1983 කළු ජූලිය: ගාන්ධියම් ව්‍යාපාරයට එරෙහි මර්දනය ඇරඹේ - II


පළමු කොටස: දෙමළ විරෝධී හිංසනය හා ගාන්ධියම් ව්‍යාපාරයේ නැගීම - I

ම්.ඩී ගුණසේන සමාගම විසින් පළ කළ  දවස, රිවිරැස, සන් සහ වීක්එන්ඩ් යනාදී දිනපතා හා සති අන්ත පත්තර සමූහය මගින් මෙම අවලාද ව්‍යාපාරයට ඉමහත් දායකත්වයක් සපයනු ලැබුණි. උදාහරණ වශයෙන්, සන් හා වීක්එන්ඩ් ඉංග්‍රීසි පුවත්පත්වලට ආරක්‍ෂක කටයුතු හා සම්බන්ධ ලිපි සම්පාදනය කළා වූද, පසුව එහි ප්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන් ක්‍රියාකළා වූද රනිල් වීරසිංහගේ ලිපි ලේඛණ බොහෝවිට මාධ්‍යවේදියෙකුගේ විමර්ශනයන්ට වඩා අභ්‍යන්තර ආරක්ෂක අංශයේ (ISD) නිලධාරියෙකු විසින් ගෙනයන මානසික යුද ප්‍රචාරයන්ට සමාන වූ බව කීම අතිශයෝක්තියක් නොවේ. ඔහුගේ ලිපි සිංහල බසට පෙරළමින් දවස සහ රිවිරැස පුවත්පත්වල ද පළ කරනු ලැබුණි. සමාජ සේවා සංවිධානයක් නමින් පෙනී සිටින ගාන්ධියම් ව්‍යාපාරයට ත්‍රස්ත සබඳතා ඇති බවත්, නීතිමය ආවරණයක් වෙනුවෙන් ගොවිපල ආදී සමාජ සේවාවන්හි නිරත වුවද ඔවුන් මෙම ගොවිපළ යොදා ගන්නේ ත්‍රස්තවාදීන් පුහුණු කිරීමට අවශ්‍ය කඳවුරු ලෙසින් බවත්, මේ හරහා සරණාගතයන් මංකොල්ල ක්‍රියා ඇතුළු වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යොදා ගන්නා බවටත් රනිල් වීරසිංහගේ ලිපි මගින් චෝදනා කරන ලද්දේ කිසිදු විධිමත් සාක්‍ෂි මත පදනම්ව නොවේ. මෙකී ප්‍රචාරයන් අයත් වූයේ, ගාන්ධියම් ව්‍යාපාරය මැඩලීම සාධාරණීකරණය කිරීමේ අරමුණින් ISD මගින් කල්තියා නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රබන්ධ ගණයට ය.

මේ සියළු වෛරී වර්ගවාදී ප්‍රචාරයන් ගාන්ධියම් ව්‍යාපාරයේ ඉරණම කෙරෙහි තීරණාත්මකව බලපෑවේය. ක්‍රමානුකූලව සැළසුම් කරන ලද මර්දන සැළැස්ම පූර්ණ වශයෙන් ක්‍රියාවට නංවනු ලැබුණේ 1983 කළු ජූලිය එළඹෙන්නට මාස කිහිපයකට කලිනි. ඒ සඳහා ඉලක්ක කරගනු ලැබුණේ රටමැදදී එල්ල වූ ප්‍රචණ්ඩ හිංසනයෙන් ගැළවී උතුරු - නැගෙනහිර පළාත්වලට පලා ඒමෙන් පසු ගාන්ධියම් ව්‍යාපාරයේ රැකවරණ ලද කඳුරට දෙමළ ජනයා ය.

