නැගෙනහිර විජයබා සංහාරය: යුක්තිය නොදුටු තිස් වසක මතකය

විශේෂ වාර්තාකරුවකු විසිනි


ත දරුවන් ඇතුලු එකසිය අසුවකට අධික නිරායුධ දෙමළ වැසියන් පිරිසක් රජයේ භට සෙනඟක් විසින් මරා දමන ලද බවට ජනාධිපති කොමිසමක් හමුවේ ප්‍රබල සාක්ෂි ගොනුවී ඇති කුරිරු සමුල ඝාතනයක තිස් වැනි වර්ෂ පුර්ණය දෙමළ ජනතාව විසින් මලින්, පහනින් සහ කඳුළින් නැගෙනහිරදී පසුගියදා සමරනු ලැබුණි.

මඩකලපු දිස්ත්‍රික්කයේ සත්තුරුකොන්ඩාන් හි පනිච්චෙයිඅඩි මංසන්ධියේ ස්ථාපිත කර ඇති ඝාතනය වූවන්ගේ ස්‌මාරකය අසළදී එම සැමරුම් උළෙල පවත්වනු ලැබුවේ සැප්තැම්බර් 9 වැනි බදාදාවේදී ය.

1990 වසරේ සැප්තැම්බර් වැනිදා මරා දමන ලද ගම්මාන හතරක 184 දෙනකු සිහිපත් කරන්නට එම චාම් අනුස්මරණය සංවිධානය කර තිබුනේ බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් විසිනි.

ඒ ගොරබිරම් සැන්දෑවේ ඝාතනය කෙරුණු අවුරුදු එකහමාරේ බිළිඳියක් ඇතුළු සිය පවුලේ දස දෙනකුට සෙත් පතන්නට පැමිණ සිටි හිටපු විදුහල්පති කන්දයියා සිවකොලුන්දු මාධ්‍යවේදීන් හා කියා සිටියේ යුද හමුදාව සහ ග්‍රාමාරක්ෂක භටයන් එම අපරාධය කළ බව ජනාධිපති කොමිසමක් හමුවේ තහවුරු වී තිබියදීත් අදත් යුක්තිය ඉටුවී නැති බව ය.

පාලකිඩ්නර් කොමිසම

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් 1995 ජනවාරි 4 වැනිදා පත්කරන ලද විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු ක්‍රිෂ්ණපිල්ලේ පාලකිඩ්නර්ගේ සභාපතිත්වයෙන් යුත් උතුරු නැගෙනහිර පුද්ගල අතුරුදහන් කිරීම් සහ බලහත්කාරයෙන් පැහැරගෙන යාම් පිළිබඳ කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි අනුව සමුහඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබන්නේ සත්තුරුකොන්ඩාන් බෝයිස් ටවුන් කඳවුරේ නිලධාරීන්ය.

ඒ සමයේ මඩකලපු දිස්ත්‍රික්කය භාර හමුදා නිලධාරියා වශයෙන් කටයුතු කරන ලද්දේ බ්‍රිගේඩියර් ඒ. එම්. යූ සෙනෙවිරත්න විසිනි.

මරුමුවට පත්වූවන් වාසය කළ ගම් හතර තම අණසක යටතේ පැවති බව පස්වැනි විජයබා රෙජිමේන්තුවේ එවක කර්නල් පර්සි ප්‍රනාන්දු කොමිසම හමුවේ පිළිගෙන තිබේ. ඔහු තවදුරටත් පවසා ඇත්තේ මඩකලපු සාම කමිටුවේ දෙදෙනකු සමග සැප්තැම්බර් 10 දා කඳවුරට ගිය තමන්ට නම් කිසිම අමුත්තක් දැකගන්නට නොලැබුණු බව ය.

එහෙත්, ඔහු ඒ ගමනට කැඳවාගෙන ගිය ත්‍රිකුණාමල, මඩකලපු රදගුරු මෙන්ම මඩකලපු සාම කමිටුවේ සාමාජිකයකු ද වූ ආචාර්ය කිංස්ලි ස්වාමිපිල්ලේ හිමිපාණන් පවසන පරිදි කර්නල්වරයා අපරාධයේ තරම දැක තිබේ. එපමණක් නොව යුද හමුදාව එම අපරාධය සිදුකළ බව පිළිගෙන කනගාටුව පළකර තිබේ.

