ලසන්ත වික්‍රමතුංග ඝාතනය හමුදා ඔත්තු සේවා සහ පොලිසියේ හවුල් වැඩක්
- Post 04 March 2018
කිත්සිරි විජේසිංහ විසිනි.
අවුරුදු නමයකට ඉහතදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ යුධ හමුදා බුද්ධි අංශ කණ්ඩායමක් සහ පොලිසියේ ඉහළ පෙළේ පිරිසකගේ දායකත්වයෙන් සිදුකළ මෙහෙයුමකින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථිර වශයෙන් අනාවරණය කරගෙන තිබේ.
මේ බව සඳහන් කර ඇත්තේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විභාග වන අංක B 92/2009 දරණ නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිකුරාදා (2) උසාවියට ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවෙහි ය.
බුද්ධි අංශ, CCD සහ TID මෙහෙයුමක්
එම වාර්තාවට අනුව අදාළ ඝාතනය සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමට යුද හමුදා විශේෂ බුද්ධි අංශ කණ්ඩායමක් සහභාගි වී ඇති අතර ඒ සඳහා අවශ්‍ය රැකවරණය සැපයීමත්, ඒ සම්බන්ධව සිදු කෙරුනු මූලික පරික්ෂණවලදි සාක්ෂි විනාශ කිරීම සහ පරීක්ෂණ නොමග යැවීමත් සිදුකොට ඇත්තේ පොලිසියේ එවකට සිටි ඉහළ පෙලේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි. එම පොලිස් කණ්ඩායමට එවකට සිටි පොලිස්පතිවරයා ද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙන්ම ත්‍රස්ත විමර්ශන ඒකකයේ (TID) සහ කොළඹ අපරාධ ඒකකයේ (CCD) එවකට සිටි ප්‍රධානීන් කිහිප දෙනකු ද සම්බන්ධ බව අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇති වැඩිදුර වාර්තාවේ දැක් වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් ජේඩීඑස් හා කියා සිටියේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව මේ තාක් සිදුකෙරුනු පරීක්ෂණවලට අනුව මෙම ඝාතනය සිදුකොට ඇත්තේ මරදාන ට්‍රිපොලි හමුදා කඳවුරේ සිට ක්‍රියාත්මක වූ දෙවැනි සන්නද්ධ බුද්ධි බලකායේ විශේෂ සාමාජිකයන් පිරිසක් විසින් බව ය. එකී බුද්ධි බලකායේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කොට ඇත්තේ මේජර් ප්‍රභාත් බණ්ඩාර බුලත්වත්ත බවත්, ඔහු, ජාතික බුද්ධි කාර්යාංශයේ එවකට සිටි රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ හරහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සෘජුවම වගකීමට බැඳී සිටි බවත් පවසන එම නිලධාරියා අවධාරණය කරන්නේ මෙම සම්බන්ධතා විමර්ශනය කිරීමේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට අණ දී ඇත්තේ කවරෙක් දැයි සිතා ගැනීමට තමන්ට අපහසු නොවන බව ය.
එමෙන්ම මේජර් බුලත්වත්ත යනු කීත් නොයාර්ට සහ උපාලි තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධව අත් අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප පිට නිදහස්ව සිටින අයකු බවත්, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදු කර ඇත්තේ ඔහුගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වූ බුද්ධි අංශ කණ්ඩායමක් විසින් යැයි සනාථ කළ හැකි කරුණු හෙළිදරව් වෙමින් ඇති බවත් නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි රහස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
කන්දෙගෙදර පියවංශ
"ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන සැක කරලා මීට කලින් නුවරඑළියේ ගරාජයක හිටිය පිච්චෛ ජේසුදාසන් කියලා අහිංසක මනුස්සයෙක්ව අල්ලාගෙන ඇවිත් ටීඅයිඩී එකේ හිරකරගෙන හිටියා. පස්සේ ඒ මනුස්සයා 2011 ඔක්තෝබර් මාසයේදී ටීඅයිඩී එක ඇතුළෙම මැරුණා. අපි හිතන්නේ සාක්ෂි වසන් කරන්න ඔහු ඝාතනය කළ බවයි. කන්දේගෙදර පියවංශ කියන හමුදා බුද්ධි අංශ සාමාජිකයා මොබයිල් සිම් පහක් අරන් තියෙන්නේ ඒ ජේසුදාසන්ගේ අයිඩෙන්ටියෙන්. මේ පියවංශ කියන්නේ මේජර් බුලත්වත්ත යටතේ දෙවැනි සන්නද්ධ බුද්ධි බලකායේ හිටපු සෙබලෙක්. ඒ සිම් පාවිච්චි කරලා තමයි කීත් නොයාර් පැහැරගෙන යන්නයි, උපාලි තෙන්නකෝන්ට පහර දෙන්නයි සැළසුම් කරලා තියෙන්නේ. ලසන්ත ඝාතනය පරීක‍්ෂණයෙන් අපි හොයා ගත්තා ලසන්තව ලුහුබැඳලා තියෙන්නේ ඒ සිම් යොදාගත් ටෙලිෆෝන් පාවිච්චි කරමින් කියලා. එතකොට පැහැදිලියි මේ ඝාතනය සහ අනික් පහරදීම් කරලා තියෙන්නේ එකම කණ්ඩායමක් විසින් බව. පියවංශ කියන බුද්ධි අංශයේ සෙබලා අත්අඩංගුවට අරන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්නකම් හමුදාවෙන් වැටුප් ගෙවලාත් තියෙන බව රහස් පොලිසිය නීතිපතිට වාර්තා කරලායි තියෙන්නේ. අපරාධයකට අත්අඩංගුවට අරන් රීමාන්ඩ් කරපු කෙනෙකට රජයෙන් වැටුප් ගෙවීම බරපතල ප්‍රශ්නයකැ,” යි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
එවකට සිටි පොලිස්පතිවරයාගේ නියමය පිට ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ පරික්ෂණ ත්‍රස්ත් විමර්ශන ඒකකයට (TID) පැවරු පසු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ විසින් සිතා මතාම සාක්ෂි වෙනස් කිරීම සඳහා පරීක්ෂණ වෙනතකට හරවා ඇති බවට ද විමර්ශන නිලධාරීහු චෝදනා කරති.
2010 පෙබරවාරි 26 වැනිදා මුල්වරට අත් අඩංගුවට ගනු ලැබූ බුද්ධි අංශ සෙබළ කන්දේගෙදර පියවංශ 'ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම' හේතුවක් වශයෙන් දක්වමින් 2013 සැප්තැම්බර් 6 වැනිදා ඇප මත නිදහස් කරනු ලැබුණි. තමන් රඳවා තබාගැනීම හේතුවෙන් තම අයිතිවාසිකම් උල්ලංඝණය වී යැයි කන්දේගෙදර පියවංශ විසින් එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, TID අධ්‍යක්‍ෂ චන්ද්‍රා වාකිෂ්ඨ සහ නීතිපතිවරයා ඇතුළු හය දෙනකු වග උත්තරකරුවන් කරමින් 2016දී මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන ලදී.
ජනාධිපති නීතිඥ ජේ සී වැලිඅමුණ, පසිඳු සිල්වා සහ සුලක්ෂණා සේනානායක යන නීතිඥවරු පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතර 2017 පෙබරවාරි 15 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් තීන්දුවෙන් පැමිණිලිකරුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන මෙන් පස්වැනි විත්තිකරු වූ ත්‍රස්ත විමර්ශන ඒකකයේ පොලිස් පරීක්‍ෂක සෙනරත් බෝගමුවට නියම කෙරුණි.
සන්ඩේ ලීඩර් කතුවරයාගේ ඝාතකයන් හෙළි කරගැනීමට අවශ්‍ය සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරනු ලැබූ එවක පොලිස්පති ජයන්ත වික්‍රමරත්න අත් අඩංගුවට ගැනීම වලකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2017 පෙබරවාරි 28 දා නියෝගයක් පනවන ලදී.
එම නියෝගය දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හිටපු පොලිස්පති වරයා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමට ඔක්තෝබර් 8 දාට දින නියම කර තිබේ.
නීතිඥ උපේන්ද්‍ර ගුණසේකරගේ උපදෙස් පරිදි පෙත්සම්කාර ජයන්ත වික්‍රමරත්න වෙනුවෙන් ගාමිණි මාරපන හා මනෝහර සිල්වා ජනාධිපති නීතිඥවරුන් සමග නීතිඥ නවීන් මාරපන පෙනී සිටියේය.
යුද්ධයේ හමුදා කාර්යභාරය
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සී අයි ඩීය විසින් සිකුරාදා ඉදිරිපත් කෙරුනු වැඩිදුර වාර්තාවෙන් හමුදා බුද්ධි අංශ සහ පොලිසිය එකතුව මෙම ඝාතනය සිදුකර ඇති බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බව ලසන්ත වික්‍රමතුංගගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අතුල එස් රණගල ජේඩීඑස් වෙත තහවුරු කළේය.