පාන්කුලම් සරණාගත පැල්පත් ගින්නට

1977දී ත්‍රිකුණාමලයට පැමිණි කඳුරට දෙමළ පවුල් 100 ක් නගරයට සැතපුම් 10 ක් පමණ දුරින් අනුරාධපුර මාර්ගයේ පාන්කුලම්, භාරතීපුරම් හි පදිංචිකිරීම සඳහා මූලිකත්වය ගන්නා ලද්දේ ගාන්ධියම් ව්‍යාපාරය මගිනි. 1980 හා 81 දීත් කඳුකර දෙමල විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පලා ආ තවත් පවුල් ගණනාවකට භාරතීපුරම් සෙවනක් විය. ඇතැම් පදිංචිකරුවන්ට රජයෙන් ඉඩම් බලපත්‍ර ලබා දී තිබුන ද කල්ගත වීමෙන් එම ඉඩම් යළි අත්පත් කරගැනීමේ උවමනාවක් ආණ්ඩුවේ බලධාරීන්ට ඇතිවුයේ, කොත්මලේ ජලාශය ඉඳිකිරීමේදී ගේ දොර අහිමිවන සිංහල ජනයා මෙහි පදිංචි කිරීමේ අපේක්ෂා පෙරදැරි කරගෙන ය. අවස්ථා ගණනාවකදී විවිධ උපක්‍රම මගින් මෙම ජනයා පලවා හැරීමට ප්‍රයත්න දැරුවද ගාන්ධියම් ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය ඊට බාධාවක් සේ සැළකිණ.

1983 මාර්තු 14 වැනිදා පාන්කුලම් ග්‍රාම සේවක කනගනායගම් සමඟ යකඩ පොළු හා මුගුරු රැගෙන පැමිණි උපදිසාපති කාර්යාලයේ නිලධාරින් වූ උපාලි , සේනානායක, විජේසිංහ සහ තවත් දෙදෙනෙක් භාරතීපුරම් වැසියන්ගේ තාවකාලික වාසස්ථාන 16 ක් ගිනිබත් කළහ. පසුදිනම විපතට පත් වැසියන් යම් සාධාරණයක් අපේක්ෂාවෙන් පොලිසියට පැමිණිලි කරනු ලැබුවේ සිද්ධිය ඇසින් දුටුවන් වූ ටී. විජයකුමාරි , කේ . ශාන්තී සහ කේ. රුබකාන්තන් යන ගාන්ධියම් ස්වේච්ජා සේවකයන්ගේ දිවුරුම් පෙත්සම් ද සමග ය. මාර්තු 16 දා පොලිසිය පැමිණ සාමාන්‍ය පරීක්ෂණයක් සිදු කළේය. අදාළ ගිනි තැබීමේ සිද්ධියට වඩා පොලිසිය ප්‍රශ්න කර සිටියේ ගාන්ධියම් ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් හා දෙමළ දේශපාලන කණ්ඩායම් හා සම්බන්ධතා පවතින්නේ ද යන්න ගැන ය.

ඊට පසුදිනයේ පැමිණි උප පොලිස් පරීක්ෂක ලුවිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් භාරතිපුරම් ගාන්ධියම් මධ්‍යස්ථානයට කඩා වැදී පෙර පාසල් දරුවන්ගේ වාර්තා පොත් ඇතුළු ලිපි ලේඛන පරීක්ෂා කරන්නට විය. ස්වෙච්ඡා සේවිකාවන් වූ විජය කුමාරී හා ශාන්තීට එදින සවස උප්පුවේලි පොලිසියට පැමිණෙන ලෙස නියෝග කර සිටියේ ගාන්ධියම් ව්‍යාපාරය ගැන වැඩිදුර ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පවසමිනි. නමුත් ගාන්ධියම් ව්‍යාපාරය පිළිබඳ තොරතුරුවලට වඩා රුබකාන්තන්ගෙන් ප්‍රශ්න කරන ලද්දේ දෙමල දේශපාලන කණ්ඩායම් ගැන ය. ඔහුගේ පිළිතුරුවලින් සෑහීමට පත් නොවුණු පොලිස් භටයෝ රයිපල් බඳෙන් හා අතින් පයින් ඔහුට පහර දෙන්නට වූහ. අනතුරුව බිම දිගේ ඇදගෙන විත් පොලිස් ජීප් රථයට දමා ගත් රුබකාන්තන් පොලිසියට පැමිණෙන තුරුම පහර කෑවේය. එදින රාත්‍රී 10 වනතුරු පොලිස් සිර මැදිරියේ ලගින්නට ද ඔහුට සිදුවිය. පොලිසියට වාර්තා කළ විජේකුමාරිට හා ශාන්තීට ගාන්ධියම් ව්‍යාපාරය සම්බන්ධ කිසිදු මතු කටයුත්තකට හවුල් නොවන ලෙස පොලිසිය විසින් තර්ජනය කරන ලදී. ඔවුන් සමග පැමිණි භාරතීපුරම් ගැමියන් අතරින් එම්. මුත්තු සහ එම්. ගෝවින්දසාමි දෙදෙනා පොලිස් නිලධාරීන් පහරදීම නිසා රෝහල් ගත කෙරිණි.

