83 කළු ජූලිය: සිංහල සිරකරුවෝ ඇද වැටුණු රාජසුන්දරම්ට මැරෙන තුරු පහර දුන්හ - IV


පළමු කොටස: දෙමළ විරෝධී හිංසනය හා ගාන්ධියම් ව්‍යාපාරයේ නැගීම - I
දෙවැනි කොටස:  ගාන්ධියම් ව්‍යාපාරයට එරෙහි මර්දනය ඇරඹේ - II
තෙවැනි කොටස: 'සිර කුටිය තුළ හතර ගාතයෙන් යාමට රාජසුන්දරම්ට නියම විය' - III

රා ජ්‍ය මර්දනය හමුවේ දවසින් දවස උත්සන්න වන අවදානම පෙනෙන්නට තිබියදීත්, ගාන්ධියම් ව්‍යාපාරයේ සෙසු ක්‍රියාකාරිකයෝ කෙසේ හෝ සිය කාර්යභාරය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි සෑම උත්සාහයක්ම දැරූහ. ගාන්ධියම් ක්‍රියාකාරීනී ජෙනී ජෙයචන්ද්‍රන් මෙන්ම ඇයගේ සැමියා වූ රාජදුරෛ ජෙයචන්ද්‍රන් ද හැකිතාක් අනතුර මගහරිමින් තවදුරටත් සිය වැඩ කටයුතු ඉදිරියට ගෙනයාමට තැත් දරන ලද්දේ අවතැන් වූ සුවිශාල ජන පිරිසක් ගාන්ධියම් ව්‍යාපාරය විසින් සම්පාදනය කරන ලද ප්‍රජා සුබ සාධන සේවාවන් මත යැපුණු බව දත් නිසා ය.

"මගේ සැමියා තමයි එතකොට ගාන්ධියම් එකේ ත්‍රිකුණාමලය ප්‍රධානියා හැටියට කටයුතු කළේ", ජෙනී කියයි.

"ඩේවිඩ් අයියා සහ ඩොක්ටර් රාජසුන්දරම් නැති අඩුව පුරවන්නට උත්සාහ කළේ කෘෂි උපදේශකයෙක් විදිහට වැඩ කරපු සන්දදියාර් විසිනුයි. ඒත් අපේ පස්සෙත් පොලිසිය දිගටම පන්නන බව අපිට තේරුම් ගියා. මට හිතෙන්නේ පොලිසියට අපි ගැන සැක හිතෙන්න ඇත්තේ 1982 දී ත්‍රීකුණාමලේදී අපි සංවිධානය කරපු මැයි රැළියෙන් පස්සේ කියලායි. ඒකට විශාල පිරිසක් සහභාගීවුණා."

ඇය පවසන ආකාරයට එවකට කර්මාන්ත ඇමති සිරිල් මැතිව්, මහවැලි හා ඉඩම් සංවර්ධන ඇමති ගාමිණි දිසානායක හා වරාය හා නාවික කටයුතු ඇමති ලලිත් ඇතුලත්මුදලි යන අය විශේෂයෙන්ම ත්‍රිකුණාමලය දෙස වැඩි අවධානයක් සහිතව ක්‍රියාකළහ. ත්‍රිකුණාමලේ ෂිපින් කාර්ගෝ සමාගමේ රැකියා ලබා දුන් 200 ක් පමණ වූ නුපුහුණු සිංහල කම්කරුවෝ ගාන්ධියම් ව්‍යාපාරයට මෙන්ම දෙමළ ජනයාට එරෙහිව ද සාහසික ලෙස ප්‍රචණ්ඩත්වය මුදා හරිනු වස් යොදවාගන්නට ආණ්ඩුව කටයුතු කළේ ඒ නිසා ය.