ඒ භීෂණ සමයේ සත්තුරුකොන්ඩාන් හමුදා කඳවුරට අණ දී ඇත්තේ කැප්ටන් ගාමිණී තිස්ස වර්ණකුලසුරියයි. ඔහු විසින් ජනාධිපති කොමිසමට දී ඇති සාක්ෂිය අනුව ඒ සමූලඝාතක දිනයේ ඔහු යටතේ කැප්ටන් විජේනායකද, පසුව කැප්ටන් තනතුරට උසස් කරනු ලැබූ හේරත් සහ දිසානායක යන දෙදෙනාද රාජකාරි කර ඇත.

එහෙත්, මෙම සමූලඝාතනය සිදු වූ දිනයේ දී තමන් යටතේ සිටි කිසිම හමුදා භටයකු කදවුරෙන් පිටතට ගිය බව කැප්ටන් වර්ණකුලසුරිය කොමිසම හමුවේ ප්‍රතික්ෂේප කර තිබේ.

මරු කටින් ගැලවුණු එකම තැනැත්තා

යුද හමුදාව අතින් කුරිරු ලෙස සමූලඝාතනය වෙද්දී දිවි ගලවා ගැනීමට හැකි වු එකම තැනැත්තා එවක 27 වැනි වියේ පසුවූ පිල්ලෙයාර්අඩි ගමේ කන්දසාමි ක්‍රිෂ්ණකුමාර්ය.

ඔහු පවසන පරිදි 1990 වසරේ සැප්තැම්බර් නමවැනිදා සැන්දෑවේ 5.30 ට පමණ මඩකලපු දිස්ත්‍රික්කයේ සත්තුරුකොන්ඩාන් හි බෝයිස් ටවුන් හමුදා කදවුරේ සන්නද්ධ භට පිරිසක් සත්තුරුකොන්ඩාන්, කොකුවිල්, පනිච්චෙයියඩි හා පිල්ලයාරඩි යන ගම්මාන වලට ඇතුල් වී එම ගම්වාසීන්ට නිවෙස් වලින් එලියට බහින ලෙස අණ කර තිබේ.

වීදියට බට ගම්වැසියන් එකසිය අසූ පහක් වටකර පසුපසට දෑත් බැඳ, ඔවුන් සියලු දෙනා හමුදා කදවුර වෙත රැගෙන විත් තිබේ.

එම පිරිසට සත්තුරුකොන්ඩාන් ගම් වැසියන් 38 ක්, කොකුවිල් ගමේ 47 ක් , පනිච්චෙයියඩි ගම් වැසියන් 37 ක් හා පිල්ලයාර්ඩි ගම් වැසියන් 62 ක් අයත් වුනි..

හමුදා අත් අඩංගුවට පත් පිරිස අතර ගැබිණි මව්වරුන්ද ඇතුළු කාන්තාවන් 85 කි.

අවුරුදු දහයට අඩු දරු දැරියන් 42 කින් සමන්විත එම පිරිසට අවුරුදු 60ට වැඩි වයසේ 28 දෙනකු ද ඇතුළත් ය.

සාමාන්‍ය විමර්ශනයක් සිදු කිරීම සදහා සියලු දෙනා හමුදා කදවුර වෙත ගෙනයන අතර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කෙරෙනු ඇති බව හමුදාව විසින් ගම් වැසියන්ට පවසා තිබුනත් ඉන් පැය කිහිපයකට පසු එක් අයෙක් හැර ගෙදර ආ වෙනත් කිසිවකු නැත.

පාලකිඩ්නර් කොමිසමේ වාර්තා වල දැක්වෙන පරිදි කන්දසාමි ක්‍රිෂ්ණකුමාර් තුවාල කැළැල් පෙන්නමින් පවසා ඇත්තේ හමුදා භටයන් පපුවේ තුන් පොළකට තමන්ට පිහියෙන් ඇන්න බවයි. තවත් දහ දෙනකු පමණ පිහි ඇනුම් කා බිම වැටී ඉන්නා අයුරු ඔහු දැක තිබේ.

