භීම සමයක සාක්‍ෂි එකතුවක් III: ‘නිදහස් කළත් අනිවාර්යයෙන් මරනවා!'

පළමු කොටස: භීම සමයක මරු මුවවිටට ගොස් පෙරළා ආවුන්ගේ සාක්‍ෂි එකතුවක්
දෙවැනි කොටස: අවුට්රීච් ලංකා මාධ්‍ය මර්දනය

ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් එහි රැගෙන ආ පුද්ගලයන්ට සැලකූයේ තිර්ශචීන ලෙස ය. පහරදීමේ සීමාවක් හෝ වෙලාවක් නොතිබුණි. අත් අඩංගුවට ගත් බොහෝ දෙනා පුටු හෝ මේස කකුලකට සම්බන්ධ කොට මාංචු දමා තිබූ අතර ඇතැමුන් නිරුවත් කොට තිබිණ. ඕනෑම නිලධාරියෙකුට ඕනෑම වේලාවක ඕනෑම රැඳවියෙකුට නිදහසේ පහර දීමට අවස්ථා සලසා තිබූ ආකාරය කිත්සිරි විජේසිංහ ආවර්ජනය කරයි.

ක්‍රෑර වධහිංසා

“ජසීහරන්ට හැමදාම එක විදියටම වධ දුන්නා. එක දවසක් මැදියම් රෑ 12ට විතර ජසීහරන් මුළු ගොඩනැගිල්ලම දෙදරා යන තරම් සද්දෙන් එකදිගට විලාප දුන්නා. ඒ සද්දෙට සියලු දෙනාම තැතිගැන්විලා එළිවෙනකම් ඇහැරලා හිටියේ. අපි කිසි කෙනෙකුට නිදාගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. පහුවදා උදේ අපි දැක්කා ලේ වලින් පෙඟුණු ජසීගේ තුවාය වැසිකිලියේ තියෙනවා.  ජනකාන්තගේ මස්සිනා ගංගානාත් කීවා “වධ දෙන කොට ඌ ඔක්කොම පිළිගත්තා කියලා." ජෙසීගෙන් කිසියම් ප්‍රකාශයක් ගැනීම සදහා ගංගානාත් අැතුළු නිලධාරීන් ඔහුට දරුණු ලෙස වධ බන්ධන පමුණුවමින් සිටින බව සහ ඒ සියලු වධහිංසාවන්ට ගංගානාත් පුද්ගලික්ව මැදිහත් වී ඇති බවත්  මට වැටහුණා. ඊට පස්සේ ඔවුන් දිගින් දිගට ම අපට කියන්න ගත්තා ‘උඹලට නිදහස් වෙන්න ඕනේ නම් ජසීට LTTE එකෙන් මුදල් ලැබුණා කියලා ප්‍රකාශ දීපල්ලා' කියලා. අපි කවුරුවත් ඒකට එකඟ වුනේ නැහැ."

‘යුක්තිය‘ පුවත්පතේ සහෝදර දෙමළ ප්‍ර‍කාශනය වූ ‘සරිනිහර්‘ හි සංස්කාරකවරයා වශයෙන් කලක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බී සිවකුමාර් ‘අවුට්රීච්‘ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ද, එවකට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍ර‍කාශකවරයා ද විය. ‘අවුට්රීච් ලංකා‘ වෙබ් අඩවියට එරෙහි මෙහෙයුමට අදාළ ව ඔහු ද අත්අඩංගුවට ගැනීමට TID නිලධාරීන් ඔහු ගේ නිවසට ගොස් තිබූ අතර, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධාන විසින් ඔහු ඒ ආකාරයෙන් පැහැරගැනීමක ස්වභාවයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වා, ඒ වෙනුවට ඔහු TID වෙත භාරදීමට කටයුතු කර තිබිණි.

පවුල්වලට බලපෑම්

‘අවුට්රිච්‘ මාධ්‍ය කණ්ඩායමට එරෙහි මර්දනය ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙතට ද ඉක්මණින් හරවනු ලැබිණ. වක්‍ර බලපෑම් වැඩිකල් නොගොස් සෘජු තර්ජන බවට පෙරළුණි.

