ජූලි මිනිස් සංහාරයේ කතාව III: ජයවර්ධන පාලනයේ විෂඝෝර දෙමළ විරෝධය


ජූලි මිනිස් සංහාරයේ කතාව I: ''කඩවල්වල ලොකු යකඩ දොරවල් කැඩුවේ හමුදා ට්‍රක් එකකින්''
ජූලි මිනිස් සංහාරයේ කතාව II: නාග විහාරයට කිසිදු හානියක් නැතැයි විහාරාධිපති කියයි

ලංකා කොමියුනිස්ට් පක්ෂයේ (මාඕවාදී) ප්‍රධාන ලේකම්වරයා වූ නාගලිංගම් ශන්මුගදාසන් විසින් 1983 ජූලි මාසයේ ඇවිළ ගිය දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ප්‍රහාරයන්ගෙන් තුන් මාසයක් ඇවෑමෙන් ලියන ලද Sri Lanka: the story of the holocaust මැයෙන් වූ මෙම ලිපිය මුල්වරට පළ වූයේ Race & Class සඟරාවේ 1984 ගිම්හාන කලාපයේ ය. දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ජූලි ප්‍රහාරයන්ට හතළිස් වසක් සම්පූර්ණ වන මේ වසරේදී මෙම ලිපිය සිංහල බසට පෙරළා පළකරනුයේ පළමු වරට ය.

පරිවර්තනය: සංජුලා ඕෂිණී පීටර්ස්


ධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ, 1983 අගෝස්තු 12 වැනිදා Daily News පත්‍රයේ සම්මුඛ සාකච්ඡාවකදී 'සිංහල කර්මාන්තකරුවන්ගේ, ව්‍යාපාරවල සහ වෙළඳුන්ගේ කොඳු නාරටි කඩා දැමූ ප්‍රතිපත්ති අනුගමනය කිරීම හරහා දේශීය කර්මාන්තය විනාශ කිරීම පිළිබඳව' නැසීගිය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවලට චෝදනා කළේය. ඔහුට අනුව ජනසතු කිරීමට ඔවුන් ගත් සෑම පියවරක්ම සිංහල ව්‍යවසායකයා අඩපණ කළේය. ඇත්ත වන්නේ එහි ප්‍රතිලෝමය යි. රාජ්‍ය විසින් ආර්ථිකය නියාමනය කිරීම වැඩිවීමත් සමඟ විශාල සිංහල ව්‍යවසායක ස්ථරයක නැඟ ඒමට හිතකර තත්ත්වයක් සපයන ලද්දේ 1956 - 77 කාල පරිච්ඡේදය තුළ ය. මෙම පන්තියට හිමි වූ රාජ්‍ය අනුග්‍රහය ඉවත්කර ඔවුන්ගේ තත්ත්වය නරක අතර හරවනු ලැබුවේ 1977 දී හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයේ නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය විසිනි. දෙමළ ජනයාගේ නිෂ්පාදන ව්‍යවසායන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මෙම අංග විසින් සපයන ලද නායකත්වය හේතුවෙන් සිදු වූ බවට ඇතැම්හු තර්ක කරති.

විශේෂයෙන්ම එක් කැබිනට් අමාත්‍යවරයෙක් වූ සිරිල් මැතිව්, දකුණ තුළ දෙමළ ජනයාගේ ආර්ථික පදනම මුලිනුපුටා දැමීම පමණක් නොව, සිංහල ජනයා වෙනුවෙන් උතුරු සහ නැගෙනහිර සියලු දෙමළ ඉඩම් සම්පූර්ණයෙන් අත්පත් කරගැනීම ද ඉලක්ක කළ විෂඝෝර දෙමළ විරෝධී ව්‍යාපරයක් මෙහෙයවීය. මෙම වර්ගභේදවාදී කියාපෑම්වලට සහාය පිණිස ආණ්ඩුවේ වියදමෙන් මුද්‍රණය කළ උග්‍ර දෙමළ- විරෝධී 'කවුද කොටියා?', 'සිහලුනි බුදුසසුන බේරා ගනිව්!' වැනි පුස්තිකා සහ පත්‍රිකා සිය දහස් ගණනක් භික්ෂු, තරුණ, ශිෂ්‍ය සහ කම්කරුවන් ආදී සිංහල සමාජයේ සියලු ස්ථර අතර නොමිලේ බෙදා හරින ලදී.