ස්ත්‍රී දුෂණ

තුවාල වී බිම වැටී සිටියදී තමන් දුටු හමුදා සෙබළුන් විසින් කාන්තාවන්ට එරෙහිව කළ කුරිරු කම් හෙළිකරමින් කන්දසාමි ක්‍රිෂ්ණකුමාර් එයින් තුන් අවුරුද්දකට පසු ටැමිල්නෙට් වෙබ් අඩවියට පවසා තිබූ මහත් කම්පා කරවන සුළු විස්තරයෙන් බිඳකි මේ.

“පස්සේ උන් ඇඟේ නූල් පොටක්වත් නැතිව ගෑණු ළමයි අරන් ආවා. ඒ ළමයින්ගේ කටේ පස් පුරවලා දිගින් දිගටම දූෂණය කළා. ඊට පස්සේ හමුදා භටයෝ කඩු අරගෙන ඒ අයගේ පපු කපලා අයින් කළා. එයින් තුන් දෙනෙක් ලිඳකට තල්ලු කළා. උන් දූෂණය කර කර, මර මරා, මළකඳන් වළවල්වලට දාන වැඩේ පැටලිලා ඉන්නකොට මම හෙමිහිට කළුවරේ එලියට බඩ ගා ගත්තා. ආමි කාරයෝ ගියාම මම හමුදා කඳවුරේ වැට දිහාට රිංගලා කෑම්ප් එක පිටිපස්සේ ලඳු කැලේ හැංගුනා. පස්සේ සොල්දාදුවෝ ටයර් ගෙනල්ලා වලේ තිබුණු මළකඳන් වලට ගිනි තිබ්බා. පාන්දර තුන විතර වෙනකල් ගින්න ඇවිලුනා. ගිනිමැලේ නිවුනට පස්සේ වළට පස් දාලා වැහුවා.”

පණ බේරාගෙන පලාගොස් පාන්දර යාමයේ ලේ ගලන තුවාල සහිතව මඩකලපුව රෝහලට ඇතුල් වූ ඔහුගේ අනාරක්ෂිත බව සළකා සාම කමිටුවේ සාමාජිකයන් ක්‍රිෂ්ණකුමාර්ගේ ටිකට් කප්පවා ශාන්ත මයිකල් විද්‍යාලයේ රැකවරණ ලබා දී ඇත.

කඳවුරෙන් සැතපුම් කාලක් පමණ එපිට වූ ගං ඉවුරේ බට පඳුරු අතර සැඟවී සත්තුරුකොන්ඩාන් සමුලඝාතනය සිදුවනු දැකගත් ආශ්චර්යකින් මෙන් දිවි ගලවා ගැනීමට සමත් වූ අයකු මෑතදී හෙළිකළ එම අත්දැකීම් අති බිහිසුණු ය.

රාසයියා රත්තිනෙයියා මරණය දැක දැක බේරීගත් අයුරු මාට්‍රම් (மாற்றம்) වෙබ් අඩවියේ සෙල්වරාජා රාජසේගර් නිමැවූ වීඩියෝ වාර්තාවකට මෑතදී විස්තර කළේ මෙලෙසිනි.

"මට තේරුම්ගියා මේ අයගෙන් බේරිලා යන්න බැරිවෙන බව. ඒත් මම මගේ සෙරෙප්පු ගලවලා දිය හිඳිච්ච වැවේ ලඳු කැලෑවක් වගේ වැවිලා තිබුණු බට ගාල අස්සට රිංගා ගත්තා. මට හිතුනා මම දිගින් දිගට මේ විදියට දනගාගෙන ගියොත් මේ බට පදුරුවලට මගේ අත් කකුල් තුවාල වෙන්න පුලුවන් කියලා. ඉතිං මම එක් සෙරෙප්පුවක් දණකටත්, අනෙක අතටත් අමුනාගෙන පෙනෙන්නට තිබූ ගහක් දිහාවට දණගාගෙන ගියා. පහුවදා ඉර පායන කල්ම මම මුලු රෑම ඒ විදියට වගුරුබිමේ හැංගිලා හිටියා.”

මේ සම්බන්ධයෙන් අසා දැනගත් වහාම මැදිහත් වීම් කළ අයකු වන්නේ රදගුරු ආචාර්ය කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමා ය.