“ගෙවල්වල අයට අපිව හැමදාම බලන්න එන්න බැහැ. සෙනසුරාදට විතරයි ඒ සඳහා ඉඩ ලැබෙන්නේ. අපිව බලන්න එන අය පළමුවෙන් කොටුව දුම්රියපොළ ළඟට ආ යුතු යි. එතැන ඉඳලා ලොරියක පටවාගෙන චෛත්‍ය පාරේ TID එකට ඔවුන් රැගෙන එනවා. රැඳවුම් භාරයේ ඉන්න සැමියා හෝ සහෝදරයා නිදහස් කරගන්න නම් තමන් කියන විදියට කටයුතු කරන්න කියා බලකරමින්, ඒ අයට ලිංගික බලපෑම් කරන්න අවස්ථාව හදාගන්නේ ඒ අතරවාරේදී යි", කිත්සිරි කියයි.

අධිකරණ වෛද්‍ය නිලධාරීන් මෙන්ම මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ද   ඉතාමත් සුක්ෂම ආකාරයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයට අවශ්‍ය පරිදි යොදවාගැනීමට නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබීම තමන් සුලබව දුටු බව හෙතෙම ප්‍රකාශ කළේය.

“රඳවාගෙන ඉන්න කෙනෙක්ව අධිකරණ වෛද්‍ය නිලධාරියා (JMO) ළඟට රැගෙන යන්න කලින්, TID එකෙන් සොයා බලනවා තමන්ට හිතවත් දොස්තරවරයෙක් ඉන්නවාද කියලා. ජසීහරන්ගේ මස්සිනා වූ කුමාර්ට ගහලා එයාගේ පිටකොන්ද දරුණු විදියට තුවාල වෙලා තිබුණේ. එහෙත් JMO කිසිම පරීක‍්ෂාවක් නොකරම ලිව්වා, 'කිසිම පහරදීමක් සිදුවෙලා නැහැ,‘ කියලා.”

අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ අපරාධ හවුල්කාරීත්වය තහවුරු කරන එක් සිදුවීමක් ජූනි 13 වැනිදාට යෙදුණු නඩු දිනයේදී අනාවරණය විය. මහේස්ත්‍රාත් නිශාන්ත හපුආරච්චි හමුවේ තමන්ට පුද්ගලික ප්‍රකාශයක් කරන්නට ජසීකරන් අවසර ඉල්ලා සිටියේය. මැයි 10 වැනිදා තමන් අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කළ විට තමන්ට පහර දෙන බව කියන්නට බිය වූ බව කියා සිටි ජසීකරන්, මැයි 27 වැනිදා යළිත් වෛද්‍ය නිලධාරියා හමුවට පැමිණ වූ විට තම පිට කොන්දේ, දෑත් සහ දෙපාවල ඇති වධ බන්ධන සළකුණු ඔහුට පෙන් වූ බව කීවේය. නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සිංහල බසින් ලියන ලද වාර්තාව, තම නීතිඥයාට හෝ ලබා නොදී ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ට ලබාදුන් බව ඔහු හෙළි කර සිටියේය. මහේස්ත්‍රාත් නියෝග මත ජසීකරන් එදිනම අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යළිත් වතාවක් ඉදිරිපත් කරනු ලැබිණ. අනතුරුව ත්‍රස්ත විමර්ශන ඒකකයට රැගෙන යනු ලැබූ ඔහු එදින රාත්‍රියේ වඩා දරුණු සාහසික වධ හිංසාවන්ට පාත්‍ර කෙරුණි.

දින 10 කින් පසු, ජූනි 23 වැනිදා යළිත් අධිකරණයට ඉදිරිපත් කරන ලද ජසීකරන්, තමන්ට දෙන ලද දරුණු වධ හිංසා අධිකරණය හමුවේ හෙළිකර පෙරළා ත්‍රස්ත විමර්ශන ඒකකයට නොයවන මෙන් හැඬූ කඳුළින් අයැද සිටියේය. ඒ ඉල්ලීම යළිත් ප්‍රතික්‍ෂේප කෙරුණි.

ත්‍රස්ත විමර්ශන ඒකකයට පක්ෂපාතී මානව හිමිකම් කොමිසමේ නිලධාරිනියක නිරන්තරයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැකකරුවන් පිලිබඳ සොයා බැලීමට පැමිණිය ද, ඇය ද මේ අයුරින්ම කිසිදු සැකකරුවෙකු සමඟ කතාබහ කිරීමකින් තොරව සිය වාර්තා සකස් කළේ  යැයි කිත්සිරි විජේසිංහ සිය අත්දැකීම් ඇසුරෙන් පවසයි. ඒ අනුව, ඕනෑම සැකකරු‍වෙකු වැඩිදුර රඳවා තබා ගැනීමට අවසර ලැබෙන රජයේ නිල මුද්‍රාව යෙදු රැඳවුම් නියෝග දුසිම් ගණනක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානී ප්‍රසන්න ද අල්විස් හා ස්ථාන භාර නිලධාරි ජනකාන්ත සතුව තිබිණ. අවශ්‍ය වූ විටෙක ලිපියට එක්කළ යුත්තේ අවශ්‍ය පුද්ගලයාගේ නම පමණි.