පනාගොඩින් වැලිකඩට

මේ අතර ජුනි 22 වැනිදා වනවිට ඇස්.ඒ. ඩේවිඩ් හා වෛද්‍ය රාජසුන්දරම් කොළඹ බුලර්ස් පාරේ පිහිටි අධිකරණය වෙත යොමු කෙරිණි. එහිදී ඔවුන්ගේ නීතිඥයා ඉල්ලා සිටියේ පනාගොඩ හමුදා කඳවුරේ දී නිරන්තර වධ බන්ධනයන්ට ලක් වන මොවුන්ට සිවිල් පරිපාලනයක් සහිත ස්ථානයකට යොමු කරන ලෙස ය. ඒ අනුව ඔවුන් දෙදෙනාම වැලිකඩ බන්ධනාගාරයට මාරු කරන යැවීමට අධිකරණ නියෝගයක් ලැබුණි. 1983 ජුනි 23 වැනිදා වැලිකඩ බන්ධනාගාරයට ඔවුන් මාරුකර යවන විට, ත්‍රස්‌තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සිංගරයාර් පියතුමා, සින්නාරාජ් පියතුමා, ආචාර්ය ජෙයකුලරාජ් පියතුමා, දේවගැති ජෙයතිලකරාජ්, සරසවි කථිකාචාර්ය මුතිස්පිල්ලෛ නිත්‍යානන්දන්, සති අන්ත පුවත් පතක් වූ 'සුදන්තිරන්' හි ප්‍රධාන සංස්කාරක කෝවෛ මහේසන් සහ තමිල් ඊළාම් විමුක්ති පෙරමුණේ (TELF) නායක දොස්තර ධර්මලිංගම් එහි රඳවා සිටියහ.

ඊට දින කීපයකට පසු පනාගොඩ රඳවා සිටි ප්ලොට් සංවිධානයේ පසුකාලීන සන්නද්ධ නායකයා වූ නාගලිංගම් මානික්කදාසන් මෙන්ම කන්දයියා රාජේන්ද්‍රන් හෙවත් රොබට් ද , ඊපීආර්එල්එෆ් සංවිධානයේ ප්‍රමුඛයන් වූ ඥානප්‍රගාසම් ඥාණසේකරම් හෙවත් පරන්තන් රාජන්, කදිරවේලූ දේවානන්දා හෙවත් ඩග්ලස් දේවානන්දා ද, ඊරෝස් සංවිධානයේ අන්තෝනිපිල්ලෛ අලගිරි ද, තම්බිපිල්ලෛ මහේස්වරන් ඇතුළු රැඳවියන් 28 දෙනාත් වැලිකඩ බන්ධනාගාරයට මාරු කරනු යවනු ලැබුණි.

1981 දී අත්අඩංගුවට ගෙන මරණ දඬුවම නියම කළ තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ (TELO) නායකයන් වූ සෙල්වරාජා යෝගචන්ද්‍රන් හෙවත් කුට්ටිමනී ද, නඩරාජා තං‍ගවේලු හෙවත් තංගතුරෙයි ද, ගනේෂනාදන් ජෙගනාදන් හෙවත් ජෙගන් හා තවත් තිදෙනෙක් ඇතුළු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටි 23 දෙනෙක් B3 සිර මැදිරියේ රඳවා සිටියහ. C3 සිරමැදිරියේ තවත් 28 දෙනෙක් ද, D3 සිර මැදිරියේ සැකපිට අත් අඩංගුවට ගත් දෙමළ තරුණයෝ 28 දෙනෙක් ද සිටි අතර නොයෙකුත් අපරාධවලට දඩුවම් ලැබූ සිංහල සිරකරුවෝ A3 සිර මැදිරියට ගාල්කර තිබුනාහ. ඒ අතර 1982 වසරේදී ඉතාලි අලිතාලියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පැහැර ගැනීමේ චෝදනාවට සිරගත කළ සේපාල ඒකනායක ද සිටියේය.

සාහසික කළු ජූලිය පුපුරා ගියේ ඩේවිඩ් සහ රාජසුන්දරම් පනාගොඩින් වැලිකඩට මාරුකර යවා හරියටම මාසයකට පසු ය.

