ප්‍ර‍ජාතාන්ත්‍ර‍ික විප්ලවයට එරෙහි වැඩවසම්වාදයේ අභියෝගය

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යනු ලැබ ‍ඉකුත් ජනවාරි 24 වැනිදාට සය වසරක් පිරුණි. ‘80 දශකය තුළ දකුණේ වාම සමාජ-දේශපාලන හා සංස්කෘතික ක්‍ෂේත්‍රය විධිමත්ව ඇසුරු කොට ඇති ඕනෑම අයෙකුට ප්‍රගීත් අමුත්තෙක් නොවේ. ආචාර්ය නිව්ටන් ගුණසිංහ, ජයරත්න මලියගොඩ, පියල් සෝමරත්න, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ඇතුළු දකුණේ වාම දේශපාලන හා සංස්කෘතික කථිකාවන් ප්‍ර‍ර්ධනයට දායක වූ බොහෝ දෙනෙක් ඇසුරේ ක්‍රියා කළ ප්‍ර‍ගීත්ගේ නිර්මාණාත්මක සහ විශ්ලේෂණ ශක්‍යතා අදටත්  සැඟව පවතී. 2010 ජනවාරියේදී  අතුරුදහන්වීමට පස් මාසයකට පෙර ප්‍ර‍ගීත් විසින් මුල්වරට ගොණු කරන ලද මෙම අසම්පූර්ණ කටුසටහනෙහි පළමු කොටස අපි කලින් පළ කළෙමු. මෙහි පළවන්නේ එහි දෙවන සහ අවසාන කොටසයි. මෙම නිබන්ධය තවදුරටත් පිරිපහදු කොට සංවර්ධනය කිරීමේ අභිලාෂයක් ඔහු සතුව තිබූ බව පෙනෙන්නට තිබේ. අවිවේකී ජීවිතයත්, දිවියේ ඉතිරිව තිබූ කෙටි කාලයත් ඔහු ඉන් වැළැක්වූවා විය හැක. නමුත් ඔහුගේ දේශපාලන සිතීම් පිළිබඳ වටහා ගැනීමේ අවංක ආධ්‍යාශයෙන් ‘ප්‍ර‍ගීත් යනු කවුදැයි‘ ප්‍ර‍ශ්න නගන්නන්ට ඇවැසි පිළිතුරු සපයා ගැනීමට මෙකී ලිපිය ද ඉවහල් වනු ඇතැයි අපි විශ්වාස කරමු.

ප්‍ර‍ගීත් විසින්ම සංක්‍ෂිප්ත කොට ඇති ආකාරයට මෙම ලිපිය මගින් මූලික වශයෙන් විමසා බැලෙන සිව් වැදෑරුම් යෝජනාවන් පහත පරිදි වේ. 1) පවතින රාජ්‍යයේ ස්වභාවය ඇංග්ලෝ-ලංකා වැඩවසම් ක‍්‍රමයකි. 2) මෙම රාජ්‍ය යන්ත‍්‍රය එක්කෝ කුඩා කළ යුතු ය. නැත්නම් එය ප‍්‍රති ව්‍යුහගත කළ යුතු ය. 3) ලංකාවේ සිදු කළ යුතු හා කළ හැකි සමාජ විප්ලවය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රීය විප්ලවයයි. 4) ප‍්‍රතිවිරෝධතාවය ඇත්තේ වැඩවසම්වාදය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතරය.

වඩා වැදගත් කාරණාව වන්නේ, වර්තමානයේ ප්‍ර‍ගීත් එක්නැලිගොඩට එරෙහි වෛරී සහගතව වර්ධනය කෙරෙන දක්‍ෂිණාංශික ෆැසිස්ට් පන්නයේ කල්ලි කණ්ඩායම් වටා ගොණුවන සිංහල අතරමැදි  සමාජ පන්තීන්ගේ සම්භවය හා විකාශයත්, ඒවායේ හැසිරීමත් වටහා ගැනීමට ප්‍ර‍ගීත් දැරූ ප්‍ර‍යත්නය ද මෙම ලිපිය මගින් විද්‍යාමාන වීමයි.

මෙම ලිපිය හා ප්‍ර‍ගීත්ගේ සේයා රුව සපයා දුන් සන්ධ්‍යා එක්නැලිගොඩ සහෝදරියට ස්තූතියි. - සංස්කාරක කමිටුව 

මෙම ලිපියේ පළමු කොටස:  ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ පරාජය පිළිබඳ කටු සටහනක්


මේ දක්වා මා විසින් විස්තර කරන ලද්දේ මාක්ස්වාදී පුරෝගාමීන් මාක්ස්වාදී න්‍යායෙන් ද විෂය දැනුමෙන් ද සන්නද්ධව සිය මවුබිමට පය තබන විට පැවැතුණා වූ තත්ත්වයයි. එකල පැවැතියේ මාර්ටින් වික‍්‍රමසිංහ පෑනෙන් ලියා තහවුරු කළ හා දැන් මහාචාර්යවරුන් රූපවාහිනියෙන් මවා තහවුරු කරන සුන්දර ’අපේ ගම’ නැමති සුරංගනා කථාව නොවේ.  බැද්දේගම නවකතාව තුළ ලෙනාඩ් වුල්ෆ් නිවැරදිව සටහන් කළ, ඒ වනවිටත් වැඩවසම් ග‍්‍රහණයට නොමදව ගොදුරු ව තිබුණු හා කැලෑ උණෙන් ද (මැලේරියාව), සාගින්නෙන් ද, දොරින් දොර මරණය පැමිණෙන, අඩ නිරුවත් ගැහැණුන් මිනිසුන් ජීවත් වූ, පූර්ව ශිෂ්ටාචාරයට අයත් දු:ඛිත හුදකලා ජනාවාස හා ගම්මාන පොකුරු ය. මෙම ප‍්‍රකාශය අන්තවාදී යැයි යමෙකුට පෙනී යා හැකි ය. එසේ වූවාට කමක් නැත. 1933 මැලේරියා වසංගතය මැඩලීමේ දුෂ්කර කාර්යයට මැදහත් වූ මාක්ස්වාදී පුරෝගාමීන් ට මුන ගැසුණේ එබඳු දු:ඛිත ගම් හා පීඩිත ගැමියන් ය. එම ගැමියන් විසින් මාක්ස්වාදීන් පිළිගනු ලැබුවේ සහෝදරවරුන් හැටියට නොව, දෙවිවරුන් හැටියට ය. ඒ නිසා මැලේරියාවට මෙන්ම වැඩවසම්වාදයට ගොදුරු වී තිබූ සබරගමු පළාත තුළ පුරෝගාමී මාක්ස්වාදී ව්‍යාපාරය වේගයෙන් පැතිරී ගියේය. එම ප‍්‍රදේශ තුළ වේගයෙන් මාක්ස්වාදී ව්‍යාපාරයේ ව්‍යාප්තියද සිදු විය. එසේ වූයේ ඇයි?

