පැහැරගත් පුතා සොයා දීමට 'පහළොස් ලක්‍ෂයක කප්පමක්'

රුපියල් පහළොස් ලක්‍ෂයක කප්පමක් ගෙවීමෙන් පසුවත් වසර හතකට ඉහත දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පැහැරගෙන යන ලද තම පුත්‍රයා සොයා ගැනීමට නොහැකි වූ බව ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ මවක් ප්‍රකාශ කරයි.

නාවික හමුදා රහස් ඔත්තු සේවාවේ සාමාජිකයකු ඉල්ලූ ලක්‍ෂ ගණනක කප්පම් මුදල දුන් නමුත් පැහැරගෙන යන ලද තම පුත්‍රයා මේතාක් හමු නොවූ බව අන්බුවෙලිපුරම් හි විජයලක්ෂ්මි පිල්ලෙයි කියා සිටියි. අතුරුදහන්වීම් පිළිබඳ විභාග කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණි ඇය ප්‍රකාශ කොට සිටියේ ත්‍රීකුණාමල නාවික හමුදා කඳවුරේ ඥාණසේකරම් රොබට් හට කන්තලේ අටේ කනුව අසළ දී ලක්‍ෂ පහළොවක් දුන් බවයි.

අතුරුදහන්වුවන් පිළිබඳ පැමිණිලි විභාග කරන ජනාධිපති කොමිසම සභාපති මැක්ස්වෙල් පරණගම ගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස අග කොළඹදී රැස්වූ අවස්ථාවේ පැමිණි උතුරු නැගෙනහිර අතුරුදහන්වුවන්ගේ ඥාතීන් අතර පිල්ලෙයි මාතාවද සිටියාය.

සුදු වෑන්

විජයලක්ෂ්මි පිල්ලෙයි ප්‍රකාශ කරන පරිදි ඇගේ පුත් නාගේන්‍ද්‍රන් ප්‍රදීපන් අතුරුදහන් වී ඇත්තේ 2008 මැයි මාසයේ ය. ඔවුන්ගේ නිවසට පැමිණි නාවික හමුදා භට පිරිසක් ප්‍රශ්න කිරීම සඳහා ඔහු ගෙන යාමට ඉල්ලා තිබේ. ඇය ඊට දැඩි විරෝධය පෑවත් ප්‍රදීපන්ගේ මිතුරකු පවසා ඇත්තේ ඔහු කැඳවාගෙන ගොස් ආපසු රැගෙන එන බවයි. තම ප්‍රත්‍රයා සමග ගිය ඔහුගේ මිතුරා පෙරළා පැමිණ දැනුම් දී ඇත්තේ සුදු වෑන් රියකින් පැමිණි නාවික භට පිරිසක් අත් ගැට ගසා ප්‍රදීපන් පැහැරගෙන ත්‍රීකුණාමලයේ නාවික හමුදා කඳවුරට ගිය බවයි.

"ඊට පස්සේ මගේ පුතා හොයාගෙන හැම තැනම ගියා," පිල්ලෙයි මාතාව පවසයි. ප්‍රදීපන් සොයා දීමට පොරොන්දු වූ ත්‍රීකුණාමල නාවික හමුදා කඳවුරේ ඔත්තු සේවා කටයුතුවල යෙදී සිටින ඥාණසේකරම් රොබට් හට ඇය මුදල් දී ඇත්තේ ඒ සෙවිල්ල අසාර්ථක වීමෙන් අනතුරුවයි.

කොමිසම පිළිබඳ අවිශ්වාසය

අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම පිණිස ත්‍රීකුණාමලයේ කිහිප දෙනකුම මෙම පුද්ගලයාට මුදල් දී ඇති හෙයින් ඔහු කෙරේ විශ්වාසයක් ඇති කර ගත් බව විජයලක්‍ෂ්මි පිල්ලෙයි JDS කළ විමසීමකදී ප්‍රකාශ කළාය. මේ තොරතුරු සියල්ල අතුරුදහන්වුවන් පිළිබඳ පැමිණිලි විභාග කරන ජනාධිපති කොමිසමට හෙළි කොට ඇතත්, තම දරුවා සොයා දීම හෝ ඒ වෙනුවෙන් කප්පම් ගත් අයට විරුද්ධ පියවර ගැනීම හෝ සිදුකොට නැති කොමිසම කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති බව ඇය පවසන්නීය. JDS විසින් මීට පෙර හෙළිදරව් කර ඇති ආකාරයේ රහසිගත හමුදා කඳවුරු පිළිබඳව ද තමන් ඇතුළු ප්‍රදේශවාසීන් අසා ඇති බව ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

1990 ජුනි 10 වැනිදා සිට 2009 මැයි 19 වැනිදා දක්වා අතුරුදහන්වීම් පිළිබඳව සොයා බැලීම සඳහා කොමිසම පත් කරන ලද්දේ 2013 අගෝස්තුවේදී ය. ලැබී ඇති විසි දහසකට ආසන්න පැමිණිලි අතරින් ඔවුන් විසින් මාස විස්සකට අධික කාලයක් තුළදී විමර්ශනය කොට ඇත්තේ පැමිණිලි හත් දහසකටත් අඩු සංඛ්‍යාවකි. පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව, නීතිපති මගින් හෝ ස්වාධීන පරීක්‍ෂණ මණ්ඩලයක් මගින් හෝ විමර්ශන සිදුකොට පැමිණෙන අවසාන නිගමන ඥාතීන්ට දැනුම් දෙන බව කොමිසම පවසයි. එසේ වෙතත්, මේ දක්වා ඥාතීන් වෙත දැනුම් දෙන ලද එවැනි නිගමනයක් පිළිබඳ කිසිදු තොරතුරක් කොමිසම විසින් ප්‍රකාශයට පත්  කොට නැත.☐

© JDS

 

සබැඳි ලිපි

03.04.2015 - අම්පාර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පරණගම කොමිසම වර්ජනයට සැරසේ
31.03.2015 - රනිල් වික්‍රමසිංහ නොදන්නා රහසිගත සිර කඳවුරු මෙන්න
19.03.2015 - 'ගෝඨා කෑම්ප් ගැන සොයන්නේ නම් සාක්‍ෂි ඉදිරිපත් කරන්න සූදානම්'
03.03.2015 - පැහැරගත් තරුණයන් ‘ගෝඨාස් කෑම්ප්’හි රඳවා ඇතිදැයි සොයා බැලීමට අධිකරණ නියෝගයක්
28.02.2015 - ත්‍රි'මලේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ජනාධිපති කොමිසම වර්ජනය කරයි
23.02.2015 - නැගෙනහිර සහ දකුණේ රහසිගත කඳවුරු ගැන යාපනය උද්ඝෝෂණයේදී හෙළිකරයි