ත්‍රී'මලේ සිසු ඝාතනය: 'වෙඩි තිබ්බේ STF සෙබළු බව අපි දන්නවා' - බැසිල් රාජපක්‍ෂ


මෙම ලිපියේ පළමු කොටස:  'වෙඩි හඬ ඇසුණු විට මම ගාන්ධි ප්‍රතිමාව පැත්ත බැලුවෙමි'

අපරාධ සාධාරණීකරණය කිරීමේ අපේ පුරුද්ද ආරම්භ වූයේ කෙසේදැයි කල්පනා කරන්නුවන් විරළ ය. නමුත් ඒ මගින් පෙන්නුම් කරන්නේ ඉතිහාසය දැනුවත්ව යටපත් කළවුන්ගෙන් හා ඉතිහාසය සහමුලින්ම නොදන්නාවුන්ගෙන් සැදුම්ලත් සමාජයක සාදාචාරාත්මක වැහැරීමේ තරමයි. ත්‍රීමලේ සමූහ ඝාතනයත්, ඒ හා බැඳුණු අවශේෂ අපරාධත් පිළිබඳ දකුණේ සිංහල ආකල්පය මීට එක් නිදසුනක් පමණි. රාජ්‍යය විසින් කරන ලද වර්තමාන අපරාධ යුක්ති සහගත කිරීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වන්නේ රාජ්‍යයේ අතීත අපරාධ පිළිබඳ සමාජය තුළ ඉතිරිව ඇති සාමූහික මතකය පිසදා හැරීමයි. ත්‍රීමලේ සමූහ ඝාතනය පිළිබඳ සිංහල ජනයාගේ ප්‍රතිචාරය මීට කදිමට දෙස් දෙයි. ඇත්ත වශයෙන්ම ත්‍රීමලේ ශිෂ්‍ය ඝාතනය හා බැඳුණු සාහසික අපරාධ වැල කෙරෙහි සිංහල ජනයා තුළ සංවේදීතාවක් ඇති කිරීමට අවශ්‍ය වී නම්ඒ සඳහා ආධාරක වන වැදගත් කවුළුවක් දහ හත් වසරකට කලින් ඝාතනය කළ තෙල්දෙණිය මහා විද්‍යාලයේ ජයන්ත බණ්ඩාර ශිෂ්‍යයාගේ මරණය විසින් විවර කර දී තිබුණි. මෙම ලිපියට අත්‍යවශ්‍ය පූර්විකාවක් සේ සළකා  ඔහුගේ මරණය හා බැඳුණු සිදුවීම් මාලාව සැකෙවින් හෝ ඇතුළත් කරන්නට අප කල්පනා කළේ එහෙයිනි.‍

