මහර සමූහ ඝාතනයේ සිරුරු පුලුස්සා දැමීමේ වෑයමට උසාවිය හරස් වෙයි

කිත්සිරි විජේසිංහ විසිනි


රක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරයකින් මරා දැමුණු මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීමකින් තොරව ඊයේ දිනයේදී (02) පුලුස්සා දැමීමට රෝහල් බලධාරින් විසින් කරන ලද සැළසුමක් අධිකරණ නියෝගයක් හේතුවෙන් වැළකී තිබේ.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ නීතිඥවරුන්වන සේනක පෙරේරා සහ නාමල් රාජපක්ෂ විසින් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් ඉල්ලා ඇත්තේ රෝහල් බලධාරින් කෝවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත යැයි පවසමින් රැඳවියන්ගේ සිරුරු පුලුස්සා දැමීමට යන බැවින් එය තහනම් කොට මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කරන ලෙස ය.

'' මේ රැඳවියන් මියගියේ කෝවිඩ්වලින් නෙමෙයි, බන්ධනාගාරයක් ඇතුළතදි සිදුකළ බව විශ්වාස කෙරෙන වෙඩි ප්‍රහාරවලින්. එවැනි අවස්ථාවකදි අනිවාර්යෙන්ම මහේස්ත්‍රාත් පරික්ෂණයක් පැවැත්විය යුතුමයි," නීතීඥ නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

"නමුත් මේ දක්වා ඒහෙම පරීක්ෂණයක් රැඳවියන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් තිබුණේ නෑ. අපිට ලොකු සැකයක් තියෙනවා පළමු මරණ අටම කෝවිඩ් ආසාදිතයන් කියන එක ගැන. ඥාතීන්ට අයිතියක් තියෙනවා මේ රැඳවියෝ මැරුණේ කොහොමද කියලා දැන ගන්න . ඒ් වගේම තමයි මේක බැලු බැල්මට අපරාධයක්. ඒහෙම තත්ත්වයකදි මළ සිරුරු පුලුස්සා දැම්මම කොහොමද ඉදිරි පරික්ෂණ පවත්වන්නේ.ඝාතන යටපත් කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ පාවිච්චි කරන්න පුලුවන්ද? මළ සිරුරක් පුලුස්සා දමනවා කියන්නේ ඒ් සම්බන්ධයෙන් කරන්න තියෙන සියළු පරික්ෂණත් පුලුස්සා දමනවා කියන ඒකකටයි'' ඔහු වැඩි දුරටත් පැවසීය.


වැලිසර මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල විසින් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කොට තිබෙන්නේ එළැඹෙන සිකුරාද දිනෙයේදී (04) තමන් මේ සම්බන්ධයෙන් නීයෝගයක් ලබා දෙන බවත් එදිනට නීතිපතිවරයා සහ සෞඛ්‍ය බලධාරින් විසින් අධිකරණය හමුවේ කරුණු දැක්විය යුතු බවත් ය.

ඝාතනයෙන් පසුව රාගම පොලිසිය විසින් අංක බී 3118/2020 යටතේ වැලිසර මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දී තිබෙන්නේ අදාළ ඝාතන සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණයක් පවත්වන ලෙසට ය. නමුත් ඊයේ දිනයේදී මෝසම ගොනුකරන තෙක්ම මරණ පරීක්ෂණය පවත්වා නැති බව නීතිඥ නාමල් රාජපක්ෂ පෙන්වා දෙයි.

ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ හා බරපතල තුවාල ලැබු රැඳවියන් කවුරුන්දැයි රජය විසින් තවමත් හෙළිදරව් නොකිරීම නිසා බන්ධනාගාරතව සිටි සිය සමීපතමයා ජීවතුන් අතර සිටින්නේ ද, එසේත් නැත්නම් තුවාල ලබා රෝහල් ගත කර සිටින්නේ ද යන්න දැනගන්නට නොලැබීමෙන් ඥාතීහු ද මහත් සන්තාපයට පත්ව සිටිති. අවම වශයෙන් බන්ධනාගාරයේ දැනට රඳවා සිටින රැඳවියන් කවුරුදැයි හෝ පවසන්නට බලධාරින් කටයුතු නොකිරීම ඥාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කර තිබේ.

මේ අතර, ඉකුත් පොහොය දා මෙසේ ප්‍රහාරයට ගොදුරුවූවන් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ බලධාරීන් පළකරන විස්තරවල විශ්වසනීයත්වය පිළිබඳව වෛද්‍ය ක්ෂේත්‍රයෙන්ම සැක පළවෙමින් පවතී.