සිංහල ජනයා වෙනුවෙන් දෙමළ ඉඩම් අත්කර ගැනීමේ අදහස කිසිවකු විසින් බැරෑරුම්ව නොසළකනු පිණිස, මැතිව්ට මේ සඳහා විශේෂිත ක්‍රමවේදයක් තිබූ බව සඳහන් කිරීම අවශ්‍ය ය. දැන් හින්දු සිද්ධස්ථාන බවට හරවා නම් වෙනස් කරන ලද උතුරු නැගෙනහිර පෙර තිබූ බෞද්ධ සිද්ධස්ථාන බවට පවසන ස්ථාන ඔහු විසින් සොයාගෙන තිබේ. එම ස්ථාන නැවත ලබාගෙන ඒවා බෞද්ධ සිද්ධස්ථාන සහ ආරාම ලෙස ඒවායේ මුල් තත්ත්වයට පත් කිරීමට ඔහුට අවශ්‍ය ය.

සිරිල් මැතිව්ගේ භූමිකාව

සැලසුම අතිශයින් සරල ය. මේ සැලැස්ම වනාහී මෙම බෞද්ධ සිද්ධස්ථාන යැයි කියනු ලබන ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට හෝ නැත්නම් අලුතෙන් ගොඩනඟා, බෞද්ධ හිමි නමක් පදිංචි කරවා, ඔහුට සහ පන්සලට සහය පිණිස දායකයන් ලෙස සිංහල ජනයා 100ක් 200කගෙන් සමන්විත ජනපදයක් ස්ථාපිත කිරීම සඳහා ඔහුට අයත් ඇති කර්මාන්ත අමාත්‍යංශය යටතේ වූ ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව සහ වෙනත් සංස්ථා යොදා ගැනීම සඳහා ය. පෙනෙන පරිදි මෙම වැඩ කිරීමේ වැඩසටහන බොහෝ දුර ගොස් ඇත. කෝලහාලවලට පසුවද, මෑතකදී ගාල්ලේ දුටුගැමුණු විහාරය විවෘත කිරීමට පැවති රැස්වීමක දී අමාත්‍ය සිරිල් මැතිව් සිය අදහස් විවෘතව ප්‍රචාරය කළේය. මෙම කතාව 1983 සැප්තැම්බර් 29 වන දින Tamil Daily සහ වීරකේසරී යන පුවත්පත්වල පළ විය. සිය කතාව අතරවාරයේ සිරිල් මැතිව් උතුරු සහ නැගෙනහිර පෙර තිබූ බවට කියන විහාර අසළ ගොස් පදිංචි වන මෙන් සිංහල බෞද්ධයන් වෙත ආරාධනා කළේය. එවන් විහාර 276ක් තිබෙන බව ඔහුගේ තක්සේරුව විය.

ප්‍රචණ්ඩත්වයේ ප්‍රධාන උසිගැන්වීම කළේ මැතිව් බවට හඳුනාගැනීමට බොහෝ විදේශ මාධ්‍යයට දුෂ්කර නොවීය. London Economist පුවත්පතට කීමට තිබුණේ මෙවන්නකි:

