‘ගොතන ලද කතා’ යොදාගෙන මුස්ලිම්වරුන් දෙදෙනකුට ත්‍රස්ත නඩු පවරයි

 කිත්සිරි විජේසිංහ විසිනි


ධිකරණය හමුවේ අභියෝගයට ලක්වී තිබෙන පාසල් දරුවන් පිරිසකගේයයි කියන ප්‍රකාශ කිහිපයක් පදනම් කොට ගෙන මුස්ලිම් ජාතික ප්‍රකට මානව හිමිකම් නීතිඥවරයකුට එරෙහිව බරපතල අපරාධ චෝදනා ගොනු කොට ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් නීතිඥවරයාට සහ මුස්ලිම් විදුහල්පතිවරයකුට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට යොදාගෙන ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් ප්‍රතික්ෂේප කොට තිබෙන ප්‍රකාශයන් කිහිපයකි. එම ප්‍රකාශ ‘ගොතන ලද කතා’ බව නීතිඥවරු පවසති.

නීතිඥ හිජාස් හිස්බුල්ලාහ්ට සහ පුත්තලම අල් සුහාරියා මද්‍රසා පාසලේ විදුහල්පති සලීම් ඛාන් මොහොමඩ් ශකීල්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුත්තලම මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන ලද බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙන ලදී.

''ඊශ්‍රායලයේ ක්‍රිස්තියානි කට්ටිය අල්ලන් ඉන්නේ අපේ පල්ලි, ලංකාවේ කතෝලික අයට ගැහුවොත් තමයි ඒ කට්ටිය බය වෙන්නේ යනුවෙන් පවසා, දෙපිරිසක් අතර යුදමය ජවනිකා අඩංගු වීඩියෝ පටයක් අල් සුහාරියා මද්‍රසා පාසලේ සිසුන්ට පෙන්වා ආගමික කණ්ඩායම් අතර දුශ්චේතනාවන් හෝ එදිරිවාදිකම් හැඟීම් ඇතිවීමට සලස්වන්නා වු දේශනාවන් පැවැක්වීම සම්බන්ධයෙන් හිස්බුල්ලාහ් යන චූදිත ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බවට චෝදනා ඉදිරිපත්ව තිබෙනවා,'' යි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න පසුගිය සතියේ මාධ්‍යයට පවසා තිබුණි.

ළමුන් නොකී ප්‍රකාශ

නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කොට තිබෙන චෝදනාවන්ට පාදක වී තිබෙන්නේ අධිකරණය හමුවේ ප්‍රතික්ෂේප වී තිබෙන පාසැල් ළමුන් පිරිසකගේ ප්‍රකාශ කිහිපයකි.

අල් සුහාරියා පාසලේ සිසුන් දස දෙනකු විසින් නීතිඥ හිස්බුල්ලාහ්ට සහ එම පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව එම ප්‍රකාශ කරන ලදැයි රහස් පොලිසිය පවසයි.

දෙමාපිය භාරකාරත්වයකින් තොරව බලහත්කාරයෙන් රැගෙන ගොස් රඳවා තබා ගනිමින් විවිධ මානසික බලපෑම් සිදුකළ රහස් පොලිසියට තමන් එවැනි කිසිදු ප්‍රකාශයක් නොකළ බව ළමුන් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට පවසා තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බලහත්කාරයෙන් ප්‍රකාශ ලබා ගත් ළමුන් දස දෙනාගෙන් දෙදෙනෙක් පසුගිය වසරේ ජූලි මාසයේදි කොළඹ කොටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබා දී තිබුණි. එය එදිනම විකෘති කොට ළමුන් නීතිඥවරයාට එරෙහිව ලබාදුන් ප්‍රකාශයක් යැයි හුවා දක්වමින් මාධ්‍ය විසින් ප්‍රචාරය කර හරින ලදි.