අතීත කතාව: තෙල්දෙණිය මහා විදුහලේ උගත් 16 හැවිරිදි ජයන්ත බණ්ඩාර ශිෂ්‍යයා පාසැල් ශිෂ්‍ය උද්ඝෝෂණයකට සිදුකළ පොලිස් වෙඩි තැබීමකින් ඝාතනය වූයේ 1989 ජූනි මස 07 ‍වැනිදා ය. ශිෂ්‍ය උද්ඝෝෂණයට සහභාගී වූ අවශේෂ සිසු සිසුවියන් මෙන්ම, විදුහලට මුහුණ ලා පිහිටි නීතිඥ කාර්යාලයන්හි සේවය කළ බොහෝවුන්ද සිද්ධියේ ඇසින් දුටු සාක්කිකරුවෝ වූහ. වෙඩි තැබීම පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරීක්‍ෂණයෙන් පසු තෙල්දෙණිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් සත් දෙනෙකුට එරෙහිව සාපරාධී මිනිස් ඝාතන පිළිබඳ චෝදනා ගොනු කෙරුණි. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධි නීතීඥ පරාක්‍රම රණසිංහ පෙනී සිටි අතර ඔහුගේ කණිෂ්ඨ නීතීඥයින් වශයෙන් කටයුතු කරන ලද්දේ සනත් බණ්ඩාර කරල්ලියැද්ද සහ තවත් නීතිඥයින් කිහිප දෙනෙකි. මරණ පරීක්‍ෂණයේදී සාක්කි දුන් ඉන් එක් නීතීඥයෙකුගේ ලිපිකාරියක වූ කල්‍යාණි සහබන්ධු අගෝස්තු 25 වැනිදා පැහැරගෙන යනු ලැබුණි. ඇය මෙන්ම, සිද්ධිය ඇසින් දුටු නීති ලිපිකරුවන් දෙදෙනකු වූ සේන රන්කොත්ගේ සහ එඩ්වඩ් කුලතුංග යන දෙදෙනාම ඔක්තෝබර් මාසයේදී හමුදාව විසින් පැහැරගෙන යන ලදුව වෙඩි තබා මරා දැමුණි. ජයන්ත බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි කණිෂ්ඨ නීතිඥයෙකු වූ සනත් කරල්ලියැද්ද, ඔක්තෝබර් 26 වැනිදා රාත්‍රී 9.30ට,  කරල්ලියැද්දේ ඔහුගේ නිවසේදී සිවිල් ඇඳගත් ආරක්‍ෂක අංශ විසින් පැහැරගන්නා ලදී. වෙඩි තබා මරා දැමුණු ඔහුගේ සිරුර, පසුදා ඔහුගේ නිවසට නුදුරු ඔරුතොට ප්‍රදේශයේදී තවත් සිව්දෙනෙකුගේ මළ සිරුරු සමග දමාගොස් තිබී හමු විය.ඔහු ඇතුළු මියගියවුන්ගේ සිරුරු  ආරක්‍ෂක හමුදාවන්ට අයත් රථයකින් අළුයම් පාන්දර මහ මග දමා යනු අහම්බෙන් දුටු නුදුරෙහි වූ උප තැපැල් හලෙහි ස්ථානාධිපතිවරයාද එදිනම රාත්‍රියේ සන්නද්ධ පිරිසක් විසින් පැහැර ගන්නා ලදී. ශිෂ්‍ය ඝාතනය ඇසින් දුටු අවශේෂ සාක්කිකරුවන් අතර සිටි ඖෂධවේදියෙකු වූ බන්දුල ඒකනායක පැහැරගෙන යාමෙන් පසු අතුරුදහන් වූ අතර සුළු වෙළඳ සැල් හිමියෙකු වූ ජයකොඩි ඉන් දින කිහිපයක් ඇතුළතදී වෙඩි තබා මරා දැමුණි. මරණ තර්ජනයන්ගෙන් ගැළවෙනු පිණිස අධිනීතිඥ පරාක්‍රම රණසිංහ සහ ඔහුගේ කණිෂ්ඨ නීතිවේදියා රට හැර ගිය අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය මෙහෙය වූ මහේස්ත්‍රාත් නීල් පෙරේරා ද ජීවිතාරක්‍ෂාව පතා සැඟවෙන්නට තීරණය කළේය. මියගිය ජයන්ත බණ්ඩාරගේ පාසැල් මිතුරන් සියල්ලෝ තමන් සාක්කිකරුවන් වශයෙන් ඉදිරිපත් නොවන බවට අත්සන් කළ දිවුරුම් ප්‍රකාශ තෙල්දෙණිය නගරයේ ප්‍රසිද්ධ ස්ථානයන්හි අලවා අධිකරණ පරීක්‍ෂණයෙන් ඉවත් වූහ.

1990 ජනවාරි 24 වෙනිදා තෙල්දෙණිය මහේස්ත්‍රාත් උසාවියේදී චූදිත පොලිස් නිලධාරීන් සත් දෙනාට එරෙහි නඩුව කැඳවනු ලැබූ විට එකදු සාක්‍ෂිකරුවෙකු හෝ අධිකරණය හමුවේ පෙනී නොසිටියේය. 'සය මසක් තිස්සේ තමන්ට එරෙහිව කිසිදු සාක්‍ෂියක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අසමත් වීම පිළිබඳ කණස්සල්ල පළ කළ චූදිත පොලිස් නිලධාරියෙක් තමන් නිදොස් කොට නිදහස් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටි බව'ට පසුදා පුවත්පත් වාර්තා කළේය.