‘නිර්මල ගම‘ සහ බැද්දේගම

මෙයට සුලබව ලැබෙන පිළිතුර වන්නේ සුභ සාධනයට මිනිසා තුළ ඇති කැමැත්ත යන්නයි. බැලූ බැල්මට එය එසේ පෙනුණත් ඊට වඩා මූලධාර්මික හේතුවක් ඒ තුළ සැඟවී තිබිණ. කෙටි වචනයකින් කියනවානම් එය වූ කලී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මිනිසා තුළ ඇති කැමැත්තයි. එය එම නූගත් ගැමියන්ට වචනවලට නගා ප‍්‍රකාශ කිරීමට නොහැකි වුවත් එම ගැමි සමාජය තුළ මාක්ස්වාදීන් ට තිබූ සමාජ-දේශපාලන අවකාශය එයයි. මුල් මාක්ස්වාදී ව්‍යාපාරය ඉහළ ප‍්‍රභූ සමාජයෙන්ම බිහි වී තිබීම විශේෂ වාසියක් විය. එමෙන් ම යටත් විජිත වාදයට එරෙහිව දැඩිව නැගී සිටීම නිසා මාක්ස්වාදී ව්‍යාපාරයට බාධකයක් සේ ක‍්‍රියා කිරීමට වැඩවසම්වාදයට ශක්තියක් ද නැති විය. යටත් විජිතවාදයට එරෙහිව වඩාත් ශක්තිමත්ව හා තාර්කිකව මාක්ස්වාදී ව්‍යාපාරය සටන් මෙහෙයවීමත් ඒ තත්ත්වය ඉදිරියේ වැඩවසම්වාදය පරාජය වීමත්  ඊට හේතු විය. ඒ නිසා වැඩවසම් චින්තනය ඉරා දමමින් ගැමි සමාජයට ඇතුල්වීමට පුරෝගාමී මාක්ස්වාදී ව්‍යාපාරයට හැකි විය. එය දේශීය ධනේශ්වර නායකත්වයට කළ නොහැකිව තිබූ එක්තරා මූලික ප‍්‍රජාතාන්ත‍්‍රවාදී විප්ලවයේ කාර්යයකි.

එය ප‍්‍රජාතාන්ත‍්‍රික විප්ලවීය කාර්යයක් වන්නේ කෙසේද?

මැලේරියාව හෙවත් කැලෑ උණෙන් ගම් දනව් වැනැසී යාම ලංකාවට අලූත් දෙයක් නොවේ. 2500 වසරක් තිස්සේ ඈත අතීතයේත් තත්ත්වය එයම විය. වැඩවසම් පාලනය යටතේ රටේ ජනතාව වසංගතවලට ගොදුරු වී ලෙඩ වීම, මියයාම, කර්මයේ හැටියට, ලබා උපන් හැටියට සිදු වන්නක් යැයි පිළිගැණුනි. එම දුකින් ජනතාව මුදා ගැනීම රජුගේ හෙවත් වැඩවසම් පාලනතන්ත‍්‍රයේ වගකීමක් නොවීය. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම වලට අනුව එය එසේ නොවේ. රටේ ජනතාව දුකින් මුදා ගැනීම රජයේ වගකීමකි. ධනේශ්වර බ්‍රිතාන්‍ය පාලනය යටතේ වසංගතයට ගොදුරු වූ ජනතාව බේරා නොගැනීම හෝ ප‍්‍රමාණවත් ලෙස ඒ ගැන කැප නොවීම ප‍්‍රශ්නයක් වන්නේ බ්‍රිතාන්‍ය පාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් යන නම දැරූ නිසා ය. එහෙත් බ්‍රිතාන්‍ය පාලකයන් ගේ අතින් එම ප‍්‍රජාතන්ත‍්‍රීය වගකීම් ගිලිහී තිබිණ. (එය ඇංග්ලෝ-ලංකා වැඩවසම් පාලනයක් යැයි කියන්නේ ඒ නිසාය) කළල අවස්ථාවේ සිටි දේශීය ධනේශ්වර නායකත්වයටද ඒ සඳහා ප‍්‍රමාණවත් ශක්තියක් මෙන් ම දර්ශනයක් ද නොතිබුණි. මැලේරියා වසංගතය පාලනය හා මර්දනය කිරීමට පුරෝගාමී මාක්ස්වාදීන්ගේ මැදහත්වීම ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රීය මූලධර්ම මත පිහිටා තිබුණි. එහි සුබ සාධන පෙනුමක් තිබුණත් එය මූලධාර්මික වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී එළැඹීමකි. ව්‍යවහාරික ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කාරුණික බව මෙරට ජනතාවට බරපතල ලෙස දැනුණ මුල් අවස්ථාව එයයි. (වර්තමානයේ දී ද පාලන තන්ත‍්‍ර ස්වභාවික විපත් හා ආපදාවලදී  මහජනයා නොතකා හරින්නේ මේවා ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන තන්ත‍්‍ර නොවන නිසා බව මෙහිදී සඳහන් කළ යුතුය.) දැන් සියවස් තුන්කාලක් පමණ කල් ගත වී ඇති එම සිදුවීම් දෙස ආපසු හැරී බලනවිට පැහැදිලි කරගත හැකි වැදගත් න්‍යායික එළැඹීම් දෙකක් තිබේ.

පළමුවැන්න නම්, ලාංකික සමාජය වැඩවසම් ක‍්‍රමයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකට සංක‍්‍රමණය වීමේ වුවමනාවක් හෙවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය වෙනුවෙන් සූදානමක් පැවැති බවයි. එය සමාජයේ පහළ පීඩිත පංතිවලත්, නැගී එන ධනේශවර පංතියේත් උවමනාව වූ බවයි.

දෙවැන්න නම්, පොදු ජන සමාජයේ විප්ලවීය වෙනසක් ඇවිලීමට තරම් ඉන්ධන එම සමාජ-ඓතිහාසික උවමනාව තුළ තිබූ බවයි. 1933 දී ක්ෂණිකව මාක්ස්වාදී ව්‍යාපාරයට ව්‍යාප්ත වීමට හැකි වූයේ සමාජය තුළ වූ එම විප්ලවීය අවකාශය නිසයි.   

කලින් සඳහන් කළ පරිදි බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී පාලනය ලාංකික වැඩවසම් ක‍්‍රමය හා මිශ‍්‍ර වී පැවැතියේ බරපතල ප‍්‍රතිවිරෝධයන් ද සහිතව ය. එවන් පරිපාලන ඇටවුමකට යටත් විජිතවාදීන් යොමු වූයේ 1818 හා 1848 හටගත් කැරැලි නිසා බව පැහැදිලි ය. එනම් වැඩවසම් ක‍්‍රමය හා සන්ධානගත වීමෙන් වරින් වර පැන නගින කැරලි වළක්වා ගත හැකියැයි ඔවුන් කල්පනා කළ හෙයිනි. මෙම කාල වකවානුව තුළ ඉන්දියාව තුළ ද බ්‍රිතාන්‍ය ස්වාමීන් අත්හදා බලමින් සිටියේ එවැනිම උපායයකි.  කොයි හැටි වෙතත් මෙම ප‍්‍රතිවිරෝධතා නැවතුණේ නැත. එය වරින් වර විවිධ රූප ගත්තේය. ආගමික පුනර්ජීවන ව්‍යාපාර වශයෙන් ද, "භාෂාවේ නිදහස“ වශයෙන් ද, ඇතැම්විට ජාතියේ නිදහස වශයෙන් ද ආදී විවිධ රූප ගනිමින් එය ප‍්‍රකාශ විය. ගන්නා රූපයේ හැටියට කැරැලිවල ඉලක්ක ද වෙනස් විය. මෙම ප‍්‍රතිවිරෝධයන් ට ඉහළින් සිට ඊට ප‍්‍රජාතාන්ත‍්‍රික නායකත්වයක් දෙන්නට දේශීය ධනේශ්වර නායකත්වයට නොහැකි වූයේ එයද වැඩවසම්වාදයේ ඉලක්කයක් වී තිබූ නිසයි.