ළමුන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින නීතිඥවරුන් විසින් එකී සාවද්‍ය මාධ්‍ය වාර්තා අධිකරණයේ අවධානයට ලක් කිරිමෙන් අනතුරුව කොළඹ කොටුව එවකට සිටි ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය විවෘත අධිකරණය හමුවේ මෙසේ ප්‍රශ්න කරමින් පසුගිය වසරේ ජූලි පළමුවන දින කොළඹ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවනු ලැබු ලිඛිත නියෝගයේ දැක්වෙන්නේ "මෙම ප්‍රකාශයන් දෙනු ලබන්නේ බාල වයස්කාර දරුවන් බැවින්ද, ඒම ප්‍රකාශවලින් ළමුන්ටද නඩුවේ විමර්ශනවලටද හානි සිදුවිය හැකි බැවින් ඒම ප්‍රකාශ මාගේ නිල මැදිරියේදි සටහන් කර ගන්නා ලදි. එහි තේරුම ඒවා ප්‍රසිද්ධ වීම සිදු නොවීම සඳහා එලෙස සටහන් කර ගැනීම සිදු කරන ලද බවයි. නිල මැදිරියේ සටහන් කර ගැනීමෙන් අදහස් වන්නේ එම ප්‍රකාශවල ඇති කරුණු වෙනත් පාර්ශවයන්ට දැන ගැනීමට අවස්ථාව නොලැබෙන ආකාරයෙන් ක්‍රියා කිරීම වන අතර එසේ සටහන් කර ගන්නා ලද ප්‍රකාශවල ඇති කරුණු මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කරන්නේ නම් ඒසේ ඒම ප්‍රකාශ නිල මැදිරියේදි සටහන් කර ගැනීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ඇති නොවන" බව ය.

''ඒ අනුව ඒ අනුව මෙලෙස ඒම ප්‍රකාශවල ඇති කරුණු මාධ්‍යයට ප්‍රසිද්ධ වීමෙන් ඒම ප්‍රකාශ නිල මැදිරියේදී රහසිගතව සටහන් කර ගැනීමේ පරමාර්ථ ව්‍යවර්ථ වන අතරම, තවදුරටත් යම් කෙනකු එම ප්‍රකාශවල ඇති කරුණු නොවන වෙනත් කරුණු මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ නම් එයින් බොහෝ පාර්ශවයන්ට අගතිගාමි තත්ත්වයක් ඇති වේ. විමර්ශනයන්ටද, සැකකරුවන්ටද අගතිගාමි තත්ත්වයක් ඇති වේ. මේ අනුව මෙම අධිකරණයේ නිල මැදිරියේදි සාක්ෂිකරුවන් විසින් කරනු ලබන ප්‍රකාශවල සඳහන් කරුණු මාධ්‍යයට හෙළිදරවු වීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කරමි''යි අදාළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

නීතිපතිගේ චෝදනා අභියෝගයට

නීතිපතිවරයා විසින් එක් ළමයකුගේ ප්‍රකාශයක් පමණක් පදනම් කොට ගෙන නීතිඥ හිස්බුල්ලාහ්ට සහ මොහොමඩ් ශකීල්ට එරෙහිව අධි චෝදනා ගොනු කොට තිබුණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලට ලක්වු එම ළමුන් දෙදෙනා ඇතුළු ළමුන් සිවු දෙනකු රහස් පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කොට කොට තිබෙන්නේ ප්‍රකාශ සටහන් කරගත් නිලධාරීන් විසින් තමන්ව දෙමව්පිය, භාරකාරත්වයෙන් තොරව බලහත්කාරයෙන් රැගෙන ගොස් බලපෑම් කොට ප්‍රකාශ සටහන් කරගත් බව පවසමිනි. රහස් පොලිසිය නගන චෝදනා ප්‍රතික්‍ෂේප කොට ඇති අල් සුහාරියා පාසලේ ළමුන් නිශ්චිතව කියා තිබෙන්නේ නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් හෝ පාසලේ විදුහල්පතිවරයා හෝ තමන්ට අන්තවාදි දේශන පවත්වා, අවි පුහුණුවක් ලබා නොදුන් බවකි.

