භීම සමයක සාක්‍ෂි එකතුවක් IV: නඩේසපිල්ලේ විතියාදරන්ගේ මරණීය හෝරාවන්

පළමු කොටස: භීම සමයක මරු මුවවිටට ගොස් පෙරළා ආවුන්ගේ සාක්‍ෂි එකතුවක්
දෙවැනි කොටස: අවුට්රීච් ලංකා මාධ්‍ය මර්දනය
තෙවැනි කොටස: ‘නිදහස් කළත් අනිවාර්යයෙන් මරනවා!'

පැහැරගෙන ගොස් මරාදැමීමට කළ සැලසුම් ව්‍යර්ථ වීම හේතුවෙන්, එය නිල අත්අඩංගුවට ගැනීමක් ලෙස පෙරලීමෙන් දිවි ගලවා ගැනීමට සමත් වූ අතළොස්ස අතර ජ්‍යෙෂ්ඨ දෙමළ මාධ්‍යවේදියකු වන ‘සුඩර් ඔලි‘ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ද වේ.

1979 වසරේ සිය පුවත්පත් දිවිය අරඹන නඩේසපිල්ලේ විතියාදරන් , එවකට ගුණසේන සමාගම යටතේ පළවූ ‘දිනපති‘ හා ‘චින්තාමණි ‘ පුවත්පත්වල උසාවි වාර්තාකරු ලෙස කටයුතු කළේ ය. 1983 ජුලි සංහාරයත් සමඟ ජීවිත ආරක්ෂාව උදෙසා යාපනයේ සිය උපන් ගම් බලා පිටත්වුවන් බොහෝ දෙනා අතර විතියාදරන් ද විය. පසුව මුද්‍රණකරුවකු වූ එම්. සරවනබවන් සමග එක්ව යාපනයේ  ‘උදයන්‘ පුවත්පත ඇරැඹීමට මුල් වූ ඔහු, 90‘ දශකයේ දී යළිත් කොළඹට පැමිණ සුඩර් ඔලි අරඹන ලද්දේ ‘උදයන්‘ පවුලේ ම සහෝදර පුවත්පතක් ලෙසිනි.

නමුත් ‘උදයන්‘ පුවත්පතට මෙන් ම ‘සුඩර් ඔලි‘ වෙතට ද රාජ්‍ය මර්දනයේ හස්තය දිගුවන්නට වැඩි කලක් ගත නොවුණි. 2005 අගෝස්තු 20 වැනිදා කොළඹ, ග්‍රෑන්ඩ්පාස් හි පිහිටි සුඩර් ඔලි කාර්යාලයට  එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් එහි දැන්වීම් අංශයට හානි සිදුවීම ඒ ප්‍රහාරයන්ගේ ඇරඹුමක් සේ සැළකිය හැක.

ත්‍රී'මලේ ශිෂ්‍ය ඝාතනය

2006 ජනවාරි 02 වැනිදා, ත්‍රිකුණාමලයේ සිසුන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලැබුවක් බවට පළමු වරට ඡායාරූපමය සාක්ෂි සහිතව සනාථ කරනු ලැබුවේ සුඩර් ඔලි මගිනි. එම හෙළිදරව්වෙන් දෙසතියක් ඇවෑමෙන්, අදාළ ඡායාරූප ලබාගත් සුඩර් ඔලි පත්‍රයේ ත්‍රිකුණාමලයේ වාර්තාකරු සුගිර්දරාජන් සුබ්‍රමනියම් 'නාඳුනන තුවක්කුකරුවකු' විසින් එල්ල කරන ලද වෙඩි පහරකින් ඝාතනය කෙරුණි

නොකඩවා එල්ල වූ මර්දනය හමුවේ සුඩර් ඔලි  පුවත්පතේ සේවය කළ බොහෝ දෙනකු වෙනත් මාධ්‍ය ආයතන තෝරා ගැනීමටත්, රට හැරයාමටත් පෙළඹුණු අතර, ඇතෙමෙක්  රාජපක්ෂ රෙජිමයට සමීප වෙමින් රාජපක්ෂවරුන්ගේ මාධ්‍ය සම්බන්ධීකාරක තනතුරු පවා හෙබවූහ. එහෙත් විතියාදරන් සුඩර් ඔලි  ආරම්භයේ සිට 2010 වන තුරු අඛණ්ඩවම එහි ප්‍ර‍ධාන සංස්කාරකවරයා වශයෙන් ක්‍රියා කළේය.