කළු ජූලිය ඇරඹේ

1983 ජුලි 25 වැනිදා වනවිටත් රට පුරා දෙමළ ජනයාට එරෙහිව පැතිරෙමින් තිබුණු ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පස්වරු 2 වනවිට ඇඳිරිනීතිය පැනවිණි. ඒ අතර වැලිකඩ බන්ධනාගාරයේ A3 සිරමැදිරියේ සිටි සිංහල සිරකරුවෝ 400 ක් පමණ දෙනා යකඩ පොලු, ලී දඬු, මන්නා පිහි, පොරෝ, උල් කරන ලද යකඩ කූරු, කැඩුණු පුටු කකුල් හා කම්බි දඟර වලින් සන්නද්ධව දෙමළ දේශපාලන සිරකරුවන් රඳවා සිටි මැදිරි කරා ගමන් කළහ. B3 සහ D3 සිරමැදිරිවල දොරටු විවෘත කරගනිමින් ඊට ඇතුල් වන්නට ඔවුහු උත්සාහ කළහ. තත්ත්වය පාලනය කිරීමට ගත් සීමිත වෑයම් අසාර්ථක වීම නිසා වැඩබලන බන්ධනාගාර කොමසාරිස් සි.ටී ජෑන්ස් බන්ධනාගාරයෙන් පිටස්තර සහාය ඉල්ලා සිටින්නට තීරණය කළේය. බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති සුන්දරලිංගම් දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට දරු උත්සහාය ද ව්‍යර්ථ වූ නිසා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් සේපාල ආටිගලට කතාකළ ජෑන්ස්, වැලිකඩ තත්ත්වය පැහැදිලි කර සිටියේය. ජෙනරාල් ආටිගල පිළිතුර වුයේ පිටස්තර හමුදා කණඩායම් බන්ධනාගාරය ඇතුළතට යාම සුදුසු නොවන බව ය. ප්‍රායෝගික අවහිරයක් නොදුටු සිංහල මැර පිරිස්, ජූලි 25 වැනිදා B3 සහ D3 සිර මැදිරි තුළට කඩා වැදුණාහ. මැර පිරිස් බලය හමුවේ ආත්මාරක්ෂාව සලසා ගැනීමේ කිසිදු හැකියාවක් නොවූ නිරායුද දෙමළ සිරකරුවන් 35 දෙනෙකු සැණෙකින් මරුමුවට පත් කිරීමට ප්‍රහාරකයන් සමත් විය. ප්‍රහාරය අවසාන වනවිට කුට්ටිමනී හා තංගතුරේ ඇතුළු දේශපාලන සිරකරුවන් 35 දෙනකුගේ මළ සිරුරු ඔවුන් රඳවා සිටි සිර මැදිරි පිහිටි ශාලා කොරිඩෝවේම තැන තැන විසිරි තිබිණි. අනතුරුව, ඒ සියළු මළ සිරුරු බන්ධනාගාර අංගනයේ ස්ථාපිත කර ඇති බුදු පිළිමය ඉදිරිපිට ගොඩගසන ගොඩගසන ලද අතර, යාන්තමින් හෝ පණ ඇතිවුන් සොයා මියයන තුරු පහර දෙන්නට අපරාධකරුවෝ උත්සුක වූහ. බන්ධනාගාර කොමසාරිස් ජෑන්ස් ගේ ඉල්ලීම පරිදි බන්ධනාගාරයේ ආරක්ෂාව භාරව සිටි හමුදා සෙබළුන් ශාලා තුළට ඇතුල්වූයේ ඉන් පසුව ය. පළමු වටයේදී අවසානයේ දෙවන වටයක් සඳහා පෙරළා එන්නට සහතික වී සියල්ලෝ විසිර ගියෝය.

පෙර දින කිසිවක් සිදු නොවුනාක් මෙන් ජුලි 26 වැනිදා බන්ධනාගාරය නිහඬතාවයේ ගිලී තිබුණි. පළමු සිදුවීම වනවිට විදේශගතව සිටි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නලින් දෙල්ගොඩ එදින පැමිණ දෙමළ දේශපාලන සිරකරුවන්ට සහතික වුයේ මින් පසු එවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති වීමට කිසිදු ඉඩක් නොතබන බව ය. එහෙත් දෙමළ දේශපාලන සිරකරුවෝ ඊළඟට කුමක් සිදුවන්නේ ද යන්න ගැන දැඩි අවිනිශ්චිත බවකින් පසුවුහ. යළිත් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට උපරිමයෙන් මුහුණ දී මිය යාම හොඳ යැයි සිතා හැකි පමණ සූදානම් වියයුතු බව මානික්කදාසන්, පනාගොඩ මහේෂ්වරන්, පරන්තන් රාජන්, ඩග්ලස් දේවානන්දා හා අන්තෝනිපිල්ලෛ අලගිරි යන සිකරුවෝ සෙසු සියලු දෙනාට අවධාරණය කර සිටියේ ඒ නිසා ය.