රහස් පොලිසිය විසින් ලබාගත් ප්‍රකාශයන් අධිකරණයක් හමුවේ අභියෝගයට ලක්ව තිබෙන අවස්ථාවක, එසේම එම කරුණුම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ද මූලික අයිතිවාසිකම් කඩ කිරීමේ පෙත්සම් ලෙස විභාගයට ගැනීමට නියමිතව ඇති විටෙක අදාළ ප්‍රකාශ මත පදනම්ව නීතිපතිවරයා විසින් නීතිඥ හිස්බුල්ලාහ්ට සහ අල් සුහාරියා පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව අධි චෝදනා ලෙස යොදා ගැනීමේ නීතිමය පදනම කුමක්දැයි නම හෙළි නොකිරීමේ පදනම මත ජේඩීඑස් වෙත අදහස් පළ කළ නීතීඥයකු ප්‍රශ්න කර සිටියේය.

"නීතිපති දෙපාර්තමේන්තුව මේ චෝදනා ගොනු කරලා තියෙන්නේ කිසිම නීතිමය පදනමක් නැතුව, ද්වේශ සහගතව. මේක පැහැදිලිවම දේශපාලන පළිගැනීමක්. බාලවයස්කාර දරුවෝ නොකියපු දෙයක, කියපු දේවල් විදිහට, සාක්ෂි හැටියට අරන් නීතිපතිවරයා, රටේ පිළිගත් නීතිඥවරයෙකුට බොරු චෝදනා එල්ල කිරීමේ යුක්තිය මොකක්ද?'' යැයි එම නීතිඥවරයා ප්‍රකාශ කළේය.

''ළමයි ඉතාම පැහැදිලිව කියනවා සීඅයිඩී ය එයාලාව බය කරලා කඩදාසිවල, සිංහලෙන් යම්, යම් දේ ලියලා ඒවාට අත්සන් ගත්ත බව,''යි රහස් පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙන ළමුන් සිවු දෙනාගේ නීතිඥවරයා ලෙස කටයුතු කරන නුවන් බෝපගේ ජේඩීඑස් සමඟ කීය.

''නීතිඥ හිජාස් හිස්බුල්ලාහ්ව අත්අඩංගුවට අරන් දවස් කිහිපයකට පස්සේ තමයි සීඅයිඩී ය මේ ළමයින්ගේ ගෙවල්වලට ගිහින් ප්‍රකාශ අරන් තිබුණේ. එතනදි හිජාස්ගෙ යි තවත් තවත් කිහිප දෙනෙක්ගෙයි ඡායාරූප, ළමයින්ට පෙන්නලා ඒ අයව අඳුනනවද කියලා අහලා තිබුණා. ළමයින්ට හිජාස් ගැන හෝ අනෙක් අය ගැන විශේෂ හැඳුනුම්කමක් තිබිලා නෑ. අනෙක මද්‍රසා පාසලේ අවි පුහුණුව දිලා තියනවාය කියන චෝදනාවත්, විඩියෝ පෙන්නලා ආගමික අන්තවාදය ඇතිවන ආකාරයේ දේශන පවත්වලා තියෙනවාය කියන එකත් සම්පූර්ණයෙන්ම බොරු. මම එහෙම කියන්නේ හේතු ඇතුව. එකක් තමයි පාසලේ විදුහල්පතිවරයා ප්‍රමුඛ පාලක මණ්ඩලයත් ඉතා පැහැදිලිවම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පාසලක් ඇතුලේ ඔය කියන විදිහේ අවි පුහුණුවක් ගුරු මණඩලයට හොරෙන් දෙන්න පුලුවන්ද? පුත්තලමේ පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රිවරයෙක් තමයි මද්‍රසා පාසලේ භාරකරු හැටියට ඉන්නේ. අවි පුහුණු චෝදනාව ඇත්තක් නම් ඇයි සීඅයිඩී ය තවමත් ඒ කිසිම කෙනෙක්ගෙන් ප්‍රශ්න කරලාවත් නැත්තේ?''