නොනවතින ලුහුබැඳීම

“නිදහස් කළාට අපිට උඹලගේ වගකීම බාර ගන්න බැහැ. විශේෂයෙන් දෙමළ එවුන් නිදහස් කළත්, අනිවාර්යයෙන්ම මරනවා. උඹලට තියා අපිටවත් ඒක නවත්වන්න බැහැ"යි ගංගානාත් කිව්වේ අපිට ඇප දෙන්න උසාවියට ඇවිත් හිටිය එවකට ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන් ගේ සංගමයේ සභාපති සනත් බාලසුරිය සහ ලේකම් පොද්දල ජයන්ත දෙන්නා ඉදිරිපිට දීමයි" විජේසිංහ ආවර්ජනය කළේය.

විජේසිංහ සහ සෙස්සන්  අධිකරණයේදී නිදහස් වූ පසුව ද ඔවුන් පසුපස ත්‍රස්ත විමර්ශන නිලධාරීහු ලුහුබැඳයාම නතර නොවුණි. යන එන ගමන් බිමන්, හමුවන පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් සිටින ත්‍රස්ත විමර්ශන නිලධාරීහු, දින කිහිපයකට වතාවක් දුරකථන ඇමතුම් මගින් ඒ පිළිබඳ තර්ජනාත්මකව විමසීම භීතිය ගෙනදෙන කරුණක් විය.

එවකට මාධ්‍ය  සංවිධාන පහ සිය ඒකාබද්ධ ක්‍රියාකාරකම් පවත්වාගෙන යනු ලැබුවේ එක්ව කොළඹ 07, මල් පාරේ එක් මධ්‍යස්ථානයක පදනම් වෙමිනි. නිදහස් වූ සැණින් විජේසිංහ එහි පැමිණියේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මූලිකයෙකු සේ සැළකුණු සුනන්ද දේශප්‍රිය හමු වී ජසීහරන්, තිස්සෛනායගම් හා වලර්මදී නිදහස් කර ගැනීමට යම් මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලා සිටීමට ය.

“ඔයාලා කොටින්ගෙන් සල්ලි අරන් තියෙන කතාව ඇත්තනේ! ඒක TID එකට ඔප්පු වෙලා තියෙනවා. එහෙම සල්ලි අරන් තමයි ඔයාලට පඩි දීලා තියෙන්නේ. TID ඩිරෙක්ටර් අපිට කිව්වා ඔයගොල්ලෝ නිතරම කොටි එක්ක සම්බන්ධකම් තියාගෙන ඉන්නවා කියලා. ජසීහරන් කියන්නේ කොටි සාමාජිකයෙක් බව ඔප්පු වෙලා ඉවර' යැයි සුනන්ද දේශප්‍රිය සෙසු කිහිපදෙනෙකු ඉදිරියේදී තමාට විවෘතව කී බවට විජේසිංහ චෝදනා කරයි. 

ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂවරයාගේ තොරතුරු ඔහු විශ්වාස කරන්නේදැයි විජේසිංහ සුනන්දගෙන් පෙරළා විමසූ විට ඔහු කෝපයට පත්ව උස් හඬින් තමාට බැන වැදුණු බව විජේසිංහ කියා සිටියේය. ආරවුල සමථයකට පත් කිරීම සඳහා මැදිහත් වූ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත, විජේසිංහ එතැනින් ඉවතට රැගෙන ගියේය.