‘දෙමළ ජනයා වැඩියෙන්ම බිය වූ, දෙමළ ජනයාට පරිභව කළ පුද්ගලයා වූයේ බලගතු කැබිනට් අමාත්‍යවරයෙක් වූ සිරිල් මැතිව් ය. පක්ෂයේ වෘත්තීය සමිතිය තුළ සිටි ඔහුගේ අනුගාමිකයන් හරහා සිංහල ප්‍රති-ත්‍රස්ත ක්‍රියා සැලසුම් කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත. ඔහු එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන නමුත් අවධාරණයෙන් තෝරාගත් කොටස් සහ 'දුෂ්ට කුමන්ත්‍රණය' ආදී සිරස්තල යටතේ එන ඔහුගේම කතාවලින් සමන්විත ලිපිගොනු සමඟ ඔහුගේ දෙමළ-විරෝධී කාර්යය ක්‍රියාවට නැංවීමය යයි. දෙමළ ජනයා සතුටුකිරීමෙ අනුවණකම සහ සාකච්ඡා කිරීමට කිරීමට පෙර ත්‍රස්තවාදය පොඩිපට්ටම් කර දැමිය යුතුය යන ඔහුගේ තර්ක ඔහුගේ සහෝදර අමාත්‍යවරු බොහොමයකගෙන්ද ප්‍රතිරාවය විය.’ (1986 අගෝස්තු 6)

කඩසාප්පු, නිවාස සහ වාහන ගිනි තැබීම සඳහා භාවිතා කළ පෙට්‍රල්, කර්මාන්ත අමාත්‍යවරයා වූ සිරිල් මැතිව්ගේ පාලනය යටතේ වූ ලංකා ඛනිජ තෙල් සංස්ථාව තුළ සුදු පැහැ ගැළුම්වලට පුරවා සූදානම්ව තිබූ බව සඳහන් කිරීම වටී.

India Today මූලාශ්‍රවලට අනුව, 'එක්සත් ජාතික පක්ෂයට අයත් බලගතු කම්කරු සංගමය වන 'ජාතික සේවක සංගමය' ද මෙහෙයවූ මැතිව්, විනාශ කිරීම සඳහා දෙමළ ජනයාට අයත් කඩ සාප්පු සහ කර්මාන්ත නිශ්චිතව පෙන්වා දීම සම්බන්ධයෙන් සෘජුව වගකිව යුතුය.' (1983 අගෝස්තු 31). බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂ (එනම් TULF) තහනම් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පාර්ලිමේන්තු විවාදයේදී ඔහු ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කළේය. 'සිංහලයෝ වසර ගණනාවක් තිස්සේ සිටියේ කළකිරීමෙනි. ඔවුන් වෙනස්කොට සැළකීමට ලක්වූහ. සිංහලයන් බහුතර වාර්ගිකයන් නම් ඔවුන්ට බහුතරය වීමට නොහැක්කේ ඇයි?'

India Today තවදුරටත් මෙසේ වාර්තා කරයි:

'මැතිව්, ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි පිරිසකගෙන් සමන්විත වන්වා වූද, රැකියා හා ව්‍යාපාරවලදී දෙමළ ජනයාට සාපේක්ෂව සාම්ප්‍රදායිකව අවාසි සහගත තත්වයක සිටින්නාවූ ද පසුගාමි වහුම්පුර කුල ප්‍රජාවේ නායකයා ද වේ.'

මින් අවසන් කරුණ අසත්‍ය ය. මැතිව් දැඩි පන්ති විඥානයකින් හෙබි අයෙක් වූ බවට විවාදයක් නැත. එහෙත් වහුම්පුර ජනයා විසින් විඳ ඇති බවට කියන දුක්ගැනවිලි වනාහී සිංහලයන් වූ ගොවිගම ජනයා හේතුවෙන් මිස දෙමළ ජනයා හේතුවෙන් ඇති වූ ඒවා නොවේ. දෙමළ ජනයා කෙරෙහි විශේෂ වෛරයකට හේතුවක් නොතිබුණි.