"එක්කෙනෙක් ඇවිල්ලා අපට කීවා ඔවුන්ගේ ගෙවල් හා මිනිසුන් ගිනිබත් කළ බව. අපි ඇහුවා කව්ද ගිනිතැබීම් කළේ කියලා. එයා ඇහුවේ මිලිටරියෙන් නැතුව වෙන කව්ද, කියලයි. අසබඩ තිබෙන හමුදා කඳවුරේ අය මේ හැම කෙනෙක්වම පුච්චලා දැම්මා යි ඔහු කීවා," යි රදගුරුවරයා මාට්රම් වෙබ් අඩවියට පවසා තිබුණි.

තවදුරටත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන රදගුරුවරයා පවසන්නේ දිවි ගලවා ගෙන පැමිණි පුද්ගලයා විස්තර කළ තොරතුර තමන් දන්නා හඳුනන හමුදා නිලධාරියකු වූ කර්නල් පර්සි ප්‍රනාන්දුට දැනුම් දී “මෙවැනි සිද්ධියක් කෙසේ සිදුවීද? අපිට දැන් කරන්න පුලුවන් දේ මොකක් ද?” කියා විමසා සිටි බවයි.

“මේක කරලා තියෙන්නේ අපේ මිනිස්සු”

එවිට හමුදා කදවුරේ ප්‍රධානියාගේ පිළිතුර වී ඇත්තේ යුද හමුදාව මෙවන් වූ දෙයක් කිසිදා නොකරන අතර, එය දෙමළ ඊලම් විමුක්ති කොටි සංවිධානයේ ක්‍රියාවක් විය හැකි බවයි.

කෙසේ නමුත් මේ ගැන සොයා බැලිය යුතු බව තමන් ඉල්ලා සිටීමෙන් පසු හමුදා නිලධාරියාත් අපරාධය සිදුවූ ස්ථානය කරා යාමට එකඟ වූ බව ආචාර්ය කිංස්ලි ස්වාමි පිල්ලේ පවසයි.

"එහි ගියාම අපිට දකින්නට ලැබුණා බේරිලා ආපු අය අපට කී දේ ඇත්තක් බව.''

රදගුරුවරයා දැක ඇත්තේ මිනිසුන්ගේ හිස්ගෙඩි, සිරුරු කොටස් ගොඩ ගසා ගිනිතබා තිබෙන ආකාරයයි.

ඒත් සමහර හිස්ගෙඩි හා ශරීරාංග දැවී හමාර වී නොතිබුණු බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

''මේ සිද්ධිය වෙලා තිබුනේ සැප්තැම්බර් 09 වැනිදා, නමුත් අපට තොරතුර ලැබුනේ 10 වැනිදා නිසා අපි එහි ගියේ සිද්ධියට පස්සේ දවසෙයි."

මේ බියකරු සිද්ධිය පියවි ඇසින් දුටු හමුදා නිලධාරියා කම්පිත වූ බව රදගුරු ස්වාමිපිල්ලෛ පවසයි.

"මම බොහොම දුක් වෙනවා. මේක කරලා තියෙන්නේ අපේ මිනිස්සු. මම සමාව ඉල්ලා සිටිය යුතුයි' කියලා ඔහු කිව්වා. එතකොට අපි කිව්වා අපිට දුක විතරක් නෙවෙයි කේන්තියි කියලා. මේ අපිරිමිත විනාශයට ගොදුරු වෙලා තියෙන්නේ අපි. ඒ වගේම ඔහු ඒ විනාශයට ප්‍රතිකර්ම කිරීම, චිකිත්සාවන් කිරීම කළ යුතු බව අපි කිව්වා.''

පසුකලක බිගේඩියර් ධූරයට උසස් කෙරුණු පර්සි ප්‍රනාන්දු, වසර 2000 අප්‍රේල් මාසයේ අලිමංකඩ කඳවුරට එල්ල වූ කොටි සංවිධානයේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අතර මරණයෙන් පසු හෙතෙම මේජර් ජෙනරාල් ධූරයකින් පුදනු ලැබුණි.