ඔහු ගේ ඥාති සොයුරු,  ‘උදයන්‘ හා සුඩර් ඔලි පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂ එම්. සරවනබවන් 2010 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානයෙන්  නාම යෝජනා අත්සන් කළ දිනයේ දී ම විද්‍යාධරන් සුඩර් ඔලි  පුවත්පතෙන් ඉල්ලා අස්විය. ඒ, සරවනබවන් හා ඔහු අතර ඇති වූ දේශපාලන මත ගැටුමක ප්‍ර‍තිඵලයක් ලෙසිනි.

ගල්කිස්ස මහින්ද මල් ශාලාවේ පැවැති පවුලේ ඥාතියකුගේ අවමගුලකට සහභාගී වෙමින් සිටිය දී විතියාරන් පැහැර ගණු ලැබු‍නේ 2009 වසරේ පෙබරවාරි 26 වැනිදා ය. වසර අටකට පසු  ඒ බිහිසුණු අත්දැකීම පිළිබඳ ඔහු JDS සමඟ කතා කළේය.

“AK 47 ගිනිඅවි ගත් හය දෙනකුගේ කණ්ඩායමක් සුදු වෑන් එකකින් ඇවිත් මාව බලහත්කාරයෙන් වැන් එකට දාගත්තා. ඒකට විරුද්ධ වුණු මගේ ඥාතියෙකුට ඔවුන් හොඳටම පහර දුන්නා. මේ හය දෙනාගෙන් තුන් දෙනෙක් පොලිස් නිල ඇඳුම් ඇඳගෙන හිටියේ. අනෙක් තිදෙනා හිටියේ සාමාන්‍ය ඇඳුමින්", ඔහු ආවර්ජනය කරයි.

'අත් අඩංගුවකට' පෙරළුණු පැහැරගැනීම

මෙම පැහැරගැනීම සිදුවනවාත් සමඟ ම වහා ක්‍රියාත්මක වූ ඔහුගේ ඥාති සොයුරු එම්. සරවනබවන්, කොළඹ පිහිටි විදෙස් තානාපති කාර්යාල ද, ජාත්‍යන්තර මාධ්‍ය හා මානව හිමිකම් සංවිධාන ද දැනුවත් කිරීමට යුහුසුළු විය. එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂට ද මේ පැහැරගැනීම පිළිබඳ නිල වශයෙන් දැනුම් දෙනු ලැබිණි.

පැහැරගැනීමට දින හයකට පෙරාතුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මඟින් විතියාදරන් එහි කැඳවා, පැය හයක් පුරා ප්‍රශ්න කර තිබිණි. ඒ පෙබරවාරි 6 වැනිදා සහ 11 වැනිදා සුඩර් ඔලි පුවත්පතේ පලකැරුණු වාර්තා දෙකක් පිළිබඳව ය. එම වාර්තාවලින් කියැවී තිබුණේ, එවකට උතුරේ කරගෙන යමින් තිබූ මිනිස් සංහාරයට  එරෙහිව  දෙමල විමුක්ති කොටි සංවිධානය විසින්  කොළඹට  ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇති බව ය. එය බොහෝ විට ගුවන් ප්‍රහාරයක්  විය හැකි  බව ද පුවතින් අනුමානයන් පළ කර තිබිණ.