‘කුඩු ටිකක් දාලා හරි ඇතුළට දානවා’

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලට ලක්වූ මෙම ළමුන් සියළු දෙනා වයස අවුරුදු 8,10 සහ 12 වයස් සීමාවේ සිටින මෝදර, මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිව සිටින අඩු වරප්‍රසාදලාභී පවුල්වල සාමාජිකයන් වන අතර, මෝදර ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයෙන් කර ඇති ඉල්ලිමකට අනුව මෙම ළමුන් මද්‍රසා පාසලේ අධ්‍යාපනය සඳහා යොමු කර ඇත.

නීතිඥ නුවන් බෝපගේ පවසන්නේ ළමුන් පුත්තලම මද්‍රසා පාසලට ඇතුළත් කොට අධ්‍යාපනය ලබා දීමෙන් අනතුරුව ඉංග්‍රිසි, ගණිතය සහ විද්‍යාව වැනි ප්‍රමුඛ විෂයන් හැදැරීම සඳහා කොළඹ ප්‍රදේශයේ වෙනත් පාසල්වලට මාරු කර යවා ඇති බවකි. එසේම අවස්ථා කිහිපයකදීම රහස් පොලිස් නිලධාරින් මෙන්ම, මෝදර පොලිසියේ නිලධාරින්ද එම ළමුන්ගේ දෙමාපියන් හමුවී ''පොලිසිය පවසන පරිදි කටයුතු නොකළහොත් වැඩ වරදිනු ඇති බවද, කුඩු ටිකක් දාලා හරි ඇතුලට දාන බවට'' තර්ජනය කළ බවද ළමුන්ගේ දෙමාපියන් නීතිඥවරුන් සමඟ පවසා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පාසල් දරුවන්ව බිය වද්දා නීති විරෝධීව ප්‍රකාශ ලබාගෙන ඇති බව බවසා එයට එරෙහිව නීතිඥ සහාය ලබා ගැනීම වෙනුවෙන් මැදිහත්ව කටයුතු කොට ඇති මෝදර ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වු මොහොමඩ් රිකාශ්ද මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට දින කිහිපයකට පෙර රහස් පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වන විටත් ඔහුටද නීතිඥ සහායක් හෝ ලබා ගැනීමට පවා ඉඩ නොදෙමින් රැඳවුම් භාරයට පත් කොට තිබේ.

කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් මස 14 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බව පවසමින් නිවසේ රැඳී සිටින්නැයි දෙන ලද ව්‍යාජ දුරකතන ඇමතුමකින් පසුව රහස් පොලිසියේ නිලධාරින් විසින් සිය නිවසේදී අත්අඩංගුවට ගන්නා නීතිඥ හිජාස් හිස්බුල්ලාහ්, පසුගිය ඔක්තෝබර් 14 දින දක්වා සය මසක කාලයක් අධිකරණයක් හමුවට ඉදිරිපත් නොකොට රැඳවුම් නියෝග පමණක් ලබා ගනිමින් රහස් පොලිසිය භාරයේ තබා ගන්නා ලදී.

අදාළ රැඳවුම් නියෝගය මෙම වසරේ පෙබරවාරි 27 දින දක්වා දිර්ඝ කරන ලද අතර, එයින් පසුව නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවසර ලබා දෙනු ලැබුවේ රහස් පොලිස් නිලධාරින්ගේ විවිධ බාධා මධ්‍යයේ ය. එහිදී නීතිඥ හිස්බුල්ලාහ් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය අධිකරණය විසින් නියෝග කරන ලදී.☐

© JDS