ළමා ඇට සැකිළි මතුවු මන්නාරම සමුහ මිනීවළ වසා දැමීමේ අවදානමක

කිත්සිරි විජේසිංහ විසිනි


යස අවුරුදු 12 ට අඩු කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් 30කට වැඩි ප්‍රමාණයකගේ හිස් කබල් සහ අස්ථි කොටස් ගොඩ ගැනුණු උතුරු පළාතේ සමූහ මිනීවළක කැණීම් කටයුතු කරගෙන යාමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් වසා දැමීමට සිදුවෙතැයි අදාළ පරීක්‍ෂණ කටයුතුවල නිරත විශේෂඥ පිරිස් බිය පළ කරති.

ඉකුත් මැයි 28 වැනිදා මන්නාරම සතොස භූමියෙන් හමු වූ සමුහ මිනීවළ එසේ වසා දැමිමට උත්සාහ කරනුයේ වළෙහි කැණීම් කටයුතු සඳහා දායකත්වය ලබා දෙන අධිකරණ වෛද්‍ය සහ පුරා විද්‍යා විශේෂඥ පිරිස්වලටත්, රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මන්නාරමට පැමිණ ඇති කණ්ඩායමටත් ආහාර, නවාතැන් සහ ප්‍රවාහන ආදී පහසුකම් සැපයීමට අධිකරණ අමාත්‍යාශය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ මේ තාක් ඉදිරිපත් නොවීම හේතුවෙනි.

මහේස්ත්‍රාත් නියෝගයක්

මන්නාරම සමුහ මිනීවළෙහි  කැණීම් කටයුතු භාර, මන්නාරම ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද  රාජපක්ෂ හා  පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සේමදේව ජේඩීඑස් හා කියා සිටියේ මන්නාරම මහේස්ත්‍රාත් ටී ජේ ප්‍රභාකරන්ගේ  ප්‍රධානාත්වයෙන් මන්නාරම අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ සඳුදා (25) පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි තීරණයකට එළැඹි  බව ය.  අදාළ සාකච්ඡාව සඳහා මන්නාරම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, නීතිඥවරුන් හා රාජ්‍ය නිලධාරී පිරිසක් ද සහභාගි වූහ.

"මන්නාරම මහේස්ත්‍රාත්තුමා සාකච්ඡාව කැඳවලා තිබුණේ ඉදිරි කටයුතු ගැන කතා කරන්න. එතැනදි එතුමා අපි හැමෝටම දැනුම් දුන්නා කැණීම් සහ පරික්ෂණ කටයුතු සඳහා කොළඹින්  සහ පිට ප්‍රදේශවලින් මන්නාරමට ඇවිත් ඉන්න විශේෂඥවරුන්ට පහසුකම් සැලසීමේ ගැටලුවක් මතුවෙලා තියන බව. එය විසඳා ගැන්න බැරි වුණොත්  තවදුරටත් කැණීම් සහ පරික්ෂණ කටයුතු කරගෙන යෑමට නොහැකි බවත්, එසේ වුවහොත් වළ වසා දැමිමට සිදුවන බවටත් එතුමා අපිට දැනුම් දුන්නා," යි මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රකාශ කළේය.

වීඩියෝ දසුන් මෙතැනින්

ඉදිරි දෙසතියක කාලය සඳහා අවශ්‍ය ආහාර සහ නවාතැන් පහසුකම් සැපයීමට සමූහ මිනීවළ හමු වූ භූමිය අයත් සතොස ආයතනයට හැකිදැයි අඟහරුවාදා පස්වරු එකට පෙර තමන්ට දැනුම් දෙන ලෙස මන්නාරම මහේස්ත්‍රාත් ටී ජේ ප්‍රභාකරන් විසින් එම සාකච්ඡාට පැමිණ සිටි සතොස ආයතන නියෝජිතවරයාට දැනුම් දුන් බව ද මහාචාර්ය සෝමදේව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

'පෞද්ගලික වැඩක් නෙමෙයි'

සමූහ මිනීවළෙහි ඉදිරි කැණීම් සහ පරීක්ෂණ කටයුතු අත්හිටුවීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් කර ඇති ප්‍රකාශය පිළිබඳව විමසීමේදි මන්නාරම ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ කියා සිටියේ  පවතින තත්ත්වය මත වළ වසා දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ය.