"ජුලි 27 වැනිදා උදේ කාලයේ එතරම් වෙනසක් තිබුනේ නැහැ. හවස 4 ට විතර සිංහල හිරකාරයෝ අපි හිටපු සිර මැදිරි පැත්තට කඩා වැදිලා දොරටු කඩන්න උත්සාහ කළා. ඒවා ඇරගන්න බැරිවුණාම සිර මැදිරිවල යතුරු දෙන්න කියලා ජේල් ගාඩ්ලාට තර්ජනය කළා. උන් හැම කෙනෙක් අතේම යකඩ පොලු, පොරෝ වගේ විවිධ ආයුධ තිබුණා. එ් විදියට දොරයවල් කඩන්න උත්සාහ කරන ගමන් "අපි හොඳට හොඳයි යකෝ, දන්නවානේ කුට්ටිමනිට වෙච්ච දේ" කියලා කෑගහලා අපිට තර්ජනාය කළා"යි වැලිකඩ සංහාරයෙන් දිවි ගලවාගත් අතළොස්සක් දෙනා අතර සිටි අන්තෝනිපිල්ලෛ අලගිරි ඒ බිහිසුණු මොහොතට ඔහුන් මුහුණ දුන් අයුරු ජේඩීඑස් හා ආවර්ජනය කළේය.

දොස්තර රාජසුන්දරම් හා සේපාල ඒකනායක

"දොරේ ලොක් එක කඩාගෙන ඇතුලට එන්න තමයි උන් උත්සාහ කළේ. මේ වෙලාවේ ඩොක්ටර් රාජසුන්දරම් මේ අයත් එක්ක කතා කරලා බේරුමක් කරගන්න පුළුවන් කියලා දොර ළඟට ගියා. දකුණේ වාමාංශික පක්ෂ, ගොවි සංවිධාන, වෘත්තීය සමිති එක්ක ඉතාම ළඟින් වැඩ කරලා තිබුණු අත්දැකීම් නිසාත්, හොඳට සිංහල කතා කරන්න පුළුවන් නිසාත් රාජසුන්දරම් හිතුවා එයා කියන දෙයට මැරයෝ ඇහුම්කන් දේයි කියලා. දොර ගාවට ඇවිදගෙන ගිහින් 'ඇයි අපිව මරන්න හදන්නේ? අපි හොරු මංකොල්ලකාරයෝද" කියලා එයා ඇහුවා. එච්චරයි! ඒත් එක්කම දොර තල්ලු වුණා. මැරයෙක් යකඩ පොල්ලකින් එයාගේ ඔළුවට ගහනවාත් එක්කම ඩොක්ටර් රාජසුන්දරම් මැරයෝ මැද්දට ලේ පෙරාගෙන ඇද වැටුණා. ඊට පස්සෙත් උන් වැටිලා හිටිය රාජසුන්දරම්ට පහර දුන්නා. ඒ අතර තවත් පිරිසක්, අපේ කුඩා සිර කුටිවල දොරවල් කඩන්න හැදුවා. ඒත් අපි හැම කෙනෙක්ම පුළුවන් හැටියට පැය භාගයක් අතට අහුවෙන හැම දේකින්ම සටන් කරමින් ඇතුල් වෙන්න නොදී අල්ලාගෙන හිටියා. ටික වෙලාවකින් හමුදාව ඇතුළට ඇවිත් කඳුළු ගෑස් ගැහැව්වා. ඊට පස්සේ තමයි අපි දැක්කේ ඩොක්ටර් රාජසුන්දරම් ඇතුළු 17 දෙනෙකුගේ මළ සිරුරු කොරිඩෝ එකේ වැටිලා තියෙනවා. හමුදාව ඒවා පයින් තල්ලු කර කර පහළ තට්ටුවට ගෙනියන්න උත්සාහ කළා.  පස්සේ අපි ලවාම ඒ සිරුරු පහළට ගෙන්නා ගත්තා".

