අපරාධ චූදිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා රකින බවට ජනාධිපතිට චෝදනා

කිත්සිරි විජේසිංහ විසිනි


පරාධ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ ඉහළම නිලධාරියා ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් ගැනීමට නොහැකිව ඇත්තේ  ජනාධිපතිවරයාගේ නියෝගයක් පරිදි යැයි ජේඩීඑස් වෙත වාර්තා වේ.

පොලිසිය සහ අධිකරණය මගහැර සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විදෙස්ගතව සිට නැවත ලංකාවට පැමිණ මසක් ගතවී තිබුණ ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැත.

රාජපක්ෂ පාලන සමයේ අග භාගයේදී අගනුවර හා තදාසන්න පෙදෙස් වලින් තරුණයන් 11 දෙනකු පැහැර ගෙන ගොස් වද දී මරා දැමීම සම්බන්ධයෙන් සැක කෙරෙන නාවික හමුදා නිලධාරියකුට නීතියෙන් වසන්වී සිටීමට උදව් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න නැවත වතාවක් නියෝග කර තිබේ.

මෙයට පෙර අවස්ථා කිහිපයකදීම අධිකරණය විසින් ලබා දී තිබු නියෝග මගින් කියා සිටියේ සෑහීමකට පත්විය හැකි සාක්ෂි පවතී නම් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නීතිමය බාධාවක් එල්ල නොකෙරෙන බවයි.   

ජනපති සිරිසේනගේ මැදිහත්වීම

අදාළ නියෝගය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි ජේඩීඑස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද විමසු විට උසස්  නිලධාරියකු  ප්‍රකාශකර සිටියේ තම දෙපාර්තමේන්තුව ඒ සඳහා සුදානම් මුත්, එය තවදුරටත් පමා වෙමින් තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා  අත්අඩංගුවට  නොගන්නැයි පොලිසියේ  ඉහළ නිලධාරින් අමතා කර ඇති නියෝගයක් නිසා බවයි.

"මාණ්ඩලික ප්‍රධානියාව අත්අඩංගුවට නොගෙන ඉන්නේ අපේ නොහැකියාවකට නෙමෙයි. ජනාධිපතිතුමා සැර පරුෂ  විදිහට කතා කරලා අපේ ඉහළ නිලධාරින්ට කියලා තියනවා අද්මිරාල් විජේගුණරත්නව මොනම හේතුවකටවත් අත්අඩංගුවට ගන්නත් එපා, සීඅයිඩියට කැඳවලා ප්‍රකාශ ගන්නත් එපාය කියලා,"යි සිය අනන්‍යතාවය හෙළිදරව් නොකරන්නැයි ඉල්ලා සිටිමින් එම නිලධාරියා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණය විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට නියෝග කොට තිබියදි එම නියෝගය නොතකා හරිමින් ඉකුත් සැප්තැම්බර් 10 වැනිදා ඔහු රජයේ නියෝජිතයකු ලෙස මෙක්සිකෝව බාලා ගිය අතර, පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අධිකරණය හමුවේ හෙළිකරන ලද්දේ ප්‍රකාශයක් ලබා දීම සඳහා තම දෙපාර්තමේන්තුවට නොපැමිණ ඔහු විදෙස් ගතව ඇති බවයි.

අධිකරණ නියෝග

අදාළ අපරාධය සඳහා වගකිව යුතු  ප්‍රධාන සැකකරුවකු  ලෙස නම් කොට ඇති  ලුතිනන් කොමදෝර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නිශ්චිතව රැඳී  සිටින තැනක් පිළිබඳව තමන්ට සොයා ගැනීමට නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසරකටත් වැඩි කාලයක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ය. කෙසේ නමුත් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තා මඟින් හෙළිදරවු කෙරුණේ එම සැකකරු හිටපු නාවික හමුදාපතිවරයා විසින් නාවික හමුදා මුලස්ථානයේ නිලධාරි නිල නිවස්නයක සඟවා තබාගෙන සිට රහසිගතව රටින් පිටමන් කොට ඇති බව ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවත අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් ඉල්ලා සිටියේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන් ඒ සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කරගැනීමට අවශ්‍යව තිබෙන බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ය. අදාළ ඉල්ලීම සළකා බැලු  අධිකරණය ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම්  ආරක්ෂක  මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම පිළිබඳව අධිකරණයේ විරුද්ධත්වයක් නොමැති බව යළිත් දන්වා සිටියේය.