එහෙත් මාක්ස්වාදී ව්‍යාපාරයට එබඳු බාධාවක් තිබුණේ නැත. එහි ආරම්භක ප‍්‍රජාතාන්ත‍්‍රීය එළැඹීම ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ එහෙයිනි. 1933 මැලේරියා වසංගතය මර්දනය කිරීමේ ව්‍යාපාරය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව කළ අරගලයක් සේ එක්වරම පෙනී ගියත් මෙම සටහනේ පෙර සඳහන් කළ පරිදි එය නියත වශයෙන්ම ගැටුණේ වැඩවසම් ක‍්‍රමය හා එහි මූලධර්මවලට එරෙහිව ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහි වීම ද තේරුම් ගතයුතු වන්නේ මෙහි වූ බ්‍රිතාන්‍ය පාලනය අර්ධ වැඩවසම් පාලනයක් නිසා ය.  මැලේරියාව ‘ජනතාවගේ කරුමය‘ යැයි කියා ආණ්ඩුව (ඩී.බී.ජයතිලක) වැඩවසම් දර්ශනයක සිට ශෝක වනවිට ‘ජනතාව රැකබලා ගැනීම පරිපාලන තන්ත‍්‍රයේ වගකීමයි‘ යන සටන් පාඨය මාක්ස්වාදී ව්‍යාපාරය තුළින් නැගුණේ එහෙයිනි.

මාක්ස්වාදී ව්‍යාපාරයේ උභතෝකෝටිකය

මේ අයුරින් ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය එහි ආරම්භයේ දී ඉතා නිවැරදිව සිය පළමු පියවර තැබීය. පොදු ජන සමාජය සාදරයෙන් එය පිළිගත්හ. සමාජයේ පීඩිතයන් ද ප‍්‍රභූ පංතියේ යහපත් අරමුණු ගැන සිතූ කොටස් ද, විවිධ පංතිවලට අයත් රැඩිකල් පිරිස් ද, උගතුන් ද පෙරලිකාරී පැවිද්දන් ද ඔවුන් හා එක්වූහ. එහෙත් මාක්ස්වාදී ව්‍යාපාරයේ ව්‍යාප්තිය ඒ ආරම්භක භූ කලාපයෙන් පිටතට තව දුරටත් ව්‍යාප්ත වූයේ නැත. මැලේරියාව වැනි සමාජ ආපදාවක් හෝ සිද්ධි වාචකයක් නොතිබුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩ නැගීමෙහිලා කිරීමට බොහෝ දෑ තවත් තිබිණ. ඒ අතර තාවකාලිකව ඇනහිට තිබුණු වැඩවසම්වාදයේ ගමන යළිත් පෙරට ගමන් කරන්නට විය. ප‍්‍රායෝගිකව විප්ලවීය ව්‍යාපාරයක් ලෙස ජන සමාජය තුළ මාක්ස්වාදී ව්‍යාපාරය පය තබාගත්තත් එය අඛණ්ඩව පැවැතියේ නැත.

ඒ මන්ද? පිළිතුර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය අත්හැරීමයි.

මාක්ස්වාදී ව්‍යාපාරය ඇංග්ලෝ-ලංකා වැඩවසම්වාදී පාලනයට එරෙහිව සිය සටන ඇරඹුවත් ඒ සමගම දේශීය ධනේශ්වර පංතියට එරෙහිව ද සටන් කළේය. යටත් විජිතවාදයෙන් උපත ලබා ඇතත් දේශීය ධනේශ්වර පංතිය වූ කලී ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ මිතුරු බලවේගයක් ලෙස මාක්ස්වාදී ව්‍යාපාරය විසින් හඳුනාගත්තේ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීම සිය ඓතිහාසික කාර්යභාරය බව තේරුම්ගෙන තිබුණු බවක් පෙනෙන්නේ ද නැත. ඒ හැරත් න්‍යායික වශයෙන් විප්ලවයේ (සමාජවාදී) ප‍්‍රධානතම සතුරා  ධනේශ්වර පංතිය බැවින් දේශීය ධනේශවර පංතිය සිටියේ කළල අවස්ථාව් වුවත් එය පංති හතුරා ලෙස අංකනය කළේය. එයින් නොනැවතී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පවා සතුරු බලවේගය වූ හා තම සැබෑම සතුරා වූ වැඩවසම්වාදී බලවේගය සතුරු බලවේගයක් බව නොතකා හැරියේය. ඇතැම් අවස්ථාවලදී එය මිතුරු බලවේගයක් වශයෙන් ද මෙම පුරෝගාමී මාක්ස්වාදීහු සැළකූහ.

වඩාත් නිවැරදිව කියනවානම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ ඉටු නොවූ කාර්යභාරය සමාජවාදී විප්ලවයේ අතුරු ඵලයක් ලෙස කළ හැකිය යනුවෙන් එකල ජාත්‍යන්තරව සම්මත ’මාක්ස්වාදී න්‍යාය’ (ලෙනින්වාදය) පුරෝගාමී මාක්ස්වාදී ව්‍යාපාරයේ ගමන් මග තීරණය වීමට බලපෑවේය. සිය සරසවි ජීවිතයේ දී ලද සමාජවාදය ගැන විවාදාත්මක දැනුම ද ඔවුන් විසින් නොතකා හැරිය බව පෙනේ. ඒ වෙනුවට ඔවුහු සම්මත විප්ලවීය සූත‍්‍රයට අනුව හා සිය චින්තන සමස්තයට අනුව ලාංකීය සංදර්භය විග‍්‍රහ කර ගත්තෝය. වෙනත් වචනවලින් කියනවානම් අමාරුවෙන් හෝ කරුණු සොයාගෙන මවාගෙන හෝ සම්මත සූත‍්‍රයට ඇතුල් කර ගත්හ. මූලික ප‍්‍රශ්නය බලයට පත්වීම බවත්, බලයට පත්වීමෙන් පසු සියල්ල කළ හැකිය යන ලෙනින්වාදී සූත‍්‍රයට අනුකූලව ඔවුහු ක‍්‍රියා කරන්නට වන්හ. ඒ අනුව අවංක වූත්, එහෙත් නිවැරදි නොවූත්, ලෙනින්වාදී දේශපාලන උපායමාර්ගය පුරෝගාමී මාක්ස්වාදී ව්‍යාපාරයට (වැරදි) මග පෙන්වා තිබිණ. මේ නිසා 1933 මැලේරියා වසංගතය නිමාවීමෙන් පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගොඩනැගීමෙහිලා වැඩවසම්වාදයට එරෙහිව කළ යුතුව තිබූ තව බොහෝ දෑ කෙරෙහි අවධානය මාක්ස්වාදී ව්‍යාපාරයෙන් ගිලිහී ගියේය. ඒ ගිලිහී යාම් වැඩවසම්වාදයේ වර්ධනයට හේතු විය.

