'රට සල්ලි උපයන වෙළඳ කලාප ශ්‍රමිකයන්ට කන්නත් නැහැ' - වෘත්තීය සමිති හෙළිදරව්වක්

ජයේ කෝවිඩ් වසංගත අරමුදලට මිලියන ගණනින් පරිත්‍යාග ලැබී තිබියදීත්, රට තුළ වැඩිම විදේශ විනිමය උපයන්නන් වන නිදහස් වෙළඳ කලාප කම්කරුවන් අතර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය හා වැටුප් නොගෙවීම හේතුවෙන් බරපතල මානූෂීය අර්බුදයක් පැනනැගී ඇතැයි වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.

වෙළඳ කලාප කම්කරු ජනයා වෙනුවෙන් ගතහැකි සහයෝගිතා ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බ්‍රහස්පතින්දා (29) දිනයේදී  රැස් වූ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් කම්කරු ප්‍රජාව මුහුණ දී ඇති දුෂ්කරතා ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව එහි සම කැඳවුම්කරුවකු වශයෙන් ක්‍රියාකළ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ජේඩීඑස් හා කියා සිටියේය.

ලංකා වෙළඳ සේවක සංගමය (CMU) හා ලංකා ගුරු සංගමයේ මූලිකත්වයෙන් කොළඹ සීඑම්යූ මූලස්ථානයට කැඳවා තිබූ මෙම ඒකාබද්ධ සාකච්ඡාව සඳහා වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ශ්‍රී ලංකා ටෙලිකොම් තොරතුරු හා විදුලි සංදේශ සියළු සේවක සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, කටුනායක ඩා බිඳු සාමූහිකය, රෙඩ් සංවිධානය, 'ස්ටෑන්ඩ් අප්' ව්‍යාපාරය හා ජනතා නීතිඥයෝ යන වෘත්තීය සමිති හා සංවිධානවල නියෝජිතයෝ සහභාගී වූහ.

"පසුගිය 29 වැනිදා මේ සාකච්ඡාව කැඳවන මොහොත වෙනකොට 10,000කට වැඩි වෙළඳ කලාප කම්කරු පිරිසක් නිරෝධායනයට යොමුකරලා තිබුණා. නමුත් හොරණ බොඩිලයින් ගාමන්ට් ෆැක්ටරියේ කම්කරුවන් අතර ආසාදිතයන් 34ක් හොයාගත්තේ අපේ සාකච්ඡාවෙන් දවස් දෙකකට පස්සේයි. දැන් වෙනකොට බොඩිලයින් සේවකයන් 6,000කට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමුකරලා තියෙනවා. මුලතිවුවල හයිඩ්‍රාමනී කම්කරුවන් අතරත් දැන් කොවිඩ් ආසාදිතයන් හමුවීම නිසා කර්මාන්ත ශාලාව වසා දමන්න පියවර ගෙන තියෙනවා, "යි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

"රටේ වැඩිම විදේශ විනිමය උපයා දෙන කම්කරු ප්‍රජාව අතර කොරෝනා රෝගීන් හමුවුණාම ඔවුන් බඩගින්නේ තියනවා නම්, රුපියල් මිලියන ගණන් එකතු වුණා කියන කෝවිඩ් 19 අරමුදලින් මේ ආණ්ඩුව කරන්නේ මොකක්ද කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා"යි ඔහු විමසා සිටියේය.   

රජය විසින් පිහිටුවන ලද 'COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල' සඳහා මාස හතක් ඇතුළත දී රුපියල් කෝටි 16,590ක මුදලක් එකතු වී ඇති බව එම අරමුදලේ නිල වෙබ් අඩවිය විසින් නිවේදනය කර තිබේ.

 රුපියල් කෝටි 30,000ක් රැස්කිරීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් මෙම අරමුදල ස්ථාපිත කරන ලද්දේ ඉකුත් මාර්තු මාසයේදී ය.  

කම්කරු අමාත්‍යාංශ වාර්තාව කෝ?

"කෝවිඩ් වසංගතයේ පළමුවැනි රැල්ල ආව මොහොතේ මේ කම්කරු පිරිස් ගැන කිසිම ප්‍රමාණවත් තැකීමක් රාජ්‍ය බලධාරීන් විසින් කළේ නැහැ. වෙළඳ කලාප වැඩබිම් සහ නවාතැන් යන තැන් දෙකේම, විශේෂයෙන්ම කම්කරු ස්ත්‍රීන්ට ජීවත්වෙන්න සිද්ධවෙලා තියෙන්නේ එකට ගොණුවෙලායි. පළමුවැනි රැල්ල ආව වෙලාවේ අවදානම දැක දැකත් මේ පිරිස්වල සේවා කොන්දේසි ගැන තැකීමක් නැතුව ඔවුන්ගෙන් එක දිගට වැඩ ගත්තා. කර්මාන්ත ශාලා ඇතුළේ අනුගමනය කරන සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් ගැන ප්‍රමාණවත් සොයාබැලීමක් කරන්න බලධාරීන් උනන්දු වුණෙත් නැහැ. ලාභය ගැන විතරක් කල්පනා කරපු ඒ පිළිවෙත්වල ප්‍රතිඵලය තමයි බ්‍රැන්ඩික්ස්වලින් ආසාදිතයන් හමුවීම. ඉන් පස්සේ ආණ්ඩුව කළේ මොකක්ද? බ්‍රැන්ඩික්ස් ගැන හොයන්න කම්කරු අමාත්‍යාංශයෙන් පත්කරපු ද්විපුද්ගල කමිටුවේ සොයාගැනීම් හෙළිනොකර, කලාපයේ කම්කරුවන් 'කොරෝනා බෝකරන පිරිස්' කියන හංවඩුව විරුද්ධව අනියමින් ප්‍රචලිත කරලා, ඒ අයව හමුදාව යොදවා බලහත්කාරය යොදාගෙන තැන් තැන්වලට ගාල් කළා"යි ස්ටාලින් කීය.