ජයන්ත බණ්ඩාරගේ මරණයෙන් දහ හත් වසරක් ඇවෑමෙන් ත්‍රීකුණාමලයේ ෆෙඩ්‍රික් කොටුවට නුදුරින් වූ ගාන්ධි ප්‍රතිමාව පාමුළ දී නිරායුධ දෙමළ සිසුන් පස් දෙනෙකු බිම දණ ගස්වා හිසට වෙඩි තබා මරා දැමුණි. අපගේ වර්තමාන කතාව ඇරඹෙන්නේ ඔවුන්ගේ ඉරණමිනි.

සටහන: කිත්සිරි විජේසිංහ


සිද්ධියෙන් ඝාතනය කළ සිසුන් පස් දෙනාගෙන් අයෙක් වූ හේමචන්ද්‍රන් යෝගරාජා පවුලේ බාලයා වූ අතර ඔහුට වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙකු විය. ඒ බාස්කරන් සහ කෝඩීස්වරන් ය. ඔවුන්ගේ නිවස පිහිටියේ වෙරළට යාර 60ක් පමණ දුරිනි. බෝම්බය පුපුරා යාමේ හඬින් බියපත් වූ ඔවුන්ගේ මව කෝඩීස්වරන්ට කතා කොට හේමචන්ද්‍රන් නැවතත් නිවසට පැමිණ නැති බවත් ඔහු ගැන  සොයා බලන ලෙසත් කෝඩීස්වරන්ට දැන් වූවාය. සිය පියා සිද්ධිය වූ තැනට පිටත්ව යද්දී කෝඩීස්වරන් හේමචන්ද්‍රන්ගේ මිතුරෙකු වූ ලෝගිදරාජා රෝහන්ගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගැනීමට දැඩි  උත්සාහයක නිරත වූයේ සිය සොහොයුරා ඔහු සමග වේදැයි හෝ ඔහු සිටින තැනක් ගැන තොරතුරක් දනිත්දැයි විමසනු අටියෙනි. තුන්වන වර දී රෝහන්ගේ දුරකතනයට ගත් ඇමතුමට යමෙකු සම්බන්ධ විය. නමුත් ඒ රෝහන් නොව, වෙනත් අයෙකි. කෝඩීස්වරන් දුරකතනයේ එහා කෙළවරින් කතා කළ පුද්ගලයා සමග විනාඩි තුනක් පමණ කතා කළ අතර  රාත්‍රි 7.52ට ට ඇසුණ වෙඩි හඬත් සමගම ඇමතුම අවසන් විය. පවුලේ ඉතුරු වූ එකම දරුවා වූ බාස්කරන් පවසන අන්දමට ඉහත දුරකතන සංවාදය සම්බන්ධයෙන්  කෝඩීස්වරන් විසින් කිසි දිනෙක මුළුමණින්ම හෙළි නොකළේය. එහෙත් රොහාන්ගේ දුරකතනයට දුන් ඇමතුමට පිළිතුරු දුන් පුද්ගලයා වූයේ එස්ටීඑෆ් කණ්ඩායමේ නායක වාස් පෙරේරා බවත්, රෝහන් දැන් ඔහු ළඟ සිටින බව සරදම් සහගතව පැවසූ බවත්  කෝඩීස්වරන් විසින් පසුව විටින් විට පවසන ලද  ඇතැම් දේවලින් තමන්ට වැටහුණු බව බාස්කරන් පවසයි. වාස් පෙරේරා මෙම ඇමතුමේදී කෝඩීස්වරන්ගේ නම සහ ලිපිනයද අනෙකුත් පුද්ගලික විස්තර ද ලබා ගත්තේය.