“වෑන් එකට දාගත්ත වෙලාවේ  මගේ  ඇස් රෙදි පටියකින් බැන්දා. විනාඩි තිහකින් විතර කිසියම් තැනකට  ගෙනිහින්,  මට වද දෙමින්  ප්‍රශ්න කරන්න පටන් ගත්තා. පැය තුනක් හතරක් විතර මෙහෙම පහර දෙමින්  ප්‍රශ්න කළා . මගෙන් ඇහුවේම කොටි සංවිධානයත් එක්ක  තියෙන ගනුදෙනු මොනවාද කියලා යි. 'සුඩර් ඔලි' පුවතින් අනුමාන කළ පරිදිමඒ වෙනකොට කොළඹට ගුවන් ප්‍රහාරයක් එල්ල වෙලා තිබුණේ. මේ ගැන මගෙන් දිගට ම ප්‍රශ්න කළා", විතියාදරන් කියයි.

මේ අතර, එවකට යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක උදය නානායක්කාර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ දිනයේ පෙරවරු 9.45ට පමණ ගල්කිස්සේ දී සුදු වෑන් රථයකින් පැමිණි අවි ගත් පිරිසක් විතියාදරන් පැහැරගෙන ගොස් ඇති  බව ය.  

පැහැරගත්  පිරිස තමාගෙන් ප්‍රශ්න කරන අතරතුර, ඔවුන්ට දුරකථන ඇමතුමක් ලැබුණු බව විතියාදරන්ගේ මතකයේ තිබේ. ‘සර්.., යර්ස්  සර්..., ඕකේ සර්...,‘ ආදී වශයෙන් එම ඇමතුමට කිසිවකු පිළිතුරු දෙනු ඔහුට ඇසිණි. ඒ ක්ෂණයකින් ම වදදීම් හා ප්‍රශ්නකිරීම් නවතා, යළිත් වෑන් රථයකට විතියාදරන් නංවාගත් ඔවුහු නැවත ගමන් ඇරඹූහ. එසේ රැගෙන යන්නේ තමන් මරා දමන්නටය‘යි විතියාදරන්ට සිතිණි. විනාඩි 20ක පමණ කාලයක් ධාවනය වූ වෑන් රථය, එක්තරා ස්ථානයක නැවතිණි.

‘අපි ඔයාව හොයමින් හිටියේ‘

“එක පාරට ම වැන් එකේ දොර ඇරලා මට ‘බැහැපන්,‘ කිව්වා. ඒ එක්කම ඔවුන් යන්න ගියා. මම ඇස් බැඳලා තිබුණු රෙදි පටිය ගලවලා බලනකොට, මම හිටියේ දෙමටගොඩ ආසන්නයේ තැනක. මගේ ඉදිරිපිට ඉන්නවා මිනිස්සු දෙන්නෙක්,  මගේ දිහා බලාගෙන.  මං ඒ දෙන්නා දැනගෙන හිටියා. එස් අයි විජේරත්න හා රංගනාදන්  කියන පොලිස් නිලධාරින් දෙන්නා යි ඒ. ‘ඔයාද විතියාදරන් කියන්නේ‘ කියලා ඔවුන් මගෙන් ඇහුවා. 'අපි ඔයාව හොයමින් හිටියේ‘ කියලා ඔවුන් මාව ඒ මොහොතේ ම අත්අඩංගුවට ගත්තා.“

පැහැරගැනීමෙන් පසු අත්අඩංගුවට පත්  විතියාදරන් රැගෙන ආවේ, එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ අනුර සේනානායකගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD)ය. ඊට පැය කිහිපයකට පෙර නිවේදනයක් නිකුත් කරමින් විතියාදරන් පැහැරගත් බව කී හමුදා ප්‍රකාශකයා දෙවනුය කියා සිටියේ සිදුව ඇත්තේ පැහැරගැනීමක් නොව, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සිදුකළ අත් අඩංගුවට ගැනීමක් බව ය. නමුත් කොළඹ අපරාධ කොට්ඨාශයේ ප්‍රධානීයා වූ අනුර සේනානායකගේ ප්‍රකාශය ඊට පරස්පර එකකි. ඔහු කියා සිටියේ කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන යමින් සිටි සුඩර් ඔලි සංස්කාරක විතියාදරන් දෙමටගොඩ ප්‍රදේශයේ අත්හැර දමා ගොස් සිටිය දී තමන් විසින් අත්අඩංගුවට ගත් බව ය. ඒ විතියාදරන්ගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය ව තිබුණු හෙයින් යැයිද ඔහු කියා සිටියේය.