ප්‍රහාරයට පැමිණි සිංහල සිරකරුවෝ අතරින් එක් අයෙක් හොඳින් හඳුනා ගැනීමට අලගිරි හා සෙසු දෙමළ සිරකරුවෝ සමත් වූහ. "අපිට පහර දෙන්න ආපු අයව මෙහෙයුවේ සේපාල ඒකනායක. ඊට කලින් දවසක් එයා තේ පාටියේ වැඩ කරන කොට අපි හිටිය සිරමැදිරියට ඇවිත් තියෙනවා අපිට තේ අරගෙන. එදා කවුරුත් ඔහු ගැන කතා කළා ඉතාලි ගුවන් යානයක් පැහැරගත්ත කෙනා කියලා. ඒ හින්දා මට එයාව හොදින් හඳුනා ගන්න හැකි වුණා වුණා. ඒ වෙලාවේ එතැනට ආපු කොමාන්ඩෝ ටීම් එකේ ලොක්කට මෙයා ගිහින් අතට අත දීලා කියල තියෙනවා " කොහොමද සර් වැඩේ කියල?"

මේජර් සුනිල් පීරිස් ඇතුළු කොමාන්ඩෝ භට කණ්ඩායමක් වැලිකඩ බන්ධනාගාරය වෙත ළඟා වූයේ බන්ධනාගාර සහකාර කොමසාරි සී.ටී ජෑන්ස් යුද හමුදා මුලස්ථානයට ඇමතුමක් ලබා දී විනාඩි 20ක් වැනි කාලයක් ඇතුළත ය. ඔවුන් විසින් පහර දීමට පැමිණි සිංහල සිරකරුවන් පලවා හරින ලද නමුත් කිසිවෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කළේ නැත. තුවාලකරුවෝ රෝහල් වෙත කඩිනමින් ගෙන යාමට ද ඔවුහු උත්සුක නොවූහ. අවසානයේදී සිංහල කතා කළ හැකි සිරකරුවකු වූ යෝගරාජා හමුදා ප්‍රධානියාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටීමෙන් අනතුරුව ඔහු සමඟ තවත් මරණාසන්න තුවාල ලැබූ සිරකරුවකු වූ දේවකුමාර් ද රෝහල් ගත කෙරිණි. එහෙත් මහ රෝහලේ සිංහල වෛද්‍යවරු හෝ හෙද හෙදියන් ඔවුන්ට ප්‍රතිකාර කිරීමට උනන්දුවක් නොදැක්වුව යෝගරාජාගේ බැගෑපත් වීම හමුවේ එක් කාරුණික සිංහල හෙදියක් ඔහුට උපකාර කළ හෙයින් ජීවත් වීමේ වාසනාව ලැබුණි. එහෙත් නිසි ප්‍රතිකාර නොලද දේවකුමාර් රෝහලෙන් ආවේ ප්‍රාණය නිරුද්ධව ය.

දිවි ගලවාගත් සිරකරුවන් හමුදා ආරක්ෂාව යටතේ ගාලු මුවදොර හමුදා මුලස්ථානයට රැගෙන ගොස් එතැනින් බස් රථයකට නංවා කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන යනු ලැබිණ. ඒ මඩකලපුව බන්ධනාගාරය වෙත ගෙනයනු පිණිස ය. වැලිකඩ බන්ධනාගාරයේ දෙවැනි දින ප්‍රහාරයෙන් ගාන්ධියම් ලේකම් වෛද්‍ය සෝමසුන්දරම් රාජසුන්දරම් මිය ගිය ද, සභාපති අරුලානන්දම් ඩේවිඩ් දිවි ගළවා ගැනීමට සමත් විය.

"මේ ප්‍රහාරය හොඳට සැලසුම් සහගතව කරපු දෙයක්. කලක් හිරේ ඉඳලා ජනාධිපති ජයවර්ධනගේ පොදු සමාවක්  ලැබුණු මැරවරයකු වූ සුනිල් පෙරේරාත් (ගෝනවල සුනිල්) මේකට මැදිහත් වෙලා තිබෙන බව අපි පසුව ස්ථිර වශයෙන්ම දැනගත්තා. නමුත් දෙවැනි දිනයේ නම් සම්පුර්ණ වැඩේ හිටියේ සේපාල ඒකනායක. සමහර බන්ධනාගාර නිලධාරින්ගේ දැනුවත් සහායක් ඔවුන්ට නොලැබුණ නම් ඒ අපරාධය වැළකෙන්න ඉඩක් තිබුණා"යි අලගිරි ශෝකයෙන් කියයි.