කෝඩීස්වරන් යෝගරාජා සහ මුතුර් ACF සමූහ ඝාතනය

මෙම දුරකතන ඇමතුම,  කෝඩීස්වරන්ගේ ඉරණම පමණක් නොව, ඇතැම් විට මුතුර්හි කාර්යාලයක සිට ක්‍රියාත්මක වූ අන්තර්ජාතික සහන සංවිධානයක් වන 'සාගින්නට එරෙහි ක්‍රියාකාරීත්වය'ට (Action Contre la Faim - ACF) අයත් සහන සේවකයන් 17 දෙනාගේම ඉරණම තීරණය කිරීමට බල පා ඇති බව සිතීමට තරම් සාක්‍ෂි ඇති බවට මානව හිමිකම් පිළිබඳ යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සිය වාර්තාවක සඳහන් කරයි. අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව, මෙම සිසුන් මරණයට පත් වී ඇත්තේ බෝම්බ පිපිරීමෙන් ලත් තුවාලවලින් නොව, පසුව සිදු වූ වෙඩි තැබීම්වලිනි. එසේ නම් කෝඩීස්වරන් විසින් රෝහන්ගේ දුරකතනයට දුන් ඇමතුමට වාස් පෙරේරා පිළිතුරු දෙන විට ඒ අසළ රෝහන් ජීවතුන් අතර සිටීම අනිවාර්යයයක් විය යුතු අතර ඇසුන 7.52ට වෙඩි හඬ  වූ කලී සිසුන්ට එස්ටීඑෆ් සෙබළුන් විසින් ‍වෙඩි තබන අවස්ථාවේදී නැගුන හඬ බව සිද්ධිය වූ ස්ථානය අසළ සිටි සෙසු සාක්ෂිකරුවන්ගේ  ප්‍රකාශ මගින් තහවුරු වී ඇත. ඒ අනුව සිසුන්ට වෙඩි තබන අවස්ථාවේ වාස් පෙරේරා එම ස්ථානයේ සිටි බව පැහැදිලි ය. අනෙක් අතින් වාස් පෙරේරා එතැන සිටි බවට එක් වැදගත් සාක්ෂියක් වන්නේ කෝඩීස්වරන් ය. ඒ, මියගිය රොහාන්ගේ  දුරකතනයට ඔහු ගත්  ඇමතුමට වාස් පෙරේරා විසින් පිළිතුරු දුන් බව ඔහු දැන සිටි නිසාවෙනි. මේ අනුව මේ අපරාධය සම්බන්ධව සාක්‍ෂිකරුවන් විනාශකිරීම හෝ බියගන්වා නිහඬකිරීමට ගෙන ගිය වැඩපිළිවෙළේ  තවත් ගොදුරක් බවට පත් වූ කෝඩීස්වරන්, ඉන් මාස 08කට පසුව අගෝස්තු 04 වැනි දින මුතූර්හිදී සිදු වූ ACF සහන සේවක සමූහ ඝාතනයේදී මරණයට පත්විය.

කෝඩීස්වරන් සේවය කළේ ACF සංවිධානයේ ය. ඒ බව ඔහුගේ ජීවිතය විනාශ කිරීමට අවශ්‍යව තිබූ සියළු දෙනා සිටියහ. ඔහුගේ සොහොයුරා ඇතුළු සිසුන් පස් දෙනෙකු ඝාතන සිදුවීමට ත්‍රිකුණාමලයේ එස්ටීඑෆ්, නාවික සහ වෙනත් ආරක්‍ෂක අංශවල වගකිව යුතු නිලධාරීන් එරෙහි සාක්ෂිකරුවෙකු වූ ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති බව සංවිධානයේ ඔහුගේ සගයන් දැන සිටියහ. වරෙක නඩුවට සාක්‍ෂි දී ආපසු යමින් සිටි කෝඩීස්වරන්ට සහකාර පොලිස් අධිකාරි කපිල ජයසේකර ගමන් කළ රථයේ සිටි පොලිස් නිලධාරින් පිරිසක් ඉන් බැස අවුත් තර්ජනය කර තිබේ. එස්ටීඑෆ් කණ්ඩායමේ නායක වාස් පෙරේරා සහ වරාය පොලිසියේ පොලිස් පරීක්ෂක සවාහිර්, පොලිස් අධිකාරි  කපිල ජයසේකර පමණක් නොව නියෝජ්‍ය පොලිස්පති අබේවර්ධන ද කෝඩීස්වරන් සහ සෙසු සාක්‍ෂිකරුවන් සම්බන්ධයෙන් නොසන්සුන්ව සිටි බවත්, එනිසාම ඔවුහු සාක්‍ෂිකරුවන්ගේ ජීවිත විනාශකොට හෝ තමන් චුදිතයන් බව ඔප්පුවීම වැළැක්වීමට කටයුතු කළත් බවත් සිදුවීම් ඇසුරින් වටහා ගත හැකි ය.

