#ශක්තික නිදහස් කරනු!

පරපුටු ආගමික දාමරිකත්වයට හා
සංස්කෘතික කුරුභාවයට එරෙහිව...

 

JDS සංස්කාරක මණ්ඩලය


ක්තික සත්කුමාර තරුණ සාහිත්‍යකරුවෙකි. කෙටිකතා ප්‍රබන්ධයෙහිද, කාව්‍යකරණයෙහි ද, සාහිත්‍ය කලා විචාරාදියෙහි ද කලක් තිස්සේ නියැලෙන ඔහු ස්වකීය නිර්මාණ සංගෘහිත කොට, කෘති වශයෙන් කලින් කල පළකොට තිබේ. එකී ප්‍රතිපදානයන් සඳහා ප්‍රාදේශීය හා ජාතික මට්ටමින් ද ඇගයීමට පාත්‍රව තිබේ.

2019 අප්‍රේල් 1 වැනිදා පොල්ගහවෙල පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් දෙනු වස් කැඳවනු ලැබූ ශක්තික අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු පොල්ගහවෙල මහේස්ත්‍රාත් හමුවට පමුණුවන ලද්දේ 'අර්ධ' මැයෙන් ඔහු විසින් ලියන ලද කෙටි කතාවක් මගින් බුදු දහමට අපහාස විණැයි එල්ල කරන ලද චෝදනා යටතේ ය. ඒ චෝදනාවන්ට පිටුබල සපයන ලද්දේ බෞද්ධ භික්ෂු පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලකි. 

තුන් මාසයකට වැඩි කාලයක් තිස්සේ කෑගල්ලේ බන්ධනාගාරගතව සිටින්නට ඔහුට සිදුව ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව, සාහිත්‍ය ප්‍රබන්ධකරණය නිසා සිර දඬුවම් විඳි ලංකාවේ පළමුවැන්නා බවට ශක්තික සත්කුමාර පත්ව තිබේ.

ශක්තික මුහුණ දී ඇති සැහැසි ඉරණම විසින්, ලංකාවේ ප්‍රකාශන නිදහස පිළිබඳ ගැටළුවකට වැඩිමනත් දෙයක් හඟවනු ලබයි. එක් අතකින් එය, ප්‍රකාශන නිදහසේ සීමාව තීරණය කිරීමෙහි අධිකාරී බලය බලෙන් පවරාගත්  සංස්ථාපිත ආගම්වල පරපුටු පූජක ගණයාගේ මුග්ධ දාමරික පිළිවෙත් සමග දේශපාලන බලාධිකාරයටත්, පොලිසියටත්, අධිකරණයටත් ඇති අපරාධ හවුල්කාරීත්වය පෙන්නුම් කරයි. අනෙක් අතින්, කොන්දේසි විරහිතව ශක්තිකගේ පූර්ණ නිදහස වෙනුවෙන් පෙනී සිටීම මඟහරිමින් ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස පිළිබඳ ගද්‍යයෙන් ද, පද්‍යයෙන් ද, වාචාල දෙඩවුමින් ද පෙළහැර පෑමෙහි ගිජු නාගරික සංස්කෘතික ගලිවර්ලාගේ දේශපාලන චපලභාවය විදාරණය කොට පෙන්වයි. 

ශක්තික සත්කුමාරගේ නිදහස සාහිත්‍ය රුචි අරුචිකම් පිළිබඳ විවාද නිමිත්තක් නොව, දේශපාලන ගැටළුවකි.  එය නොදැකීම දේශපාලන හා  සංස්කෘතික කුරුභාවයේ ප්‍රතිඵලයකි. 

කලා විචාරය සඳහා දණ්ඩ නීති සංග්‍රහය යොදාගත නොහැකි ය. "ශක්තිකට පූර්ණ නිදහස"  මූලධාර්මික හරයක් සහිත සටන් පාඨයක්  වන්නේ ඒ නිසා ය.☐


සබැඳි ලිපි:


2019.04.02    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මුතියක් යටතේ සාහිත්‍යවේදියා දඟගෙට


2019.04.06    සමකය: සත්කුමාර (කෙටි)කතා වස්තුව


2019.06.17    අචින්තාව: අයහපත් සමාජයක ‘යහපත් නීති’ හෙවත් ශක්තිකගේ ඉරණම


 2019.06.21    ලේඛක සත්කුමාරගේ නිදහස උදෙසා ජාත්‍යන්තර ව්‍යාපාරයක් දියත් කෙරේ


 2019.07.12     'ශක්තිකට තියෙන එකම ශක්තිය, එයාගේ නිදහස වෙනුවෙන් නැගෙන හඬයි" - යනූෂා ලක්මාලි