රැඳවියන්ට ප්‍රහාරයක් එල්ල කොට ගත වූ දින කිහිපය මුළුල්ලේම රැඳවියන්ගේ ඥාතීන් මහර බන්ධනාගාරය ඉදිරිපිටත්, උතුරු- කොළඹ (රාගම) ශික්ෂණ රෝහල ඉදිරිපිටත් විලාප නගමින් රැඳී සිටියේ ප්‍රහාරයට ගොදුරුවූවන් ගැන සැබෑ තතු හෙළිකරන්නැයි රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමිනි.

සිරගෙදරටත් රෝහලටත් රැකවල් ලා සිටි සන්නද්ධ භටයන් ඉදිරිපිට රැඳවියන්ගේ මව්වරුන් බිම පෙරළෙමින් හා වැඳ වැටෙමින් සත්‍යය ඉල්ලා සිටින සංවේදී සේයා රූ හා වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරෙමින් තිබුණි.

'මැරුවේ බබ්බු නෙමෙයි'

රැඳවියන්ගේ ඥාතීන් මහර බන්ධනාගාරය අසළ රැඳී සිටියදි අඟහරුවාදා දිනයේදී (01) එහි පැමිණි බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් තර්ජනාත්මකව පවසා සිටියේ වහාම එම ස්ථානයෙන් ඉවතට යන ලෙස ය.


''ඒ කවුරුත් බබ්බු නෙමෙයි. බොරුවට කලබල කරන්න එපා. ඒ කිසි කෙනෙකුට කරදරයක් නෑ, කරුණාකරලා ගෙවල්වලට යන්න''

නමුත් රැඳවියන්ගේ ඥාතීන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ ප්‍රහාරයට ගොදුරු වූවන් පිළිබඳ තොරතුරු තමන්ට හෙළිදරවු කරන ලෙස ය.

'' අපිට නම් ලිස්ට් එකක් දෙන්න ඉන්නවද කියලවත්,'' යි වියපත් කාන්තාවෝ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැමිණි සුඛෝපභෝගි රථය පසු පස දිව යමින් මොරදුන්හ.

බලධාරීන්ගේ තර්ජන

පළමුවැනිදා සවස් කාලය වන විට උතුරු - කොළඹ ශික්ෂණ රෝහල අසල රැඳි සිටි ඥාතීන් ක්‍රම ක්‍රමයෙන් පිටව ගොස් තිබෙන්නේ රෝහල් බලධාරීන් සහ ආරක්ෂක අංශ විසින් ඔවුන්ට රෝහල් පරිශ්‍රයෙන් පිටව යන ලෙස කර ඇති බලපෑම් සහ තර්ජන හේතුවෙනි. විශේෂයෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ හමුදා යතුරු පැදි බලකායක් රෝහල අසළට කැඳවීමත් සමගම රැඳවියන්ගේ ඥාතීන්ට පිටව යන්නට සිදු වූ බව සිද්ධිය ඇසින් දුටුවකු ජේඩීඑස් වෙත ප්‍රකාශ කර සිටියේය.

''ඉස්පිරිතාලේ ළඟ මිනිස්සු පන්සියකට වඩා එකතු වෙලා හිටියා. පස්සේ පොලිසිය ඇවිත් ඒ මිනිස්සුන්ව එතැනින් එළවලා දැම්මා,” යි සිය අනන්‍යතාවය හෙළිදරවු නොකරන්නැ යි ඉල්ලා සිටි එම පුද්ගලයා පැවසීය.

“කාටවත් ඉස්පිරිතාලේ පැත්තටවත් යන්න දුන්නේ නෑ. එකක් කොරෝනා නිසා ඇතුළට ගන්න බෑ කිවුවා. අනෙක පොලිසිය යි, එස්ටීඑෆ් ඒකයි ඉස්පිරිතාලේ වටකරගෙනයි හිටියේ. එතැන හිටිය මිනිස්සු කවුරුත් දැනගෙන හිටියේ නෑ මෝචරියට කී දෙනෙක් ගෙනත් දාලා ඉන්නවද, මරණ පරීක්ෂණ ඉවරද, දැනට තුවාල වෙලා වාට්ටුවල ඉන්නේ කවුද කියන කිසිම දෙයක් ඒ මිනිස්සු දන්නේ නෑ. මම දැක්කා සමහර වයසක පිරිමි උදවිය පවා පොලිස් රාළහාමිලාට වැඳලා කියනවා මෝචරියේ දාලා ඉන්න අය ගැන බැරිනම් වාට්ටුවල ඉන්න අයගේ හරි නම් කියන්න කියලා,''යි ඔහු කීය.