"මේ පරීක්ෂණයට මන්නාරමෙන් පිට දිස්ත්‍රික්කවල අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් පස් දෙනෙක් සහභාගි වෙනවා. ඊට අමතරව මහාචාර්ය සෝමදේවගේ කණ්ඩායමත්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අයත් ඉන්නවා. ඒ අයට අවශ්‍ය පහසුකම් හරියාකාරව දෙන්න බැරි නම් වළ වහන්න වේවි," ඔහු කීය.

අදාළ ගැටළු පිළිබඳව වගකිව යුතු රජය දැනුවත්කළ නොහැකිදැයි කළ  විමසීමේදි වෛද්‍ය රාජපක්ෂ කියා සිටියේ මෙම කැණීම් කටයුතු පිළිබඳ පහසුකම් හා ප්‍රතිපාදන සැපයීම සඳහා මූලිකත්වය ගැනීම වගකිව යුතු බලධාරීන්ට පැවරෙන වගකීමක් බව ය.

"මේක අපි කාගේවත් පුද්ගලික වැඩක් නෙමෙයි. ප්‍රශ්නය තියෙන්නේ රජය මේ ප්‍රශ්නය විසඳන්න ඉදිරිපත් වෙන්නේ නැතිකමයි. මම සේවය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වුණත් සමුහ මිනීවළක පරික්ෂණ කටයුතු  කරන්න කියලා  අපිට නියෝග කරන්නේ අධිකරණයෙන්. ඒ නිසා මේක අධිකරණ අමාත්‍යාංශයට අයිති වැඩක් නිසා ඊට අවශ්‍ය පහසුකම් දෙන්න කියලා අධිකරණ අමාත්‍යාංයෙන් මම ලිඛිතව ඉල්ලීමක් කළා. ඒත් කිසිම උත්තරයක් නෑ. හැමෝටම මේ වගකීම මඟ හැරලා යන්න පුලුවන් වෙන්නේ සමුහ මිනීවළක කැණීම් කටයුතු සිදුවිය යුත්තේ අහවල් ආයතනයේ ප්‍රතිපාදන සහ වගකීම යටතේ කියලා දක්වන කිසිම නීතියක් හෝ ක්‍රමවේදයක්  ලංකාවේ නැති නිසායි," ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් මන්නාරම සතොස සමුහ මිනීවළේ මෙන්ම එයට පෙර හමුවු තිරුකේතීස්වරම් සමුහ මිනීවළේ කැණීම් කටයුතු නිරීක්ෂණය කළ මන්නාරමේ ප්‍රකට නීතීඥයෙක් ජේ‍ඩීඑස් හා කියා සිටියේ ප්‍රදේශයේ කතෝලික පූජකතුමන්ලා සහ රදගුරු නිවස්නය විසින් කැණීම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට කැමැත්තෙන් සිටිය ද අධිකරණය මෙන්ම පරීක්ෂණ කණ්ඩායම ද එයට නිසි ප්‍රතිචාරයක් නොදක්වන බව ය.

"බිෂොප් හවුස් එකයි, සමහර කතෝලික පියතුමන්ලයි මේ ප්‍රශ්නය විසඳගන්න උදව් කරන්න ලැහැස්තියි. නමුත් මේ ගොල්ලෝ එකට කැමති නෑ. ආණ්ඩුව සල්ලි දෙන්නේ නෑ කියලා දැන, දැනම මේ අය ඒකම අපේක්ෂාවෙන් ඉන්නවා. අන්තිමේදි වෙන්නේ වළ වහලා දාන්න වෙන එකයි," ඔහු කීය.

