මුලතිවු දිස්ත්‍රික්කය පුරා හමුදා කඳවුරු සිය ගණනක්; කිලෝ මීටර් 83කට කඳවුරු 33ක්
- Post 27 July 2021
අතුල විතානගේ විසිනි.
දු
ගීභාවයේ සහ හමුදාකරණයේ ගොදුරක් බවට පත්ව ඇති මුලතිවු දිස්ත්‍රික්කය තුළ පමණක් මේ වන විට රජයේ හමුදා කඳවුරු සියයකට වැඩි ප්‍රමාණයක් ඇති බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් හෙළිදරව් කර තිබේ.
මුලතිවු දිස්ත්‍රික්කයේ කල්ලපාඩු උතුරු ප්‍රදේශය නියෝජනය කරමින් උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ ඒ. එස්. තුරෛරාසා රවිහරන් විසින් දෙමළ මාධ්‍ය වෙත කරන ලද අනාවරණයකට අනුව සමස්ත දිස්ත්‍රික්කය පුරා පිහිටුවා ඇති විවිධ ප්‍රමාණයන්ගේ ත්‍රිවිධ හමුදා කඳවුරු සංඛ්‍යාව සියය ඉක්මවා තිබේ.
මන්ත්‍රීවරයා විසින් උදාහරණ ඇසුරින් පෙන්වා දෙන ආකාරයට, කිලෝමීටර් 15 ක් වූ නයාරු- මුලතිවු මාර්ගයේත්, කිලෝමීටර් 17 ක් වූ පුදුකුඩියිරුප්පු - මුලතිවු මාර්ගයේත්, කිලෝමීටර් 26 ක් වූ වට්ටුවාන්- මුලතිවු මාර්ගයේත්, කිලෝ මීටර් 25 ක් වූ මුලතිවු- ඔඩ්ඩුසුඩ්ඩාන් මාර්ගයේත් පමණක් රජයේ හමුදා කදවුරු 33ක් පිහිටුවා ඇත. මේ වනාහී අභිනවයෙන් ඉදිකර ඇති බෞද්ධ විහාර සහ පුරාවිද්‍යා රක්ෂිත යටතේ පවරා ගනු ලැබ ඇති ඉඩම් ප්‍රමාණයට අමතර වශයෙන් සිදුකළ පවරාගැනීම් බව ද ඔහු අවධාරණය කර සිටියේය.
මීට අමතරව, මුලතිවු වට්ටුවාකල් නාවික හමුදා කඳවුර ඉදිකිරීම සඳහා දෙමළ ජනයා පදිංචිව සිටි ඉඩම් අක්කර 670 රූට් 3 යි පර්චස් 10 ක් ආණ්ඩුව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බව ද ඔහු විසින් පෙන්වා දී තිබේ. වට්ටුවාකල් හි වෙසෙන පවුල් 271කට අයත් සියළුම දෙනා හින්දු භක්තිකයන් වුවද බුදු පිළිම සහ වෙහෙර විහාර ඉදි කිරීමට කටයුතු කරන රජයේ හමුදාවන් එම ප්‍රදේශය සිංහල බෞද්ධ උරුමයක් ලෙස පෙන්වීමට ප්‍රයත්න දරන බව ද ඔහු චෝදනා කරයි.
ඉඩම් කොල්ලය
"හමුදාව විතරක් නොවෙයි, රජයට අයත් පුරාවිද්‍යා, වන ජීවි, වන සංරක්ෂණ හා මහවැලිය ඇතුළු ආයතන රැසක් බලහත්කාරී ගැසට් නිවේදන මගින් ඉඩම් අත්පත් කරගැනීම් සිදුකරනවා. ඉඩම්වලට අදාළ බලපත්‍ර හෝ ඔප්පු සතු ජනයා එම ඉඩම්වලින් පලවාහැරිම දිගින් දිගටම සිදුවෙනවා "යි තුරෛරාසා රවීහරන් කියා සිටියේය.
