‘උතුරේ පවරාදුන් ඉඩම් ඕනෑම වෙලාවක ආපසු ගත හැකියි' - හිටපු ඉඩම් කොමසාරිස්

තුරේ අධි ආරක්‍ෂිත කලාප යටතේ පැවැති ඉඩම්වලින් කොටසක් ඒවායේ මුල් පදිංචිකරුවන්ට ආපසු ලබාදුන් බව ආණ්ඩුව කියා සිටියත්, ඒවා නියමිත නීත්‍යානුකූල පටිපාටියකට අනුව ලබාදී නොමැති බවත්, එබැවින් ඒවා ඕනෑම මොහොතක ආපසු රජයට පවරාගැනීමට හැකිවීමේ අවදානමක් පවතින බව හිටපු ඉඩම් කොමසාරිස්වරයෙක් කියා සිටී.

අධි ආරක්‍ෂිත කලාප සඳහා ඉඩම් පවරාගැනීම සිදුකොට ඇත්තේ ඉඩම් පවරාගැනීමේ පනතේ 38 () වගන්තියට අනුව බවත්, එම වගන්තිය යටතේ පවරාගන්නා ඉඩම් පැය 48ක් ඇතුළත රාජසන්තක කළ හැකි බවත් පවසන උතුරු හිටපු ඉඩම් කොමසාරිස් කදිර්ගාමතම්බි ගුරුනාදන් එසේ පවරාගත් ඉඩම් නැවත ඒවායේ මුල් පදිංචිකරුවන්ට පවරා දීමට අවශ්‍ය නම් ඉඩම් පවරාගැනීමේ පනතේ 39වැනි වගන්තියේ 1 වැනි උප වගන්තියට අනුව නැවත ඉඩම් මැන මුදාහළ යුතු බව ද කියා සිටියි. ඕනෑම මොහොතක යළි රජයට පවරාගත හැකි වීමේ හේතුවෙන්  මෙසේ නියමිත නීත්‍යානුකූල ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් මුදාහරින ඉඩම්වලට කිසිදු ස්ථාවර නීතිමය වලංගුභාවයක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධව පැවති වකවානුවේ එහි නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් ධූරය ඉසිලූ ගුරුනාදන් පසුව නැගෙනහිර පළාතේ ඉඩම් කොමසාරිස්වරයා වශයෙන්ද කටයුතු කළේය.

යළි පවරාගැනීමේ අවදානම

"ඉඩම් පැවරීමේ පනතේ 39.1 උප වගන්තියට අනුව මුදාහරින ලද ඉඩම් පමණයි ආපසු වෙනත් අයිතියකට නීත්‍යානුකූලව පැවරිය හැක්කේ. වලිකාමම් උතුරේ හා දකුණේ මෙන් ම සාම්පූර්වලත් අධි ආරක්‍ෂිත කලාපය යටතේ තිබූ ඉඩම්වලින් කොටසක් නැවත මුල් පදිංචිකරුවන්ට ලැබී ඇති බව කියමින් ඔවුන් දැන් එම ඉඩම්වල පදිංචි වෙන්න හදනවා. ඒත් නියමිත නීත්‍යානුකූල ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් නෙමෙයි මේ ඉඩම් ආපසු ලබාදී තිබෙන්නේ. එසේ නීත්‍යානුකූල නොවන අන්දමින් පවරා දුන් ඉඩම්වල ජනයා වියදම් දරා ඉදිකිරීම් සිදුකර පදිංචියට ගියත්, ඕනෑම මොහොතක ඒවා ආපසු රජයට පවරාගත හැකිවීමේ අවදානමක් තිබෙනවා." කදිර්ගාමතම්බි ගුරුනාදන් පවසයි.

රජයේ හමුදා මගින් 1990 දී උතුරු වලිකාමම් ප්‍රදේශය අත්පත් කරගන්නා විට, 1981 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු සංගණනයට අනුව එහි ජනගහණය 83,618 කි. පවරාගනු ලැබූ වර්ග කිලෝ මීටර් 160ක භූමි ප්‍රමාණය යාපනය අර්ධ ද්වීපයෙන් 18%ක වූ අතර ග්‍රාම සේවක වසම් 24කට අයත් ඉඩම් අක්කර  6,381ක පිහිටි නිවාස 30,000ක් හා පාසැල් 30 හමුදා යටතට පත්ව තිබුණි. මෙසේ අත්පත් කරගත් ඉඩම්වල පදිංචිව සිටි ජනයාට නැවත පදිංචියට අවසර ලබා දෙමින් 2010දී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අතුරු නිදේශයක් නිකුත් කරනු ලැබූ අතර ඒ අනුව 2010 නොවැම්බර් 27 වෙනිදා  අධි ආරක්ෂක කලාපයට අත්පත් කරගත් ග්‍රාම සේවා වසම් 3 කත්,  2011 මැයි 13 වෙනිදා තවත් ග්‍රාම සේවා වසම් 10 කත් උන් හිටි තැන අහිමි වූවන්ගෙන් කොටසකට පමණක් යළි පදිංචි වීමේ අවස්ථාව ලැබිණි. සෙසු ග්‍රාම සේවා වසම් 12 මුල් පදිංචි කරුවන්ට සිය බිම් වෙත යාමට මෙතක් අවසර ලැබී නොමැත.

දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ සිට ඉඩම් අහිමි වූ ජනයා මේ වනතුරුත් සරණාගත කඳවුරුවලට දිවි ගෙවන බව උතුරු වලිකාමම් ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරන ෂන්මුගලිංගම් සජීවන් JDS හා ප්‍රකාශ කළේය.

ඉඩම් අක්කර 430ක්

කෙසේ වුවද මෙසේ පවරාගනු ලැබ තිබූ නැගෙනහිර වසාවිලාන්, පලාලි දකුණ යන ප්‍රදේශවල අක්කර 197ක ඉඩම් ජනතාවට යළි බාරදෙන බව නව ආණ්ඩුව විසින් දැනුම් දුන් අතර, සිය ගේ දොර ඉඩකඩම් නිරීක්ෂණය සඳහා පසුගිය මාර්තු 20 වෙනිදා ආණ්ඩුවේ අනුමැතිය ඇතිව ප්‍රදේශයේ මුල් පදිංචිකාර පවුල් 411ක සාමාජිකයෝ එහි ගියහ. එහෙත් මුදාහරින බවට ප්‍රකාශිත ඉඩම්වලින් 75%කට අධික ප්‍රමාණයක් නිරීක්‍ෂණය හමුදාව මගින් වළකන ලද අතර එම ඉඩම් හරහා කටුකම්බි වැටවල් ඉදිකරමින් සිටින බව ඉඩම් නිරීක්ෂණයට ගිය මුල් පදිංචිකරුවෝ පැවසූහ. මාර්තු 23 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යාපනයේ පැවැති රාජ්‍ය උත්සවයකදී තෙල්ලිප්පලෙයි හා කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් වසාවිලාන් සහ වලෙයි යන ගම්මානවලින්මෙසේ පලවා හරිනු ලැබ සිටි 60 දෙනෙක් අතර ඉඩම් අක්කර 430ක් නැවත භාරදෙනු ලැබූ බව රජය ප්‍රකාශ කළේය.

මේ හා සමානව නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් කිලිවෙඩ්ඩි, පද්දීතිදාල්, මාන්ත්චේනෙයි සහ කට්ටපරිච්චාන් යන ප්‍රදේශවල ඉඩම් අක්කර 5,000ක්ද 2006දී විශේෂ ජනාධිපති ගැසට් නිවේදනයක් මගින් අධි ආරක්‍ෂක කලාපයක් යටතට පවරා ගැනීමට එවකට පැවති රජය කටයුතු කළේය. මේ අතුරින් සාම්පූර් ප්‍රදේශයෙන් විශේෂ ආර්ථික සංවර්ධන කළාපයක් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පවරා ගන්නා ලද අක්කර 800ක ඉඩම් ප්‍රමාණයක් නැවත මුදාහැරීමේ ජනාධිපති ගැසට් නිවේදනයක් ඉකුත් මැයි 07 වැනිදා නිකුත් කරනු ලැබුණද අදාළ නියෝගය මැයි 15 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් මගින් අත් හිටුවන ලදී.

'නිසි නීතිමය රාමුවක් නැහැ'

මෙම ඉඩම් අධි ආරක්ෂිත කලාප ස‍ඳහා ඉඩම් පවරා ගැනීමේ ද අඩුපාඩු හා අක්‍රමිකතා කොතෙක් තිබුණත්, පවරාගත් නීතිය ගැටලුකාරී වුවත් ඒවා පවරාගෙන ඇත්තේ රටේ වලංගු නීතියකට අනුව බැවින්, එම ඉඩම් නැවත මුල් පදිංචිකරුවන්ටම හෝ වෙනත් ඕනෑම අයිතියකට පවරන්නේ නම් එය ද ස්ථිර හා නීත්‍යානුකූල ක්‍රමවේදයකට සිදුවිය යුතු බව කදිර්ගාමතම්බි ගුරුනාදන් තවදුරටත් කියා සිටියි. තමන් මේ සම්බන්ධයෙන් උතුරේ දේශපාලනඥයන් කිහිප වතාවකදී ම දැනුවත් කළ බව ද ඔහු පවසයි.

"ආපසු ලබාදෙන ඉඩම්වලට නීතිමය රාමුවක් නැතිවීම අනාගතයේ බරපතල ගැටලු ඇතිකිරීමට හේතුවිය හැකියි. ඉඩම් ආපසු ලබාගන්නා ජනයාට හදිසියේම ඒ ඉඩමත්, තමන් එහි කළ ඉදිකිරීම් ඇතුළු සංවර්ධන කටයුතු සියල්ලත් අහිමි වී යාමේ අවදානමක් තිබෙනවා. ආණ්ඩු මාරුවකදී පමණක් නොව පවත්නා ආණ්ඩුවකම ප්‍රතිපත්ති වෙනස්කම් ඇතිවීමක දී වුවත් මේ තත්ත්වය ඇතිවිය හැකියි." හිටපු ඉඩම් කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසයි.☐

© JDS