කෙසේ වුවද, 'අවුට්රීච්' නමින් කොටි සංවිධානයේ ප්‍රචාරක මෙහෙයුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමේ චෝදනාව පිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2008 මාර්තුවේදී  අත් අඩංගුවට ගත් වෙට්ට්‍රිවේල් ජසීහරන්, වඩිවේල් වලර්මදී හා ජයප්‍රකාශ් තිස්සනායගම් යන අයට එරෙහිව අවසානයේදී නඩු පවරන ලද්දේ ඔවුන් විසින් පළකළ 'නෝර්ත් ඊස්ටර්න් මන්ත්ලි' සඟරාවේ පළ කළ ලිපි දෙකක් පදනම් කොටගෙන ය. ඒ වනාහී නැගෙනහිර ප්‍රදේශයේ සිදු කළ හමුදා මෙහෙයුම් හේතුවෙන් අවතැන් වූ ජනයා මුහුණ දී ඇති ගැටළු පිළිබඳ 'නෝර්ත් ඊස්ටර්න් මන්ත්ලි' සඟරාවේ 2006 ජූලි හා දෙසැම්බර් කලාපවල පළ වූ ලිපි දෙකක් මුල්කොටගෙන ය. වසර එකහමාරකට වැඩි කාලයක් තිස්සේ රඳවා සිටි තිස්සෛනායගම්ට, අදාළ ලිපි දෙක මගින් ජනවාර්ගික පසමිතුරුකම් අවුළන ලදැයි චෝදනා යටතේ බරපතල වැඩ සහිත විසි වසරක සිර දඬුවම් නියම කරනු ලැබිණ.

නිදොස් කොට නිදහස්

නමුත් වෙට්ට්‍රිවේල් ජසීකරන් හා වඩිවේල් වලර්මදී ත්‍රස්තවාදී සංවිධාන හෝ ත්‍රස්ත ක්‍රියා සමඟ සම්බන්ධ යැයි ඔප්පු කිරීමට කිසිදු සාක්‍ෂියක් නොමැති බව අධිකරණය හමුවේ කියා සිටි රජයේ නීතිපතිවරයා  ඔවුන් දෙදෙනා සියළු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කර යැවීමට එරෙහිව කවර හෝ විරෝධයක් නොපෑවේය.ඒ, තමන් අත් අඩංගුවට ගෙන රඳවා තබාගැනීමෙන් සිය මානව හිමිකම් කඩ වී යැයි ජසීකරන් විසින් පවරන ලද මූලීක අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමේ කොන්දේසියට යටත්ව ය. 2008 මාර්තු සිට පුරා 19 මාසයක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත් අඩංගුවේ අතිශය කෲර වධ හිංසාවන්ට ලක්කරනු ලැබූ ජසීහරන් සහ වලර්මදී අවසානයේ 2009 ඔක්තෝබර් 26 වැනිදා නිදහස් කර හරිනු ලැබිණ.

නමුත් ඔවුන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ආරක්‍ෂක අමාත්‍යාංශය භාරයට ගනු ලැබූ ජසීහරන්ට අයත් මුද්‍රණාලයත්, එහි වූ මුද්‍රණ යන්ත්‍ර ඇතුළු සියළු නිශ්චල දේපළත් මුදා හැරීමට ආණ්ඩුව කිසිදු පියවරක් නොගත්තේය. සිය වැඩිමහල් පුතණුවන් මුහුණ දී සිටි සැහැසිකම් දරාගත නොහැකි වූ ජසීකරන්ගේ මව මානසික කම්පනයෙන් අකල් මරණයට ගොදුරුවන විටත් ජසීකරන් සිටියේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත් අඩංගුවේ ය. ජීවිත කාලයක් තිස්සේ දුක් මහන්සියෙන් උපයාගන්නා ලද සියළු දේපළ අහිමිව, සදාකාලික කායික හා මානසික රෝගියෙකු බවට පත් කරන ලද ජසීහරන් අනතුරුව මරණ බිය හේතුවෙන් සිය බිරිඳ කැටුව සරණාගත දිවිය තෝරාගෙන පිටුවහලට පලා ගියේය. ඔවුන් පමණක් නොව, ජසීගේ ව්‍යාපාර කටයුතුවලට උදව්වෙමින් කොළඹ ජීවත් වූ ඔහුගේ බාල සොහොයුරා හා සොහොයුරියත් ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අඛණ්ඩව එල්ල වූ තර්ජන හේතුවෙන් රට අතහැර පිටුවහලට පලා ගියහ. 

කොටහේන , ජම්පටා විදියේ පිහිටි ‘අවුට්රීච් ලංකා‘ වෙබ් අඩවි කාර්යාලය මෙන්ම ‘ඊක්වලිටි‘ මුද්‍රණාලයට ද සීල් තැබුණු අතර, එහි තිබු සියලුම උපකරණ ත්‍රස්ත විමර්ශන නිලධාරිහු කොල්ලකාගත්හ. ඔවුන්ට එරෙහිව නගන ලද සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ පසුත් ජසීහරන්ට අයත් සියළු දේපළ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් තව දුරටත් භුක්ති විඳිමින් සිටියි.

