බිම්ගෙයි වධබිම: ගන්සයිඩ් කඳවුරේ වැළලෙන නාවුක හමුදා අපරාධ

මෙයින් මාස කිහිපයකට පෙර දිනෙක මම සරෝජනි නාගරාජන් ඇමතීමි. දෙමළ ජාතික මවක් වූ ඇය සහ ඇගේ සැමියා, ඔවුන් වැනිම තවත් මව්පියවරුන් කිහිප දෙනෙකුත්  සමග තම දරුවන් අතුරුදහන් කළවුන්ට එරෙහිව දස වසකට ආසන්න කාලයක් හුදකලා අරගලයක් නිරත වී සිටිති. නාවික හමුදාවේ සන්නද්ධ කප්පම් කල්ලියක් විසින් එහි අණ දෙන නිලධාරියාගේද ආශිර්වාදය සහ රැකවරණය සහිතව කරන ලද එම සාහසික අපරාධය ගෙවුනු කාලය පුරාවටම අධිකරණයක් හමුවට තබා සාමාන්‍ය පොලිස් පරික්ෂණයක තත්ත්වයට හෝ රැගෙන ඒමට ඔවුහු අසමත්ව ඇත්තාහ. ඒ, අපරාධ කළවු 'රණවිරු' ලේබලයට යට කරමින් වසා දැමීමට නීතිය ක්‍රියාත්මක කළ බලධාරින් පමණක් නොව සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම පෙළගැසි ඇති බැවිනි. පැමිණිලි සටහනකුද නොමැතිව වසර ගණනාවක් මුලුල්ලේ යටපත් කෙරෙමින් පැවති මේ මහා අපරාධය යම් මට්ටමකින් හෝ කතා බහට ලක්වෙන්නේ මෑත දී සිදුකරන ලද මාධ්‍ය හෙළිදරව් කිරීම්වලින් අනතුරුව ය.

කෙසේ වෙතත් මේ මොහොතවන විට යළිත් සියල්ල නිශ්චල ය. මහා ඝෝෂාවන් නගමින් අරම්භ කළ අපරාධකරුවන් ලුහුබැඳයාමේ දේශපාලන සන්දර්ශන ජිනීවා සමුළු ආසන්න වනවිට සංවිධානය කෙරෙන ත්‍රාසජනක නාටක පමණි. අත් අඩංගුවට ගන්නා සෑම ඊනියා 'රණවිරු' අපරාධකරුවෙකුගේම විලංගු ලිහී යන්නේ එම අපරාධකරුවන් වික්‍රමාන්විතව නිදොස් වී නිදහස්ව යාමෙනි.  එකෙකු අත් අඩංගුවට ගන්නා විට දෙතුන් දෙනෙකු චෝදනා රහිතව හෝ චෝදනා ඔප්පු කොට ගත නොහැකිව හෝ නිදහස්ව යන්නේ අපරාධ විමර්ශකයක්ගේ පවතින අඩු ලුහුඬුතාවකටත් වඩා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයත්, එහි අතවැසි වර්ගවාදී ජනමාධ්‍යයත් එකතුව 'රණවිරුවන්ගේ නිදහස' වෙනුවෙන් ගෙන යන සංග්‍රාමය හේතු කොට ගෙන ය.

රණවිරු අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය

උසස් අධ්‍යාපනය හදාරමින් සිටි දෙමළ ජාතික ශිෂ්‍යයන් ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නාවික හමුදාවේ බලලත් නිලධාරින්  ඇතුළු නාවික සෙබළුන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීමෙන් වළකින ලෙස දේශපාලන බලධාරින් විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  වෙත නියෝග කර ඇති බවත්, එනිසාම  තවදුරටත් අදාළ පරික්ෂණයන් ඉදිරියට ගෙන යාම සම්බන්ධව බරපතල අරබුදයක් මතුව තිබෙන බවත් දැන් අසන්නට ලැබෙන්නේ ඉහතින් කී ප්‍රවණතාවයේ ආසන්නතම සිදුවීම ලෙසට ය.

