මන්නාරම සමූහ මිනීවළෙන් සොයාගත් අස්ථි සාම්පල ජනවාරියේ ඇමරිකාවට
- Post 12 December 2018
කිත්සිරි විජේසිංහ විසිනි
මන්නාරම සතොස ගොඩනැගිල්ල ආශ්‍රිතව සොයාගන්නා ලද ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවී ඇති විශාලතම සමුහ මිනීවළෙන් ගොඩගත් ඇට සැකිලිවල කාල නිර්ණය සඳහා ඒවායෙහි අස්ථි සාම්පල එළැඹෙන ජනවාරි මාසයේ දී ඇමරිකාවට රැගෙන යන බව එම මිනීවළෙහි කැණීම් කටයුතු භාර විශේෂඥයෝ පවසති.
මියාමි නුවර බීටා ඇනලිටික්ස් ආයතනය විසින් සිදුකිරීමට නියමිත කාල නීර්ණ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයනු ලබන්නේ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය (OMP) විසින් බව විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ ජේඩීඑස් හා ප්‍රකාශ කළේය.
වීඩියෝ දර්ශන මෙතැනින්
"ඕඑම්පී එක එකඟ වෙලා තියනවා පරීක්ෂණයේ සියළු වියදම් දරන්න. ඒකට පරීක්ෂණ ගාස්තුයි, ගුවන් ටිකට් පත් සහ නැවතීමේ හෝටල් ගාස්තුයි සියල්ලම ඊට ඇතුළත්".
වෛද්‍ය රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරන්නේ කාල නිර්ණය සඳහා අස්ථි කොටස් තෝරා ගැනීම මෙන්ම, ඒවා පරීක්ෂණ සඳහා අදාළ ආයතනය වෙත යෑවීමේ කටයුතුත් ඉතා සුපරික්ෂාකාරීව සිදු කිරීමට සැළසුම් කොට ඇති බව ය.
"කාල නිර්ණය සඳහා බීටා ඇනලිටික්ස් ආයතනයට යවන්න අස්ථි සාම්පල තෝරා ගන්නේ පාර්ශව කිහිපයකම සහභාගිත්වය ඇතුවයි. මහේස්ත්‍රාත්වරයාත්, මමත් විතරක් නෙමෙයි මේකට සහභාගි වෙන්නේ. මන්නාරම පොලිසියේ නිලධාරීන්, කැණීම් කටයුතු සඳහා සහභාගී වුණු අනෙකුත් අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් ආදී මේ හැම දෙනාම ඉදිරියේ තමයි අපි සාම්පල තෝරාගෙන මුද්‍රා තියන්නේ. විශේෂයෙන්ම මාතලේ සමුහ මිනිවළේ අස්ථි කොටස්වල කාල නිර්ණය කරන්න යවලා, එවගේ ප්‍රතිඵල සම්බන්ධයෙන් මතුවුණු ගැටළු මෙහිදී අපිට සැලකිල්ලට ගන්න වෙනවා. අපි කාටවත් අවශ්‍ය නෑ මන්නාරම සම්බන්ධයෙන් එහෙම සැකයක් ඇති වෙනවට" ඔහු කීය.
2015 වසරේදී කාල නිර්ණය සඳහා යොමුකරන ලද, දිවයින තුළින් මෙතෙක් සොයාගත් දෙවැනි විශාලතම සමූහ මිනීවළ සේ සැළකෙන මාතලේ සමූහ මිනීවළෙන් ගොඩගත් අස්ථි සාම්පල 1950 වකවානුවට අයත් යැයි නිගමනය කරන ලද්දේ ද මියාමි හි බීටා ඇනලිටික්ස් ආයතනය විසිනි. සිරුරු 154කට අයත් ඇට සැකිලි සොයාගනු ලැබූ මාතලේ මිනීවළ ආශ්‍රිතව වෝහාරික පුරාවිද්‍යා කැණීම් මෙහෙයවූ මහාචාර්ය රාජ් සෝමදේව එකී නිගමනය ප්‍රතිකේෂ්ප කරමින් කියා සිටියේ අදාළ මළ සිරුරු 1986-90 වකවානුවට අයත් බවට සාක්ෂි ඇති බව ය.
මන්නාරම සමූහ මිනීවළ ආශ්‍රිත වෝහාරික පුරාවිද්‍යා පර්යේෂණ මෙහෙයවනු ලබන්නේ ද මහාචාර්ය සෝමදේව විසිනි.