“ජසීගේ මුද්‍ර‍ාලයේ වගේම අවුට්රීච් කාර්යාලයේ තිබුණු සියලුම දේපල TID එකෙන් අරගෙන ගියා. කොම්පියුටර්, කැමරා, සංස්කරණ උපකරණ, මුද්‍ර‍ණ යන්ත්‍ර‍, ඡායා පිටපත් යන්ත්‍ර‍, පොත් බඳින යන්ත්‍ර, දුරකථන විතරක් නෙවෙයි, ජසී ෆිනෑන්ස් කරලා ගත්ත වෑන් එකත් TID කාරයෝ අරන් ගියා. නිදොස් කරලා නිදහස් වෙලා රට අතහැරලා ආපු ජසී ඉන් පස්සෙත් ඒ වෑන් එකේ මාසික ෆිනෑන්ස් වාරික ගෙවූ බව මම පුද්ගලිකව දන්නා කරුණක්. එහෙම ගෙවන්න ප්‍රමාද වුණු හැම මොහොතකම ජසීගේ පවුලේ අය තර්ජනවලට මුහුණ දුන්නා. කොල්ලකාගෙන ආපු කොම්පියුටර්, ලැප්ටොප්වලින් TID කාරයෝ කළේ නිල් චිත්‍ර‍පට බලපු එකයි", යැයි විජේසිංහ කියයි.

ධෛර්ය සම්පන්න හා ආචාර ධාර්මික මාධ්‍ය භාවිතාව වෙනුවෙන් දේශසීමා රහිත මාධ්‍යවේදීන් විසින් පිරිනමන පීටර් මැක්ලර් සම්මානය සඳහා තිස්සෛනායගම් 2009 වසරේදී නම් කරන විටත් හේ සිරබත් කමින් සිටියේය. නොකළ වරදට විසි වසරක සිර දඬුවම් නියම වූ තිස්ස, ඊනියා "ජනාධිපති සමාවක්" ලැබ 2010 මැයි 03 වැනිදා නිදහස් කර හරිනු ලැබිණ. විසි වසරකට වැඩි කාලයක් කොළඹ ඉංග්‍රීසි මාධ්‍ය ක්‍ෂේත්‍රයේ අත්දැකීම් පූර්ණ පත්‍ර කලාවේදියෙකු වශයෙන් ක්‍රියා කළ ජයප්‍රකාශ් තිස්සෛනායගම් සහ මාධ්‍යවේදිනියක් වූ ඔහුගේ බිරිඳ අවසානයේදී සියළු දෑ අත්හැර පිටුවහල් ජීවිතය තෝරාගත්හ.

ත්‍රස්ත විමර්ශන ඒකකයේ වධහිංසා අධීක්‍ෂණයේ යෙදුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් 2011 මාර්තු මාසයේදී පොලිස් සේවයෙන් විශ්‍රාම ගියේය. 2015 ජූලි මාසයේදී විශ්‍රාමයෙන් යළිත් සේවයට කැඳවුණු හෙතෙම රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියෙකු වශයෙන් පත්වීම් ලැබ 2016 නොවැම්බර් මාසයේ දී අලුත් ආණ්ඩුව යටතේ වධ හිංසාවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවට යැවුණු ශ්‍රී ලංකා දූත කණ්ඩායම ද නියෝජනය කළේය. ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියාව සිටි පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න ද අල්විස්, දැන් තංගල්ල ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි ධූරය හොබවයි. ත්‍රස්ත විමර්ශන ඒකකයේ සෙසු පරපීඩක නිලධාරීහු ද සිය සැහැසිකම්වලට සරිලන සේවා වරප්‍රසාද දැනටත් භුක්ති විඳිති.

ජසීහරන්, වලර්මදී හා තිස්සෛනායගම් ඇතුළු අවුට්රීච් මාධ්‍ය සේවක පිරිස 'කොටින්' බවට පෙරළන්නට ත්‍රස්ත විමර්ශන ඒකකයට දරදිය අදින ලද විසකුරු වර්ගවාදී මාධ්‍ය බලඇණි සාමාජිකයෝ සිංහල - දෙමළ සහජීවනය ගැනත්, මාධ්‍ය නිදහස ගැනත් ලියමින් අදටත් අභිමානයෙන් මාධ්‍ය වෘත්තියේ නියැලෙති.☐

(මතු සම්බන්ධයි)

සිවුවැනි කොටස: නඩේසපිල්ලේ විතියාදරන්ගේ මරණීය හෝරාවන්

අතුල විතානගේ


© JDS