හිටපු නාවික ප්‍රධානියා බේරීමට උසාවිය "රණවිරු" පදක්කම බාරගනී

 

කිත්සිරි විජේසිංහ විසිනි


පරාධ ගණනාවක් කළ බවට සැකකෙරෙන හිටපු නාවික හමුදා ප්‍රධානියකු "රණ විරුවකු" ලෙස පිළිගනිමින් රටේ ඉහළම අධිකරණය ඔහු කිසිවිටෙකත් අත් අඩංගුවට ගැනීම තහනම් කර තිබේ.

කප්පම් මුදල් ලබා ගැනීමේ අරමුණින් පුද්ගලයන් එකොලොස් දෙනකු නාවික හමුදාවේ විශේෂ බුද්ධි ඒකකයේ සමාජිකයන්  විසින්  පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන ඇසුරින් හෙළිදරවු වී  ඇති තොරතුරුවලට අනුව එම අපරාධයේ සැකකරුවකු ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුදානම් වන විට, විනිසුරු තුන් කට්ටුවක් විසින් එය වැළැක්වීමට ක්‍රියාකර ඇත.

පෙර නෑසූ විරූ ආකාරයේ නඩු තීන්දුවක් බුවනෙක අලුවිහාරේ, විජිත් කේ මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්  විසින්  ප්‍රකාශයට  පත් කරන ලද්දේ තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අද්මිරාල් කරන්නාගොඩ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් පසුව ය.

අදාළ පෙත්සම මාර්තු 7 වැනි දින,  විනිසුරු මඩුල්ල හමුවේ  කැඳවනු ලැබු විට පෙත්සම්කාර හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ රොමේෂ් ද සිල්වා දැඩිව  පවසා සිටියේ පසුගිය යුද සමයේ නාවික හමුදාපති ධූරය දැරූ  සිය සේවාදායකයා, යුද ජයග්‍රහණය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් දැරූ අයකු බව ය.

ඔහුට විරුද්ධව නගන චෝදනා ව්‍යාජ ලෙස හැඳින්වූ ජනාධිපති නීතිඥවරයා, එක්සත් ජාතීන්ගේ සංවිධානය, රාජ්‍ය නොවන සංවිධාන සහ ඇතැම් දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත කටයුතු කරන බවට ඔහු විසින් චෝදනා කෙරුණු  නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන පාර්ශ්වයන් ඊට වගකිවයුත්තන් ලෙස නම් කර සිටියේය.

උස්සා මැරීමේ රණවිරු වරම

සිය සේවාදායකයා වැනි අයට අවශ්‍ය නම්  යමකු පැහැරගෙන යන්නට හෝ ඝාතනය කර සඟවන්නට යුද සමයේ හැකියාවක් තිබු බව ද, රණවිරුවන් වන ඔවුන්ගේ ක්‍රියා කලාපයන් ප්‍රශ්න කරන්නට ඒ දිනවල කිසිවකුත් නොසිටි සේම අදටත්  එසේ කරන්නට කිසිවකුටත්  හැකියාවක් නොවන බව ද ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අවධාරණය කොට ඇති ජනාධිපති නීතිඥයා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවේ මෙවැනි "රණවිරුවකු" අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම "ජාතියට එරෙහිව  කරන අපරාධයක්" ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තරයේ සැළකිය යුතුව ඇති  බව ය.

පෙත්සම්කාර හිටපු නාවික හමුදාපතිවරයාගේ නීතිඥයාට ඔහු විසින්   ඉදිරිපත් කරන ලද කරුණු, කිසිදු විරෝධතා දැක්වීමකින් තොරව ඉදිරිපත් කරන්නට අවසර ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ  ත්‍රි පුද්ගල  විනිසුරු මඩුල්ල, හිටපු නාවික හමුදාපතිවරයා  අත්අඩංගුවට ගැනීම වළක්වමින් වාරණ නියෝගයක් පනවා එය අවසන් නියෝගය බවට ප්‍රකාශයට පත්කොට ඇත.

එම තීන්දුව අනුව හිටපු නාවික හමුදාපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබා දෙන කට උත්තරවලින් ඉදිරියේදි  කවර සාපරාධී කරුණක් හෙළිදරව් වුවද ඒ මත පදනම්ව ඔහු අත්අඩංගුවට ගැනීම තහනම් වන බව දිවයිනේ මුල් පෙළේ මානව හිමිකම් නීතිවේදියෙක් ජේඩීඑස් හා පැවසීය.

ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල සිය ඒකමතික තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අධිකරණය හමුවේ පවසා තිබෙන්නේ පෙත්සම්කාර  හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඔහුගේ පෙත්සමෙනුත්, ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද කරුණුත්  තමන් විසින් පිළිගන්නා බව ය.

වින්දිතයන්ට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණය

ජේඩීඑස් වෙත වාර්තාවන ආකාරයට මෙකී විනිසුරු මඩුල්ල පෙත්සම විභාග කොට තීන්දුව තීන්දුව ප්‍රකාශයට පත් කොට ඇත්තේ පැහැරගනු ලැබුවන් නියෝජනය කරමින් අධිකරණය හමුවේ ඉදිරිපත් වූ ජනාධිපති නීතිඥ ක්‍රිෂාන්ත වැලිඅමුණට කිසිදු කරුණු දැක්වීමක් කරන්නට  ඉඩ ලබා නොදෙමිනි.

නාවික හමුදාවෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද රාජීව් නාගනාදන්ගේ මව වන සරෝජනී නාගනාදන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ වැලිඅමුණ කරුණු දැක්වීමට සුදානම්වන සෑම අවස්ථාවකදිම "මේක රාජ්‍ය නොවන සංවිධානයක කාර්යාලයක් නෙමෙයි, ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ නිසා මෙතන ඔහුට කරුණු දක්වන්න ඉඩ දෙන්න බෑ," යනුවෙන්  ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා  දක්වා ඇති දැඩි විරෝධය කිසිදු ප්‍රතිවිරෝධයකින් තොරව විනිසුරුවරුන් විසින් පිළිගෙන තිබේ.

ඒ අනුව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට කිසිදු නෛතික කරුණු දැක්වීමකට ඉඩ නොදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

ත්‍රිකුණාමලය ගන්සයිට් භූගත සිර කඳවුරු පරිශ්‍රය පරීක්ෂා කිරීම සඳහා  ගිය එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමත්, ඔවුන් එහි රැගෙන ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනුත් විවේචනය කරමින් නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  පවසා ඇත්තේ "රණවිරුවන් දඩයම් කරන්නට සීඅයිඩිය එක්සත් ජාතීන්ගේ සංවිධානයට තොරතුරු සපයන ඒජන්තයෙක්" වී ඇති බව ය.

"යූ.එන් එකේ ගෑණු"

"සීඅයිඩීය ලෝකෙටම මේක පෙන්නන්න යනවා. කවුද මේ යූ.එන් එකේ ගෑණු? උන් යවන්න ඕනේ ඇෆ්ගනිස්ථානයට. ලංකාවට එන්නේ මොකටද? ග්වන්තනාමෝවලට නොයා උන් මෙහේ එන්නේ අපේ රණවිරුවෝ ගැන හොයන්නද?"  යනුවෙන් ජනාධිපති නීතිඥයා විමසා තිබේ.

එක්සත් ජාතීන්ගේ  විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් 2015 දී ත්‍රිකුණාමලය ගන්සයිට් කඳවුරු පරිශ්‍රය නිරීක්ෂණයට ගියේ උසාවි අවසරයක් ද ඇතුව වුවද රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ බව දැනුම් දී නොමැත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ එවකට සිටි ලේකම් චතුරාංගනි වාගීෂ්වර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බර්නාඩ් ඩුහයිම්ගේ නායකත්වයෙන් යුතු  විමර්ශන  කණ්ඩායමක් ත්‍රිකුණාමලය ගන්සයිට් කඳවුරු සංකීර්ණය නිරික්ෂණය සඳහා රැගෙන යන ලෙස ය.

අධිකරණ නියෝගයකින් තොරව එම ඉල්ලීම  ඉටු කළ නොහැකි බව පවසමින් පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා 2015 නොවැම්බර් පළමුවැනි දා ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරමින් ඒ සඳහා අධිකරණ අවසරය ඉල්ලා තිබේ.

නොවැම්බර් 14 සහ 20 අතර කාලය තුළ  එක්සත් ජාතීන්ගේ  විමර්ශන කණ්ඩායම ගන්සයිට් භූගත සිර කඳවුර විමර්ශනය සඳහා රැගෙන යන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ ඊට ප්‍රතිචාර වශයෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  නාවික කඳවුරේදි සත්ව ඇටකටු පෙන්වා ඒවා  මරා දැමුවන්ගේ බවට සනාථ කිරීම සඳහා අධිකරණ නියෝග මත කාබන් පරීක්ෂණයක්ද පවත්වා ඇතැයි නීතිඥ සිල්වා විසින් අධිකරණයේදී චෝදනා කර තිබේ.