රටපුරා පිහිටුවා ඇති ආයෝජන ප්‍රවර්ධන කලාප 14133,000කට අධික කම්කරු පිරිසක් රැකියාවන්හි නියුක්තව සිටිති. වෙළඳ කලාපවලින් බැහැරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පිහිටුවා තිබෙන කර්මාන්ත ශාලා 1,600කට වැඩි බව පෙන්වා දෙන ගුරු නායක ස්ටාලින්, එවායේ සේවයේ නියුතු ලක්ෂ හයකට නොඅඩු පිරිසක් විශාල අවදානමක් යටතේ රැකියාවන් කරන බවද ප්‍රකාශ කළේය.

"මේ සුවිශාල කම්කරු කොටස් මුහුණ දී තිබෙන අවදානම ගැන නිසි තක්සේරුවක් කරලා, ඒකට පිළියම් යෙදීමට අවශ්‍ය පියවර ගන්නවා වෙනුවට, මේ ප්‍රශ්න පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුකරවන්නට කටයුතු කළ ස්ත්‍රී ක්‍රියාකාරිනියන් බිය ගැන්වීමේ පිළිවෙතක් අනුගමනය කිරීම ලැජ්ජා සහගතයි. වැටුප් නැතිව, කන්න නැතිව ඉන්න කම්කරුවන්ට සහන සලසන එක රජයේ වගකීමක්" යැයි හෙතෙම කියා සිටියේය.

සාම්ප්‍රදායික තාක්ෂණයේ සීමා

වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්ගේ සාකච්ඡාව අවසානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් කතා කළ වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ ඇඟලුම් නිෂ්පාදන අංශය වැනි සමූහ වශයෙන් කම්කරුවන් සේවයේ යෙදෙන ක්‍ෂේත්‍රවල පීසීආර් පරීක්ෂණ නිවැරදිව සිදුකෙරෙනවාද යන්න පැහැදිලි නැති බවයි.

"මේ රෝගය ඉවරයි කියලා හිතාගෙන සිටි කාලයේ මේ ආයතන තුළ වුණේ මොකක්ද කියන එක අද දවසට ඉතාම අදාළයි"යි හේ කීය.

"රසායනාගාර වෘත්තීයවේදීන් විදියට අපිට ලැබෙන සාම්පල පිළිබඳ පරීක්ෂණ වාර්තා දවසක් ඇතුළත ලබාදෙන්න අපි දැනටත් වැඩ කරනවා. නමුත් අපිට තියෙන තාක්ෂණය සාම්ප්‍රදායික තාක්ෂණයක්. අපි පසුගිය මාස දෙක තුන තිස්සේම ඉල්ලා සිටියා, පැයක් ඇතුළත පීසීආර් පරීක්ෂණ සිදුකරලා වාර්තා ලබාගත හැකි යන්ත්‍ර අපිට ගෙනැත් දෙන්න කියලා. නමුත් ඒ වෙලාවේ සෞඛ්‍ය බලධාරීන් කිව්වේ 'දැන් කෝවිඩ් ඉවරයි' කියලා"යි ඔහු චෝදනා කර සිටියේය.

ඔක්තෝබර් මාසයේ 8 වැනිදා සිට 28 වැනිදා දක්වා කාලය තුළදී, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචිව ඇති කර්මාන්ත ශාලා තුළ පීසීආර් පරීක්ෂණ අවම වශයෙන් 26,500ක් සිදුකර ඇති බවත්, රට තුළ ඇති නිදහස් වෙළඳ කලාප 14 තුළ පමණක් පරීක්ෂණ 16,500කට වැඩි ප්‍රමාණයක් සිදුකළ බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි. එයින් 7,700කට නොඅඩු පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ කටුනායක කලාපයේ බවද අදාළ වාර්තා මගින් අනාවරණය වී තිබේ.

"පසුගියදාක අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උදය ගම්මන්පිල ඇමතිවරයා කිව්වා මේ අයට රුපියල් 14,500ක දීමනාවක් දෙන්න තීරණය වුණා කියලා. නමුත් මේ දක්වා ශත පහක්වත් දීලා නැහැ. මේ කම්කරුවන් කොහොමද ජීවත්වෙන්නේ?" ජෝසෆ් ස්ටාලින් විමසා සිටියේය.

මේ අතර ඇඳිරි නීතිය බලපවත්වන කාලය තුළ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩ පිළිවෙලක් දියත්කර ඇති බව ආර්ථික පුනර්ජීවන පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව නිවෙස්වල නිරෝධායනය වන්නන්ට රුපියල් 10,000ක බඩු මල්ලක් ලබාදීමට ද කටයුතු කරන බව ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියේ දැක්වේ.

ප්‍රධාන සේයාරුව: "කටුනායක සෝන් එකේ අපි" ෆේස්බුක් පිටුවෙනි.

© JDS