මන්නාරමේ සමූහ මිනීවළෙන් මළ සිරුරු දහයක ඇට කැබලි මතු වෙයි

කිත්සිරි විජේසිංහ විසිනි


න්නාරම ප්‍රදේශයෙන් නොබෝදා හමු වූ මිනීවළ අපරාධ ස්ථානයක් ලෙසට නිශ්චිත වශයෙන්ම නිගමනය කිරීමට තවමත් කල් වැඩි නමුත්, සිරුරු 10 කට වැඩි ප්‍රමාණයක අස්ථි කොටස් හමුවි තිබෙන බැවින්  එය සමුහ මිනිවළක් ලෙස හැදින්වීමේ බාධාවක් මතු නොවන්නේ යැයි එම මිනීවළෙහි කැණිම් කටයුතුවල නිරත වෝහාරික පුරා විද්‍යා ප්‍රවීණයෙක් කියා සිටියි.

මන්නාරම සතොස ගොඩනැගිලි භූමියෙන් සොයාගත් මිනීවලෙහි මූලික අදියරේ කැණීම්වලට දායක වී සිටින කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පුරා විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ප්‍රධානි මහාචාර්ය රාජ් සෝමදේව  එසේ ප්‍රකාශ කර සිටියේ අදාළ කැණිම් කටයුතු සහ එයින් මතු කරගන්නා අස්ථි කොටස් සම්බන්ධව මේ වන විට එළැඹ ඇති නිගමනයන් කවරේ දැයි  ජේඩීඑස් විසින්  කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

සිරුරු දහයකට වැඩි අස්ථි කොටස්

"අධිකරණය මට නියම කරලා තියෙන්නේ මුලිකවම මේ මිනීවළ අපරාධ ස්ථානයක්ද යන්නත්, ඒකට අදාළ කාල නීර්ණයත් සම්බන්ධයෙන් පුරා විද්‍යාත්මක පරික්ෂණ ඇසුරින් යම් නිගමනයක් දෙන ලෙසයි.  දැනට සිරුරු දහයකට වැඩි ප්‍රමාණයකට අයිති අස්ථි කොටස් හමුවෙලා තියෙනවා. මම හිතන්නේ ඉදිරි දිනි කිහිපයේදි මේ සංඛ්‍යාව තවත් වැඩි වෙන්න පුලුවන්".

ඒ අනුව  ඉදිරි සතියක, දෙකක පමණ කාලයක් තුළ දි මෙම මිනිවළ  සම්බන්ධයෙන්  යම් නිගමනයකට එළැඹිය හැකි වන බවට මහාචාර්ය රාජ් සෝමදේව විශ්වාසය පළ කර සිටියි.

වීඩියෝව මෙතැනින්

"දැනට අපි කරන්නේ මතුවෙන් අස්ථි කෙටස් සහ ඇට සැකිලි සළකුණු කොට අධිකරණය භාරයට පත් කිරිම විතරයි", ඔහු කීය.

කැණිම් කටයුතු ගැටළුකාරීයි

කෙසේ නමුත් මන්නාරම සතොස සමුහ මිනිවළ ආශ්‍රිත කැණිම් කටයුතු ඉතාම සංකීර්ණ සහ ගැටළුකාරි තත්ත්වයට පත්ව ඇතැයිද පවසන මහාචාර්ය සෝමදේවයන් එයට හේතු වී ඇති එක් කරුණක් ලෙස   දක්වන්නේ පරික්ෂණ කටයුතු සඳහා ඔහු ප්‍රමාද වී කැඳවීමයි.

"ඇත්තෙන්ම මෙතැන කැණීම් සහ පරීක්ෂණ කටයුතු මාතලේ සමූහ මිනීවළ වගේ නෙමෙයි. හරිම සංකීර්ණයි. ඒ වගේම ගැටළුකාරියි. විවිධ මත දැනටමත් ඉදිරිපත් වෙලා තියනවා. ඒවා හැම එකක්ම හොයලා බලන්න වෙනවා. අනෙක මාව කැඳවුවේ මුලික කැණිම්වලින් සියයට අසුවක් පමණ අවසන් වුණාට පස්සෙයි. ඒ හින්දා යම් නිගමනයකට එන්න දීර්ඝ පරීක්ෂණයක් කරන්න වෙනවා".

මේ අතර මන්නාරම සමුහ මිනීවළේ පරික්ෂණ කටයුතු භාරව සිටින මන්නාරම ප්‍රධාන  අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලියු ආර් ඒ එස් රාජපක්ෂ ජේඩීඑස් වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දැනට සිදුකෙරෙන කැණිම් සහ පරික්ෂණ කටයුතු සඳහා තමන් ද සමඟ තවත් අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් පස් දෙනෙකුගේ සේවය ලබා ගන්නා බව ය.

මන්නාරම සතොස  මිනිවළ ලෙස හඳුන්වන  මෙම සමුහ මිනිවළ පළමුවෙන් සොයා ගනු ලැබුවේ පසුගිය මැයි මස 16 වැනි දින වන අතර එම මාසයේම 28 වැනි දින එහි මුලික විමර්ශණ කටයුතු ආරම්භ කරන ලදි. මන්නාරම - මැදවච්චිය A -14 මාර්ගයට ආසන්නයේ පිහිටි මෙම වළෙන් පළමුව අස්ථි කොටස් සොයා ගනු ලැබුවේ සමුපකාර තොග වෙළද සංස්ථා භූමියේ (සතොස) ඉදිකිරීමක් සඳහා ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් කරන ලද කැණීම් කටයුතු අතරවාරයේ පිටතට රැගෙන ගිය පස් ගොඩක තිබී සොයා ගත් ඇට කැබලි කිහිපයක් හේතුවෙනි.

මීට පෙර, 2013 දෙසැම්බර් මාසයේදී මන්නාරමේ ඓතිහාසික තිරුකේතීස්වරම් කෝවිල අසළ කරන ලද කැණීම් මගින් මළ සිරුරු 82කට අදාළ අස්ථි ශේෂයන් සොයා ගනු ලැබූණි.☐

© JDS