මේ පිළිබඳව විමසිමේදි එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසුවේ අධිකරණ නියෝගයක් මත සිදුවුණු විමර්ශනයක් පිළිබඳව තොරතුරු වාර්තා කොට තිබියදීත්  ව්‍යාජ තොරතුරු පැවසීමට නීතිඥයාට ඉඩ ලැබුනේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් ඔහුට ලැබුණු අනිසි නිදහස නිසා බවයි.

"මේක සම්පූර්ණයෙන්ම බොරු කතාවක්," යැයි නම සඳහන් නොකරන බවට සහතික වූ ජේඩීඑස් සමග පොලිස් නිලධාරියා පැවසීය.

"යූඑන් එකෙන් ආපු නිලධාරින් ඇටකටු වගයක් පෙන්නලා ඒ මොනවද කියලා අපෙන් ඇහුව එක ඇත්ත. ඒ අයට තිබ්බේ සැකයක් විතරයි. මොකද එතන මිනිස්සුන්ව හිරකරන් ඉඳලා අතුරුදහන් කරපු තැනක්නේ. අපි ඒ බව ලිඛිත සටහන් තියාගෙන නීතිපති දෙපාර්තමේන්තුවෙන්  අවසර ඉල්ලුවා ඒ ඇටකටු ගැන වෝහාරික පරික්ෂණයක් කරන්න. විදේශීය නිරීක්ෂකයන්ගේ සැකය දුරු කරන්නයි අපි වෝහාරික පරික්ෂණයක් කරන්න අවසර ඉල්ලුවේ. වෝහාරික පරීක්ෂාව කියන්නේ කාබන් පරික්ෂණයක් නෙමෙයි."

රජයේ නීතිඥයන්ගේ මුනිවත

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් රණවිරුවන් දඩයම් කරන බවට  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවටද එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැඩිව කරුණු දක්වනු ලැබුවද, මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණ සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න ඒ කිසිවක් සම්බන්ධයෙන් විරෝධයක් දක්වා නැත.

ඔහු අධිකරණය හමුවේ පවසා තිබෙන්නේ "අපිට අවශ්‍ය මහාධිකරණය හමුවේ නඩු පවරන්න මිසක් අද්මිරාල් කරන්නාගොඩ අත්අඩංගුවට ගන්න නෙමෙයි" යනුවෙනි.

නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙන්ම නීති ක්ෂේත්‍රයෙන් ද ජේඩීඑස් වෙත වාර්තා වී ඇති තොරතරු අනුව  අද්මිරාල් කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි විශාල ප්‍රමාණයක් දැනටමත් ලැබී තිබේ.

මෙයට පෙර අවස්ථා කිහිපයකදිම මහේස්ත්‍රාත් අධිකරණය විසින්ද නියෝග කරනු ලැබුවේ සාක්ෂි ප්‍රමාණවත් වන්නේ නම් නීතිපති දෙපාර්තමේන්තුවේ විමසීමකින් තොරව සැකකරු අත්අඩංගුවට ගත හැකි බව ය.

සැකකරුවන්ට උසස්වීම්

විමර්ශනයකදි යමකු විසින් සිදුකර තිබෙන්නේ ඇප ලබාදිය නොහැකි වරදක් නම්, එම සැකකරු අනිවාර්යෙන්ම අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකාවේ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 109/05 වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන්ව ඇතැයි ද, එයට අනුව අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතුව ඇතැයි ද සිය අනන්‍යතාවය හෙළිදරවු නොකරන්නැයි ඉල්ලා සිටි එක් නීතිඥවරයකු ජේඩීඑස් හා පැවසීය.

කෙසේ නමුත් සැකකාර අද්මිරාල් කරන්නාගොඩ විසින් අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට ලබා දෙන කට උත්තර  පදනම්ව වුවද ඔහු අත්අඩංගුවට ගත නොහැකි තත්වයක් උදාවී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එයද වාරණය කොට තිබෙන බැවිනි.