Financial Times හි Johan Elliot විසින් 'කෝලහාල සම්බන්ධයෙන් කොළඹ බලගතු මගපෙන්වීමක් කළ බවට විශාල ලෙස සැක කරන්නෙක්' ලෙස හඳුන්වා ඇති මැතිව්, කිසිදු සෘජු දායකත්වයක් දැක්වූ බව ප්‍රතික්ෂේප කරන බව සඳහන් කර ඇත. නමුත් සිංහල ජනයා දෙමළ ජනයාට පහර දුන්නේ ඇයිදැයි තමන්ට වැටහෙන බව ඔහු ප්‍රකාශ කළ බව ද වාර්තාව තවදුරටත් දක්වයි. ' "සිංහල ජනයාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය අතර ඔවුන් පාලනය තමන් අතට ගත්හ. රජය සමඟ නොව, දෙමළ කොටින් සමඟ වඩා එකඟ වන බවට ජයවර්ධන මහතා විශ්වාස කරන දෙමළ පාර්ලිමේන්තු පක්ෂය වන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ එකඟතාවයකට පැමිණීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔහුගේ රජය ඕනෑවට වඩා දුර ගොස් ඇත."

ඉන්දියානු සම්බන්ධය*

එක්සත් ජාතික පක්ෂය 'කෝලහාල' පසුපස රුසියානු බලවේගයක අවතාරයක් මතු කිරීමට දරන ලද උත්සාහයේදී වෑයම් කළේ - විශේෂයෙන් ඇමරිකානු එක්සත් ජනපදය ඇතුළු බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අනුකම්පාව සහ අනාගත ඵලප්‍රයෝජන ලබාගැනීම පමණක් නොවේ. එය ශ්‍රී ලාංකික සහ ඉන්දියානු සම්භාවයක් සහිත දෙමළ ජනයාට විවෘතවම අනුකම්පාව පළ කළ ඉන්දියාව පැරදවීමට ගත් පියවරක් ද විය.

1983 සැප්තැම්බර් 15 වැනිදා, India Today එය වාර්තා කරන්නේ මෙසේය:

'එක්සත් ජනපදයෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හදිසි යුධ ආධාර ලබා ගැනීම සඳහා වන ජයවර්ධනගේ ඉල්ලීමට ලැබුණ ප්‍රතිචාරය වූයේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ 'බලපෑම් ක්ෂේත්‍රය'ට අයත් වන බවට වන පණිවිඩය යි. මෙම පණිවිඩය සිය මව් රටට ගෙනයන ලද්දේ අගෝස්තු 8 වනදා හදිසියේ සය මසක නිවාඩුවෙන් පෙරළා පැමිණ, එක් දිනක් තුළ ජයවර්ධනව සිව් වතාවක් හමුවී තම අසල්වාසීන්ගෙන් උදව් ලබාගන්නා ලෙස ඔහුට උපදෙස් දුන් එක්සත් ජනපද තානාපති ජෝන් රීඩ් විසිනි. ඉන්පසු ජයවර්ධන උදව් ලබාගැනීම සඳහා පාකිස්ථාන ජනාධිපති සියා-උල්-හක් ට දුරකතනයෙන් ඇමතුවේ ය. එහෙත් සියා පසුබෑ අතර පසුව ශ්‍රී ලංකාවේ අසාමාන්‍ය ඉල්ලීම පිළිබඳව ගාන්ධි මහත්මිය දැනුවත් කළ බව India Today වෙත දැනගැනීමට ලැබී ඇත.'

විශ්වාසනීය මූලාශ්‍රවලට අනුව, කෝලහාලවලට පෙරාතුව ශ්‍රී ලංකා රජය සහ එහි ජනමාධ්‍ය විසින් ඉන්දීය විරෝධී මහජන විරෝධයක් ගොඩනැඟූ විට, - මරණ පරීක්ෂණයකින් තොරව මළසිරුරු මිහිදන් කිරීමට සන්නද්ධ හමුදාවන්ට බලය දුන් ශ්‍රී ලංකාවේ මෑතකාලීන හදිසි රෙගුලාසි සම්බන්ධයෙන්ද ඉන්දියාව කනස්සල්ල පළකර තිබුණි - ඉන්දියානු විදේශ කාර්යාලය ඉක්මණින් ක්‍රියාත්මක විය. සියලු බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ හමුවක් කැඳවා, ශ්‍රී ලංකාව ඉන්දියාව මැදිහත් වන බවට චෝදනා කර එම රටවලින් මිලිටරි හෝ වෙනත් සහය බලාපොරොත්තු විය හැකි බවත් ඉන්දියාවේ සහභාගීත්වයෙන් තොර එවැනි ඕනෑම සහය ලබාදීමක් ඉන්දීය-විරෝධී ලෙසට ඉන්දියාව සළකන බවත් ඔවුන්ට පැවසූ බව වාර්තා වේ. එම නිසා ශ්‍රී ලංකාව විදේශ බලවතුන්ගෙන් මිලිටරි සහය ඉල්ලා සිටි විට (මෙය ප්‍රතික්ෂේප කරනු ලැබුවත්) එය ප්‍රතික්ෂේප කරන ලදී. ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශ්‍රී ලංකා රජයේ ක්‍රියාමාර්ග වැළැක්වීය.