බලධාරීන්ගේ බොරු

මේ අතර, රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සේවයේ නියුතු, සිය අනන්‍යතාව සඳහන් නොකරන්නැයි ඉල්ලා සිටි අයකුද ජේඩීඒස් හා කියා සිටියේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන සැළකිය යුතු පිරිසක් රෝහලේ විශේෂ වාට්ටුවක රඳවා සිටින බව ය.

''රෝහල් බලධාරින් මාධ්‍යයට කියන දේ නෙමෙයි මෙතැන තියෙන්නේ. දැන් මේ වෙන කොට දැඩි සත්කාර ඒකකයේ තුන් දෙනෙක් ඉන්නවා. අනෙක මහරින් වෙඩි වැදිලායි, පහරදීම් හේතුවෙන් තුවාල වෙලායි ගෙනාපු කොරෝනා ආසාධිත අයයි - නැති අයයි ඒකම වාට්ටුවකට දාලා තියෙන්නේ. ඒ හේතුව නිසා දැන් ඒ කාටවත් ඒ අය ළඟට යන්න දෙන්නෙත් නෑ කොරෝනා කියලා''.

රාගම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය සරත් ප්‍රේමසිරි මාධ්‍ය වෙත කියු පරිදි අසාධ්‍ය තත්ත්වයේ පසුවන රැඳවියන් සංඛ්‍යාව දහයකි.

''වෙඩි වැදුනු අය ඉන්නවා, කැපුම් තුවාල තියෙන අය වගේම දුවද්දි අතපය තුවාල වුණ අයත්, සුළු තුවාල ලබපු අයත් රෝහලේ ඉන්නවා,'' යි රෝහල් බලධාරින් කියා සිටියද ඊයේ දින මහර බන්ධනාගාරය තුළ රැඳි සිටින රැඳවියන් පිටතට කෑගසමින් කියා සිටියේ රජයේ ආරක්ෂක අංශ විසින් තවමත් තමන්ට දරුණු ලෙස පහර දෙමින් සිටින බව ය. එසේම වෙඩි සහ අනෙකුත් ප්‍රහාර හේතුවෙන් මිය ගිය ගොස් ඇතැයි රැඳවියන් විසින්ම පවසන සංඛ්‍යාව, රජයේ බලධාරින් විසින් සපයන ලද සංඛ්‍යාවන්ට වඩා වැඩි ය.

''අපේ කොල්ලෝ 15 ක්වත් මුන් වෙඩි තියලා ඇතුලෙදිම මරලා දැම්මා. අපේ අතපය කඩලා දැම්මා. තාමත් අපට වද දෙනවා. වෙඩි තිය, තියා අපිව මරනවා,'' යි රැඳවියෝ හඬ නැගූහ.

මේ අතර සඳුදා මාධ්‍ය හමුවක් පවත්වමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පාලක කොමසාරිස් , චන්දන ඒකනායක කියා සිටියේ ප්‍රහාරය එල්ල කිරීමට හේතුව රැඳවියන්ගේ කලහකාරි හැසිරීම බව ය.

''රැඳවියන් පැන යන්න උත්සාහ කරද්දි නිලධාරින් තුන් වතාවක් අනතුරු අඟවනු ලැබුවා. බැරිම තැන රබර් උණ්ඩ යොදලා වෙඩි තිබ්බා. එහෙමත් පාලනයක් කරන්න බැරි වුණාමයි යම් බලයක් යොදන්න සිදුවුණේ. රැඳවියෝ බෙහෙත් ගබඩාව කඩලා සියළුම පෙති පානය කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ඔවුන් ප්‍රචණඩකාරීව හැසිරෙන්න පටන් ගත්තේ. රැඳවියෝ - රැඳවියෝම ගහගත්තා, කපා ගත්තා, මරා ගත්තා. මත්ද්‍රව්‍ය පානය කරන අය, ප්‍රවාහනය කරන අය විතරක් නෙමෙයි, ජාවාරම් කරන අයත් මේ සිද්ධියට සම්බන්ධ වුණා. මියගිය අය අතරේ ඉන්නේත් ඒ අයයි'' හේ කීය.

එම මාධ්‍ය හමුව අමතමින් කතා කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ද මහර සිදුවීමට හේතුව ලෙස දක්වා සිටියේ සිරකරුවන් බෙහෙත් පෙති පානය කිරීම ය. 