මෙම අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණරත්න ප්‍රමුඛ සැකකරුවන් බොහෝ දෙනකු ඇප පිට නිදහස්ව සිටින්නේද සාක්ෂිකරුවන්ට බලපෑම් නොකිරීමේ ඇප කොන්දේසීයට යටත්ව මුත්, ඔවුන් සියළුම දෙනා උසස් වීම්ද සහිතව මේ වන විටත් සක්‍රීය නාවික හමුදා සේවයේ නිරතව සිටින බැවින් එහිම සේවයෙහි නියුතු සාක්ෂිකරුවන්ට තර්ජනයක් සහ බලපෑමක් එල්ල විය හැකි යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන භාර නිලධාරින් මෙන්ම නීතිඥවරුන්ද චෝදනා කරති. බොහෝමයක් සාක්ෂිකරුවන්ගේ අණ දෙන නිලධාරීන් මෙන්ම, ඒකක භාර නිලධාරින් වශයෙන් ද කටයුතු කරන්නේ ඇප පිට නිදහස්ව සිටින සැකකරුවන් ය.

ආරක්ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව ඉදිරිපත් කෙරෙන අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ නඩු පැවරුම්වලදී  ශ්‍රී ලංකාවේ අධිකරණ සහ නීති පද්ධතිය විසින් ඒ පිළිබඳව තැකීමක් නොකර නඩු කටයුතු පමා කිරීම මෙන්ම චෝදනාවලින් නිදොස් කොට නිදහස්කර හැරීමත්, එවැනි අපරාධ පිළිබඳව සිදුකෙරෙන විමර්ශනවලට දේශපාලන  නායකත්වයන්  බලපෑම් කිරීමත් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මෙන්ම ජාත්‍යන්තර සංවිධාන ද ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව කිහිප වරක්ම චෝදනා එල්ල කර තිබේ.

“වධහිංසා, බලහත්කාර අතුරුදහන් කිරීම්, යුද අපරාධ හෝ මානව වර්ගයාට එරෙහි අපරාධ වැනි කෙලෙසීම් සම්බන්ධයෙන් වගකිව යුතු බවට චෝදනා ලබන පුද්ගලයන් පිළිබඳව  විමර්ශනය කර, හැකි සෑම අවස්ථාවකදී ම, විශේෂයෙන්ම විශ්ව අධිකරණ මූලධර්මයන්ට අනුව  නඩු පවරන ලෙසත්, විශ්වසනීය දේශීය ක්‍රියාදාමයක් නැති තැන වගවීම නගා සිටුවීම සඳහා වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයන් පිළිබඳව  සොයා බලන ලෙසත්,” පසුගියදා නිමා වූ ජිනීවා සමුළුවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් ජාත්‍යන්තර බලවතුන්ගෙන් නැවත වතාවක් ඉල්ලා සිටියාය.

හිටපු නාවික හමුදාපතිවරයාව අත්අඩංගුවට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තහනම් කර තිබුණද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 20 වැනි දින,කොළඹ- අලුත්කඩේ මහේස්ත්‍රාත්වරිය වන සරණි පෙරේරා හමුවට ඉදිරිපත් කර ඇති  වැඩිදුර වාර්තාවකට අනුව, අද්මිරාල් කරන්නාගොඩ බී 2019/2009 දරණ අපරාධ නඩුවේ සැකකරුවකු ද වන්නේය. ඒ වැල්ලම්පිටිය සහ බොරැල්ල යන  ප්‍රදේශවල පදිංචිව  සිට ඇති  වඩිවේල් පක්කිලිසාමි ලෝගනාදන් සහ රත්නසාමි  පරමනාදන්  යන දෙදෙනාව නාවික හමුදා සුදුවෑන් කල්ලියක් විසින් පැහැරගෙන ගොස් ඔවුන් සතුව තිබු ලක්ෂ 10 කට අධික මුදල් සහ රන් භාණ්ඩත්,ජංගම දුරකතන දෙක මෙන්ම ඔවුන් දෙදෙනා ගමන් කරමින් සිටි වෑන් රථයද පැහැරගෙන  යාම පිළිබඳවයි.එම පැහැර ගැනීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇති වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ පැහැර ගැනීමට ලක්වන පුද්ගලයන් දෙදෙනා සතුව තිබී ඇති ජංගම දුරකතන දෙක වෙනත් සිම්කාඩ් පත් යොදා ගනිමින් ලුතිනන්  කමාන්ඩර් සම්පත් දයානන්ද සහ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් භාවිතා කර ඇති බව ය.

හිටපු නාවික හමුදාපතිවරයාට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නඩු තීන්දුව හා සමාන තීන්දු මගින් ජාත්‍යන්තර මැදිහත්වීමේ සහ යෝජනාවල යුක්ති සහගතභාවය නැවත වරක් සනාත කෙරෙන බව ශ්‍රී ලංකාවේ මුල්  පෙලේ ජනාධිපති  නීතිඥවරයෙක් ජේඩීඑස් හා ප්‍රකාශ කළේය‍ ☐

© JDS