ශ්‍රී ලංකාවේ වර්ගභේදවාදී ගැටලුවෙහි ඕනෑම විසඳුමක් සඳහා ඉන්දියානු 'සම්බන්ධය' වැදගත් වී ඇති බව මේ ලියන අවස්ථාව වනවිට වඩ වඩා පැහැදිලි වෙමින් පවතියි. පෙර වාර්ගික/ වර්ගභේදවාදී ප්‍රචණ්ඩත්වය සහ 1983 ප්‍රචණ්ඩත්වය අතර ඇති ප්‍රධාන වෙනස්කම වන්නේ ඉන්දියානු දෙමළ ජනයා විසින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා වෙත විවෘතව අනුකම්පාව පළ කිරීම යි. මෙම කණ්ඩායම් දෙක පොදු භාෂාවකට සහ පොදු සංස්කෘතියකට හිමිකම් කියති. අවශෝෂණය කරගැනීම පිළිබඳව සිංහල ජනයාගේ භීතිය පැනනඟින්නේ මෙම කලාපය තුළ (තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව එකට සැළකූ විට) සිංහල කතා කරන ජනතාවට වඩා දෙමළ කතා කරන ජනතාව විශාල පිරිසක් සිටීම (තමිල්නාඩුවේ ජනගහණය මිලියන 53 කි) යන කරුණෙනි.

එහෙත්, ඓතිහාසිකව, ශ්‍රී ලාංකික දෙමළ සහ දකුණු ඉන්දීය ජනයා අතර එතරම් අන්තර් මිශ්‍රනයක් සිදු වී නොමැත. ඇත්ත වශයෙන්ම ඉන්දියානු දෙමළ ජනයා සහ ශ්‍රී ලාංකික දෙමළ ජනයා අතර සිදුවනවාට වඩා අන්තර් විවාහ සිංහල ජනයා සහ ශ්‍රී ලාංකික දෙමළ ජනයා අතර සිදු වේ. එහෙත් සිංහල ස්වෝත්තමවාදීන්ගේ විනාශයන් හේතුවෙන් මේ සියල්ල එක රැයකින් වෙනස් වී තිබේ. තමිල්නාඩුව සිසාරා ප්‍රකාශයට පත් වූ සහෝදරත්වය සහ සහෘද හැඟීම් විසින් කණ්ඩායම් දෙක එක් කරන ලදී. සිංහල භීතිකාව ස්වාර්ථ සාධන අනාවැකියක් බවට පත්වීමට තවමත් කල් තිබේ.