වැඩවසම්වාදී බලවේගයන් හැව ඇරීම

එසේ ගිලිහී ගිය ඇතැම් කාර්යයන්ට වැරැදි නායකත්වය ලැබුණේ වැඩවසම්වාදී බලවේගය වෙතිනි. ඒ අනුව ආගමික පුනර්ජීවන ව්‍යාපාරය ආගමික මූලධර්මවාදී ව්‍යාපාරයක් බවට පත් විය. දේශීය භාෂා භාවිතා කිරීමේ නිදහස් ව්‍යාපාරය සිංහල භාෂා මූලධර්ම ව්‍යාපාරයක් බවට පත් වී එතැනින් නොනැවතී එය කුල ගෝත‍්‍රික ව්‍යාපාරයක් බවට ද පත් විය. දේශීය කලාවේ හා සංස්කෘතියේ නිදහසට හා පුනර්ජීවනයට ද සිදු වූයේත් එම විපතම ය. ඒවා ආරම්භයේ දී යටත් විජිත විරෝධී රූපයක් ගෙන, ඒ සමගින් ම මාක්ස්වාදී ව්‍යාපාරයේ ද ආධාර ඇතිව දේශීය ධනේශ්වර විරෝධී රූපයක් ගත්තේය. පසුව නිශ්චිත ඓතිහාසික මොහොතක දී සිංහලයාගේ විමුක්ති ව්‍යාපාරයක් ලෙස හැව ඇර මාක්ස්වාදී ව්‍යාපාරයට ද එරෙහිව නැගී සිටියේය. කවුරුන් හෝ සතුරෙකු වෙනුවෙන් අලූත් රූපයක් ගැනීම වැඩවසම්වාදයේ හෙවත් දේශීයවාදයේ ස්වභාවය බව මෙකී සටහනේ මුලදී ද මම සඳහන් කළෙමි.

සිංහල භාෂාවට පීඩාවක් තිබූ බව සත්‍යයකි. එහෙත් දෙමළ - මුස්ලිම් ජනවර්ග දෙකම කතා කළ තවත් ස්වදේශීය භාෂාවක් වූ, ඊටත් වඩා වානිජ භාෂාවක් වූත්, එනිසාම ජාත්‍යන්තර භාෂාවක් ද වූ දෙමළ භාෂාවටද පීඩාවක් තිබිණ. බෞද්ධාගමට මෙන් ම හින්දු ආගමටත්, ඉස්ලාම් ආගමටත් යටත් විජිතවාදය හා පැමිණි රාජ්‍ය අනුග‍්‍රහය ලත් කතෝලික හා ක‍්‍රිස්තියානි ආගම් වෙතින් පීඩාවක් තිබිණ. ඒවායේ නිදහසට අවශ්‍ය වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිස වැඩවසම් බලයක් ගොඩනැගීම නොවේ. භාෂාව කතා කිරීමේ නිදහස මෙන්ම තමන් කැමැති ආගමක් ඇදැහීමේ නිදහස ද මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසකි.

නමුත් මාක්ස්වාදී ව්‍යාපාරය තම (සමාජවාදී) විප්ලවයේ ’ප‍්‍රධාන සතුරා’ ලෙස දේශීය ධනේශ්වර නායකත්වයත්, එහි උපකාරකයා වූ යටත් විජිත පාලනයත් එක මිටට ගෙන පහරදීම ආරම්භ කැරුණු විට නොදැනුවත්වම  වැඩවසම් වාදයේ නැගීමට එය රුකුලක් විය. ධනේශ්වර නායකත්වය ද පෙරලා සිය දුර්වල අවියත් ප‍්‍රහාර මාක්ස්වාදී ව්‍යාපාරය වෙත එල්ල කිරීමෙන්, එය ද වැඩවසම්වාදය පෝෂණය වීමට ආධාර විය. ධනේශ්වර හෝ මාක්ස්වාදී නායකත්වයක් නොමැතිව සිංහල හා බෞද්ධ ගැමි නායකත්වයක් යටතේ වැඩවසම්වාදය ක‍්‍රමයෙන් වර්ධනය විය. කෙසේ වෙතත් මාක්ස්වාදී ව්‍යාපාරය විසින් ධනේශ්වර නායකත්වයට තහවුරුවන්නට ඉඩ නොදුන්නා සේම ධනේශ්වර නායකත්වය විසින් ද මාක්ස්වාදී ව්‍යාපාරයට තහවුරුවන්නට ඉඩ දෙනු නො ලැබිණ. ලාංකික සමාජයට සම්භාව්‍ය නවීන පංතියක ශක්තිමත් නායකත්වයක් ඒ නිසා ලැබුණේ නැත. ලංකාවේ පසුගිය දශක හත දෙස ආපසු හැරී බැලීමේ දී මෙම කරුණ ඉතා වැදගත් යැයි සිතමි.

මෙම ගැටුම හේතුවෙන් වැඩවසම්වාදය අභාවයට යවමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නැ`ගීමට තිබුණ අවකාශය ඇහිරිණ. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවීම වූ කලී නියත වශයෙන්ම වැඩවසම්වාදය පරාජය කිරීමකි. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැගී සිටින්නට උත්සාහ දැරෙන සැම අවස්ථාවකම ඊට එරෙහිව එක්කෝ දේශප්‍රේමය ලෙස වැඩවසම්වාදය නැගී සිටී. නැතහොත් සදාචාරවාදයක් හෝ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයක් ලෙස නැගී සිටී. ධනේශ්වර නායකත්වය හෝ මාක්ස්වාදී ව්‍යාපාරය යන දෙකින් කුමන හෝ එක් පාර්ශවයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට ගන්නා පියවරට එරෙහිව එය හැම විටම නැගී සිටී. ඒ අතර අවාසනාවන්ත ලෙස සතුරු පාර්ශව බවට පත් වූ ධනේශ්වර නායකත්වය හා මාක්ස්වාදී ව්‍යාපාරය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීම පසෙකට දමා එකිනෙකාට එරෙහිව පහර දීමට සහායක බලයක් ලෙස අර වැඩවසම්වාදී ව්‍යාපාරය යොදා ගත්තෝය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මාක්ස්වාදී ව්‍යාපාරයත්, ධනේශවර නායකත්වයත් යන දෙපාර්ශවයම දුර්වල විය. වැඩවසම්වාදය ක‍්‍රමයෙන් ගලිවරයෙකු වෙමින් සිටියේය. හිසක් නොමැතිව කඳක් පමණක් තිබූ එම ව්‍යාපාරය 1956 දී එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක නායකත්වයට පත්කර ගැනීමෙන් අඩුපාඩුවක් ව පැවැති හිස ද ලැබුණේය. දෙමළ ජනවර්ගයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම මුල සිටම මෙම මාක්ස්වාදී හා ධනේශ්වර ද්විත්ත්ව බල පොරයට හසුවිය. එතුළින් හට ගත් සාපේක්ෂ අරාජිකත්වයට හසු වී, වැඩවසම්වාදයේ මිටිපහර ද ලබන්නට විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්  දෙමළ ජනවර්ගයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම විකෘත වී, ප‍්‍රචණ්ඩ රූපයක් ගත්තේය. එයම පෙරළා වැඩවසම්වාදී බලය පෝෂණය වීමට ද හේතු විය. වැඩවසම්වාදය එතැන් පටන් සිය අලූත් සතුරා සොයාගනිමින් දෙමළ ජනවර්ගය යටත්කිරීමේ හා සිංහල ජාතියට කිරුළ හිමිකරදීමේ වාර්ගික රණවාදී ව්‍යාපාරයේ මෙහෙයුම බාරගත්තේය.