තවත් අවස්ථාවක ඔහුගේ නිවස අසළ දී ඔහුව නතර කළ හමුදා භටයන් පිරිසක් බොහෝ වෙලාවක් ඔහුව  රඳවා ගනිමින් ඔහුගේ සියළු පුද්ගලික විස්තර  ලබාගත් බවත් එදින ඔහුව පැහැරගෙන යාමට දැරූ උත්සාහයෙන් ඔහු යම්තමින් බේරුණ බවත් ඔහු සිය පියාට පවසා තිබිණි. ඔවුන්ගේ නිවස ඉදිරිපිට ස්ථිරවම පොලිස් නිලධාරියෙකු යොදවා ඔවුන්ගේ නිවසට යන එන අය පිළිබඳව විපරම් කළ බව යෝගරාජා පවසයි. එමෙන් ම ඒ දිනවලම ඔවුන් වෙත ලැබුන තර්ජනාත්මක ලිපියක සඳහන් වූයේ පවුලේ සියළු දෙනාම රටින් ඉවත්විය යුතු බවත්, නැතහොත් ඔවුන් ද වෙඩි තබා මරා දමන බවත් ය.

2006 අගෝස්තු 02-03 දිනවල රජයේ හමුදා විසින් මූතූර් ප්‍රදේශය  අත්පත් කරගත් පසුව ඒ ප්‍රදේශයේ වූ සියළු මුස්ලිම් සහ දෙමළ වැසියන් ඉවත් කරනු ලැබුණි. එමෙන් ම  ACF හැර සියළු රාජ්‍ය නොවන සංවිධාන ද ප්‍රදේශයෙන් ඉවත් විය. ACF සංවිධානයේ උසස් නිලධාරින් මූතුර් හි ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට දන්වා තිබුණේ තමන් ඔවුන්ව රැගෙන යාමට වාහන එවන බවත් එතෙක් කාර්යාලයේ රැඳී සිටින ලෙසත් ය. ACF කාර්ය මණ්ඩලය පිටත්ව යාමට ක්‍රමයක් නොමැතිව මූතූර් කාර්යාලයේ කොටු වී සිටින බව මුතූර් පොලිසියේ නිලධාරින් මෙන්ම ත්‍රිකුණාමල ආරක්‍ෂක අංශ ප්‍රධානීන් වෙත ද වාර්තා වීමට වැඩි වේලාවක් ගත නොවීය. අගෝස්තු 04 වැනි දින සවස ACF හි ත්‍රිකුණාමල ප්‍රධානියා  ආරක්‍ෂක අංශවල විවිධ නිලධාරින් අමතමින් මූතූර්හි තම කාර්ය මණ්ඩලය පිළිබඳ තොරතුරු දැනගන්නට උත්සාහ දැරුවේය. එමෙන්ම ඔහු මුතුර් ACF කාර්ය මණ්ඩලයේ නාම ලේඛනය ත්‍රිකුණාමල සහකාර පොලිස් අධිකාරි නිහාල් සමරකෝන්ගේ කාර්යාලයට භාර දී ඔවුන්ගේ ආරක්ෂාව සළසන ලෙසත් ඔවුන් පිළිබඳව යම් තොරතුරක් වෙතොත් එය දන්වන ලෙසත් ඉල්ලා සිටියේය. මීට අමතරව විවිධ ජාත්‍යන්තර සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන විසින් අගෝසතු 04 වැනි දින උදයේ සිටම ACF කාර්ය මණ්ඩලය මුතුර්හි කොටු වී සිටින බවත් ඔවුන්ගේ  ආරක්‍ෂාව සලසා නිරුපද්‍රිතව ඔවුන් ට පිටවීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ත්‍රිකුණාමලයේ සියළු ආරක්ෂක ප්‍රධානීන් වෙත දන්වා තිබිණි. (ඉහළ වමේ සේයාරුව: නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර '80 දශකයේදී) 