රාජසුන්දරම් හා ඩේවිඩ් අත්අඩංගුවට

ගාන්ධියම් ව්‍යාපාරය කෙරහි වූ ආණ්ඩුවේ මර්ධන ක්‍රියාදාමය එහි කුට ප්‍රාප්තියට ළඟා වුයේ 1983 අප්‍රියෙල් හය වැනිදා ය. එදින වව්නියාව ගාන්ධියම් කාර්යාලයට කඩා වැදුණු එවකට උතුරු පළාතේ හමුදා ප්‍රධානියා වූ බ්‍රිගේඩියර් ජේ.සී. බල්තසාර් සහ මේජර් සාලිය කුලතුංග ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් හමුදා හා පොලිස් කණ්ඩායමක් කාර්යාලයේ ලිපිගොනු පරීක්ෂා කරමින් වෛද්‍ය සෝමසුන්දරම් රාජසුන්දරම්ගෙන් ප්‍රශ්න කරන්නට වූහ. ගාන්ධියම් ව්‍යාපාරයට සිය දායකත්වය ලබා දීමට පැමිණි ජර්මානු සිසුන් තිදෙනෙකු ද එවිට කාර්යාලයට පැමිණ සිටියෝය. ඔවුන් ද අත්අඩංගුවට ගත් බ්‍රිගේඩියර් බල්තසාර් ඇතුළු හමුදා කණ්ඩායම, ඔවුන් සියළු දෙනා වව්නියාවේ පිහිටි රාජසුන්දරම්ගේ නිවසට රැගෙන ගොස් නිවෙස පරීක්ෂාවට ලක්කළහ. අනතුරුව පෙරළා කාර්යාලයට පැමිණි ඔවුහු ජර්මානු සිසුන් තිදෙනා අත් හැර වෛද්‍ය රාජසුන්දරම් පමණක් රැගෙන ගියහ. කිසිදු අධිකරණ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත වෛද්‍ය රාජසුන්දරම්, පවුලේ සාමාජිකයන්ට ද නොදන්වා පළමුව වව්නියා පොලිසියට ගෙන ගොස් ඉන්පසු යාපනයට ගෙන යන ලදී. 

යාපනයේ කුප්‍රකට ගුරුනගර් හමුදා කඳවුරේ රාජසුන්දරම් රඳවාගෙන වධ බන්ධනයට ලක් කරමින් ප්‍රශ්න කිරීම ආරම්භ කළ දිනයේම හමුදා හා පොලිස් කණ්ඩායම් විසින් මඩකළපුවේ හා ත්‍රිකුනාමලෛ ගාන්ධියම් කාර්යාල ද වටලනු ලැබිණි.

