහිත සිතියමක්  සහ යළි පදිංචි කළ යුතු ජන සංඛ්‍යාව පිළිබඳ විස්තර ඇතුළත් ලේඛණයක්ද මෙම දූත පිරිස වෙත බාර දෙනු ලැබිණි.

“මේ අධි ආරක්ෂක කලාපය හින්දා අපි අවුරුදු 25 ක්ම ඉන්නේ අනාථ කඳවුරුවල, මේ පැල්පත්වල තියෙන්නේ අවුරුදු විසිපහකට  කලින් දුන්නු සෙවිලි තහඩු. වැසිකිලි පහසුකම් නැහැ, බොන වතුර නැහැ" සජීවන් ප්‍රකාශ කරයි.

නව රජයේ දින 100 වැඩසටහන යටතේ වලිකාමම් උතුරේ මිනිස්සු යළි පදිංචිකරන්නැයි ජාත්‍යන්තර ප්‍රජාව ආණ්ඩුවට බල කළ යුතුයැයි පෙන්වා දුන් ඔහු වැඩි චුරටත් කියා සිටියේ වෙනසක් පිළිබඳ අපේක්ෂා සහගතව මෛත්‍රිපාල ජනපති කරවන්නට ජන්දය දුන් උතුරු නැගෙනහිර ජනයාගේ බලාපොරොත්තු බිඳ වැටෙමින් ඇති බව ය.

අර්ධද්වීපයෙන් 18%ක් තහනම් ප්‍රදේශ

යාපන අර්ධද්වීපය තුළ අධි ආරක්ෂක කලාප ලෙස නම් කළ ස්ථාන 18 ක හමුදාව අත්පත් කරගෙන සිටින සම්පූර්ණ භුමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 160 කි. එය අර්ධ ද්වීපයේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට 18 කි. නිවාස 30,000 ක්, පාසැල් 30 ක්, කර්මාන්ත ශාලා 30ක් සහ වගා බිම් අක්කර 40,000 ක් මෙම අධි ආරක්ෂක කලාප යටතට පත්ව ඇත.

උතුරු වලිකාමම් අධි ආරක්ෂක කලාපයට අත්පත් කරගෙන ඇති ප්‍රදේශය පානීය ජල පහසුකම්වලින් සමන්විත යාපනයේ වඩාත්ම සශ්‍රික ගොවිබිම්වලින්ද, ආසන්නයේ පිහිටි ධීවර වරායන්ගෙන්ද, හුණු නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍යවලින්ද සමන්විත කලාපයකි. මේ යටතට ග්‍රාමසේවා වසම් 24 ක් ඇතුළත් වන අතර සම්පූර්ණ අධි ආරක්ෂක කලාපය විශාලත්වයෙන් අක්කර 6,381 කි.

රජයේ හමුදා මගින්  1990 දී උතුරු වලිකාමම් ප්‍රදේශය අත්පත් කරගන්නා විට, 1981 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු සංගණනයට අනුව එහි ජනගහණය 83,618 කි.  උන් හිටි තැන අහිමි වූ වන්ගෙන් පවුල් 10,000 ක් පමණ වසර 25 ක් තිස්සේ දිවි ගෙවනුයේ අවතැන් කදවුරුවල ය. තවත් පවුල් 16,000 ක් සිය ඥාතීන් හා හිතමිතුරන් සමග දිවි ගෙවන අතර තවත් පිරිසක් රට හැර ගොස් තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

උතුරු වලිකාමම් අධි ආරක්ෂක කලාපය නිසා උන්හිටි තැන් අහිමි වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා වසර 2002 දී නැවත පදිංචියට අවසර ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය නමුත් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලැබීමට වසර අටක් ගත විය. උතුරු වලිකාමම් අධි ආරක්ෂක කලාපය සඳහා අත්පත් කරගත් ඉඩම්වල පදිංචිව සිටි ජනයාට නැවත පදිංචියට අවසර ලබා දෙමින් අතුරු නිදේශයක් ලැබුනේ 2010 දීය. ඒ අනුව 2010 නොවැම්බර් 27 වෙනිදා  අධි ආරක්ෂක කලාපයට අත්පත් කරගත් ග්‍රාම සේවා වසම් 3 කත්,  2011 මැයි 13 වෙනිදා තවත් ග්‍රාම සේවා වසම් 10 කත් උන් හිටි තැන අහිමි වූවන්ගෙන් කොටසකට පමණක් යළි පදිංචි වීමේ අවස්ථාව ලැබිණි. සෙසු ග්‍රාම සේවා වසම් 12 මුල් පදිංචි කරුවන්ට සිය බිම් වෙත යාමට මෙතක් අවසර ලැබී නොමැත.

“කලින් තිබුණු රාජපක්ෂ ආණ්ඩුව කිහිප වතාවක්ම උත්සහ කළා මේ ඉඩම් හමුදාවට ස්ථිරවම ලියා දෙන්න, හොර රහසේ මිණුම් කටයුතු කරලා, සීමා ලකුණු කරා.  ඒත් අපි දිගින් දිගටම දක්වපු විරෝධතා , උද්ඝෝෂණ නිසා ඒක ක්‍රියාත්මක කිරීම දුෂ්කර වුණා.  ඒ වගේම  කන්කසන්තුරේ සිමෙන්ති ෆැක්ටරියට අයිති ගල් වලක අපිව පදිංචි කරන්නත් හැදුවා” ශන්මුගලිංගම් සජිවන් එක්සත් ජනපද දූත පිරිසට ප්‍රකාශ කර තිබේ.  

ආණ්ඩුව ගත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ කළ බව ප්‍රකාශ කරන ඔහු වසර 2011 සහ 2013 දී  යළිත් දෙවරක් රාජපක්ෂ ආණ්ඩුව විසින් මිණුම් කටයුතු සිදු කළ බව පෙන්වා දෙයි.

පර්චස් විස්සක්

සිය ඉඩම් අයිතිය ලබා දී නැවත පදිංචි වීමට ඉඩ සළසන ලෙසත්, හමුදාව සිය ඉඩම් වලින් ඉවත් කරන ලෙසත්, වලිකාමම් ඉඩම් වලින් පලවා හැරී ඉඩම් හිමියන් 3000ක් මේවන විටත් අධිකරණයේ නඩු ගොනු කර ඇත.

හමුදාව අත්පත් කරගෙන සිටින ඉඩම් යළිත් හිමිකරුවන් අතට ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිරීක්ෂණ වාර්තාවක් සකස් කරන බව නව ආණ්ඩුව පසුගිය දා ප්‍රකාශ කළේය. උතුරු පළාත් මහ ඇමති විග්නේශ්වරන් හමුවූ  පුනරුත්ථාපනය පිළිබඳ නව ඇමති ස්වාමිනාදන් කියා ඇත්තේ වලිකාමම් ඉඩම් හිමිකරුවන් නැවත පදිංචිය  අදියරෙන් අදියර ක්‍රියාවට නංවන බව ය. ඒ අනුව  පර්චස් 20 බැගින් ලබාදී යළි පදිංචි කටයුතු ඇරඹීමට නව ආණ්ඩුව කටයුතු කළද එහි පදිංචි වීමට කැඳවා ඇති පිරිස් ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් නොවීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධය හමුවේ ආණ්ඩුව විසින් අදාළ පදිංචිකිරීම් තාවකාලිකව නවතා දැමිණි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.