සැතපුමක් දුරට ඇසුණු විලාපය

හමුදා භටයන් මගහැර ඉවතට ඇදී ගොස් ඉන් සැතපුමක් පමණ දුරින් ලඳු කැලෑවේ රැදී සිටි මොහොතේ දී නිහඩ පරසරය පසාරු කරගෙන මිනිසුන්ගේ විලාප හඩ ඇසුනු බව රත්තිනෙයියා කියයි.

"ඒන්ඩා අප්පා... ඒන්ඩා අයියා'' යනාදී ලෙසින් වූ විලාප හඩ හමා ආ අයුරු ආවර්ජනය කරන ඔහුගේ දෑසේ ඇත්තේ බලාපොරොත්තු කඩවූ බැල්මකි.

දිවි ගලවා ගත් රත්තිනෙයියා පවසන්නේ අන්තිමේදී එක් දරුවකු වෙනුවෙන් රුපියල් 15,000 බැගින් ලබා දී එය 'මළ කාසි' ලෙස හඳුන්වන ලද බව ය.

එවක කරෙයියාක්කන්තීවූ ගනේෂ් විද්‍යාලයේ ප්‍රධානාචාර්යවරයා වශයෙන් සේවය කළ කන්දයියා සිවකොලුන්දු ද කොමිසම හමුවේ සාක්ෂි දී තිබේ.  

"මගේ ගේ තියෙන්නේ හමුදා කඳවුරට මීටර් දාහක් පමණ දුරින්. මට එදා රෑ මුලුල්ලේදීම කාන්තාවන් හා දරුවන් උදව් ඉල්ලා නගන විලාප හඩ ඇසුනා. අපිට ඒ වගේම වෙඩි සද්දත් ඇසුනා. ඒ අතර ඉහලට නැගෙන විශාල ගිනිදැල් ඒ පැත්තෙන් පෙනුනා. ඊලග දවසේ මම ගියා මගේ මාමාගේ ගෙදරට. මට මගේ මාමා, නැන්දා, බෑනා, ලේලි හෝ වෙනත් කිසිම දරුවකු මුනගැසුනේ නෑ. මම දැකපු එකම දේ නම් දරුවන්ගේ තැලිච්ච, පොඩි වෙච්ච සපත්තු විතරයි. මේ සමූහ ඝාතනයේ දී වයස අවුරුදු එකහමාරක සුභාෂිණී, අවුරුදු තුනක් වයස තුලසි, අවුරුදු හතක සුලෝචනා යන අය මරා දාලා තිබුණා."

සැමියා බේරා බිලිවූ බිරිය

එවක අවුරුදු හැට දෙකක් වයසැති ඊ. වයිරමුත්තුට සිය බිරිය සදහට අහිමි වී ඇත්තේ ඇය ඔහුගේ ජීවිතය බේරා දෙන්නට ගිය නිසාය.

"මගේ නෝනා මට කීවා හමුදාව ආවොත් අරන් යන්නේ පිරිමින්ව විතරක් කියලා. ඔවුන් ගැහැණුන්ව අරන් යන්නේ නෑ. ඒ නිසා ඔයා හැංගෙන්න, මම ගෙදර ඉන්නම් කියලා. මගේ ජීවිතේ බේරා දුන් මගේ පවුලව හමුදා කඳවුරට අරං ගියා. ඒකෙන් මට එයා අහිමි උනා. හමුදාව ආපසු ගියාට පස්සේ මම කඳවුර ළඟට ගියා එයා ගැන බලන්න. ඒත් මට ඇහූනේ මිනිසුන්ගේ විලාප හඩවල් පමණයි," ලෙසිනි.

සත්තුරුකොන්ඩාන් සමූලඝාතනයට තිස් වසරක් සපිරෙන මේ මොහොත දක්වාම කිසිදු අපරාධකරුවකු අත් අඩංගුවට ගෙන හෝ කිසිවකුට එරෙහිව චෝදනා ගොනු කර දඩුවම් ලබා දී හෝ නොමැත.

“දූෂණය භීෂණය නිමා කොට විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක්” ලබා දීමට පොරොන්දුවී බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිනිය පත්කළ පාලකිඩ්නර් කොමිසම හෙළිකරගත් දෑ සහ නිර්දේශද රාජ්‍යයේ සාපරාධී බවේ තවත් කටු සටහනක් බවට පත්වී හමස් පෙට්ටියේ ලැග සිටී.☐

© JDS