මන්නාරම සමූහ මිනීවළ‍: කැණීම් සිදු කිරීමට නීති ප්‍රමාණවත් නැතැයි මතයක්

පුද්ගලයන් සමූහයක් ඝාතනය කොට වළ දමා ඇතැයි පැවසෙන මන්නාරම තිරුකේතීශ්වරම් සමූහ මිනීවළ ආසන්නයේ ඇති ළිඳෙහි කැණීම් කටයුතු ඒ සම්බන්ධව දැනට පවතින නීති රෙගුලාසි යටතේ සිදුකළ නොහැකි බවට ඇතැම් පුද්ගලයන් ප්‍රකාශ කරන බවටත්, එසේම පිළිගත හැකි නෛතික හේතුවලින් තොරව අදාළ නඩුව දිගින් දිගටම කල් යමින් තිබෙන බවටත්  අගතියට පත් පාර්ශවයෙහි නීතිඥවරුන් කියා සිටී.

නව පනතක්

මන්නාරම සමුහ මිනීවළ සහ අදාළ ළිඳෙහි ඉදිරි කැණීම් කටයුතුවල වත්මන් තත්ත්වය විමසීමේදී අගතිවයට පත් පාර්ශවයෙහි නිතිඥ වී එස් නිරංජන් JDS හා කියා සිටියේ ඒ සම්බන්ධව මැදිහත් විය යුතු ඇතැම් පාර්ශවයන් විසින් නොයෙක් හේතු දක්වමින් අධිකරණයට පැමිණීම මෙන්ම පරීක්ෂණ පැවැත්වීමට සහාය දැක්වීමෙන්ද වැළකී සිටින බවයි.

"මන්නාරම සමූහ මිනිවළෙහි සහ ළිඳට අදාළ නඩුව ඊයේ (06) විභාගයට ගත්තේ මේ අවුරුද්දේ තුන්වන වරට. ඒත් අධිකරණයට බැරි වුණා ළිඳ හාරන එක සම්බන්ධව ඒකඟතාවයකට එන්න. පහුගිය හැම නඩු වාරයකදීම නඩුව කල් ගියේ අධිකරණ වෛද්‍යවරුන් අධිකරණයට ආවේ නැති නිසා හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අවශ්‍ය වාර්තා නිසි පරිදි උසාවියට ඉදිරිපත් කරපු නැති නිසායි. අතුරුදහන්වුණු අයගේ ඥාතීන් හැම නඩු වාරයකදීම උසාවියට එන්නේ ලොකු බලාපොරොත්තුවකින්. ඒත් මේ පාරත් ළිඳ හාරන්න නියෝග කරන්න ගරු මහේස්ත්‍රාත්තුමාට බැරි වුණා. ඒකට හේතුව අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් අධිකරණයට දනුම් දීලා තියෙනවා පවතින නීති යටතේ ළිඳ හාරන්න බැරි බවත් ඒ සම්බන්ධව නව නීති කෙටුම් පතක් ඉදිරිපත් විය යුතු බවටත්. අපි දන්නේ නෑ ඇයි මෙහෙම වෙන්නේ කියලා".

දැනට බලාත්මක නීති යටතේ සමුහ මිනීවළවල් හැරීමට හැකි නම් ළිඳ හැරීමට පමණක් නව නීති සම්පාදනය කළ යුතු බවට කරන ප්‍රකාශයන්ගේ නෛතික පදනම කුමක්දැයි විමසන ලදුව නීතිඥ වී එස් නිරංජන් පවසා සිටියේ අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ධනංජය වෛද්‍යරත්න එවැනි ප්‍රකාශයක් කර ඇති බවට අධිකරණයට දැනුම් දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවත් ඒ සම්බන්ධව ඉදිරි නඩු වාරයේදි වැඩිදුර තොරතුරු වාර්තා කරන ලෙස මන්නාරම මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත් ය.

''අධිකරණයට දැනුම් දීලා තියෙන විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි මේ යෝජනාව කරලා තියෙන්නේ. මොකද අධිකරණ වෛද්‍යවරුන් අයත් වෙන්නේ ඒ අමාත්‍යාංශයට නිසා. නමුත් නීති කෙටුම්පත් කරන්නේ අධිකරණ අමාත්‍යාංශය යටතේ තියෙන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින්. මේක දිර්ඝ යම් කාලයක් ගතවෙන ක්‍රියාවලියක්.ඒ කාලය තුළ ළිඳ හාරන්න තියෙන අවස්ථාවන් නැති වෙයි කියන බය අතුරුදහන්වු අයගේ ඥාතීන්ට තියෙනවා'' නීතිඥ නිරංජන් පවසා සිටියේය.

අඩු සැළකිලි

කෙසේ නමුත් මෙයට පෙර අවස්ථාවක අධිකරණ වෛද්‍ය විශේෂඥ ධනංජය වෛද්‍යරත්න JDS හා කියා සිටියේ මන්නාරම සමුහ මිනීවළෙහි අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු ඇන හිට ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඒ සම්බන්ධව දක්වන අඩු සැළකිල්ල නිසා බව ය. එසේම එය පරිපාලන අර්බුදයක් ලෙසත්, මාතලේ මහා රෝහලේ සේවය කරන තමන්ට මන්නාරමේ පරීක්ෂණ කටයුතු සඳහා යෑමට නිසි සම්පත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා නොදෙන බවත් පැවසු වෛද්‍ය ධනංජය, තම භාරයට ගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට අවස්ථාව සලසා දෙන මෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇතත් මේ දක්වා නිසි පිළිතුරක් නොලැබුණු බව ද කියා සිටියේය.

මාතලේ ආදර්ශයට ගැනීම

මේ අතර මන්නාරම සමුහ මිනීවළෙන් සොයා ගත් මිනිස් අස්ථි සාම්පලයන්වල කාල නීර්ණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා ඒවා ඇමරිකාවේ මියාමි හී පිහිටි 'බීටා ඇනලටික්' ආයතනය වෙත භාර දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි බවත්, එයට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින තමන් ඇතුළු නීතිඥවරුන් විරෝධතාවය දැක්වු බවත් නීතිඥ වී එස් නිරංජන් පැවසීය.

''අපි ඒ යෝජනාවට තරයේම විරුද්ධයි. අපිට අවශ්‍ය නෑ මන්නාරම තවත් මාතලේ එකක් කරන්න. අපි දන්නවා මාතලේ සමුහ මිනීවළ සම්බන්ධව ඇමරිකාවේ ආයතනය දුන්න පරීක්ෂණ වාර්තාවේ තත්ත්වය. අපි අධිකරණයෙන් ඉල්ලා සිටියා මේ සම්බන්ධව අතුරුදහන් වු අයගේ ඥාතීන් එක්ක කතා කරලා සුදුසු රටක් ඉදිරියේදි යෝජනා කරන බවට''ඔහු කීය.☐

© JDS