ඔහුට අනුව, සැකපිට අත්අඩංගුවට ගත් අවුරුදු 17 ක තරුණයෙක් වූ ගණපතිපිල්ලෛ මයිල්වාගනම් පළමු දින ප්‍රහාරයේ බේරී සැඟවී සිටිය දී ඔහුට පිහියකින් ඇණ මරා දමන ලද්දේ එවකට බන්ධනාගාර ආරක්ෂකයකු වූ සමිතරත්න හෙවත් සමිත රත්ගම නමැත්තා විසිනි.

"රොජර් ජයසේකර, පාලිත වගේ අය විවෘතවම මේ අපරාධයන්ට උදව් කලා. වැලිකඩ ආරක්ෂාව බාරව හිටිය යුද හමුදා ලුතිනන් මහින්ද හතුරුසිංහ එයාගේ රාජකාරිය ඉටුකළා නම් ගොඩාක් ජීවිත බේරාගන්න හැකියාවක් තිබුණා," යි අලගිරි කියනුයේ මෙකී සාහසික අපරාධයට දායක වුවන්ට මෙතෙක් කිසිදු දඩුවමක් ලැබී නොමැති බවත් පෙන්වා දෙමිනි.

ආසන්න දෙදිනක් ඇතුළත වැලිකඩ බන්ධනාගාරයේදී දෙමළ දේශපාලන සිරකරුවන් 53 දෙනෙක් ඝාතනය කිරීම පිළිබඳව විපක්ෂය විසින් නගන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් එවකට අගමැති ආර්. ප්‍රේමදාස කියා සිටියේ සිද්ධියෙන් 'එක් සිංහල සිරකරුවෙක් ද මියගොස් ඇති බව' ය.

මඩකළපු සිරගෙය බිඳියි

වෛද්‍ය රාජසුන්දරම් ඝාතනයෙන් බලවත් සේ කම්පනයට පත් වෛද්‍ය ශාන්ති කරාලසිංහම් රාජි (12), රමනන් (09), සහ ආදවන් (08) නමැති සිය දරු තිදෙනාත් කැටුව රට හැර ගියාය. ගාන්ධියම් ව්‍යාපාරයේ කටයුතු ඉදිරියට ගෙන යාමට සන්දදියාර් හෙවත් වසන්තන්, ජෙනී ජයචන්ද්‍රන්ගේ සැමියා වූ ජෙයචන්ද්‍රන් හා ෂර්ලි කන්දප්පා වැන්නන් උපරිම උත්සාහ දැරූහ. එහෙත් උත්සන්න වන රාජ්‍ය මර්දනය හමුවේ එය එතරම් පහසු කාර්යක් නොවිණි. උතුරු නැගෙනහිර ගාන්ධියම් කාර්යාල සීල් තැබූ අතර ආදර්ශ ගොවිපළ හමුදාවන් විසින් අත්පත් කර කරගන්නා ලදී. ගාන්ධියම් ක්‍රියාකාරීන් පසුපස රහස් පොලිසිය නොනැවතී ලුහු බදින්නට විය.

"ත්‍රිකුණාමලේ පාන්කුලම් භාරතීපුරම් පදිංචිකරුවන් වූ කඳුකර දෙමළ ජනයා පන්නා දමා ඒ ඉඩම් අල්ලා ගන්නා සිංහල මැර කණ්ඩායම් කටයුතු කළා, ගෙවල් ගිනි තිබ්බා. කපලා කොටලා පවුල් පිටින් මරලා දැම්මා. පාන්කුලම් විතරක් නොවේ, කිතුල්උතුවෙත් ඒ දේම වුණා. හමුදාවේ හා පොලිසියේ උදව් ඇතිව ඒ ගමට කඩා වැදුණු සිංහල මැරයෝ ගේ දොර ගිනි තියලා, එක් පවුලක අම්මයි - තාත්තායි, වයස අවුරුදු දෙකක කුඩා දරුවෙකුයි ඒ ගින්නටම විසි කළා," ජෙනී ජෙයචන්ද්‍රන් තමන් අත්දුටු ඒ අත්දැකීම් ආවර්ජනය කරන්නේ වේදනාවෙනි. ගාන්ධියම් සාමාජිකයන් ඇතුළු සමස්ත දෙමළ ජනයා ඉලක්ක කරමින් රට පුරා දියත් කෙරුණු සංහාරය හේතුවෙන් බොහෝ තරුණ තරුණියන් සටන්කාමී සංවිධාන වෙත ඇදී යන්නට වූහ.