පෙබරවාරි 20 දින රාත්‍රියේ දී දෙමළ විමුක්ති කොටි සංවිධානයේ ගුවන් බලකාය මගින් කොළඹ නගරය වෙත එල්ල කරනු ලැබූ ප්‍රහාරයට විතියාදරන් ගේ සම්බන්ධයක් ඇති බවට රාජපක්ෂ ආණ්ඩුව චෝදනා කළේ ය. ඒ, පැහැරගෙන ගොස් මරා දැමීමට කළ කුරුමාණම වැරදුණු පසු ය. විතියාදරන්ගේ ඥාති සොයුරු සරවනබවන් දුරකතනයෙන් ඇමතූ  එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කළේ, සිදුව ඇත්තේ පැහැරගැනීමක් නොව, අත්අඩංගුවට ගැනීමක් බව ය. එහෙත් විතියාදරන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය  කිසිදු ලියවිල්ලක් පොලිසිය ඉදිරිපත් කර නො තිබිණි.

“දවස් දහයක් විතර මාව CCD එකේ තියාගෙන ප්‍රශ්න කළා. අනුර සේනානායකත් ප්‍රශ්න කළා. ඒ විතරක් නොවේ, NIB,TID,CID හා හමුදා බුද්ධි අංශය ආදී මේ හැමෝම ඇවිත් මගෙන් ප්‍රශ්න කළා. හැමෝම ඇහුවේ LTTE එකත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද, ඔවුන් සල්ලි දෙනවා නේද, නිතර දුරකථන වලින් කතා කරනවා නේද, ගුවන් ප්‍රහාර එල්ල වෙනවා කියලා කලින් දන්නේ කොහොමද? වගේ දේවල්.“

‘විතියාදරන් කියන්නේ ත්‍රස්තවාදියෙක්!‘ - ගෝඨාභය

මේ අතර, විතියාදරන් පැහැරගෙන ගොස්, නැවත එය අත්අඩංගුවට ගැනීමක් ලෙස හුවා දැක් වූ නාටකය, දෙස් විදෙස් බොහෝ දෙනකු ගේ අවධානයට ලක් වෙමින් තිබිණි. විතියාදරන් පැහැරගැනීමට පෙර, ඕස්ට්‍රේලියාවේ රුපවාහිනී නාලිකාවක් වන SBS සේවයේ වාර්තාකරුවෙකු,  සුඩර් ඔලි කර්තෘවරයාගේ සම්මුඛ සාකච්ඡාවක් ලබාගත්තේය. අනතුරුව ආරක්‍ෂක ලේකම්වරයාගෙන් සාකච්ඡාවක් ලබාගැනීමට යමින් සිටි  වාර්තාකරුවාට තමන්ට සාකච්ඡාවක් ලබාදුන් මාධ්‍යකරුවා පැහැරගනු ලැබ ඇති බව සැළ විණ. විතියාදරන් පැහැරගැනීම පිළිබඳ ගෝඨාභය රාපක්ෂගෙන් විමසන්නට ඔහු තීරණය කළේ ඒ අනුව ය.

විතියාදරන්ගේ නම සඳහන් කිරීමත් සමග කෝපාවිෂ්ඨ වූ ගෝඨාභය රාජපක්ෂ, “විතියාදරන් කියන්නේ ත්‍රස්තවාදියෙක්. මෑතක දී කොළඹට එල්ල කරපු ගුවන් ප්‍රහාරයට ඔහු සම්බන්ධයි. අපිට නිශ්චිත තොරතුරු තියෙනවා... මේ පුද්ගලයා ආරක්ෂා කරන්න ඔබ කටයුතු කරනවා නම්, ඔබේ අත් වලත් ලේ තැවරේවී... මොහු අත්අඩංගුවට ගත්තේ මොගේ  මාධ්‍ය ක්‍රියාකාරකම් නිසා කියලා කවුරු හරි කියනවා නම්, ඔවුන් ගේ අත්වලත් ලේ තැවරේවී"යි තර්ජනාත්මකව කළ ප්‍රකාශය විසින් සනාථ කරන ලද්දේ පැහැරගැනීම කාගේ අණ මත සිදුවූවක්ද යන්න ය.