තිරුකේතීස්වරම් සමූහ මිනීවළ
මෙයට පෙර මන්නාරම තිරුකේතීශ්වරම් සමුහ මිනීවළෙන් ගොඩගත් අස්ථි කොටස්වල කාල නිර්ණය කර ගැනීම සඳහා එ්වා බීටා ඇනලිටික්ස් ආයතනය වෙත යැවීමට උත්සහ දරණ ලද අවස්ථාවේදි මන්නාරම පුරවැසි කමිටුව නියෝජනය කරන නීතිඥවරුන් අධිකරණය හමුවේ සිය විරෝධය දක්වමින් කියා සිටියේ ද මාතලේ සමුහ මිනිවළෙහි අස්ථි කොටස්වල කාල නිර්ණය පිළිබඳව ගැටළු පැන නැගී ඇති බැවින් තිරුකේතිශ්වරම් අස්ථි කොටස් එම ආයතනයටම යෑවීමට තමන් විරුද්ධ වන බව ය.
එවැනි විරෝධයක් මන්නාරම සතොස ගොඩනැගිල්ල ආශ්‍රිත සමුහ මිනීවළෙහි අස්ථි කොටස් සම්බන්ධයෙන් මතුව ඇත්දැයි කරන ලද විමසීමකදී, එවැනි විරෝධයක් ගැන තමන්ට දැන ගන්නට නොමැති නමුත්, මන්නාරම පුරවැසි කමිටුවේ සමාජිකයන්ට ද අස්ථි සාම්පල තෝරා ගැනීමේ කටයුතු සඳහා සහභාගිවන ලෙසට දැනුම් දී ඇති බව වෛද්‍ය රාජපක්ෂ කියා සිටියේය.
"අස්ථි කොටස් තෝරාගන්න වෙලාවටයි, ඒවා සීල් තියන වේලාවටයි ඇවිත් ඒ ගැන නිරීක්ෂණය කරන්න කියලා අපි මන්නාරම පුරවැසි කමිටුවටත් දැනුම් දීලා තියනවා. ඒ වගේම ඔවුන්ගේ එක් අයෙකුට පුලුවන් මාත් එක්ක ඇමරිකාවට ගිහින් ඒ සාම්පල භාර දෙන එකත් නිරීක්ෂණය කරන්න. අනෙක තෝරාගන්න හැම අස්ථි කොටසක්ම සීල් තියන්න කලිනුයි, සීල් තිබ්බට පසුවයි අපි ඡායාරූප ගන්නවා. එහෙම කරන්නේ පරික්ෂණ ප්‍රතිඵල ලැබුණට පස්සේ කාටවත් ඒ ගැන සැකයක් තියා ගන්න අවශ්‍ය නැති නිසා" හේ වැඩිදුරටත් කීය.
මන්නාරම සමූහ මිනීවළෙහි කැණීම් කටයුතු සඳහා දින 115ක් සම්පූර්ණ වූ අඟහරුවාදා දිනය (11) වන විට කැණීම් කටයුතුවලින් ඇට සැකිලි 276 ක් ගොඩගත් බවත්, එයින් පූර්ණ ඇට සැකිලි ලෙස හඳුනාගත් 269ක් අධිකරණය භාරයේ තැන්පත් කොට ඇති බවත් පවසන වෛද්‍ය සමින්ද රාජපක්ෂ, ඒ අතරේ ළමුන්ගේ බවට හඳුනාගත් ඇට සැකිලි 21ක් ද අයත්වන බව ද ජේඩීඑස් හා කියා සිටියේය.☐
© JDS
සබැඳි පුවත්:
14.06.2018 මන්නාරමේ සමූහ මිනීවළෙන් මළ සිරුරු දහයක ඇට කැබලි මතු වෙයි
27.06.2018 ළමා ඇට සැකිළි මතුවු මන්නාරම සමුහ මිනීවළ වසා දැමීමේ අවදානමක
20.07.2018 මන්නාරම සමූහ මිනීවළ: මළ සිරුරු ගණන පනහ දක්වා ඉහළට
27.07.2018 මන්නාරම සමූහ මිනීවළ: අස්ථි කොටස්වල 'අසාමාන්‍ය, තියුණු කැපුම් සලකුණු'
31.07.2018 වැඩිහිටියකු ළඟින් වැළලූ දරුවකුගේ සිරුරක් මන්නාරම සමූහ මිනීවළේ
09.08.2018 මන්නාරම සමූහ මිනීවල මාධ්‍යවේදීන්ට තහනම්
28.08.2018 මන්නාරම සමූහ මිනීවළ: මළ සිරුරු සංඛ්‍යාව 100 ඉක්මවයි
08.09.2018 මන්නාරම සමුහ මිනීවළ පිළිබඳ තොරතුරු ලබාදීම නිසි බලධාරියෙක් යටතට
12.10.2018 උතුරෙන් තවත් ඇට කටු හමුවේ; මන්නාරමින් සිරුරු 175ක්
18.10.2018 ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනීවළේ ඇටකටු ෆ්ලෝරිඩාවට
30.10.2018 මන්නාරම සමූහ මිනීවළේ ඇට සැකිලි සංඛ්‍යාව 212 දක්වා ඉහළට