වෛද්‍ය රාජසුන්දරම් අත්අඩංගුවට ගැනීම පිළිබඳ කිසිදු තොරතුරක් නොලද වෛද්‍ය ශාන්ති කරාලසිංහම් ඒ පිළිබඳව දන්වමින් පොලිස්පති නිල නිවසට දුරකථන ඇමතුමක් ගත්තාය. ඒ රාත්‍රී හත හමාරට පමණ ය. තමන් කවුරුන්දැයි හදුන්වා දීමේන් අනතුරුව පොලිස්පතිවරයාට දුරකථනය ලබා දෙන ලෙස ඇය දුරකථනයට පිළිතුරු දුන් සේවකයාගෙන් ඉල්ලා සිටියාය. පොලිස්පති රුද්‍රා රාජසිංහම් තද නින්දේ පසු වන බැවින් මේ මොහොතේ ඔහුට බාධා කළ නොහැකි බව ඇයට දන්වනු ලැබිණි. සිය සැමියාව අත්අඩංගුවට ගැනීම ගැන දන්වා පසුදින උදෑසනම ජනාධිපති ජේ.ආර් ජයවර්ධන වෙත විදුලි පණිවිඩයක් යොමු කළ කරාලසිංහම් මහත්මිය, කොළඹ නීතිඥයකු මාර්ගයෙන් හබෙයාස් කෝපුස් පෙත්සමක් අධිකරණයට යොමු කළාය.

මේ අතර වෛද්‍ය රාජසුන්දරම් අත් අඩංගුවට ගනිමින් ගාන්ධියම් ව්‍යාපාරයට එරෙහිව ආණ්ඩුව දියත් කර ඇති මර්දනකාරී ක්‍රියාදාමයට එරෙහිව හර්තාලයක් අප්‍රියෙල් අට වැනිදා වව්නියාව නගරයට කැඳවා තිබිණ. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් පත්‍රිකා බෙදමින් සිටි තරුණ තරුණියන් සිව් දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගත්හ. වව්නියාවේ පදිංචිකරුවන් වූ රුක්මණී (20), ශාන්ති (18) නමැති තරුණියන් දෙදෙනාත්, මඩකලපුවේ පදිංචිකරුවන් වූ වීරකුමාර් ජීවන් හා පුෂ්පන් යන තරුණයන් දෙදෙනාත් වව්නියාව පොලිසිය තුළ රඳවාගෙන අමානුෂික වධ බන්ධනයට පාත්‍ර කරනු ලැබුණි.

වෛද්‍ය රාජසුන්දරම් අත් අඩංගුවට ගැනීමෙන් පසු, ගාන්ධියම් සභාපති අරුලානන්දම් ඩේවිඩ් පසුපස ද රහස් පොලිස් කණ්ඩායම් ලුහු බදින්නට වූහ. ඒ අනුව රහස් පොලිස් අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි පුණ්‍ය ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් හදිස්සියේම කොළඹ කොටුවේ තරුණ ක්‍රිස්තියානි සංගමය වටලා, එහි ලැගුම් ගෙන සිටි ගාන්ධියම් සභාපතිවරයා අත්අඩංගුවට ගනු ලැබිණ. රහස් පොලිසියේ හතර වන තට්ටුවට ගෙන යනු ලැබූ ඩේවිඩ්, එහි රඳවාගෙන වධ බන්ධනයට ලක් කරමින් ප්‍රශ්න කිරීම්වලට භාජනය කරනු ලැබුණි.

ගාන්ධියම් කාර්යාලයට පොලිස් හමුදා කඩාපනියි

මේ අතර ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ගාන්ධියම් නායකයන් අත්අඩංගුවට ගෙන රඳවා ගනිමින් වධ බන්ධනයට ලක් කිරීමට එරෙහිව දෙස් විදෙස් විරෝධය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එල්ල වන්නට විය. ජාතීන් අතර යුක්තිය හා සමානතාවය සඳහා වූ ව්‍යාපාරය (MIRJE ), ප්‍රජාත්‍රන්ත්‍ර අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය (MDDR), නව සමසමාජ පක්ෂය, ලංකා පොදු සේවා සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ මහනුවර ශාඛාව, ලංකා ස්වාධීන කර්මාන්ත හා වාණිජ කම්කරු සංගමයේ මධ්‍යම පළාත් ශාඛාව, ආචාර්ය නිව්ටන් ගුණසිංහගේ මූලිකත්වයෙන් පිහිටුවා තිබූ මහනුවර ලංකා සමාජ අධ්‍යයන ආයතනය, මහනුවර පිහිටි ජාතින් අතර සමානත්වය සඳහා මධ්‍යස්ථානය, රජයේ ලිපිකරු සේවා සංගමයේ මහනුවර ශාඛාව ඇතුළු මහනුවර කේන්ද්‍රීය බහුජන සංවිධාන හා වෘත්තීය සමිති ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරමින් ජනාධිපති ජයවර්ධන වෙත යොමුකළ විදුලි පුවත් මගින් සිය විරෝධය පල කළහ.