ACF සංවිධානයේ සේවය කරමින් සිටි  කෝඩීස්වරන්ගේ ජීවිතය විනාශ කිරීමට සැළසුම් කරමින් සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ජයසේකර, නියොජ්‍ය පොලිස්පති අබේවර්ධන, ජනාධිපති ආරක්‍ෂක උපදේශක හිටපු නියෝජ්‍ය පොලිස්පති එච්එන්ජීබී කොටකදෙණිය ඇතුළු පොලිස් නිලධාරින් විසින් ද  වාස් පෙරේරා සහ ඔහුගේ එස්ටීඑෆ් බලකාය විසින් ද  ලුතිනන් වීරක්කොඩි ඇතුළු නාවික හමුදා කොමාන්ඩෝ බලකාය විසින් ද තම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ලැබුන මෙම අවස්ථාව පැහැර නොහැරි බව පසුව සිදු වූ දේවලින් තහවුරු වේ. එදින සවස පොලිස් අධිකාරි  කපිල ජයසේකර විසින් මුතූර් පොලිසියේ ස්ථාන භාර නිලධාරියා අමතන ලද බවට සාක්ෂි තිබේ. ඔහුගෙන්  ලද උපදෙස් අනුව පොලිස් කොස්තාපල්වරුන් වන නිලන්ත සහ සුසන්ත ද, ග්‍රාමාරක්‍ෂකයෙකු සහ පොලිස් ඔත්තුකරුවෙකු වූ ජෙහාන්ගීර් නැමැත්තාද  ACF මුතූර් කාර්යාලය වෙත පිටත් කර හරින ලද්දේ එහි “කොටින්" සිටිනු ඇත්දැයි සැක හැර දැනගැනීමට ය. කෙසේ වුවද ඔවුනට අවශ්‍යව සිටි කෝඩීස්වරන් එහි සිටින බව දැනගත් පසුව ත්‍රිකුණාමලයේ නාවික හමුදා කොමාන්ඩෝ භටයන්ද, එස්ටීඑෆ් භටයන්ද, යුද හමුදාවේ සහ පොලිසියේ පිරිසක්ද  නැවත එම ස්ථානයට පිටත් කර හරින ලදි. අනතුරුව කෝඩීස්වරන් ඇතුළු මුතූර්හි සමස්ත කාර්ය මණ්ඩලයම සමූල ඝාතනය කරන ලදී. ඔවුන්ගේ මූලික ඉලක්කය වූයේ  කෝඩීස්වරන් වුව ද සෙස්සන් මරා දැමුවේ කිසිදු සාක්ෂියක් ඉතුරු නොකරනු සඳහා වි හැකියැයි මේ සම්බන්ධයෙන් විධිමත්ව සාක්‍ෂි රැස් කිරීමේ නියැලුණු මානව හිමිකම් සංවිධාන විසින් සැක පළ කර තිබේ.   මුතූර් ප්‍රදේශය සම්පූර්ණයෙන්ම රජයේ හමුදාවන්ගේ පාලනය යටතට ගෙන එල්ටීටීඊය පලවාහැරි බවට තමන් විසින් ම පෙර දින කළ ප්‍රකාශයට පරස්පර ප්‍රකාශයක් නිකුත් කළ රජයේ මාධ්‍ය ප්‍රකාශකව සිටි කෙහෙලිය රඹුක්වැල්ල ඇමැතිවරයා කියා සිටියේ මෙම සමූල ඝාතනය එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාවක් බව ය.