ආරක්ෂක  මාණ්ඩලික ප්‍රධානියා නිල චාරිකාවක සඳහා විදෙස්ගත වූයේ එවැනි නියෝගයක් නිකුත් කොට තිබියදී ය.

'අහිංසක' නාවික අපරාධකරුවන්

කෙසේ වුවද, පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ කියා සිටියේ අද්මිරාල් විජේගුණරත්නගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුට විරුද්ධව ඇති චෝදනාව කවරක්ද යන වගයි.

"චෝදනා පත්‍රයක් දෙන්නේ නැතුව විජේගුණරත්නව අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් අවසර ඉල්ලලා කඩදාසි දාලා තියනවා. නමුත් ප්‍රකාශයක් අරගෙනවත් නෑ. මිනිස්සු  හිතන්නේ ළමයිව මැරුවේ විජේගුණරත්න කියලා," ජනාධිපති සිරිසේන පැවසීය.

නමුත් ජනාධිපති සිරිසේන නගන චෝදනාවලට පිළිතුරු දෙන  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය නීතිය නොදැනීම නිසා සිදුකළ එකක් බව ය.

"අපරාධ චෝදනාවකට නඩු දාන්නේ පොලිසිය නෙමෙයි, නීතිපතියි. අවුරුදු 10 ක් තිස්සේ මේක ඇදෙන්නේ අපේ වරදක් නිසා නෙමෙයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන් කට උත්තර ගන්න එන්න කියලා අපි කිහිප පාරක්ම දන්වලායි තියෙන්නේ. නමුත් ජනාධිපති  ප්‍රසිද්ධියේම කියනවා නම්  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අහිංසකයි, වරදක් කරලා නෑ කියලා අපි කොහොමද පරික්ෂණ පවත්වන්නේ? හමුදාවෙන්, බුද්ධි අංශවලින්, ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලපු තොරතුරු අපිට ලබාදුන්නද? අධිකරණය කීප සැරයක්ම හමුදාවට නියෝග කෙරුවත් මේ පරික්ෂණවලට අවශ්‍ය තොරතුරු සීඅයිඩියට දෙන්න කියලා, ජනාධිපතිතුමාම කියලා තියනවා හමුදාවේ කිසිම තොරතුරක් සීඅයිඩියට දෙන්න එපා කියලා," ඔහු කීය. 

මීට පෙර අවස්ථා කිහිපයකදී ද බරපතල මානව හිමිකම් උල්ලංඝණයන්ට වගකිව යුතු ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බාධා කිරීම සම්බන්ධයෙන් ජනාධිපති සිරිසේනට චෝදනා එල්ල වී තිබේ.

'දරුවන් ගැන කතා කිරීමත් තහනම්'

මේ අතර, නාවික හමුදාව විසින් පැහැර ගෙන යන ලද අයගේ  ඥාතීන් කිහිප දෙනකුම  සිය නම් සඳහන් නොකරන්නැයි අවධාරණය කරමින් ජේඩීඑස් හා  පැවසුවේ රටේ ඉහළම දේශපාලඥයකු අදාළ නිලධාරීන් බේරා ගැනීම සඳහා මැදිහත්ව ඇති වග තමන්ට ද දැන ගන්නට ලැබී ඇති බැවින් ඉදිරි  පරීක්ෂණ පිළිබඳව තවදුරටත් තමන්ට කිසිදු  විශ්වාසයක් හෝ බලාපොරොත්තුවක් නොමැති බව ය.

