ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනීවළේ ඇටකටු ෆ්ලෝරිඩාවට

කිත්සිරි විජේසිංහ විසිනි.


ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සොයා ගෙන ඇති විශාලතම සමූහ මිනීවළේ අස්ථි කොටස්වල කාලය තීරණය කර ගැනීම සඳහා ඒවායේ නියැදි කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂණායතනයක් වෙත යැවීමට අධිකරණයේ අනුමැතිය හිමිව ඇත.

දින 90ක කැණීම් අවසානයේ මිනිස් ඇට සැකිලි 185ක් හඳුනාගෙන ඇති මන්නාරම සතොස ගොඩනැගිල්ල ආශ්‍රිත සමූහ මිනීවළ දිවයිනේ වැඩිම සිරුරු සංඛ්‍යාවක් එකතැන හමුවූ ස්ථානය වේ.

එයින් පූර්ණ අස්ථි පද්ධති 179 ක් වෙන් කිරීමට සමත්වූ වෝහාරික විශේෂඥවරුන් ඒවා අධිකරණ භාරයට පත් කර ඇත. ඒ අතරින් ඇට සැකිලි 15ක් කුඩා ළමුන්ගේ බව කැනීම් බාර විශේෂඥවරු පවසති.

මන්නාරම සතොස සමුහ මිනීවළේ කැණීම් කටයුතු භාර අධිකරණ වෛද්‍ය නිලධාරියා පවසන්නේ තෝරා ගන්නා අස්ථි සම්පලවල කාල නිර්ණය හඳුනා ගැනීම සඳහා ඒවා ෆ්ලොරිඩාවේ බීටා ඇනලිටික් ආයතනය වෙත නීතීඥවරයකු ද කැටුව රැගෙන යෑමට තමන්ට අධිකරණයේ අවසරය හිමිව ඇති බව ය.

OMP කාර්යාලයේ සහාය

"දැන් අපිට කරන්න තියෙන්නේ කිසිම ගැටළුවක් ඉදිරියට ඇති නොවන විදිහට සාම්පල තෝරාගෙන ඒවා නිසි පරිදි අදාළ ආයතනයට භාර දෙන එකයි,” යනුවෙන් වෛද්‍ය සමින්ද රාජපක්ෂ ජේඩීඑස් හා කියා සිටියේය.

“පහුගිය කාලයේ සමහර සමූහ මිනී වළවල්වල අස්ථි කොටස් සම්බන්ධයෙන් විවිධ ගැටළු ඇති වුණානේ. ඒක නිසා මම පුද්ගලිකවම මේවා ගිහින් භාර දෙන්නැයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට අවසරය මට අධිකරණයෙන් ලැබිලා තියනවා. නමුත් ඒකට යම් සැළකිය යුතු කාලයක් ගතවෙයි.”

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයෙන් (OMP) ඒ සඳහා මුදල් ලබාදෙන බවද වෛද්‍ය රාජපක්ෂ පැවසීය.

මීට ඉහතදී මන්නාරම තිරුකේතීස්වරම් සමුහ මිනීවළෙන් ගොඩ ගන්නා ලද අස්ථි කොටස් සාම්පල බීටා ඇනලිටික් ආයතනයේ පරීක්ෂණ සඳහා යැවීමට මන්නාරම නීතිඥ සංගමයේ විරෝධය පළ වී තිබුනි.

එයට හේතු වූයේ මාතලේ සමුහ මිනීවළෙන් ගොඩ ගැණුනු අස්ථි කොටස්වල කාල නිර්ණය හඳුනා ගැනීම වෙනුවෙන් යවන ලද අස්ථි සාම්පල ඇසුරින් බීටා ඇනලිටික් ආයතනය ලබා දුන් පරික්ෂණ වාර්තාවේ නිරවද්‍යතාවය පිළිබඳව මාතලේ සමුහ මිනිවළේ කැණිම් සිදුකළ වෝහාරික විශේෂඥවරුන්ද සැක මතු කිරීම ය.

විරෝධයක් නෑ

නමුත් මන්නාරම සතොස මිනිවළ සම්බන්ධයෙන් එවැනි විරෝධතාවයක් මතුව ඇති බවට තමන්ට දැන ගන්නට නැති බව  වෛද්‍ය සමින්ද රාජපක්ෂ ජේඩීඒස් හා ප්‍රකාශ කළේය.

"පසුගිය දවසක මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් මන්නාරම මහේස්ත්‍රාත්තුමාගේ මූලිකත්වයෙන් පැවැත්වුවා. එහිදි තීරණය කළා රැගෙන යන අස්ථි  සාම්පල සමඟ මන්නාරම නීතිඥ සංගමයේ සාමාජිකයකුටත් යන්න අවසර දෙන්න. මොකද එහෙම කරපුවාම අපිට පුලුවන් වඩාත් විනිවිදභාවයකින් කටයුතු කරන්න. හැබැයි එතැනදි කවුරුත් එහෙම විරෝධතාවයක් මතු කෙරුවේ නෑ. එහෙම කළා නම් අපිට ඒ ගැන සලකා බලන්න තිබුණා", හේ කීය.

තොරතුරු ලබා නුදුන්නොත් අපරාධයක්

කැණීම් කටයුතු අවසන් වු පසුව ගොඩ ගෙන ඇති අස්ථි කොටස් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඇරඹීමට බලාපොරොත්තු වන බව පවසන වෛද්‍ය රාජපක්ෂ, මන්නාරම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් අතුරුදහන්ව ඇති බවට සැක කෙරෙන පුද්ගලයන්ගේ ඥාතීන් වේ නම්  ඔවුන් එම පරීක්ෂණ කටයුතුවලට ඉදිරිපත් වීමේ  වැදගත්කමද අවධාරණය කරයි.

"අස්ථි කොටස් සම්බන්ධයෙන්  පරීක්ෂණ කරන්න පටන් ගත්තම ඒවායෙහි අනන්‍යතාවය සහතික කර ගැනීම ඉතාම වැදගත්. මොකද එහෙම කරන්න පුලුවන් වුණොත් තමයි අපිට යම් නිගමනයකට එන්න පුලුවන් වෙන්නේ මේ සමුහ මිනීවළ පිළිබඳව. ඒ නිසා මම OMP  එකටත් දැනුම් දුන්නා මේ ප්‍රදේශයේ අතුරුදහන් වුවන් පිළිබඳ තොරතුරු හරි, එහෙම  අයගේ ඥාතීන් පිළිබඳව තොරතුරු හරි තියෙනවා නම් සපයන්න කියලා. මොකද නැත්නම් අපිට වෙන්නේ ඇටකටු ටික පරීක්ෂා කරලා පැත්තකට විසිකරලා දාන්න. ඒක මහා අපරාධයක්."

එවැනි සහායක් නොලැබුණහොත් සමස්ත පරීක්ෂණයම අපතේ යා හැකි බවට වෛද්‍ය රාජපක්ෂ සැක මතු කරයි.☐

© JDS