අදාළ චෝදනාවන් යටතේ නාවික නිලධාරින් සහ සෙබළුන් කිහිප දෙනෙක් මෙයට පෙර අවස්ථා කිහිපයකදි අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ විට එසේ නාවික නිලධාරින් සහ  සෙබළුන් අත් අඩංගුවට ගනු ලැබුවේ කවරෙකුගේ අවසරයකින් දැයි විමසමින් දේශපාලන බලධාරින් මෙන්ම නාවික හමුදා ප්‍රධානීන් ද එය  දැඩිව විවේචනය කළ  බවට මාධ්‍ය වාර්තා මීට පෙර ද පළවිය. මේ සම්බන්ධව සොයා බැලීමේදි අනාවරණය වන්නේ මෙම දෙමළ ජාතික සිසුන් සහ සෙසු පිරිස අතුරුදහන් කිරිම පිළිබඳව  කවර පරික්ෂණයක් සිදුකළද රණවිරුවන් අත්අඩංගුවට ගැනීමෙන් වැළකිය යුතු බවට  නියෝග ලැබෙමින් ඇති බව ය. එහි ප්‍රතිඵයක් ලෙස  නීතිපති දෙපාර්තමේන්තුව පවා අවශ්‍ය නීති කටයුතු කිරීමෙන් වැළකි කල් අරිමින් සිටින බැව් පැවසේ. පුද්ගල පැහැර ගැනීම් සහ කප්පම් මුදල් ලබා ගැනීමත්, පැහැර ගැනීමට ලක්වුවන් පසුව අතුරුදහන් කිරීමත් යන චෝදනා යටතේ අධිකරණ නියෝගයන් මත නාවික සෙබළුන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතත්, ඔවුන්ගේ ප්‍රකාශයන් මඟින්  හෙළිදරව් වන තොරතුරු මත පදනම්ව එම අපරාධයට අණදුන් සහ මෙහෙයවනු ලැබු නාවික හමුදාවේ ඉහල නිලධාරින් මෙන්ම ආරක්ෂ අමාත්‍යාංශයේ එවක සිටි ප්‍රධානීන්ද  අත්අඩංගුවට ගැනීමට නොහැකි වි ඇත්තේ මෙම පරික්ෂණයන් සඳහා සිදුකෙරෙන දෙශපාලන සහ හමුදා මැදිහත්වීම හේතු කොටගෙන යැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ජේඩීඑස් හා ප්‍රකාශ කළේය. ඒ, මෙම සිදුවීමට අදාළ විමර්ශනවල ප්‍රගතිය කවරේදැයි කරන ලද විමසීමකට පිළිතුරු වශයෙනි.  චුදිත නාවික නිලධාරින් වෙනුවෙන් දේශපාලනඥයන්ගේ රැකවරණය ලැබෙන බවට ස්ථිර වශයෙන්ම තමන්ට සහතික විය හැකි බවට ඔහු අවාධාරණය කළේය.

දෙසතියකට පසුත් නිහැඬියාව

මේ වසරේ පෙබරවාරි 09 වැනි දින  කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් නියෝග කරනු ලැබුවේ එයින් දෙසතියක් ඇතුලත නාවික නිලධාරින් සහ සෙබළුන් 10 දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ය. ඒ නිතිපති දෙපාර්තමේනතුව නියෝජනය කරමින් පැමිණ සිටි රජයේ නිතිඥවරයාගේ කරුණු දැක්වීමකින් අනතුරුව ය. එසේම අදාළ අපරාධය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයා වන වසන්ත කරන්නාගොඩ ප්‍රමුඛ ඉහළ පෙලේ නාවික නිලධාරින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඇත්දැයි විමසා බලා මසක් ඇතුලත අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නිතිපති දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුණි. නමුත් ඒ සියල්ල දේශපාලන මැදිහත්වීම් මගින් දැන් අවුරා තිබේ.