''මානසික රෝගීන්ට ලබා දෙන පෙති, නිද්‍රාජනක ඖෂධ 21,000 ක් පමණ බන්ධනාගාරයේ බෙහෙත් ගබඩාවේ තිබිලා තියෙනවා. මේ පෙති මත්ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙකුට ආදේශකයක් හැටියටත් ගන්න පුලුවන්,'' යයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මෙම සිදුවීම සිදුවන මොහොත විට මහර බන්ධනාගාරයේ රැඳවි ගහනය 2,782ක් බව බන්ධනාගාර පාලක කොමසාරිස් ඒකනායක සඳුදා (1) ප්‍රකාශ කළේය. ‍එයින් සිර දඬුවම් ලැබූවන්ගේ සංඛ්‍යාව 585ක් බවද සෙසු අය සැකකරුවන් පමණක් බවද ඔහු කියා සිටියේය. ඖෂධ පෙති 21,000 ක් ගිල දැම්මේ එයින් කී දෙනකුදැයි ඔවුන් දෙදෙනාම පැහැදිලි කළේ නැත.

'මහර කියන්නේ වධකාගාරයක්'

රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ, ලේකම් සුදේශ් නන්දිමාල්, මහර බන්ධනාගාරය හඳුන්වන්නේ වධකාගාරයකට සමාන තැනක් ලෙස ය.

'' මහර බන්ධනාගාරය කියන්නෙ දඬුවම් ලබපු සිරකරුවකුටවත්, දඬුවම් ලබන්නවත් සුදුසු තැනක් නෙමෙයි. මේක වධකාගාරයක්. සිරකරුවන්ට නිරන්තරයෙන්ම පහර දෙන, වධහිංසාවන්ට ලක් කරන තැනක්. කොරෝනා ආසාදිතයිනුයි, සාමාන්‍ය සිරකරුවොයි එකට දාලා තියෙද්දි එහෙම තියන්න එපා කියන ඉල්ලීම කරන්නයි ඔවුන් බන්ධනාගාර පාලකයන් ළඟට ගිහින් තියෙන්නේ. එහෙම නැතුව ඔය කියන මත් පෙති බිලා නෙමෙයි. හැබැයි සිරකරුවන් කරපු ඉල්ලීමට බන්ධනාගාර පාලකයන් උත්තර දුන්නේ වෙඩි උණ්ඩවලින්,'' ඔහු ජේඩීඑස් හා කියා සිටියේය.

මහර බන්ධනාගාරයේ ප්‍රධානියා රැඳවියන්ට වධහිංසා කිරීම මෙන්ම ඝාතන ක්‍රියාවන්ටද නම් දැරු අයෙකු ලෙස සුදේශ් නන්දිමාල් චෝදනා කර සිටියි.

''මේ ඝාතන මෙහෙයවන්නේ ඒ ප්‍රධානියායි. අපි ඔහුට තමයි ඇඟිල්ල දික් කරන්නේ. සිරකරුවෝ ජීවත් වීමේ අයිතිය ඉල්ලන කොට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු දෙන්න පුලුවන් පරිසරය නිර්මාණය කෙරුවේ ඒගොල්ලෝයි'', ඔහු කීය.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැතිවරිය වශයෙන් ක්‍රියාකළ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ විසින් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළ පරිදි ශ්‍රි ලංකාවේ බන්ධනාගාර ආශ්‍රිත කෝවිඩ් ආසාධණය වූවන්ගේ සංඛ්‍යාව 1099 දෙනෙකි. එයින් 198 දෙනෙකු වාර්තා වී තිබෙන්නේ මහර බන්ධනාගාරයෙනි. හිටපු ඇමැතිවරිය වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රි ලංකාවේ සමස්ත බන්ධනාගාර පද්ධතිය තුළ රඳවා තැබිය හැකි වන්නේ පුද්ගලයන් 11,000 සංඛ්‍යාවක් වුවද මේ වන විට 32,000 ක් පමණ රඳවා සිටින බව ය.

කෝවිඩ් මළ සිරුරු පිළිස්සීම

කෙසේ නමුත් රජය විසින් මේ වන විට මහර බන්ධනාගාරයේ ප්‍රහාරය පිළිබඳව කරුණු සොයා බැලීමට කමිටු හතරක් පත් කොට තිබෙන බව ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර, අධිකරණ අමාත්‍යවරයා විසින්, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනි වීරවර්ධනගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ පංච පුද්ගල කමිටුව එයින් එකකි.