බල කේන්ද්‍ර‍ තුනක්

1960 දශකය වනවිට මාක්ස්වාදී ව්‍යාපාරය පසු බැසීම ආරම්භ කොට තිබිණ. ඔවුන් නොතකා සිටියාට සිය න්‍යායික අත්තිවාරම් යල් පනිමින් තිබිණ. ‘60 දශකයේදී සමාජවාදී විප්ලවයේ බලා පොරොත්තු සැකයට භාජනය විය. එපමණක් ම නොව, ධනේශ්වර වර්ධනය ද ආපසු හැරවීමට මාක්ස්වාදී-වැඩවසම්වාදී බලය විසින් දැරුණු උත්සාහය නිසා ධනේශ්වර සංවර්ධන මාවත ගැනද බලාපොරොත්තු බි`ද වැටී තිබිණ. ඒ අරාජිකත්වය ජන සමාජය තුළ කළකිරීම රැස්කරවනු ලැබිණ. වීරයන් ට අවස්ථාව පැමිණියේය. මාක්ස්වාදී දෙවන පරපුර පළමු පරපුරට එරෙහිව කැරලි ගැසූහ. 1971 දී පැනනැගි මෙම කැරැල්ල මූලික වශයෙන් ’නොමඟ ගිය’ තරුණ කැරැල්ල යැයි හැඳින්වීම විවිධ අර්ථයෙන් සත්‍ය වුවත්, පුරෝගාමී මාක්ස්වාදී ව්‍යාපාරය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය අත්හැරීම සමඟ එයට ඇති සම්බන්ධය ද ඒ නොමඟ යාමට හේතුවකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය යථාර්ථයක් කර ගත්තේනම් තරුණ පරපුර නොමඟ නොයන්නට ඉඩ තිබිණ.

ඇත්තටම මාක්ස්වාදී ව්‍යාපාරය හා ධනේශ්වර නායකත්වය එකිනෙකා ඛාදනය කර ගන්නා ද්විත්ත්‍ව කේන්ද්‍ර බල පොරයක් ලෙස හැඳින්වුවත් සියුම් ව සිතන්නෙකුට එහි කේන්ද්‍ර තුනක් ඇති බව පෙනී යනු ඇත. එහි තුන්වැන්න නම් වැඩවසම්වාදය හෙවත් දේශීයවාදයයි. වැඩවසම්වාදයේ නැඟීම තුළ බිඳ වැටුණේ වාර්ගික සමගිය පමණක් නොවේ. අධ්‍යාපනයේ පරිහානිය හා විශ්ව දැනුමේ දුගී භාවය, නිර්මාණ කලාවේ දාර්ශනික පරිහානිය, මාධ්‍ය සංස්කෘතියේ බිඳවැටීම, දූෂිත රාජ්‍ය නිලධාරිතන්ත‍්‍රයේ නැගීම, මිලිටරි නිලධාරි තන්ත‍්‍රයේ නැගීම (හම්සා අලෙවි), විවෘත ආර්ථිකයේ පසුබෑම, තව නිදර්ශන කිහිපයකි. සංඛ්‍යාවෙන් කුඩා ජනවර්ගවලට රාජ්‍ය පාලනයට සම්බන්ධවීමට තිබූ අවස්ථාව මැකී ගොස් ‘රට කැබලි වී තිබීම‘ අද ප‍්‍රමුඛ මාතෘකාව වී ඇතත් ඊටත් වඩා දරුණු අර්බුද රැසක් මෙම යථාර්ථය තුළ ඊට පසු පසින් ඇති බව අප තේරුම් ගත යුතු ය. ජනවාර්ගික ප‍්‍රශ්නය ලෙස අද අප කවුරුත් දන්නා සමාජය වාර්ගික වශයෙන් බෙදී යාම මෙම ගැටුම තුළ පෝෂණය වී ඇති වූ කුඩා විනාශයකි. (‘රට‘ යන්නෙන් මෙම රචනය තුළ අර්ථ කථනය වන්නේ පොදු ජන මනස තුළ හා මාධ්‍ය තුළ ග‍්‍රාම්‍ය ලෙස අර්ථදැක්වෙන ආකාරයට භූගෝලීය ඒකකයක් නොවේ. මානව සමාජයීය ඒකකයක්ය යන අර්ථයෙනි. මිනිසා බිහිවන්නට පෙර පෘථිවියෙහි ගොඩබිම් මිස ’රට’වල් නොතිබූ බැවින්, රට නමැති ප‍්‍රපංචය දෙවන යථාර්ථය තුළ ඉදි කළ මිනිස් නිර්මිතයක් බවත්, සමාජය බෙදී යාම රට බෙදීමක් ලෙසත් මෙහි අර්ථකථනය වේ. රට එක්සත් කිරීම හෝ ඒකීය කිරීම යන පද වලට  ද ඒ අනුව සමාජයීය අර්ථයක් මිස භූගෝලීය අර්ථකථනයක් මෙම රචනය තුළ නැති බව සළකන්න.)

ඓතිහාසික නියමයට අනුව කොර ගසමින් හෝ ධනේශ්වර ප‍්‍රාග්ධන ක‍්‍රියාවලිය ඉදිරියට ඇදුනත් ලංකාවේ මෙම සුවිශේෂ ත්‍රෛපාර්ශවික ගැටුම්කාරී තත්ත්වය තුළ, ලංකීය ධනේශ්වර නායකත්වයට ශක්තිමත්ව සමාජය මත තහවුරු වීමට අවස්ථාවක් ලැබුණේ ම නැත. එසේ ම ඒ අතර ’සමාජවාදයට’ ලෝකයේ තහවුරුවන්නට නොහැකි වීම දේශීය වශයෙන් මාක්ස්වාදී ව්‍යාපාරයේ බසුබෑමට ද බලපෑවේය. එසේම ලංකාව තුළ ද මාක්ස්වාදී නායකත්වයට මෙම සටහනේ දැක්වූ කරුණු හේතුවෙන් සමාජය මත සිය නායකත්වය පිහිටුවන්නට නොහැකි විය. සමාජය මත සිය නායකත්වය පිහිටුවන්නට එයට නොහැකි වුවත්,  ධනේශ්වර පංතියේ දර්ශනයක් නොමැති තත්ත්වය යටතේ, වැඩවසම්වාදී ව්‍යාපාරයේ අවශ්‍යතාවයක් ලෙස, ව්‍යවසාය විරෝධී හා දේශීයවාදී චින්තනයට ආධාරයක් වශයෙන්, මතවාදී තලයේ තව දුරටත් රැඳී සිටීමට ඊට අවකාශය තිබේ. විශ්මයජනක ලෙස වැඩවසම්වාදීන් ට ආධාරයක් වන්නට මාක්ස්වාදී ව්‍යාපාරයට හා එහි දර්ශනයට සිදුවී ඇත්තේ එය යාවත්කාලීන නොවීම නිසා ය. නො එසේ නම් අත්හරිණු ලැබූ ප‍්‍රජාතන්ත‍්‍රීය විප්ලවයේ කාර්යය තවදුරටත් මාක්ස්වාදී ව්‍යාපාරය වෙත පැවරී තිබෙන බව ඔවුන් වටහා ගනු ලබනු ඇත.

