සුදු වෑන් යොදා 'සැකකරුවන්' අත් අඩංගුවට ගත් බව ගෝඨාභය පිළිගනියි


හින්ද රාජපක්ෂ පාලන සමයේදී රජයේ ඔත්තු සේවා මගින් 'ප්‍රශ්න කිරීම සඳහා' ඇතැම් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට සුදු වෑන් භාවිතා කළ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් පළමුවරට පිළිගෙන තිබේ.

'ඩේලි මිරර්' පුවත්පතේ මාධ්‍යවේදියකු සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම ප්‍රකාශය කර ඇත්තේ යුද සමයේදී රජයේ ආරක්ෂක හමුදාවන් විසින් යුද අපරාධ කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙමළ මාධ්‍යවේදීන් හමුවේ පිළිගැනීමෙන් සතියක් ඇතුළතදී ය.

රාජපක්ෂ ආණ්ඩුව යටතේ අතුරුදහන්වූ බොහෝ දෙනකු සුදු පැහැති වෑන් රථ මගින් පැහැරගෙන යනු ලැබූ බවට ජාතික හා ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම් දීර්ඝ කාලයක් තිස්සේ චෝදනා එල්ල කළහ.

රාජ්‍ය ඔත්තු සේවා විසින් සුදු වෑන් භාවිතා කළ බව පිළිගෙන ඇති හිටපු ආරක්ෂක ලේකම්වරයා, එම පිළිවෙත මීට පෙරද ශ්‍රී ලංකාවේ යොදාගෙන ඇති බව කියයි.

"සැකකරුවකු ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්නේ ඒ වගේ ක්‍රම හරහායි' ඩේලි මිරර් පුවත්පතට රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

"ඒක මම හඳුන්වලා දුන්න දෙයක් නෙවෙයි. මේ ක්‍රමවේදයන් ලෝකය පුරාම යොදාගෙන තියෙනවා. අපේ ඔත්තු සේවාත් සුදු පාට හයි ඒස් වෑන් රථ පාවිච්චි කරන්න ඇති. මම ඒක හඳුන්වලා දුන්නේ නැහැ. කලින් ආණ්ඩු යටතේත් ඒ දේවල් සිද්ධවුණා. ජේවීපී කාලයේ ප්‍රචණ්ඩ ක්‍රියා ගත්තත්, ඉතාම තරුණ අයට හැරෙන්න, අනික් හැම හැමකෙනෙක්ම දන්නවා තරුණයන්ව පැහැරගෙන ගියේ කොහොමද කියලා."

1987-1990 වකවානුවේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද දෙවැනි සන්නද්ධ නැගිටීම සමයේ කැරළිකරුවන් මර්දනය කිරීම සඳහා එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ විසින් පැහැරගෙන යාම් හා නීතියෙන් බැහැර ඝාතන ක්‍රියා යොදා ගත්තේය.

එවකට මාතලේ දිස්ත්‍රික්කයේහමුදා සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් කටයුතු කළ ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ කැරැලි මර්දන ක්‍රියා සම්බන්ධයෙන් දැක් වූ පිළිවෙත රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුවේ  ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නගේ මහත් ප්‍රශංසාවට ලක් වූ බව Gota's War කෘතිය ලියූ සී ඒ චන්ද්‍රපේම විසින් හෙළිකර තිබේ.

2012 නොවැම්බරයේදී මාතලේ රෝහල් භුමියේ ඉදිකිරීම් සඳහා කැණීම් කිරීමේදී හමු වූ සමූහ මිනීවළකින් සොයාගන්නා ලද මළ සිරුරු 154 , ජවිපෙ දෙවැනි නැගිටීම සමයේ මියගියවුන් විය හැකි බවට ඒ පිළිබඳ පුරා විද්‍යා වෝහාරික පරීක්ෂණ මෙහෙයවූ මහාචාර්ය රාජ් සෝමදේව විසින් 2013 වසරේදී ප්‍රකාශ කළේය.

'සාමාන්‍ය පිළිවෙත'

සුදු වෑන් යොදාගෙන කළ පැහැරගැනීම් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන්ට එරෙහිව පමණක් යොදාගත් ක්‍රමයක් බව හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ යොදාගත් ක්‍රමවේදයක් සම්බන්ධයෙන් තමන් පමණක් ඉලක්ක කොට චෝදනා කිරීම වැරදි සහගත බව ඔහු සිය සාකච්ඡාවේදී පෙන්වා දෙයි.