ශ්‍රී ලංකාවේ සිදුවීම් පිළිබඳව අවධානයෙන් සිටින විදෙස් මාධ්‍ය ඒ වනවිටත් ඇමෙරිකාවේ නිල සංචාරයක නිරතව සිටි අගමැති ආර්. ප්‍රේමදාසගෙන් මේ පිළිබඳව විමසන ලද අතර ඊට පිළිතුරු වශයෙන් Asian Monitor වෙත ලබාදෙන ලද පිළිතුරක් මගින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් කියා පිරිසක් නොමැති බවත්, සෑම දෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති මුලික අයිතිවාසිකම් භුක්ති විදින බවත් ය.

ප්‍රේල් 15 වැනිදා යළිත් වව්නියාවේ ගාන්ධියම් කාර්යාලයට පොලිස් කණ්ඩායම් කඩා වැදුනි. වව්නියාව පොලිස් අධිකාරි ආතර් හේරත්ගේ මෙහයවීමෙන් එහි ආ පොලිස් කණ්ඩායමේ මෙවර ඉලක්කය වුයේ විසිතුන් හැවිරිදි දෙදරු මවක් හා සිව්මස් ගැබිණියක වූ කනගරානි විවවේකානන්දන් ය. ඇය ගාන්ධියම් හි ගිණුම් ලිපිකාරිණිය මෙන්ම පොත් තබන්නිය ලෙස ද කටයුතු කළාය. පොලිස් අධිකාරි හේරත් ඇගෙන් ගාන්ධියම් ව්‍යාපාරයේ මුදල් ගනු දෙනු පිළිබඳව ප්‍රශ්න කරන්නට විය. කාර්යාලයේ තිබුණු ලෙජර් ඇතුළු සියලු ගිණුම් වාර්තා ඒ වන විටත් පොලිසිය විසින් රැගෙන ගොස් තිබිණි. අප්‍රියෙල් 21 පෙරවරු 11 ට පමණ යළිත් හමුදා හා පොලිස් කණ්ඩායමක් ගාන්ධියම් කාර්යාලයට කඩා වැදී කනගරානී හමුවන්නට අවශ්‍ය බව දන්වා සිටියෝය. මෙසේ පැමිණි පිරිස අතර පෙර දිනයේ වෛද්‍ය රාජසුන්දරම් අත් අඩංගුවට ගැනීමට පැමිණි නිලධාරින් තිදෙනෙක් ද වූහ. තමන් රැගෙන ආ කිසියම් ලිපියක් ඔවුහු කනගරානි අත තැබුහ. ලිපිය කඩා බැලූ ඇයට එය වෛද්‍ය රාජසුන්දරම් ගෙන් බව වැටහිණ. ගිණුම් සටහන් පොත් සහ කැල්කියුලේටරයක් ද රැගෙන ගුරුනගර් හමුදා කඳවුරට පැමිණෙන ලෙස ඔහු ඇගෙන් ඉල්ලා තිබුණි. තමන් පසු දිනයේ ගුරුනර් හමුදා කඳවුර වෙත පැමිනෙන බවට ඇය පැමිණ සිටියවුන්ට සහතික වුවාය.

