පැහැරගත් තරුණයන් ‘ගෝඨාස් කෑම්ප්’හි රඳවා ඇතිදැයි සොයා බැලීමට අධිකරණ නියෝගයක්

දෙහිවල ප‍්‍රදේශයේ දී මීට වසර 7කට පමණ පෙර නාවික හමුදාව විසින් පැහැරගන්නා ලදැයි පැවසෙන දෙමළ තරුණයන් පස්දෙනකු ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ පිහිටි ‘ගෝටාස් කෑම්ප්’ නම් රහස් කඳවුරක රඳවා සිටින්නේදැ’යි පරීක්ෂා කර බලා වාර්තා කරන මෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය රහස් පොලීසියට නියෝග කළේය.

අතුරුදහන් වූ තරුණයන්ගේ දෙමාපියන් වෙනුවෙන් පෙනීසිටින නීතිවේදීන් අධිකරණය හමුවේ කියා සිටියේ පසුගිය කාලයේ පැහැරගත් පුද්ගලයින් රඳවා සිටින ‘ගෝඨාස් කෑම්ප්’ නම් කඳවුරක් ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ පිහිටා ඇති බවට පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කරුණු අනාවරණය වූ බවත්, මෙම අතුරුදහන් තරුණයන්ද අදාළ කඳවුරේ රඳවාගෙන සිටින්නේයයි ඔවුන්ගේ දෙමාපියන් විශ්වාස කරන බවත්ය. ඉල්ලීම සලකා බැලූ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය සඳුදා (02) ඉහත නියෝගය නිකුත් කළේය.

කොටහේන ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන රජීව් නාගනාදන්, තිලකේස්වරන් රාමලිංගම්, ප‍්‍රදීප් විස්වනාදන්, ඩිලාන් රාජරත්නම් සහ ඔවුන්ගේ තවත් මිතුරෙක් 2008 සැප්තැම්බර් මස 17 වැනිදා මෙසේ පැහැරගැනීමට ලක්වූහ. දෙමාපියන් විසින් ඉදිරිපත් කරන ලද හබයාස් කෝපූස් පෙත්සම්වලට අනුව අභියායචනාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක් මත කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට ඇත්තේ 2012 ජුනි මස 13 වැනිදාය.

විශේෂ මෙහෙයුම් ඒකකයක්'

මෙම තරුණයන් පස්දෙනාගේ අතුරුදහන්වීමට අදාළ පරීක්ෂණ සඳහා අවශ්‍ය සැකකරුවන් කටඋත්තර ගැනීම සඳහා භාරදෙන්නැයි පසුගිය පෙබරවාරි 06 වැනිදා නාවික හමුදාවේ නීති අධ්‍යක්ෂවරයාට කොළඹ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා විසින් නිකුත්කළ නියෝගයට අනුව හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඩී කේ පී දසනායකගෙන් පසුගිය සෙනසුරාදා (27) රහස් පොලීසිය පැය පහක පමණ කාලයක් තිස්සේ කටඋත්තරයක් ලබාගෙන ඇත. මෙම තරුණයන් පස්දෙනා ඇතුළු තවත් පිරිසක් අතුරුදහන් කිරීම, කප්පම් මුදල් ලබාගැනීම ඇතුළු චෝදනා නාවික හමුදාවේ ‘විශේෂ මෙහෙයුම් ඒකකයක්’ නමින් හැඳින්වුණු කල්ලියකට එල්ල වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඊයේ (02) මාධ්‍ය හමුවේ කියා සිටියේය. කපිතාන් දසනායක එම කණ්ඩායමේ අධීක්‍ෂණ නිලධාරියා ලෙස කටයුතු කරඇති බව ඔහු පැවසීය. නාවුක හමුදාවට අයත් මෙම කල්ලිය විසින් අතුරුදහන් කර ඇති පිරිස 28ක් පමණ වන බවට තොරතුරු ලැබී තිබේ.

2009 වසරේ දී රහස් පොලීසියට භාර වී දැනට ඇප මත මුදාහැර සිටින නේවි සම්පත් නමින් හැඳින්වෙන ලූතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ ද මෙම පැහැරගැනීම්වලට සම්බන්ධ සැකකරුවෙකි. ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති වශයෙන් මෑතක් වනතුරු කටයුතු කළ හිටපු නාවුක හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ ප‍්‍රධාන පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ සම්පත් මුණසිංහ එකල නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙක් වශයෙන්ද කටයුතු කළේය.

ඇමරිකාවේ විශේෂ පුහුණුවක‍

ප‍්‍රශ්න කිරීම සඳහා කැඳවන අවස්ථාවේ නාවුක හමුදාවේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් දසනායක ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂ පුහුණු පාඨමාලාවකට සහභාගී වෙමින් සිට ඇත. මෙම කැඳවීමත් සමඟ ඔහු වෙත නිකුත් කර තිබූ එක්සත් ජනපද වීසා අවසරපත් අවලංගු කැරී ඇති බව වාර්තා වේ.

අතුරුදහන් දෙමළ තරුණයන් පස්දෙනා පිළිබඳ පරීක්‍ෂණ කටයුතු සඳහා කටඋත්තර ගැනීමට අවශ්‍ය නාවික හමුදා සාමාජිකයන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර නොදීම සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 06 වැනිදා කොළඹ මහේස්ත‍්‍රාත් උසාවිය හමුවේ පෙනීසිට කරුණු දක්වන්නැයි නාවුක හමුදා නීති අධ්‍යක්‍ෂවරයාට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නිකුත් කළ නියෝගයට අනුව, එදින අධිකරණය හමුවේ පෙනීසිටි නාවික හමුදා නීති අධ්‍යක්‍ෂවරයා පොරොන්දු වූයේ ප‍්‍රශ්න කිරීමට අවශ්‍ය නාවික හමුදා සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ය. ඒ අනුව ඉදිරියේ දී සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට අවශ්‍යව සිටින තවත් නාවුක හමුදා සාමාජිකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත ය.☐

© JDS