"මාව විතරක් තනියෙන් ඉලක්ක කරන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. 88/89 කාලයේදී වගේ නෙවෙයි, අපේ පාලනය යටතේ දේශපාලන විරුද්ධවාදීන් පැහැරගෙන යන්න මේ ක්‍රමය යොදාගෙන නැහැ. අවුරුදු 30ට වැඩි බොහෝ දෙනකුට ඒ කාලයේ සිද්ධවුණු දේවල් මතකයි. අපේ කාලයේ සිද්ධවුණේ භයානක ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා කලාපයන්ට එරෙහිව මේ ක්‍රම යොදාගැනීමයි. 2005 වෙනකොට, විශාල එල්ටීටීඊ සම්බන්ධතා ජාලයක් දකුණේ තිබුණා.  ඒ අය විශාල වශයෙන් දකුණට ඇතුල්වෙලායි තිබුණේ. ඒකේ ප්‍රතිඵලයක් විදියට, ඒ අය දේශපාලකයන්, හමුදා සාමාජිකයන් වැනි ගොඩාක් අයව ඝාතනය කරන්න සමත් වුණා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඒ අයට ඔත්තු සේවා ජාලයක් වගේම ආයුද තිප්පොළවල් තිබුණා. මරාගෙන මැරෙන බෝම්බකරුවන්, ඔත්තුකරුවන් ඇතුළු ඒ පිරිස් හෙළිකරගන්න අපිට සිද්ධවුණා. ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කරනකොට සාමාන්‍ය පිළිවෙත් අනුගමනය කරන්න ඔබට බැහැ. රහසිත ගරිල්ලා ක්‍රමෝපායයන් යොදාගෙන ඒ අය සටන් කළේ  වෙනස්ම විදියකටයි. ඒකට විරුද්ධව කටයුතු කරන්න අපිට සිද්ධවුණෙත් ඊට සමාන ක්‍රමවලිනුයි. අපේ රහස් ඔත්තු සේවා වැඩ කළේ ඒ විදියටයි."

ලසන්ත ඝාතනය

මාධ්‍යකරුවන්ට එරෙහිව එල්ල කළ ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් හිටපු ආරක්ෂක ලේකම්වරයා දැන සිටියද, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා කැරළි මර්දන මෙහෙයුම්වල නිරත පොලිස් සහ ඔත්තු සේවා අංශ යොමු නොකළ බව ද ඔහු පිළිගෙන තිබේ.

අදාළ මෙහෙයුම් මගින් ත්‍රස්තවාදීන් පමණක් ඉලක්ක කළ බව කීව ද, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම හා කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට එල්ල කෙරෙන චෝදනා ගැන 'ඩේලි මිරර්' මාධ්‍යවේදී කැලුම් බණ්ඩාර විසින් නගන ලද පැනයකට ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මෙසේ කියයි:

"අපි ප්‍රගීත් එක්නැලිගොඩ කියන පුද්ගලයාගේ අතුරුදහන්වීම ඇතුළු මේ කියන කිසිම දෙයකට සම්බන්ධ නැහැ. ඒ වගේ දේවල් කරන්න අපිට අවශ්‍ය වුණේ නැහැ. මේවා තනිකරම පුද්ගලික හේතුවලට එක්තරා පුද්ගලයන් දෙදෙනෙක් විසින් කරපු දේවල්. ඒ අය නම් කරන්න මට අවශ්‍ය නැහැ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ වෙලාවේ, හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහයි, හිටපු මන්ත්‍රී ජෝසප් මයිකල් ප්‍රනාන්දුයි පාර්ලිමේන්තුවේදී කිව්වා ඒ ඝාතනය කළේ ඒ කාලයේ හිටපු හමුදාපතිවරයා කියලා."

'සියල්ලම තමන් මත දැමීම' එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ගෙනියන ප්‍රචාරක කටයුත්තක් බවට රාජපක්ෂ චෝදනා කර සිටියි.

"යුද්ධයක් යනකොට අපි සම්පූර්ණයෙන්ම අවධානය යොමුකරන්නේ ඒකටයි. ඒක ඇත්ත. ඒ වගේ තත්ත්වයක් යටතේ යුද්ධය නවත්වලා වෙනත් විවිධ විමර්ශන කරන්න සම්පූර්ණයෙන්ම කැපවෙන්න අපිට බැහැ. රහස් පොලිසියට සහ ඔත්තු සේවාවලට පැවරුණු කාර්යයක් තිබුණා. රට පුරා බෝම්බ පුපුරනකොට, ත්‍රස්තවාදීන් විසින් හැමතැනකම ඝාතන සිදුකරනකොට ඒව මැඩලන්න සම්පත් යොදවන්න අපිට සිද්ධ වුණා. ඒක තමයි යථාර්ථය"යි රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

"මේ කියන කිසිම ඝාතනයකට මම සම්බන්ධ නැහැ මගේ හදවතට එකඟව මම දන්නවා"යි ඔහු වැඩි දුරටත් කියා සිටියි.

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි මාසයේ කොළඹදී ඝාතනය කළ අතර ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වූයේ එයින් වසරකට පසු 2010 ජනවාරි මාසයේදී ය.☐

© JDS