රණවිරුවන් අත්අඩංගුවට ගැනීමක් ලෙස හුවා දක්වමින් මෙම අපරාධය යටපත් කිරිමටත්, චුදිත නාවික නිලධාරින් එයින් නිදහස්කර හැරිමටත් දේශපාලන බලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානින්ට දැඩිව අවශ්‍යව තිබුණත් මෙම අපරාධය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මුලින්ම පැමිණිළි කරනු ලැබුවේද හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් බව නම් හෙළිකිරීමට නොකැමැති අපරාධ පරීක්‍ෂණ නිලධාරියා අප හා ප්‍රකාශ කළේය.

"වසන්ත කරන්නාගොඩ තමයි මුලින්ම සීඅයිඩී එකට පැමිණිලි කෙරුවේ ලුතිනන් කමාන්ඩර්  සම්පත් මුණසිංහ මෙහෙම අපරාධ කරනවා කියලා. අනෙක දෙමළ ජාතිකයන් පැහැරගෙන ගිහින් කප්පම්  ඉල්ලුවා කියලත්, භූගත සහ රහසිගත කඳවුරුවල රඳවා තබාගෙන වදහිංසා කෙරුවා කියලාත් අපිට සාක්ෂි දීලා තියෙන්නේ ඒවා ඇසින් දැක්ක  නාවික සෙබළුන්මයි. දැන් කොහොමද නෑ කියන්නේ? සමහර සාක්ෂිවල තියෙනවා මේ දෙමළ සිසුන් ගන්සයිඩ් කඳවුරේ හිරකරගෙන ඉන්නවා දැක්ක කියලා සෙබළුන් විසින්ම කළ ප්‍රකාශ. කොළඹ පැහැර ගැනීම් සිදුකරපු නාවික කොමදොරු හෙට්ටිආරච්චිව අත්අඩංගුවට ගන්න ගියාම වත්මන් නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන  අපේ නිලධාරින්ට කියලා තියෙනවා ඔයගොල්ලන්ට ඕන දෙයක් කරන්න කියලා. එහෙම කියලා ජනාධිපතිව මුණගැහිලා කියනවා මේ පරීක්ෂණ රණවිරුවන්ට එරෙහි එකක්, හමුදාවන්ට එරෙහි එකක් ඒ නිසා කාවවත් අත්අඩංගුවට ගන්න ඉඩ දෙන්න එපා කියලා. ඉන් පස්සේ කිවුවා ඔහුව හොයා ගන්න බෑ, රටින් පලා ගිහින් කියලා. නමුත් හෙට්ටිආරච්චිගේ බිරිඳ අපිට ප්‍රකාශයක් දුන්නා හෙට්ටිආරච්චිව අවසන් වතාවට දැක්කේ නාවික හමුදා මුලස්ථානයේ නාවික හමුදාපති එක්ක ඉන්නවා කියලා", හේ වැඩි දුරටත් කියා සිටියේය.

අපරාධ දුසිමක් - එකම තීන්දුවක්

මෙම දෙමළ ජාතික සිසුන් සහ සෙසු පුද්ගලයන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ අධි සහායක ලෙස කටයුතු කළ ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ අදාළ චෝදනාවන් යටතේ අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත්  කරන්නැයි අගතියට පත් පාර්ශවය නියෝජනය කරන නීතිඥ අචලා සෙනවිරත්න පසුගිය දිනෙක අධිකරණයෙන් කරන ලද ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේ එකම වරදකට දෙවරක් අත්අඩංගුවට ගත නොහැකි යැයි කියමිනි. නමුත් මේ සම්බන්ධව විමසීමේදි නීතිඥ අචලා සෙනවිරත්න ජේඩිඑස් හා කියා සිටියේ මෙයට පෙර අවස්ථාවක සම්පත් මුණසිංහ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටියේ පුද්ගල පැහැරගෙන යාම් හෝ අතුරුදහන් කිරීම් සම්බන්ධ චෝදනා යටතේ නොවෙ, ත්‍රස්තවාදී ක්‍රියාවන්ට අනුබල දීම, ජීව උණඩ ළඟ තබා ගැනීම ආදිය යටතේ බවයි. නමුත් තමන් විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මිනීමැරීම් චෝදනාවන්ට අදාළ 296 වන වගන්තිය යට‍තේ ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස යැයිද ඇය පැවසුවාය. කෙසේ වෙතත් මේ සම්බන්ධව විමසීමේදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිවරයා  සඳහන් කරනු ලැබුවේ සම්පත්  මුණසිංහ පුද්ගල පැහැර ගැනීම, කප්පම් ගැනීම් මෙන්ම පුද්ගල අතුරුදහන් කිරීම සහ මනුෂ්‍ය ඝාතනයන් සම්බන්ධයෙන් වගකිව යුතු බවට පරික්ෂණ මඟින් සනාත වී ඇති බව ය.