ආණ්ඩුවේ සල්ලි විතරයි

මේ සම්බන්ධයෙන් ජේඩීඑස් විසින් කළ කරුණු විමසීමේදී වෛද්‍ය රාජපක්ෂ සහ මහාචාර්ය සෝමදේව කියා සිටියේ මහේස්ත්‍රාත්වරයා මෙන්ම තමන්ද රජයේ ප්‍රතිපාදනවලින් තොරව මෙම කැණීම් සහ පරීක්ෂණ සිදු නොකිරීමට දැඩි තීන්දුවක එළැඹ සිටින බව ය.

"අපි පෞද්ගලිකව විරුද්ධයි මේකට කිසිම දේශීය හෝ විදේශීය රාජ්‍ය නොවන සංවිධානයක් මැදිහත් වෙනවාට හෝ ආධාර උපකාර කරනවාට. එහෙම වුණොත් කාට හරි චෝදනා කරන්න පුලුවන් අපි අපේ  වාර්තා හැදුවේ ඒ අයට උවමනා විදිහට කියලා. ඒ නිසා රජය මේකට උදව් කරන් නැත්නම් වළ වහල දාන එක ඇරෙන්න වෙන විකල්පයක් අපිට නෑ. අපේ ගරුත්වය නැතිකර ගන්න අපිට බැහැ,"යි ඔවුහු කීහ.

දරුවන්ගේ හිස් කබල්

කෙසේ නමුත් පසුගිය දින 20ක කාලයක් තුළ සිදුකර ඇති කැණීම් කටයුතුවලදි වැඩිහිටි පුද්ගලයන්ගේ සහ වයස අවුරුදු 12ට අඩු දරුවන්ගේද ඇතුළු සම්පූර්ණ හිස් කබල් 30ක් හමුවි ඇතැයි ජෙීඩීඑස් වෙත ප්‍රකාශ කළ පරීක්‍ෂණ ප්‍රධානීහු කුඩා දරුවන්ගේ හිස් කබල් කිහිපයක කිරි දත් එමින් තිබූ සළකුණු ද ඇති බවට තහවුරු කළහ.

"ඇතැම් හිස් කබල් තියනවා ඉතාම ළාබාල ඒවා. ඒ වගේම ඉතාම පැහැදිලිව ඒ බව මට කියන්නත් පුලුවන්.ඒවා පොඩි දරුවන්ගේ හිස් කබල්,"යි මහාචාර්ය සෝමදේව ප්‍රකාශ කළේය.

අධිකරණ වෛද්‍ය නිලධාරි රාජපක්ෂ කියා සිටියේ මේ වන විට හමුවන අස්ථි කොටස් අතරින් සම්පූර්ණ සිරුරකට අදාළ කොටස් ද හමුවෙමින් ඇති බව ය.

'සොහොන් බිමක් නොවෙයි'

දැනට සිදු කෙරෙන කැණීම් ආශ්‍රිතව නිසි අවසන් නිගමනයක් දැක්විය නොහැකි මුත් හමුවන අස්ථි කොටස්වල පිහිටීම අනුව මළ සිරුරු ස්වභාවිකව වළ දැමු තැනක් ලෙස පැවසිය නොහැකි බවද වෛද්‍ය රාජපක්ෂ ජේඩීඑස් හා කියා සිටියේය.

"ගොඩක් මළ සිරුරු තියෙන්නේ බොහෝදරට එකකට එකක් යටවෙලා හෝ විසිරුණු ආකාරයකටයි. ඒ නිසා පැහැදිලිවම කියන්න පුලුවන් සොහොන් බිමක අවසන් කටයුතු සිදුකළ ආකාරයකට නෙමෙයි මේ සිරුරු වළ දමා තියෙන්නේ.ඒ කටයුත්ත කරලා තියෙන්නේ අවිධිමත් විදියකටයි," ඔහු වැඩි දුරටත්  ප්‍රකාශ කළේය.

2013 දෙසැම්බර් මාසයේදී මන්නාරම, තිරුකේතීස්වරම් ප්‍රදේශයෙන් සොයාගන්නා ලද සමූහ මිනීවළකින් මළ සිරුරු 82කට අදාළ අස්ථි කොටස් සොයාගන්නා ලද නමුත් පසුව එකී පරීක්‍ෂණ කටයුතු ද අත්හැදමනු ලැබුණි.☐

© JDS