උතුරේ සන්නද්ධ තරුණයන්ට ද ඉන්දියානු සම්බන්ධය උපායමාර්ගික වැදගත්කමක් සහිත කාරණයක් බවට පත්ව ඇත. සිංහල සහ දෙමළ ජනයා අතර ඕනෑම විවෘත ගැටුමක දී දෙමළ ජනයාට ඇති විශාලතම දුබල බව වන්නේ ඔවුන්ට ඔවුන්ගේ ජනතාවගෙන් අඩක් ප්‍රාණ ඇපකරුවන් ලෙස සතුරු රටක අත්හැර ඒමට සිදුවීම යි. මෙය දුර්වල කරවන අවාසියකි. එහෙත් දැන් මෙය ඉන්දියාව වැනි විශාල බලවතෙකුගේ විවෘත අනුකම්පාවෙන් තුලනය කර ඇති බව පෙනේ.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට ඉන්දියාවේ දෙමළ ජනයා පළ කළ සහාය සුවිශේෂී ය. මුල සිටම තමිල්නාඩුවේ බොහෝ නගරවල දිනපතාම පාහේ විරෝධතා රැස්වීම් සහ උද්ඝෝෂණ පැවතුණි. බොම්බේ සහ දිල්ලි හි විවිධ පක්ෂවල මන්ත්‍රීවරු ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණවලට සහභාගී වූහ. තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය එම්.ජී. රාමචන්ද්‍රන් ශ්‍රී ලංකාවේ සිදුවීම් සම්බන්ධයෙන් ඉන්දියානු අගමැතිවරයා වෙත කනස්සල්ල පළ කිරීමට සර්වපාක්ෂික නියෝජිත කණ්ඩායමක් මෙහෙයවීය.

අගෝස්තු මස තමිල්නාඩුව පුරා සම්පූර්ණ එක් දින මහා වැඩ වර්ජනයක් සහ හර්තාලයක් පවත්වන ලද අතර මධ්‍යම රජයේ සේවකයන්ට ඊට සහභාගී වීමට ගාන්ධි මහත්මිය විසින් අවසර දෙන ලදී. වැඩ වර්ජනයට මධ්‍යම ආණ්ඩුවේ, ප්‍රාන්ත ආණ්ඩුව සහ සියලුම දේශපාලන පක්ෂවල සහය ලැබුණි. එදින තමිල්නාඩුව පුරා උපවාස, රැස්වීම් සහ උද්ඝෝෂණ පැවැත්වුණු අතර, බොහෝ නගරවල ජනාධිපති ජයවර්ධනගේ අනු රූ ගිනි තබන ලදී. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පාමින් තමිල්නාඩුවේ දෙමළ පුද්ගලයන් ගිනිතබා ගැනීමේ සිදුවීම් තුනක් වාර්තා විය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා කෙරෙහි වඩාත්ම අවධාරණාත්මක සහයෝගය ලැබුණේ තමිල්නාඩුවේ විරුද්ධ පක්ෂය වූ දෙමළ මුන්නේත්‍ර කළහම් (DMK) සහ එහි නායකයා වූ, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට සහය පිණිස නව දිල්ලිය විසින් ප්‍රමාණවත් පියවර නොගැනීමට විරෝධය පාමින් පක්ෂයේ ලේකම්වරයා ද සමඟ ප්‍රාන්ත සභාවේ සිය ධූරයෙන් ඉල්ලා අස් වූ කරුණානිධි මහතා වෙතිනි. ශ්‍රී ලංකාවට ඉන්දියානු හමුදා යවන ලෙසට ඔහු දිගටම ඉල්ලා සිටියේය. නමුත් මධ්‍යම රජය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට කිසිදු ආකාරයේ මැදිහත්වීමක් සිදු කිරීමට එරෙහි තම ස්ථාවරය කිහිප වතාවක් නැවත නැවතත් අවධාරණය කරන අතරම, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳ සිය කනස්සල්ල සහ ඔවුන්ගේ නියෝජිතයන් සමඟ සිදු කරන සාකච්ඡා හරහා විසඳුමකට පැමිණීමේ අවශ්‍යතාවය දැඩිව අවධාරණය කළේය.