"ඔහු ඇප පිට නිදහස් කරන විට ඒ සම්බන්ධව කරුණු හෙළිදරව් වී නොතිබුණු බව ඇත්ත. නමුත් පස්සේ කරපු පරික්ෂණවලින් ඔප්පු වුනා ඔහු මේ පැහැර ගැනීම් සහ කප්පම් ගැනීම්වලට විතරක් නෙමෙයි, මනුෂ්‍ය ඝාතනවලටත් සෘජුවම සම්බන්ධයි කියලා. පහුගිය කාලයේ එහෙම ඔප්පු කරගන්න බැරි වුණේ අපේ වරදක් නිසා නෙමෙයි. කිසිම පරික්ෂණයක් කරන්න ඉඩ නොදුන් නිසායි. හැබැයි දැනුත් සිද්ධ වෙන්නේ ඒකම තමයි. කෙහොම වුණත් මේ චෝදනාවන් යටතේ ඔහුව අත්අඩංගුවට ගන්න කියලා නියෝගයක් නොකර ඉන්න අධිකරණයට බෑ. මේ එකම වරදක් යටතේ දෙවරක් අත්අඩංගුවට ගන්න ඉඩ දෙන්න කියලා කරන ඉල්ලීමක් නෙමෙයි. ඒ නිසා එහෙම ඉල්ලන ඒක නීතියට අනුව වරදක් නෙමෙයි," නම හෙළි නොකළ අපරාධ පරීක්‍ෂණ නිලධාරියා කියා සිටියේය.

නීතිඥ මෙහෙයුම්, කොටි සහ මානව හිමිකම්

මෙම අපරාධයට වගකිව යුතු නාවික හමුදාවේ නිලධාරීන් ඉන් මුදා ගැනීම සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉතා සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගෙමින් තිබෙන බවත්, ඒ අනුව ඔවුන්ගේ  අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය නීතිඥ සහාය මෙන්ම එහි සියළු වියදම් ද දරණුයේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් බවත් තමන්ට දැන ගන්නට ලැබී ඇති බවද ඔහු පවසයි. එපමණක් නොව එකම ආයතනයකින් අපරාධ පරීක්ෂණයකටත්, අනෙක් පසින් එම අපරාධයට  වගකිව යුතු අපරාධකරුවන්ට සහන සැලසීමටත් කටයුතු කිරිම අනුමත කළ හැකි එකක් දැයි ඔහු ප්‍රශ්න කර සිටියි. නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශවේන්ද්‍ර ප්‍රනාන්දු, අනිල් සිල්වා, අසිත් සිරිවර්ධන, චින්තක අමරසේකර, රසික බාලසූරිය මෙන්ම හේමන්ත වර්ණකුලසුරිය ඇතුළු නීතිඥ මඩුල්ලක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවත්, සැකකරුවන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම් මෙන්ම වෙනත් ලිඛිත ප්‍රකාශයන් ලබා ගැනීම සහ උපදෙස් සැපයීම සිදුකරන්නේද මෙම නීතිඥවරුන් විසින් බවත් පෙන්වා දෙන ඔහු මෙසේ ද කියා සිටියි.

"ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර්ට සහ උපාලි තෙන්නකෝන්ට  පහරදීම මෙන්ම ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීම ගැනත් චෝදනා ලැබ සිටින ආරක්ෂක අංශ සමාජිකයන් වෙනුවෙන් නීති උපදෙස් සැපයීම සහ ඔවුන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමත් කරන්නේ එකම නීතිඥ කණ්ඩායමක්. අනෙක් අතින්, මේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි මෙන්ම පොලිස් අත් අඩංගුවට පත්ව සිටි ආරක්ෂක අංශ සමාජිකයන්ගේ මාසික වැටුප් පවා ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝගයන් මත නියමිත පරිදි ගෙවනවා."