කෙසේ වුවද, කොළඹට එල්ල වූ ගුවන් කොටි ප්‍රහාර විතියාදරන් සම්බන්ධ බවට ආරක්‍ෂක ලේකම්වරයා එල්ල කළ චෝදනාව  විසින් වෙනත් වැදගත් කරුණක් හෙළි කරනු ලැබුවේය. ඒ, රාජපක්ෂ පාලන තන්ත්‍රයට තර්ජනයක් සේ සැළකෙන මාධ්‍යකරුවන්ගේද, මානව හිමිකම් හා සමාජ ක්‍රියාකාරීන්ගේ ද දුරකථන සංවාදවලට සවන්දීම සඳහා හමුදා ඔත්තු අංශ විසින් පවත්වාගෙන යනු ලැබූ ක්‍රියා පටිපාටියයි.

ගුවන් කොටි හා විතියාදරන්

විතියාදරන් කොටි ගුවන් ප්‍රහාරවලට සම්බන්ධ බවට එල්ල කළ චෝදනාව වනාහී මෙසේ රහසිගතව සවන් දීමෙන් ලබාගත් තොරතුරක් විකෘති කිරීමක ප්‍රතිඵලයකි.  ඒ තොරතුරෙහි පසුබිම මෙසේ ය: කොළඹට ගුවන් ප්‍රහාර එල්ල කළ දවසේම විතියාදරන් ජාත්‍යන්තර දුරකථන ඇමතුම් කිහිපයක් ලබාගත් බව හමුදා ඔත්තු අංශ තහවුරු කරගත්හ.  ගුවන් යානා ගැනත්, කොටි සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරය ගැනත් ඒ දුරකථන ඇමතුමේ සඳහන් කෙරුණු බවට ඒ දිනවලම වාර්තා විය. එහෙත් අවසානයේ දී  අනාවරණය වුයේ, එකී ඇමතුම් එදින රාත්‍රියේ විතියාදරන්  විසින් ප්‍ර‍ංශයේ වෙසෙන සිය ඥාතීන් වෙත ලබාගත් ඇමතුම් බව ය. ප්‍ර‍ංශයේ සිට ලංකාවට පැමිණීමට නියමිතව සිටි ඔහුගේ ඥාතියකු, එදින ම එල්ල වූ එල් ටී ටී ඊ ගුවන් ප්‍රහාරය හේතුවෙන්, ගුවන් ගමන්වල කිසියම් වෙනසක් ඇත්දැයි ඔහුගෙන් විමසා තිබිණ. කොටි ගුවන් යානා හා විතියාදරන් අතර සම්බන්ධය ගැන ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රබන්ධයට තුඩු දී තිබුණේ මෙකී ඇමතුම් ය. ආරක්‍ෂක ලේකම්වරයාගේ තර්ජන පරාජය කරමින් 2009 අප්‍රේල් 24 වැනිදා විතියාදරන් මේ සියලු චෝදනාවලින් නිදහස් වන විට පුරා මාස දෙකකට නොඅඩු කාලයක් රැඳවුම් නියෝග මත ගෙවා අවසන් ව තිබිණි.

“විදේශ තානාපති කාර්යාල  මැදිහත් නො වන්නට, මම අද ජීවතුන් අතර නො ඉන්න ඉඩ තිබුණා. ඒ මැදිහත් වීම් හින්දා තමයි  පැහැරගැනීමක් වශයෙන් දියත් වුණ මෙහෙයුමක් ඒ ක්ෂණයකින් අත්අඩංගුවට ගැනීමක්  බවට පෙරලුණේ", විතියාදරන් ඒ බිහිසුණු දවස් පිළිබඳ අතීතාවර්ජනයේ යෙදෙමින් කියයි.☐

(මතු සම්බන්ධයි)

අතුල විතානගේ


© JDS