මන්නාරම සමූහ මිනීවළ: රහස් පොලිසිය පරීක්ෂණ අතපසු කරන බවට චෝදනා

න්නාරම සමුහ මිනීවළේ පරීක්ෂණ කටයුතු භාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පරීක්ෂණයන් නිසි පරිදි සිදු නොකරන බවට චෝදනා කරමින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වහා මැදිහත් වන්නයැයි මන්නාරම මහේස්ත්‍රාත්වරයා  විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත නියෝග කරනු ලැබුවේ යැයි අගතියට පත් පාර්ශවයේ නිතිඥවරුන් කියා සිටියි.

මන්නාරම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ ජී ඇලේක්ස්රාජා විසින් සිකුරාදා (04) එසේ නියෝග කොට ඇත්තේ මන්නාරම සමූහ මිනීවළෙන් මෙයට පෙර ගොඩගනු ලැබු අස්ථි කොටස්වල කාල නීර්ණ පරීක්ෂණයන් සඳහා ඒවා විදෙස් වෝහාරික රසායනාගාර වෙත යවන ලෙස පෙත්සම්කාර පාර්ශවයන් විසින් දිගින් දිගටම කරනු ලැබු ඉල්ලීමකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් නිසි ප්‍රතිචාරයන් නොදක්වා සිටීම හේතුවෙනි.

නීතිපති දෙපාර්තමේන්තුවට නියෝගයක්

අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරමින් ඉල්ලා සිටියේ මන්නාරම සමූහ මිනීවළ අයත්වන කාල වකවානුව නිශ්චිත කර ගැනීම වෙනුවෙන් එයින් සොයාගත් අස්ථි සාම්පලයන් විදෙස් වෝහාරික රසායනාගාරයන් වෙත යැවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ය. ඒ අනුව සුදුසු රසායනාගාරයක් හඳුනාගෙන අදාළ අස්ථි  සාම්පලයන් පරික්ෂණ සඳහා යොමු කරන ලෙසට මන්නාරම ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නිතිඥවරයෙකු JDS හා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් අදාළ නියෝගය සම්බන්ධයෙන් කිසිදු සැළකිල්ලක් නොදක්වමින් ඉන් වැළකී සිටීමට විවිධ හේතු දක්වනු ලැබු බවයි.

''අපි  මෙයට පෙර කිහිප අවස්ථාවකදීම  ආර්ජන්ටිනාව,පේරූ සහ ගෝතමාලව යන රටවල පිහිටි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වෝහාරික රසායනාගාරයන් කිහිපයක නම් යෝජනා  කරමින් ඉල්ලා සිටියා එයින් සුදුසු රසායනාගාරයකට අස්ථි සාම්පල යවන ලෙස. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සිකුරාදා උසාවියේදි කියා සිටියේ ලංකාවට ඒ රටවල් හා සෘජු තනාපති සබඳතා නැති නිසා සාම්පල යෑවීම අපහසුවී ඇති බවයි. ඒ අවස්ථාවේදි තමයි  මහේස්ත්‍රාත් නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පරික්ෂණ සම්බන්ධයෙන් සැළකිල්ලක් නොදක්වන බැවින් ඉදිරි පරීක්ෂණ කටයුතු මෙහෙය වීමට නීතිපති දෙපාර්තමේන්තුවට මැදිහත්වන ලෙස''.

අස්ථි සාම්පල චීනයට

කෙසේ වෙතත් අදාළ අස්ථි සාම්පලයන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා චීනයේ රසායානාගාරයන් වෙත යෑවීමට මෙයට පෙර අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටිය ද තමන් එයට විරෝධය දක්වා සිටි බව පෙත්සම්කාර පාර්ශවයේ  නීතිඥයෝ JDS හා ප්‍ර‍කාශ කළහ.

2013 දෙසැම්බර් මාසයේදි සොයා ගනු ලැබු මන්නාරම තිරුකේතීස්වරම් සමූහ මිනීවළෙන් පුද්ගලයන් 80 ට අධික පිරිසකගේ අස්ථි කොටස් සොයා ගනු ලැබු අතර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් එය කලින් සොහොන් බිමක් පැවති භූමියක් ලෙස අධිකරණය හමුවේ කියා සිටීමෙන් අනතුරුව කැණීම් කටයුතු නතර කර දැමුනි. නමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට අධිකරණය විසින් යළිත් නියෝග කරන ලද්දේ ප්‍රදේශයේ අතුරුදහන්වු පුද්ගලයන්ගේ ඥාතීන් එකතුව අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව ය.☐

© JDS