වමේ අවගමනයට හේතුව කුමක්ද?

මෙහිදී වහාම ප‍්‍රශ්නයක් පැන නගී. එනම්, මාක්ස්වාදී ව්‍යාපාරයේ (වමේ) අසාර්ථක වීමට හේතුව 1964 දී විප්ලවකාරී මග පාවාදීම හා ඉන් පසු දිගින් දිගටම එවැනි විප්ලවය පාවා දීම් නොවේද? යන්නයි. පිළිතුර එසේ නොවේ ය යන්නයි. අසාර්ථක වීම යන්නෙන් ගම්‍ය කෙරෙන්නේ මාක්ස්වාදී ව්‍යාපාරයේ සමාජ පදනම් දෙදරා යාමයි. නැතහොත් පරපුරින් පරපුර, වසරින් වසර සංඛ්‍යාත්මකව අඩුවීමක් පෙන්වීමයි.

මෙම රචනයේදී අවශ්‍යයෙන් ම මෙම ප‍්‍රශ්නය ම`ග හැර යා නොහැකි ය. එය ඒ තරමට ම සමාජයීය වශයෙන් දේශීය දේශපාලන වහරේ ස්ථාපිත වී තිබේ. මෙයට පිළිතුර සරල ය. ‘විප්ලවය පාවාදීම‘ හෙවත් වැඩවසම්වාදී දේශපාලන ව්‍යාපාරය සමග 1964 දී ගොඩන`ගූ සභාගය නිසා මාක්ස්වාදී ව්‍යාපාරය බිඳ වැටුණා නම් එම සභාගය ට එක් නොවූ හා එසේම ඊට විරුද්ධ වී වෙන් ව ගිය විප්ලවවාදී මාක්ස්වාදී සංවිධාන විනාශ වූයේ මන්ද? එම පක්ෂවල විප්ලවීය සාමාජිකත්වය විප්ලවය පාවා නොදුන් අය සමග නොගියේ මන්ද? සමසමාජ පක්ෂයෙන් ද කොමියුනිස්ට් පක්ෂයෙන් ද සැළකිය යුතු පිරිසක් එසේ වෙන් වී අලූත් පක්ෂ පිහිටුවා ගත්හ. ඉන් ඇතැම් ඒවා ටික කලක් මුල් පක්ෂයට වඩා විශාලව පැවැතිණ (උදා: කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල) එහෙත් වැඩි දිනක් යන්නට මත්තෙන් ඒවායේ සාමාජිකයන් එක්කෝ සිය මවු පක්ෂ වෙත ආහ. නැත්නම් ඒ මොහොතේ දී වැඩවසම්වාදී ව්‍යාපාරයේ නායකත්වය දැරූ ශ‍්‍රීලනිපය හා එක්වූහ. වඩාත් නො නැමෙන සුලූ උදවිය දිගින් දිගටම සියුම් න්‍යායික කරුණු හෝ පුද්ගලික කරුණු මත තව තවත් කුඩා කණ්ඩායම්වලට බෙදෙමින් ඉතිහාසයට ජීර්ණ වූහ. පසුව ඔවුන්ගෙන් වැඩි හරියක් දෙනා ද ශ‍්‍රීලනිප ය නම් වූ දේශපාලන‘කළු කුහරය‘ට අවශෝෂණය වී එම වැඩවසම්වාදී ව්‍යාපාරයට වාම වර්ණයක් ලබා දුන්නෝය. මේ සම්බන්ධයෙන් වාමාංශික ව්‍යවහාරයේ ඇති විහිළුවක් වන්නේ ‘විප්ලවවාදී පංතිය විසින් සිය නායකත්වය පාවා දුන්නා‘ය යන්නයි.

විප්ලවය පාවා දුන්නාය යන චෝදනාව පසුබිමෙහි ඇති දේශපාලන ප‍්‍රවාදය වන්නේ සමාජවාදී විප්ලවයට සූදානම් වූ විප්ලවවාදී පංතියක් සිටි බව හා සමාජවාදී විප්ලවයට විප්ලවවාදී අවකාශයක් ද තිබූ බවයි. නමුත් මෙය සත්‍යයක් ද? සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව නම් සමාජවාදී විප්ලවයකට අවකාශයක් නිර්මාණය වන්නේ ධනවාදයේ පූර්ණ වර්ධනයක ඵලයක් හැටියටය. තම අත ඇති යදම් හැර නැතිවන්නට කිසිවක් නැති කම්කරු පංතියක් ලෙස ලංකාවේ සිටියේ වතු කම්කරුවන් ය. එහෙත් ඔවුන් ට එක ස්වාමියෙකු වෙතින් තවත් ස්වාමියෙකු වෙත මාරු වී තමන් කැමැති තැනක තම ශ‍්‍රමය නිදහසේ විකිණීමට පුලූවන් කමක් තිබුණේ නැත. එය වහල් ශ‍්‍රමික ලක්ෂණයකි. නාගරික පාදඩ පිරිස් හා ඉතා කුඩා පිරිසක් වූ අවිධිමත් කම්කරු පිරිස විශ්වාස කළ නොහැකි සමාජ කණ්ඩායමක් විය. දුම්රිය හා ඉතා ස්වල්ප වූ කර්මාන්තවල සේවය කළ කම්කරුවන් ද සිය සේවා මුර කාලයේ කම්කරුවෙකු වුවත් ඉතිරි කාලය ගෙවූයේ ගැමි අඳුරේ තමන්ට හිමි කුඩා දේපොල හෝ වැඩවසම් ජීවිතය සමග ය. රටේ අනෙක් සෙනඟ පූර්ණ කාලීනවම වැඩවසම් ක‍්‍රමයක අංගෝපාංග විය. ධනපති පංතිය වර්ධිත පංතියක් නොව, නො මේරූ ස්වාධීන ශක්තියක් නැති පංතියක් විය. ඊට පහළ පංතිය, කාර්යාල ලිපිකරුවන්, කඩ සාප්පු කාරයන්, තැරැව්කාරයන්, හා මහජන උපයෝගිතා සේවාවන් සැපැයූවන් ආදීන් ගෙන් සමන්විත වූ, කාගෙන් හෝ යමක් පැහැරගැනීමට රාජ්‍ය ආධාරයක් සොයමින් සිටි, හීන දීන මධ්‍යම පංතිකයන් ය. (අද ද මෙම තත්ත්වයෙහි එතරම්ම මූලධාර්මික වෙනසක් නැත.) මෙවැනි සමාජයක් තුළ සමාජවාදී විප්ලවයකට අවකාශයක් තිබුණේ කෙසේද? අද වත් නැති එවැනි අවකාශයක් එදා තිබුණේ කෙසේද?  