වැලිකඩ සංහාරයෙන් දිවි ගළවාගෙන මඩකළපුව බන්ධනාගරයට මාරුකර යවන ලද දේශපාලන සිරකරුවන් සියළු දෙනා, වැඩිකලක් මඩකළපුවේ රැඳී නොසිටියහ. 1983 සැප්තැම්බර් 23 වැනිදා ප්ලොට් හා ඊපීආර්ඇල්ඇෆ් සංවිධාන ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් මුදාගනු ලැබූ ඔවුන් සියළු දෙනා බෝට්ටු මගින් ඉන්දියාවට පලා ගියහ. ඒ අතර ගාන්ධියම් සභාපති ඇස් . ඒ ඩේවිඩ් ද විය. මෙහෙයුමේදී සිදු වූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් බේරාගත නොහැකි වූ ස්ත්‍රී සිරකාරිනී යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය නිර්මලා නිත්‍යානන්දන් (රාජිනී තිරාණගමගේ වැඩිමහල් සොයුරිය) මඩකළපු බන්ධනාගාරයෙන් නිදහස් කරගන්නා ලද්දේ විමුක්ති කොටි සංවිධානය විසිනි. බන්ධනාගාර ආරක්ෂකයන් හා සිරකරුවන් ලෙස වෙස්වළාගෙන වාහනයක නැගී මඩකළපුව බන්ධනාගාරයට 1984 ජූනි 10 වැනිදා රාත්‍රී 7.15ට ඇතුල් වූ එල්ටීටීඊ සටන්කරුවකු වූ රාමලිංගම් පරමදේවාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක්, නිර්මලා නිත්‍යානන්දන් නිදහස් කොටගෙන තමිල්නාඩුවට රැගෙන ගියහ.

ගාන්ධිවාදීන් අවිගත් සටන් මගට

"83 ජුලි සිදුවීම්වලින් පස්සේ ඔක්කොම දෙමළ දේශපාලන කණ්ඩායම් ඉන්දියාවට  යන්න තීරණය කළා. ගාන්ධියම් වැඩ කටයුතු අඩාලවීම නිසා සන්දදියාර්, ජෙයචන්ද්‍රන් අපි ඔක්කොත් 83 අග වෙනකොට ඉන්දියාවට පලා ගියා. ලංකාවේ අපිට යුක්තියක්, සාමයක් පෙනෙන තෙක් මානෙක තිබුණේ නැහැ. අපි වගේම, ආණ්ඩුවේ මර්දනය නිසා ගොඩක් ගාන්ධියම් ස්වේච්ජා සේවක සේවිකාවෝ දෙමළ සටන්කාමි සංවිධාන එක්ක සම්බන්ධ වුණා. කොටි සංවිධානයේ කාන්තා දේශපාලන නායිකාව වුනු තමිලිනිගේ තාත්තාත් 1977 කඳුරට දෙමළ ජනයාට එල්ල කළ ප්‍රහාරවලින් පස්සේ වන්නියට ඇවිත් ගාන්ධියම් ව්‍යාපාරය යටතේ පදිංචි කළ අයෙක්. ඒ හැම කෙනෙක්ම 83 දීත් පීඩාවට ලක් වුණා. අපි බොහෝ දෙනෙක් ප්ලොට් එකට සම්බන්ධ වුණා. මම තමයි ප්ලොට් එකේ පළමුවෙනි කාන්තා බළකායට නායකත්වය දුන්නේ. පස්සේ අපි ගැහැණු ළමයි 131 දෙනෙකුට තමිල්නාඩුවේ කඳවුරක දී පුහුණුව දුන්නා. ඔවුන් හැමෝම පුර්ණ කාලීනව ප්ලොට් එකට සම්බන්ධ වුණා," ජෙනී ජෙයචන්ද්‍රන් කියයි.