එපමණක්ද නොව, මෙම අපරාධයට අදාළව අංක B 732/ 2009 යටතේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුව සම්බන්ධයෙන් කිසිදු බාහිර පාර්ශවයක මැදිහත්වීමක් හෝ නිරීක්ෂණයක්  සිදු නොවන බවද වාර්තා වේ.  දේශිය හෝ ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරීන් හෝ එම සංවිධානවල නියෝජිතයන් මෙම නඩුව නිරීක්ෂණය කිරීම සඳහා නොපැමිණෙන  බවත්, අවම වශයෙන් පිළිගත් නීතිඥවරුන්ගේ සහාය හෝ නොලැබෙන බවත් ජේඩිඑස්  හා කියා සිටියේ  වින්දිත පාර්ශ්වයේ මවක් වන සරෝජනි නාගරාජන් විසිනි. සැකකාර පුද්ගලයන් වෙනුවෙන් ආරක්ෂක අංශයෙන් නීති සහයත්,  ජ්‍යෙෂ්ඨ නීතිඥ කණ්ඩායමකගේ  සේවයත් ලැබන විට අතුරුදහන් 11 දෙනෙකු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමට සිදුව ඇත්තේ එක් කණිෂ්ඨ නීතිඥවරියකට පමණක් බවද ඇය පෙන්වා දෙන්නීය.

නීතිඥ අචලා සෙනවිරත්නට අනුව මෙම නඩුව සඳහා නාමධාරි  කිසිදු නීතිඥවරයෙකු හෝ නීතිඥ මඩුල්ලක් ඉදිරිපත් නොවන්නේ අතුරුදහන් පුද්ගලයන් කොටි සාමාජිකයන් ලෙස හඳුන්වන නිසාත්, අත් අඩංගුවට පත් සැකකරුවන් ආරක්ෂක අංශයන්ගේ සමාජිකයන් පිරිසක් වීමත් නිසා ය. 'කොටින්ට මොන මානව හිමිකම් දැ'යි වරක් එක් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් තමන්ගෙන් විමසා සිටි බව කියා සිටි ඇය විවෘත අධිකරණයේ නඩුව කැඳවන සෑම අවස්ථාවකම සැකකාර නාවික භටයන් වෙනුවෙන් අධිකරණය හමුවේ නිල වශයෙන් පෙනී සිටින නීතිඥවරයන්ට වඩා  වැඩි පිරිසක් නොනිල වශයෙන් පෙනී සිටින බවද කියා සිටිායාය.

මේ එකදු සිදුවීමක්වත් අහම්බයක් නොවන්නේ අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ එකකට එකක් ගැට ගැසුනු රාජ්‍ය යාන්ත්‍රණයේ පුරුක් දෙස බැලීමේදි ය. ඒ දම්වැලේ ඉහළම පුරුක රටේ විධායක ජනාධිපතිවරයා ය. ඔහුට අනුව රණවිරු ලේබලය ඇති තාක්කල් අපරාධකරුවන්ට දඩුවම් කිරීම ජාතික අපරාධයකි. අපරාධකාරීත්වය ජාතික අනන්‍යතාවක් බවට පෙරළා ගරු බුහුමන් කරන දේශපාලනය, 2015 ජනවාරියේ වේදිකාගත වූ ඊනියා දේදුනු විප්ලවයෙන් පසු ද හොඳින්ම නිරුපද්‍රිත බවට මීටත් වඩා සාක්‍ෂි අවශ්‍යද?