එසේ ම වැඩවසම් ව්‍යාපාරය හා 1964 දී එක් වූ මාක්ස්වාදී ව්‍යාපාරය අර ඊනියා විප්ලවවාදී පංතියත් සමග 1970 දී වාම-වැඩවසම් පොල්පොට් වාදී ව්‍යාපාරයක් බවට අනුවර්තනය වී දිගටම පැවැතුණේ කෙසේද?

එසේම ධනේශවර නායකත්වයට ද මෙම පසුගාමී වැඩවසම් බලපෑමෙන් ගැලවීමක් නොතිබුණේ මන්ද? එයද ධනේශ්වර-වැඩවසම් අමුතු සත්ත්වයෙකු වූයේ මන්දැයි විමසා බැිය යුතු ය. මෙය කණගාටු දායක තත්ත්වයකි. එහෙත් යථාර්ථය එයයි. මෙය තේරුම් ගන්නේ කෙසේද?

‘තුන්වන බලවේගයේ‘ ෆැසිස්ට්වාදය

මාක්ස්වාදී විවරණයකින් ම පැහැදිලි කරන්නේ නම් සමාජය (ජනතාව) සිය සාම්ප‍්‍රදායයික නායකත්වය හෙවත් පාලක පංති නායකත්ව ප‍්‍රතික්‍ෂේප කරනු ලබන අවස්ථා ඇත. පංති නායකත්වය යනු ධනේශ්වර පංති නායකත්වය හෝ නිර්ධන පංතික නායකත්වයයි. නිර්ධන පංති නායකත්වය හෙවත් සමාජවාදී විප්ලවීය නායකත්වය හා ධනේශ්වර නායකත්වය යන නායකත්ව දෙකම  ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් හට ගන්නා සාපේක්ෂ අරාජික අවකාශය තුන්වන බලවේගයක් විසින් පුරවනු ලැබේ. (ග‍්‍රාම්ස්චි) ෆැසිස්ට්වාදය යනුවෙන් හඳුනාගන්නේ මෙවැනි ඇතැම් ඓතිහාසික තත්ත්ව යටතේ මතුවන තුන්වන නායකත්වයයි. ෆැසිස්ට්වාදය වුවත් නැතත් කුමන කාලයේදීත් මෙසේ කරලියට එන තුන්වන බලවේගවල පොදු ස්වභාවයක් ඇත. එය නම් මූලධාර්මික වශයෙන් ම එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දක්වන මාරාන්තික විරෝධයයි. ලෝකයේ භයානකම දේශපාලන ප‍්‍රපංචය නාට්සි ෆැසිස්ට්වාදය යැයි සම්මත වී ඇතත් ඊටත් වඩා කෲර වන්නට මෙවැනි තුන්වන බලවේගවලට හැකියාව තිබේ. එය ඒ ඒ භූගෝලීය හා සංස්කෘතික තත්ත්ව යටතේ මෙන් ම පවතින දේශපාලන සන්දර්භයේ ස්වභාවය මත වෙනස්විය හැකි ය. අරාජිකත්වය නැමැති දේශපාලන යථාර්ථය ද කෙටි කලක් හෝ දිගු කලක් පැවතීම ඒ ඒ සංදර්භය අනුව වෙනස් වන බව ඓතිහාසික අත්දැකීම් අනුව පෙනීයයි. අද ලංකාවේ අප මුහුණ දෙමින් සිටින්නේ ද අර තුන්වන බලවේගය බලවත් වී ප‍්‍රජාතන්ත‍්‍රවාදය තර්ජනයට ලක් වූ එවැනිම වූ ඓතිහාසික මොහොතකට ය.

මාක්ස්වාදී ව්‍යාපාරයත්, ධනේශ්වර නායකත්වයත් අතර ගැටුම දශක ගණනක් තිස්සේ ලංකීය දේශපාලන හා මතවාදී අවකාශයෙහි ද, සාපේක්ෂ වශයෙන් ආර්ථික පදනම්හි ද අරාජිකත්වයක් ඇති කිරීමට හේතු විය. එය දිගුකාලීනව දරාගෙන සිටීමට කුමන සමාජයකට වුවද නොහැකි ය. ධනවාදය ද නැත්නම් සමාජවාදය ද කියා නිශ්චිත මාවතක් තෝරා ගැනීමට ජන සමාජයට අවස්ථාවක් තිබිය යුතු ය. දශක 5-6ක් තිස්සේ ගැමි සමාජය ඇංග්ලෝ-ලංකා වැඩවසම් අඳුරේ අන්ත දිළින්දන් වූහ. 1975 වනවිට ඊනියා ‘සුන්දර ගම‍‘ න්‍යෂ්ටික බෝම්බයක් සේ පුපුරා ගොස් දුගී ස්ත‍්‍රීහු මරණයේ අවදානමද නොතකා ඉතා අඩු පහසුකම් යටතේ මැද පෙරදිග රැකියා සොයා ගියහ. අද වන විට එය සක‍්‍රීය ජනගහණයෙන් සියයට 30 කි. (සිංහලයා සුද්දන්ගේ වතුවල කුලී වැඩට නොගියේ සිය ජාතික අභිමානය නිසායැයි කියා අතීතය ගැන මිත්‍ථ්‍යා මතයක් වැඩවසම්වාදී චින්තකයන් විසින් වර්තමානයේ ගොඩ නගා ඇත. එහෙත් සත්‍ය තත්ත්වය වූයේ ලංකාවේ පැවති වැඩවසම් හුවමාරු සම්බන්ධතා වලින් එකල පොදු ජනයා නිදහස් නොවී සිටීම ය. 1948 නිදහසින් පසු, ඉඩම් ප‍්‍රතිසංස්කරණ වැඩසටහන් මගින්, යම්තාක් දුරකට වැඩවසම් හුවමාරු සම්බන්ධතා දුර්වල වී තිබූ තත්ත්වය යටතේ, 1975 දී ලාංකික ගැමි ස්ත‍්‍රීන් ලක්ෂ ගණනින්, අතිශයින් ම පහත් සේවා තත්ත්වයන් ද දරා ගනිමින්, ජීවිත අනතුරුද නොතකා, ගෘහස්ථ කුලී සේවය සඳහා මැද පෙරදිගට සංක‍්‍රමණයවීම, වැඩවසම් චින්තකයින්ගේ  අර සිංහල අභිමානය තුළ තාර්කිකව පැහැදිලි කෙරෙන්නේ නැත. අද ප‍්‍රධාන වශයෙන් එම සංක‍්‍රමණික ශ‍්‍රමයෙන් උපදවන ධනයෙන් ම රටත්, එම චින්තකයනුත් යැපෙන සැටි තාර්කිකව විස්තර කැරෙන්නේත් නැත.)