"මුලතිවු දිස්ත්‍රික්කයේ මුළු භුමි ප්‍රමාණය අක්කර 627,917 ක්. යුද්ධයට කලින් අක්කර 21,017 ක ඉඩම් ප්‍රමාණයක් මුලතිවු ජනයා සතුව තිබුණා. දැන් ඒ ප්‍රමාණය අක්කර 16,025 ක් දක්වා අඩුවෙලා තියෙනවා. කැළෑ ප්‍රදේශ ලෙස වෙන්කරලා තියෙන අක්කර 420,300 ක් හැරුණම ඉතිරි සියල්ලම මේ වෙනකොට රජය විසින් අත්පත් කරගත් ඉඩම්' යැයි හේ කීය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින්, බෞද්ධ භික්ෂුන් සහ විදුර වික්‍රමනායක ඇමතිවරයා පැමිණ කුරුන්දුර්මලේ ආදි අයියනර් කෝවිල පිහිටි භූමියේ බෞද්ධ විහාරයකට මුල්ගල් තබන ලද්දේ ඊට අයිතිය කියා පෑමට බව ප්‍රකාශ කළ හිටපු මන්ත්‍රීවරයා එහි කැණීම් කටයුතු සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පුරාවිද්‍යාඥයන් රැගෙන එන ලද්දේ, යාපනය විශ්ව විද්‍යාලයේ ඊට අවශ්‍ය දැනුම සහ විශේෂඥතාව සහිත පිරිස් සිටියදී බව ද පෙන්වා දුන්නේය. මේ වන විට පුරාවිද්‍යා වැදගත්කමක් ඇතැයි පවසා අත්පත් කරගත් ස්ථාන 46 මුලතිවු දිස්ත්‍රික්කය පුරාම ඇති අතර කෝකිලායි අම්මාන් කෝවිල ද විනාශ කොට සිංහල බෞද්ධ විහාරයක් ඉදි කිරීමට නියමිත බව වැඩි දුරටත් අනාවරණය කර සිටියේය.
දුගීභාවය
කෝකිලායි සහ යාබද ගම්බිම්වලින් දෙමළ ජනයා පලවා හැරීම '80 දශකයේ මැද භාගයේ සිට අඛණ්ඩව සිදුකරන ලද ක්‍රියාදාමයක් බව සනාථ කරන තොරතුරු විවිධ සංවිධාන සහ පුද්ගලයන් විසින් වර්තාගත කොට ඇති බව රවීහරන් විසින් පෙන්වා දී තිබේ. මනාල් ආරු ප්‍රදේශයෙන් 1984 දී දෙමළ ජනයා පලවා හැරීමෙන් අනතුරුව මයිල්කුලම් ගම්මානය මොණරවැව ලෙස සිංහලට නම් කරන ලද අතර 2003 දී එහි පදිංචි කරන ලද සිංහල ජනයාට 2012 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අලුතින් ඔප්පු ලබා දෙන ලද්දේ පලවාහැරී දෙමළ ජනයා සතු මුල් ඉඩම් ඔප්පු තිබියදී ය.
"යුද්ධය අවසන් වීමෙන් පස්සේ අද වෙනකොට දරිද්‍රතාවය ඉහලින්ම ඇත්තේ කිළිනොච්චිය දිස්ත්‍රික්කයේයි. දෙවැනි තැන ගන්නේ මුලතිව් දිස්ත්‍රික්කයයි. ඒ බව ආණ්ඩුවේ නිල සංඛ්‍යා ලේඛණ මගින්ම සනාථ කර තිබෙනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 44,664 ක පුද්ගලයන් 138,387 ක් ජීවත්වෙනවා. රුපියල් 10,000ට අඩු ආදායම්ලාභීන්ට ලබා දෙන ආණ්ඩුවේ 'කොරෝනා සහන මල්ල' එයින් පවුල් 34,114 කට අනුමත වී තිබීමෙන් පෙන්නුම් කරන්නේ මේ ප්‍රදේශවල ජීවත්වන ජනයාගේ තත්ත්වයයි' ඔහු කියා සිටියේය.
මීට අමතරව, 'මාළු බැංකුව' නමින් හඳුන්වන මුලතිවු මුහුදු තීරය දිගින් කිලෝ මීටර් 72 ක් විහිදුනද, ආරක්ෂක හමුදාවල බාධා කිරීම් නිසා මුලතිව් වට්ටුවාකල් ධීවරයන්ට සිය කර්මාන්තය කරගෙන යාමට දුෂ්කර වී ඇති බවද, පිටතින් පැමිණෙන ඉන්දීය ධීවරයන්ගෙන් මෙන්ම දකුණෙන් පැමිණෙන සංක්‍රමණික ධීවරයන් විසින් මුලතිවු මාළු බැංකුව කොල්ලකන බව ද ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.☐
© JDS