'ජාත්‍යන්තර සහාය අපේ අපරාධකරුවන්ට'

මේ වසරේම මාර්තු 29 වැනි දින කුරුණැගල ආරක්ෂක සේවා විද්‍යාලයේ පැවති උත්සව සභාවක් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ ශ්‍රි ලංකාවේ ආරක්ෂක හමුදා සමාජිකයන් ආරක්ෂා කිරීමේ රජයේ ප්‍රතිපත්තිය ඉහළින්ම අගය කරමින් ඒ සඳහා සහයෝගය ලබා දීමට ලොව ප්‍රබල රාජ්‍යයන් සේම එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන ද එකඟ වී තිබෙන බව ය. එසේම මානව හිමිකම් කඩ කිරීම් පිළිබදව හෝ වෙනත් සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා ලත් ආරක්ෂක හමුදා හෝ පොලිසියේ කිසිදු සමාජිකයෙකු විත්තිකරුවකු කිරිමට තමන් හෝ රජය ඉඩ නොතබන බවද හෙතෙම එහිදි පැවසීය.

මේ අතර, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින බව පවසන ඇතැම් දේශීය රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් තමන් හමුවට පැමිණ තම දරුවන්ගේ ඡායාරූප සහ අතුරුදහන්වීම සම්බන්ධව විවිධ ආයතනයන්ට කළ පැමිණිලිවල සහතික පිටපත් ද ඇතුළු ලියකියවිලි රැගෙන ගිය බවද  අතුරුදහන්වුවන්ගේ දෙමාපියෝ චෝදනා කරති. එසේ පැමිණි මීගමුව ප්‍රදේශයේ එක්  රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයෙක් තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ  නියෝජිතයෙකු  ලෙස හඳුන්වා දුන් බවත්, ඒ නිසාම තම දරුවාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් තිබුණු සියළු ලිඛිත තොරතුරු ඔහු වෙත ලබා දුන් බවත්, නමුත් එයින් පසුව ඔහු මෙම නඩුව සම්බන්ධයෙන්  කිසිදු සොයා බැලිමක් කිරිමට උනන්දු නොවු බවත් ජේඩිඑස් හා පැවසුවේ අතුරුදහන් තරුණයෙකුගේ මවකි.

'යු එන් එකේ මහත්වරු'

කෙසේ නමුත් පුද්ගලයන් 11 දෙනෙකුගේ අතුරුදහන්වීමක් සම්බන්ධව විමර්ශන සිදු වුණද එකී විමර්ශකයන්ට  අනුව මෙම සැකකාර නාවික හමුදා කණඩායම විසින් අවම වශයෙන් පුද්ගලයන් 35 දෙනෙකුවත් පැහැරගෙන ගොස් රහසිගත කඳවුරුවල සඟවා තබා ගනිමින් කප්පම් ඉල්ලා ඇති බවටත්, පසුව ඔවුන්ව ඝාතනය කර ඇති බවටත් මේ වනවිට අනාවරණය වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ ගොනු කොට ඇති වාර්තාවන්ට අනුව ත්‍රිකුණාමලය ගන්සයිඩ් භූගත සිර මැදිරියේ රඳවා තබාගෙන සිට ඇති අතුරුදහන් පුද්ගලයන් පසුව ඝාතනය කොට සිරුරු ලොරි රථයකට පටවනු දැ ඇති ඇසින් දුටු පුද්ගලන්ද සිටිති. එසේම පැහැර ගැනීමට ලක්වුවන් එම  සිර කඳවුරේ රඳවා සිටිනු තමන් දුටු බව පැවසු නාවික සෙබළුන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු ගොනු කොට තිබේ. අධිකරණය හමුවේ ගොනු කොට ඇති බී වාර්තාවන්වල සඳහන් සාක්ෂි පිළිබඳ උදාහරණ කිහිපයක් පහතින් දැක් වේ.

'හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ආරක්ෂිත සංචිතයට අනුයුක්තව 2005 වර්ෂයේ සිට 2008 වසරේ දෙසැම්බර් දක්වා අලුත්ගෙදර උපුල් බණ්ඩාර නාවිකයා ඇතුළු සෙසු නාවිකයන් සමඟ රාජකාරි කළ බවත්, ඉහත නාවික හමුදාපතිවරයාගේ ආරක්ෂක නිලධාරිවරයෙකු වන ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ කටයුතු කළ බවත් 2008.09.17 වැනි දින ඔහු විසින් ලබාදුන් උපදෙස් අනුව ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායම සමඟ දෙහිවල ප්‍රදේශයට ගොස් කළු පැහැති කාර් රථයකින් පැමිණි පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන කොළඹ චෛත්‍ය පාරේ නාවික හමුදා මුලස්ථානයේ පිහිටි 'පිට්ටු බම්බුව' නමින් හඳුන්වන ලබන ( පැරණි ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල) ස්ථානය වෙත රැගෙන ගිය බවත්" නාවික නෞකා තාටාකාංගනයේ, කොටගල හේරත් මුදියන්සේලාගේ තිලකරත්නගේ ලක්ෂ්මන් උදයකුමාර කියා සිටියි.

ඇසින් දුටු සාක්ෂිකරුවන්

පසුව මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශන සටහන්වල දක්වා ඇත්තේ පැහැර ගැනීමට ලක් වූ මෙම පුද්ගලයන් 2009 අගෝස්තු මාසයේ සිට 2009 මාර්තු මාසය දක්වා වු කාලය තුළ දි ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ හා 2009 අප්‍රේල් මාසයේ සිට ජුනි මාසය දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා තාටාංකාගන ආයතනය තුළත්, ශ්‍රී ලංකා නාවික සාගරික හා විද්‍යා ආයතනය තුළ පිහිටි ගන් සයිඩ් ලෙස හඳුන්වන ස්ථානවලත් රඳවා සිට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව ය.

ඉහත කළු පැහැති කාර් රථයෙන් පැමිණි පසු අත් අඩංගුවට ගත් බව සඳහන් වන්නේ රාජිව් නාගරාජන් හා ප්‍රදීප් විශ්වනාදන් යන ඥාති දෙසොහොයුරන් ඇතුළු පිරිසකි.

ශ්‍රී ලංකා නාවික තාටාකංගනය හෙවත් නැව්ඩොක් ආයතනයේ සංග්‍රාමික විද්‍යුත් අංශය නොහොත් නැගෙනහිර බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ නාවික සෙබල 'රන්හවඩි ප්‍රියංකර (59652) ගේ' සාක්ෂියට අනුව එම බුද්ධි අංශයටම අනුයුක්තව විශේෂ බුද්ධි ඒකකයක් එම ආයතනය තුළ ක්‍රියාත්මක කෙරි ඇති අතර එම බුද්ධි අංශය සහ පෙර සඳහන් නැගෙනහිර බුද්ධි අංශය යන අංශ දෙකම අධීක්ෂණය කර ඇත්තේ ලුතිනන් කමාන්ඩර් රණසිංහ නැතැත්තා විසිනි. එම නිලධාරියාගේ අධීක්ෂණය යටතේ  එම කඳවුරු පරිශ්‍රයේ ගන්සයිඩ් නමින් භූගත සිර මැදිරි සංකීර්ණයක් පවත්වාගෙන ගිය බවත් තමන් ඇතුළු නාවිකයන් පිරිසක් එහි රඳවා සිටි රැඳවියන්ගේ ආරක්ෂක රාජකාරි සිදුකළ බවත් ඔහු කියා සිටි. එසේම අදාළ සාක්ෂියේ වැඩි දුරටත් දැක්වෙන්නේ එම සිරි මැදිරි තුළ රඳවා සිටි පිරිස අතර රජිව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්,මොහොමඩ් ඩිලාන්, මොහොමඩ් සජිත්, තිලකේෂ්වරම් රාමලිංගම්, තාග්‍යරාජා ප්‍රභාකරන්, සුසේයි පුල්ලේ අමලන් ලියෝන්, සුසෙයි පුල්ලේ රෝෂාන් ලියෝන්, කස්තුරි ආරච්චිලාගේ ජෝන් රිඩ්, කස්තුරි ආරච්චිලාගේ ඇන්ටනි සහ අලි අන්වර් යන අය සිටිනු තමන් දුටු බව ය. තමන් එහි රාජකාරි කළ කාල සීමාව තුළ දි එම පුද්ගලයන්ව කිසිදු අධිකරණයකට හෝ පොලිස් ස්ථානයකට හෝ ඉදිරිපත් නොකළ  බවත් එම නාවික සෙබලා සාක්ෂි දෙමින් පවසා ඇත.