1977 හා 78දී රට මැද දියත් වූ වර්ගවාදී ප්‍රහාරයන්ගෙන් දිවි බේරාගෙන පලා ආ විපතට පත් දෙමළ ජනයාගේ සුබ සාධනය සැළසීම අරමුණ කොටගත් ව්‍යාපාරයක් හා බැඳී සහන සේවකයන් වන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ජෙනී හා ඇගේ සැමියා වැනි බොහෝ දෙනා, අවසානයේ ඉන්දියාවට පලා ගියෝය. නිම නොවන අයුක්තීන් හමුවේ අපේක්ෂා භංගත්වයටත්, කෝපයටත් පත් ජෙනී අනුව යමින් ඇයගේ සැමියා - රාජදුරෛ ජෙයචන්ද්‍රන් - ද, ගාන්ධියම් හා සම්බන්ධව ක්‍රියාකළ තවත් බොහෝ දෙනකු ද ප්ලොට් හා වෙනත් සන්නද්ධ සංවිධානයන්හි සාමාජිකත්වය ලබා ගත්හ.  රාජසුන්දරම් හා ඩේවිඩ් අත් අඩංගුවට ගැනීමෙන් පසු ගාන්ධියම් ව්‍යාපාරයේ බර කරට ගත් සන්දදියාර්, පසුව ප්ලොට් සංවිධානයට බැඳී එහි  නායක ශ්‍රේණීන් දක්වාම ගමන් කළේය.

මඩකළපුව පොලිස් ස්ථානයට පහර දීමට ප්ලොට් සංවිධානය විසින් කළ සැලසුමකට දායකවෙමින් ප්‍රහාරක කණ්ඩායමේ කොටස්කරුවකු වූ ජෙනීගේ සැමියා - රාජදුරෛ ජෙයන්ද්‍රන් - 1984 අප්‍රේල් 24 වැනිදා ඇති වූ සටනේදී පොලිස් වෙඩි පහරකට ලක්ව දිවි දුන්නේය. කම්පාවෙන් හා කෝපයෙන් පීඩිත ජෙනී ජෙයචන්ද්‍රන්, පසුකාලීනව යුරෝපයේ දෙමළ සරණාගත ජනයා අතරට එක් වූවාය.

වාස්තු විද්‍යාව හා නගර සැළසුම් පිළිබඳ මෙල්බර්න් හා ලීඩ්ස් සරසවිවලින් උපයාගත් දැනුමින් සන්නද්ධව ලිවර්පූල් හි ජ්‍යෙෂ්ඨ නගර සැළැසුම් ශිල්පිියෙකු වශයෙන් ද, මොම්බාසා හි රජයේ ප්‍රධාන වාස්තු විද්‍යා ශිල්පියා ලෙසද කළ රැකියා අත්හැර ලංකාවට පැමිණ ගාන්ධියම් ව්‍යාපාරය බිහිකිරීමේ ලා පුරෝගාමී වූ අරුලානන්දම් ඩේවිඩ්, සිය කල්‍යාණ මිතුරා වූ වෛද්‍ය රාජසුන්දරම්ගේ මරණයෙන් පසු තිස් දෑවුරුද්දක් පිටුවහල් වී සරණාගතයකුව ජීවත් වූයේය. 2015 ජුලි මාසයේදී අප්‍රසිද්ධියේ යළි මව්බිමට පැමිණි හෙතෙම ඉන් තුන් මසක් ගෙවුණු තැන, යුක්තිය පැතූ 91 වසරක අල්පේච්ඡ දිවියට කිලිනොච්චියේ දී සමු දුන්නේ ය.

බහුතර දෙමළ ජනයා දන්නා නමුත්, සිංහල ජනයා නොදන්නා ගාන්ධියම් ව්‍යාපාරයේ ඉතිහාසය විසින් කියා පාන්නේ සිංහල අධිපතිවාදයේ හා රාජ්‍ය මර්දනකාරීත්වයේ ඉතිහාස කතාවෙන් අංශු මාත්‍රයක් බවට සැකයක් නැත. නමුත් බලාපොරොත්තුවක් ඉතිරි නොකරන පීඩිතභාවය හමුවේ යටත් වීමට නොකැමැති වූ පරම්පරාවක ශෝචනීය ජීවන චරිතාපදානයන් ද ඒ කතාවේ ලියැවී තිබේ. කළු ජූලියට තිස් පස් අවුරුද්දක් පිරෙන මේ වසරේ දී ඉතිහාසය දෙස ආපසු හැරී බලන්නට ධෛර්යය ඇති දකුණේ අලුත් මිනිස් පරම්පරාවන්ට ඒ චරිතාපදානයන් වැදගත් ආලෝකයක් සපයනු ඇත.☐

අතුල විතානගේ


© JDS