මුස්ලිම් ජනයා නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජිතයන් හා සංවිධාන විසින් අධිකරණය හමුවේ කළ මැදිහත්වීමක් නිශ්ප්‍රභා කොට, කෝවිඩ් මරණ ආදාහනය කිරීම අනුමත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවත් සමග බොහෝ විට මහර බන්ධනාගාරයේ ප්‍රහාරයෙන් මියගිය වූවන්ද රජය විසින් ඥාතීන්ට භාර නොදී ආදාහනය කරනු ඇතැයි බියක් කලින් සිට මතුව තිබූ අතර, වෝහාරික වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම අපරාධ නීතිය පිළිබඳ නීතිඥවරුන්ද පවසන්නේ එය බරපතල මානව හිමිකම් උල්ලංඝණයක් මෙන්ම අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සහ දණ්ඩ නීති සංග්‍රහයද උල්ලංඝණය කිරීමක් වන බව ය. එවැනි තත්ත්වයක් යටතේ රජය විසින් සිදුකරන ඕනෑම මනුෂ්‍ය ඝාතනයක වෝහාරික පරික්ෂණයක් කිරීමේ ඉඩ එයින් අහුරා දමනු ඇතැයි ඔවුහු අනතුරු හඟවති.

කෙසේ වුවද, වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දිනයේ ලබා දී නියෝගය මගින් තාවකාලිකව මෙම සැළැස්ම ව්‍යර්ථ කර තිබේ.

''මරණකරුවකුගේ සමීපතමයන්ට අයිතියක් තියෙනවා තමන්ගේ ඥාතියා මිය ගියේ කවර තත්ත්වයක් යටතේද කියලා දැන ගන්න. ඒක දැන ගන්න තියෙන ඒකම ක්‍රමය තමයි වෝහාරික පරික්ෂණයක් පැවැත්වීම. ඒ වෙනුවට මෙහෙම පුච්චලා දාන්න ගියාම යමකුට ඇතිවන සැකය මත වැඩිදුර විමර්ශනයක් සිදු කරන්නේ කොහොමද? මේක නීතියට මුවා වෙලා ඒ නීතියම කෙලෙසීමක්,'' යැයි ජ්‍යෙෂ්ඨ වෝහාරික වෛද්‍ය විශේෂඥවරයෙක් ජේඩීඑස් හා කියා සිටියේය.

මීට පෙර ජූනි මාසයේදී ද මහර බන්ධනාගාර සිරගතව සිටි 25 හැවිරිදි රැඳවියකු බන්ධනාගාර නිලධාරීන් විසින් 'තේ පොලුවලින් පහර දී මරාදැමුණු බව' සිදුවීම සියැසින් දුටු සාක්ෂිකරුවකු විවෘත අධිකරණය හමුවේ දී අනාවරණය කර සිටියේය.

මේ වසරේම මාර්තු 21 වැනිදා, කොවිඩ් පැතිර යාමේ භීතියෙන් නොසන්සුන්තා පැන නැඟුණු අනුරාධපුර බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීමට යැයි කියමින් බන්ධනාගාර නිලධාරීන් විසින් කරන ලද වෙඩිතැබීමක් හේතුවෙන් ද සිරකරුවන් දෙදෙනකු ජීවිතක්‍ෂයට පත්වූහ.


සිර කඳවුරේ වීඩියෝවක්

මේ අතර ඝාතනයට ලක්වුවන් පිළිබඳ තොරතුරු නොලැබීම පිළිබඳ විවිධ සැකසංකා මතුවෙමින් තිබියදී මහර හිරගෙදර ඇතුලත දර්ශන ලෙස හඳුන්වමින් බන්ධනාගාර බලධාරීන් සංස්කරණය කරන ලද වීඩියෝ පටයක් තෝරාගත් මාධ්‍ය ආයතන කිහිපයකට බෙදා හැර තිබේ.

මහ දවාලේ කිහිප දෙනකු එකිනෙකා සමග පොලු මුගුරු රැගෙන ගැටෙන ආකාරයත්, අනතුරුව දුමක් සමග ඈතින් නැගෙන ගින්නක් ද, වැසූ ගේට්ටුවක් ඉදිරිපිට කුළු පොලු රැගත් පොලිස් භට පිරිසක්ද, දැවී හැලුවී ඇති ගොඩනැගිල්ලක ඇතුළත දර්ශන ද පෙනේ.

එම දර්ශන කවදා කොහිදී කවුරුන් විසින් ගන්නා ලද දැයි කිසිදු පැහැදිලි කිරීමක් අදාළ දර්ශන සමග ඉදිරිපත් කර නොමැති අතර මෙකී දර්ශනවල සත්‍යභාවය ස්වාධීනව තහවුරු කිරීමක් මේ දක්වා සිදුකර නැත.☐

© JDS