"තාම ඒක සැකයක් වුණත් පොලිසියට ඒ වගකීමෙන් මිදෙන්න බෑ. මොකද පොලිසියත් මේවාට උදව් කරලා තියනවානේ".
කෙසේ නමුත් නිතීඥ රණගල සඳහන් කර සිටියේ විදෙස්ගතව සිටින විවිධ කණ්ඩායම්වලට මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ හමුදාව සම්බන්ධයෙන් යම් යම් දේ ප්‍රචාරය කොට ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර බලවේගවලට මාතෘකා සැපයීම බැවින් ඒ සම්බන්ධව තමන් සැළකිලිමත් වන බව ය.
"හමුදාව ඒ දවස්වල හිටියේ ලොකු යුද්දෙක පැටලිලා. විශේෂ බුද්ධි අංශ කණ්ඩායම්වලට ඒ යුද්ධය පරාජය කරන්න නොයෙක් දේ කරන්න වුණා. ලසන්තගේ ඝාතනය අපරාධයක් වුණත් හමුදාවේ කාර්යභාර්ය අපිට අමතක කරන්නත් බැහැ," යැයි ඔහු කීය.
ඝාතක අවිය මෙරට නිෂ්පාදනයක්?
මේ අතර අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති වාර්තාවට අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන අවස්ථාවේ භාවිතා කළ සටහන් පොත තම සමාගම විසින් නිෂ්පාදනය කොට ඔහුට ලබා දී තිබු එකක් බවට "නාලක අභ්‍යාස පොත් සමාගම" නමැති වෙළඳ ආයතනය විසින් සහතික කර ඇතැයි වාර්තා වේ.
ලසන්ත වික්‍රමතුංග පසුපස ලුහුබැඳ පැමිණි මෝටර් බයිසිකල් දෙකක් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒවායෙහි අංක වන්නේ JF 6956 සහ UF 2635 ය. ඒ, මෙයට පෙර අත්තිඩිය ප්‍රදේශයේ ඇළක ගිල්වා තිබියදි ගොඩගත් HL 5665 අංකය දරණ මෝටර් බයිසිකලයට අමතරව ය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරිමට යොදාගත් අවිය රහසිගතව මෙරටදිම නිෂ්පාදනය කර ඇති එකක් බවටත්, ඇතැම් විට මෙම අපරාධය සඳහා ට්‍රිපොලි කඳවුර තුළදීම එය කරන්නට ඇති බවටත් විශ්වාස කළ හැකි තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිදරව් වෙමින් තිබෙන බවට ද වාර්තා වේ.
කෙසේ නමුත් පසුගිය දිනෙක අධිකරණය හමුවේ රහස්‍ය ප්‍රකාශයක් කළ එවකට ගල්කිස්ස දිසාව භාර සහකාර පොලිස් අධිකාරිවරයාව සිටි හේමන්ත අධිකාරිගේ ප්‍රකාශය, ඔහු විසින් එයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කරන ලද ප්‍රකාශයට වෙනස් එකක් නොවන බව පරික්ෂණ භාර නිලධාරින් මෙන්ම ලසන්ත වික්‍රමතුංගගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයෝද තහවුරු කළහ.
කොළඹ ට්‍රිපොලි කඳවුර යුධ හමුදාවේ බඳවා ගැනීම් සම්බන්ධ පරිපාලනමය කටයුතු හා හමුදා සාමාජිකයන් පිළිබඳ විමර්ශන ආදිය සිදුකරන හමුදා ඒකකයක් ලෙස නිල වශයෙන් දක්වුනද එහි අභ්‍යන්තර කාර්යය වී ඇත්තේ රහසිගත අපරාධ ක්‍රියාවන් මෙහෙයවීම බවට ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ මේ තාක් සිදුකෙරුනු පරික්ෂණවලින් සනාථ වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.
ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි 8 දා යතුරුපැදි වල නැගී ආ පිරිසක් විසින් මහ දවාලේ මහමගදී ඝාතනය කරන ලද අතර එයින් හත් වසරකට පසු වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහුගේ දේහය ගොඩ ගන්නා ලදී.☐
(ප්‍රධාන සේයාරුව: කල්ප රාජපක්ෂ)
© JDS