"රටේ ඉහළම තැනකින් මේ පරීක්ෂණවලට බලපෑම් එල්ල වෙන බවකුයි පේන්න තියෙන්නේ. අවුරුදු දහයක් තිස්සේ අපි යා යුතු හැම තැනකටම ගිහින් හැම පුද්ගලයකුම හමුවෙලා අපේ දුක කිවුවා. දැන් අන්තිමට අපේ දරුවෝ පැහැරගත්ත අය විතරක් නෙමෙයි, ඒ අයව ආරක්ෂා කරගත්ත අයවත් අහුවෙලා තියෙනවා. ඒත් පොලිසියේ අය අපිට කියන්නෙත් ඒ අයට කරන්න පුලුවන් දේ කරලා තියනවා, අපරාධකරුවෝ හඳුනගෙන ඉන්නවා, ඒත්  නඩු දාන්න බෑ කියලයි" අතුරුදහන් වූ තරුණයකුගේ  මවක් කියා සිටියාය.

අත් අඩංගුවට ගත හැකියි

කෙසේ නමුත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට එල්ල වී ඇති චෝදනා මෙන්ම ඔහු සම්බන්ධව අනුගමනය කෙරෙමින් තිබෙන ක්‍රියා පිළිවෙත පිළිබඳවත් විමසීමේදි ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ පවසන්නේ යමෙක් සිතා මතාම අධිකරණය මඟ හරිමින් සිටින්නේ නම් ඔහුට එරෙහිව වරෙන්තුවක් ලබා ගත හැකි බව ය.

"පොලිසිය කියනවා නම් ප්‍රකාශයක් ලබා ගැනීමට එන්න කියපුවාම ආවේ නෑ කියලා ඊට පස්සේ කරන්න තියෙන්නේ  ඔහුට එරෙහිව අධිකරණයෙන් වරෙන්තුවක් ගැනීමයි," නීතිඥ කුමාරගේ ජේඩීඑස් හා කියා සිටියේය.

"එහෙමත් ආවේ නැත්නම් කරන්න තියෙන්නේ අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් අවසර ඉල්ලන්න. අපරාධ නීතිය යටතේ සාපරාධී වරදක් සම්බන්ධයෙන් කට උත්තර ගන්න එන්න කිවුවම ඔහු එන්න ඕනේ. පොලිසිය  මේ වගේ කැඳවීමක් යමෙකුට  කරන්නේ  ඔහුට එරෙහිව  සාක්ෂි තියාගෙන. ඒ නිසා කටවත් අහන්න  බෑ කට උත්තර ගන්න එන්න කිවුවා මොකද්ද කරපු වරද කියලා."

ආරක්ෂක හමුදා සාමාජිකයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවමින් ප්‍රශ්න කිරීම මෙයට පෙර අවස්ථා කිහිපයකදීත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් දැඩිව විවේචනය කරනු ලැබුනි. ඒ, නාවික හමුදා බුද්ධි අංශ විසින් පුද්ගලයන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කකළහොත් එමඟින් හමුදා සාමාජිකයන් කැළඹිමට පත්විය හැකි යැයි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ජනාධිපතිවරයාට කරන ලද දැනුම් දීමකින් පසුව ය. එමෙන්ම, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය  රාජපක්ෂ  සම්බන්ධයෙන් සිදුකෙරුනු පරීක්ෂණවල ලිපි ගොනු ද පොලිස්පතිවරයා මඟින් ගෙන්වා ගෙන පිටස්තර නීතිඥවරුන් පිරිසක් මඟින් ඒවා පරීක්ෂාවට ලක් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කිරීම ද නීති ක්ෂේත්‍රයේ  බරපතල දෝෂ දර්ශනයට ලක් විය.☐

© JDS