වධයට ලක් වූ රාජසුන්දරම්

නියමිත පරිදි අප්‍රියෙල් 22 වැනිදා පෙරවරු 10.30ට ඇය ගුරුනගර් හමුදා කඳවුර වෙත වාර්තා කළාය. මේජර් සාලිය කුලතුංග පැමිණ ඇයගෙන් ඉටුවිය යුතු කාර්ය පිළිබඳ පැහැදිළි කරමින් ගාන්ධියම් ව්‍යාපාරයට අදාළව ව්‍යාජ ගිණුම් වාර්තා සකස් කරන ලෙස තර්ජනය කර සිටියේය. අනතුරුව වෛද්‍ය රාජසුන්දරම් ඇය අසළට කැඳවනු ලැබිණි. ඇයට අදහාගන්නට බැරි තරමට රාජසුන්දරම් වැහැරී දුර්වලව සිටියේය. ඔහුගේ දෑස් රත් පැහැ වී, යටට කිඳා බැස නිදි වර්ජිත වෙහෙසකර බවක් පෙන්නුම් කළේය. ඔහු වචන පිට කළේ ඉතාමත් අසීරුවෙනි. ඒ වන විට ඔහු අත්අඩංගුවට ගෙන සති දෙකක් ඉක්ම ගොස් තිබිණ.

"හමුදාව කියනවා අපි ගෙවීම් කරලා තියෙන්නේ ත්‍රස්තවාදීන්ට කියලා වාර්තා හදන්න කියලා. ඔවුන් ත්‍රස්තවාදින් කියලා අපි කොහොමද කියන්නේ? අපි කොහොමද එහෙම බොරු වාර්තා සකස් කරන්නේ? " කළ යුත්තේ කුමක්දැයි නොදැන බියෙන් හා දෙගිඩියාවෙන් පසු වූ කනගරානි එක්වරම ප්‍රශ්න කිහිපයක්ම වෛද්‍ය රාජසුන්දරම් වෙත යොමු කළාය.

"ඒගොල්ලෝ එහෙම ඉල්ලනවා නම් එහෙම කරන්න..," රාජසුන්දරම් දුර්මුඛ හඬින් පැවසු‍වේය.

කිසිසේත්ම අපේක්ෂා නොකළ එම පිළිතුරෙන්, ඔහු පිළිබඳ හොඳින් දත් ඇය වික්‍ෂිප්ත වූවාය. "සර්, ඔබට වධ දුන්නාදැ?"යි ඇය වෛද්‍ය රාජසුන්දරම්ගෙන් විමසුවාය.

"ඔව්" යැයි ඔහු පහත් ස්වරයෙන් පිළිවදන් දුන්නේය.

ඊට මදක් ඈතින් සිටි සාලිය කුලතුංගට ඔවුන් දෙදෙනාගේ කතා බහ නිරීක්ෂණය කළ නමුත් දෙමළ බසින් සිදු වූ එම කතා බහ මේජර්වරයාට නොතේරුණි.

හමුදා බලහත්කාරයට අනුව අදාළ ව්‍යාජ වාර්තාව සකස් කර අවසන් වන විට පස්වරු පහට අසන්න වෙමින් තිබිණි. පසුදිනයේ ද කඳවුරට පැමිණ මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලෙස මේජර් සාලිය කුලතුංග අණ කළ ද තමන් නැවත වව්නියාවේ නිවෙස වෙත යන විට රාත්‍රී 10 පසු විය හැකි බැවින් පසු දින පැමිණිය නොහැකි බවත්, ඊටත් පසුදා පැමිණිය හැකි බවත් කනගරාණි ප්‍රකාශ කළාය. ඊට එකඟ වූ මේජර්වරයා කඳවුරේ සිදු වූ කිසිවක් , කිසිවෙකුට හෙළි කර තිබුනහොත් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ගුරුනගර් හමුදා කඳවුරට රැගෙන එන බවට ඇයට තර්ජනය කළේය.

ඉක්බිති, පහරකෑමෙන්ද, නිදි වර්ජිතව හිඳීමේ වෙහෙසින්ද පීඩිතව සිටි වෛද්‍ය රාජසුන්දරම් කඳවුර තුළට කැඳවාගෙන යනු ලැබිණ.☐

(මතු සම්බන්ධයි)

තෙවැනි කොටස: 'සිර කුටිය තුළ හතර ගාතයෙන් යාමට රාජසුන්දරම්ට නියම විය' - III

අතුල විතානගේ


© JDS