එසේම රන්හවඩි ප්‍රියංකර නැමති එම නාවික සෙබලාගේ සාක්ෂියේ දැක්වෙන ආකාරයට නැගෙනහිර බුද්ධි අංශය සහ විශේෂ බුද්ධි අංශයට අණ දුන් ලුතිනන් කමාන්ඩර් රණසිංහගේ දෙවන නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ ලුතිනන් කමාන්ඩර් සී කේ වෙළගෙදර නැමැති අයෙකි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වාර්තාවන්ට අනුවත්, අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරුණු වාර්තාවන්ට අනුවත් ගන්සයිඩ් කඳවුරු ආසන්නයෙදි මෙම අතුරුදහන්වුවන්ගේ මළ සිරුරු නාවික සෙබලුන් විසින් ලොරියකට පටවනු දැක ඇත්තේ මෙම සී කේ වෙලගෙදර නැමති ලුතිනන් කමාන්ඩර්වරයා ය.

යුක්තිය අහිමි නීති අරගල

දස වසකට ආසන්න කාලයක් තිස්සේ මෙම නඩුව අධිකරණය හමුවේ දිග්ගැසෙමින් තිබුණද යුක්තිය ඉටුවන බවත් තවමත් පෙනෙන්නට නැත. අතුරුදහන්වු තම දරුවන්ගේ ඇඳුම් පැළදුම් සිඹිමින්, ඔවුන්ගේ මතකය සමඟින් ජිවත්වන මේ දෙමව්පියන්ට දිරිදෙන්නට අද කිසිවකුත් නැත. එකම පවුලේ පිය පුතු දෙදෙනාම නාවික කප්පම්කරුවන් විසින් පැහැරගෙන ගොස් අතුරුදහන්කර තිබෙන දුක්බර කතා ද මේ අපරාධකාරී කතාවේ පිටු අතරෙහි ලියැවි ඇත. අතුරුදහන් කෙරුණු ඇතැමෙකු එම පවුලට සිටි එකම දරුවා ය. පසුගිය මාස කිහිපයේදි එවැනි පවුල් කිහිපයකම මව්පියවරුන් ආකාලයේ මිය ගියේ තම දරුවන් අවසන් මොහොතේ හෝ දක්නට ලැබෙතැයි විශ්වාසයේ එල්බගෙන ය.

අපරාධ පරීක්ෂණ භාර නිලධාරීන්ට අනුව මෙසේ අතුරුදහන්වුවන් ජීවත්ව සිටින බැව් කියන්නට කිසිදු සාක්ෂියක් හමුවී නොමැත. එහෙත් මේ නාවික අපරාධකරුවන්ගේ අපරාධය සනාථ කිරිමට අවැසි ලිඛිත සහ වාචික සාක්ෂි ඇති තරම් එවුන් සතුව තිබේ. 

මර්දනකාරී රාජ්‍යයක මූලික ස්වභාවය හුදෙක් මිනිසුන් ඝාතනය කිරීම පමණක් නොවේ. සිදුකළ ඝාතන වසන් කොට යුක්තිය ප්‍රතික්‍ෂේප කිරීම ද එවැනි රාජ්‍යයක ලක්‍ෂණයකි. මිනිස් ඝාතක පිළිවෙත්වලින් දුරස් වූ ආණ්ඩුවක මූලික ලක්‍ෂණය සිදු වූ ඝාතන පිළිබඳ නිර්බාධිත පරික්‍ෂණවලට අවශ්‍ය පසුබිම සකස්කර දීම ය. 2015 ජනවාරි බල මාරුව ඒ වෙනස ලංකාවට ගෙන නොආවේය. රාජපක්ෂ ආණ්ඩුව හා යහපාලන ආණ්ඩුව අපරාධකාරී දෙබෑයන් සේ සැළකීම අන්තවාදයක් නොවන්නේ ඒ නිසා ය.☐

කිත්සිරි විජේසිංහ


© JDS