දෙමළ නියෝජනයට වැට

මේ අතර, මූල්‍යාධාර, උපදෙස්, අනුබල දීම හෝ සහය දීම මඟින් වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා ඉල්ලා සිටින හෝ උද්ඝෝෂණය කරන හෝ දිරිමත් කරන ඕනෑම පුද්ගලයෙක්ට දඬුවම් දීම සඳහා සකස් කරන ලද හයවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කඩිනමින් සම්මත කළේය. ශ්‍රී ලංකාවේ හෝ විදේශයක කිසිවෙක් එවන් රාජ්‍යයක් පිහිටුවීමට හෝ ඊට අනුබල දීමට හෝ උත්සහ කිරීම කළ නොහැකි ය. වරදකරුවන්ට ඔවුන්ගේ සිවිල් අයිතිවාසිකම් අහිමි වන අතර ඔවුන් අනාථයන් නොවන අන්දමට ඔවුන්ගේ නිශ්චල සහ චංචල දේපළ රාජසන්තක කිරීමට යටත් වනු ඇත. ඔහුට හෝ ඇයට සිය වෘත්තියේ නියැලීමට ඉඩ නොලැබෙනු ඇත. මෙම නීතිය සියලුම රජයේ හෝ සංස්ථා සේවකයන්ට සහ ව්‍යවස්ථාපිත ආයතන සේවකයන්ට අදාළ වනු ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පළාත් පාලන ආයතන සමාජිකයන් ඇතුළු මෙම නීතිය අදාළ වන සියලු දෙනා ඒකීය රාජ්‍යයකට පක්ෂපාතී බවට දිවුරුමක් දිය යුතුය.

මොස්කව් හිතවාදී තනි මන්ත්‍රීවරයා** ඡන්දය ප්‍රකාශ නොකිරීමෙන් ප්‍රශ්නය මගහැරීම ඇතුළුව, විරුද්ධත්වයකින් තොරව පනත සම්මත විය. පක්ෂය තහනම් කර තිබීම හේතුවෙන් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට හමුවිය නොහැකි වීම නිසා ඔහුට ස්ථාවරයක් ගැනීමට නොහැකි විය. මොනතරම් නිදහසට කරුණක්ද!

TULF මන්ත්‍රීවරු - සමහරවිට ආරක්ෂක හේතු නිසා - සැසිවාරවලට සහභාගී නොවූහ. TULF සභාපතිවරයාගේ කොළඹ නිවස සහ මහ ලේකම්වරයාගේ නිල නිවස කොල්ල කා ගිනි තබා තිබුණි. TULF සභාපතිවරයාගේ බිරිඳට සහ දියණියට ජීවිත බේරා ගැනීමට තාප්පයකින් පැන යාමට සිදු විය. මේ සන්දර්භය තුළ TULF මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට සහභාගී වීම සඳහා ප්‍රවාහන සහ ආරක්ෂක පහසුකම් සැපයීමට ජනාධිපති ජයවර්ධන කළ යෝජනාව අර්ථ විරහිත ය. අනිත් අතට, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනාම - ඔවුන්ට ඔහුට ආරක්ෂාව සැපයිය නොහැකි බව පවසා - තමාට කොළඹ ගමන් නොකරන ලෙසට අවවාද කළ බවටත් TULF නායකයා විසින් ජනාධිපතිවරයාට ලියන ලද 1983 අගෝස්තු 10 දින ලිපියෙහි සඳහන් කර ඇත. මෙකී පනතෙන් සිංහල ස්වෝත්තමවාදය සනසනවා හැර අන් කිසිවක් සිදු නොවේ.☐

* මෙම ලිපිය ලිවීමෙන් පසුව මෙහි වාර්තා කර ඇති බොහෝ දේශපාලනික සහ රාජතාන්ත්‍රික විචල්‍යතා තවදුරටත් සිදු වූ වර්ධනයන් හේතුවෙන් වෙනස් වී ඇත. කෙසේ වෙතත් වඩා පුළුල් අදහසක් සඳහා සහ 1983 ජූලි - අගෝස්තු කාලය තුළ සිදු වූ සිදුවීම්වලට අදාළ සන්දර්භයක් සපයන නිසා අපි සාකච්ඡාව පවතින ආකාරයටම තබා ගනිමු. - Race & Class සඟරාවේ සංස්කාරක සටහනක්

** ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවේගම

(මතු සම්බන්ධයි)

එන්. ෂන්මුගදාසන්


© JDS