‘ප්‍ර‍ජාතන්ත්‍ර‍ික විප්ලවය‘ සම්පූර්ණ කිරීම

මෙම සටහනේ මුලින් ද සඳහන් කළ පරිදි ධනේශ්වර ප‍්‍රාග්ධන ක‍්‍රියාවලියේ වාසිය වැඩවසම් හුවමාරු සබඳතා නිසා ග‍්‍රාමීය සමාජය වෙත ගලා ආවේ ද නැත. මාක්ස්වාදී ව්‍යාපාරයේ ආරම්භයෙන් පසු එහි බලවත් තර්ජනය යටතේ, එහෙත් ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් ආ ධනේශ්වර සංවර්ධනය ද 1956 දී එක්වරම ඇන හිටියේය. ඒ මාක්ස්වාදී-වැඩවසම් සන්ධානය බලයට පත්වීම නිසා ය. ඉන්පසු 1970 දී යළිත් බලයට පත්ව පෞද්ගලික ව්‍යවසායයන් රජයට පවරා ගැනීමත් ඒවායේ පාලනය රාජ්‍ය නිලධාරී තන්ත‍්‍රයට පැවරීමත් සිදු විය. රාජ්‍ය කේන්ද්‍රීය ව්‍යවසාය ලෙස හැඳින්වෙන මෙම ක‍්‍රියාවලිය දිගින් දිගටම 1970 දශකය පුරාමත් සිදු විය. මෙය පොදු ජන සමාජය අවබෝධ කරගත්තේත්, මාක්ස්වාදී ව්‍යාපාරය ක‍්‍රියාවට නැගුවේත්, ප‍්‍රචාරය කළේත් සමාජවාදී ජයග‍්‍රහණයක් හැටියට ය. අද ද මෙම බලවත් සේ පාඩු ලබන රාජ්‍ය දේපොල ගැන සමාජයේ ඇත්තේ මිත්‍ථ්‍යා පිළිගැනීම් ය.

ලොව කොහේත් සිදුවුන අයුරින් මෙම රාජ්‍ය ව්‍යවසායයන් අසාර්ථක විය. මේවායින් සිදු වූයේ ඇංග්ලෝ-ලංකා වැඩවසම් ක‍්‍රමය ශක්තිමත් වීම ය. පැරණි රජු වැනි පාලකයාත්, ඔහුගේ නිළමේවරුන් ට හා නිලධාරීන්ට ජීවන මාර්ගත් මේවායින් සැපයේ. ජනතාවට සිදුව ඇත්තේ පෙර මෙන් ම මෙහි බර හිස මත දරා සිටීම ය. ධනේශ්වර ව්‍යවසායයික සංවර්ධන උපාය වනසා ඊට එරෙහිව ඇට වූ සමාජවාදී සංවර්ධන උපාය සමාජ ව්‍යසනයක් විය. මෙම ප‍්‍රජා පීඩාවේ වගකීම දැරීමට සිදු වූ මාක්ස්වාදී නායකත්වයද ජන සමාජයෙන් ප‍්‍රතික්‍ෂේප විය. 

කිසිදු මාවතක් නොමැතිව කතරේ අතරමංවූ ජනතාව මිරිඟුවට මුලා වන්නා සේ දේශීයවාදය, ජාතිකවාදය, දේශ මාමකත්වය, ධර්ම රාජ්‍යය, ජාතික චින්තනය ආදී සංකීර්ණ රූප මගින් පෙනී සිටින ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩවසම්වාදයට ගොදුරුවී සිටිති. මේ වනාහී මාක්ස්වාදී ව්‍යාපාරය හා ධනේශ්වර නායකත්වය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය අත්හැරීමෙන් ලැබී ඇති නියත ප‍්‍රතිඵලයයි. එහෙත් දශක හතකට පසුව ද නැවතත් මාක්ස්වාදී ව්‍යාපාරයට මෙන් ම ධනේශ්වර නායකත්වයටද මුහණ දීමට සිදුව ඇත්තේ අත්හළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැඟීමේ වගකීමටම ය. සී සී කඩ වී ගොස් ඇති සමාජය එක්සත් කිරීම, වැඩවසම් රාජ්‍ය ව්‍යුහය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් බවට ප‍්‍රතිව්‍යුහගත කිරීම, ව්‍යවසායයික ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම, පුද්ගල නිදහස හා මානව අයිතීන් සහතික කිරීම, වැඩවසම් චින්තනය පරාජය කිරීම ආදිය ඔවුන් ඉදිරියේ ඇති දැවෙන ප‍්‍රජාතන්ත‍්‍රික ගැටළු වලින් සමහරකි.  

එහෙත් වැඩවසම්වාදී ව්‍යාපාරය බලවත් වී බ්‍රිතාන්‍යයෙන් ලැබුණු පාර්ලිමේන්තු උපකරණ කට්ටලය ද යොදාගනිමින් කරමින් සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සොහොන්ගත කිරීම ය. මාක්ස්වාදී ව්‍යාපාරයට මෙන් ම ධනේශ්වර නායකත්වයට ද වන්දි ගෙවීමට සිදුව ඇත්තේ තමන්ගේ ම අතීතයටය. යමෙකුට ඒකීය රාජ්‍යයක් පවත්වා ගැනීමට අවශ්‍යම නම් පළමුව ම ඒ සඳහාවත් ඒකීය සමාජයක් තිබිය යුතු නිසා ඒ සඳහා ජාතීන් අතර සමානාත්මතාවය පිළිගත යුතු බවට මාක්ස්වාදී ව්‍යාපාරයේ මුල් කාලයේ  ප‍්‍රජාතාන්ත‍්‍රික අදහසක් තිබුණි. 1970 දශකයේදී එම මූලධර්මයෙන් ද මාක්ස්වාදී වයාපාරය ඉවත්වීම කණගාටුවකට කරුණකි. අද යළිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මඟහැර යා නොහැකි බව පෙන්නුම් කරමින් තිබේ. අද වන විට පළමු හා දෙවන බලවේග පමණක් නොව, ජයග‍්‍රාහී තුන්වන බලවේගයද නව පරපුර විසින ප‍්‍රතික්‍ෂේප කරනු ලැබෙමින් තිබේ. ඒකීය රාජ්‍යය විකාරයක් කරමින් සමාජය නියත වශයෙන් ම බෙදී ඇත. (මැතිවරණ ප‍්‍රතිඵලවලින් ද එය පෙන්නුම් කර තිබේ) ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ කාර්යය අප ඉදිරියේ ඇති බව කිව යුතු ය. අපගේ මිතුරු බලවේග මොනවාද? අපගේ සතුරු බලවේග මොනවාද? අපගේ ගමන කුමන දිසාවටද යන කාලාන්තරයක් තිස්සේ සාකච්ඡා කර ඇති මාතෘකා යළිත් වරක් සාකච්ඡා කිරීමට අද සිදුව ඇත. කොටින් ම කියනවානම් මාක්ස්වාදී ව්‍යාපාරයට අලූත් උපතක්, පුනර්ජීවනයක් අවශ්‍ය වී තිබේ.

ප‍්‍රගීත් එක්නැලිගොඩ | 2009 අගෝස්තු 16


© JDS