නියෝජ්‍ය පොලිස්පති  රොහාන් අබේවර්ධන විසින් ත්‍රිකුණාමල සිසු ඝාතනය මෙන්ම මුතූර් ACF සමූල ඝාතනය පිළිබඳවත් සිදු කෙරෙන පරීක්‍ෂණ කටයුතු භාර නිලධාරියා වශයෙන් පත් කරන ලද්දේ  මේ සිදුවීම් දෙකේම ප්‍රධාන චුදිතයෙකු වූ කපිල ජයසේකරව ය.

කපිල ජයසේකර හා ඊශ්‍රයෙල් පුහුණුව

ත්‍රී'මලේ සමූහ ඝාතන සිදුවීමේ වැදගත් භූමිකාවක් රඟ දැක් වූ කපිල ජයසේකර පිළිබඳ නිධාන කතාව ද වැදගත් එකක් වන්නේ හේ, පොලිස් වි‍ශේෂ කාර්ය බලකායේ ආරම්භක සාමාජිකයින් අතරේ ලා සැළකෙන අයෙක් වන හෙයිනි. කුප්‍රකට බ්‍රිතාන්‍ය අතුරු හමුදා ඒකකයක් වූ විශේෂ ගුවන් සේවා බලකා (SAS) සෙබළුන්ගෙන් සැදුම්ලත් පෞදගලික ආරක්‍ෂක සමාගමක් වන 'කීනි මීනි සර්විසස්' යුද විශේෂඥයින්ගේ  ප්‍රායෝගික අධීක්‍ෂණය යටතේ කටුකුරුන්දේ දී පුහුණුව ලැබූවන්ට අයත් හෙතෙමෙ, ජනාධිපති ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන විසින් සැළසුම් කරන ලද විශේෂ ඊශ්‍රායෙල් යුද පුහුණුව සඳහා යැවුණු උප පොලිස් පරීක්‍ෂකවරුන් දස දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායමට ද ඇතුළත් විය. කෘෂිකර්ම පර්යේෂණ පුහුණු පාඨමාලාවක මුවාවෙන් සංවිධානය කෙරුණු මාස දෙක හමාරක ඊශ්‍රායෙල් යුද පුහුණුව සම්පූර්ණ කළ ඔහු පසුව තිරුක්කෝවිල් විශේෂ කාර්ය බලකා කඳවුරේ නියෝජ්‍ය අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ අයෙකි. (ඉහළ වමේ සේයාරුව: ඊශ්‍රායෙලයට යැවුණු පළමු විශේෂ කාර්ය බලකා සාමාජික පිරිසෙන් කොටසක් සිය ඊශ්‍රායෙල් යුද උපදේශකයෙකු සමග - දකුණු පස කෙළවරේ සිට දෙවැන්නා එවකට උප පොලිස් පරීක්‍ෂක කපිල ජයසේකර ය.)

සිසු ඝාතනයෙන් මාස කීපයකට පසු, 2006 ජූලියේදී  පොලිස් අධිකාරි කපිල ජයසේකරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කරනු ලැබිණි. 2013 අප්‍රේල් මාසයේදී ඔහු අම්පාර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණ අතර 2013 ජූනි මාසයේදී හෙතෙම නැවතත් ත්‍රිකුණාමලය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර යවන ලදී.

ත්‍රිරෝද රියැදුරු බාලචන්ද්‍රන්

සිසුන්ට බෝම්බ ප්‍රහාරය එල්ල කළ කොළ පැහැති ත්‍රිරෝද රථය සහ ආරක්ෂක අංශ අතර  සම්බන්ධතාව මියගිය සිසුන්ගේ දෙමව්පියන්ට හෙළිකළ ත්‍රිරෝද රථ රියැදුරු බාලචන්ද්‍රන්ව, 2006 අගෝස්තු මස 24 වැනි දින ත්‍රිකුණාමලයේ මඩතාඩි ප්‍රදේශයේ දී ඉහත කී කොළ පැහැති ත්‍රි රෝද රථයෙන් සහ තවත් සුදුවෑන් රියකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගෙන ගොස් වෙඩි තබා මරා දමන ලදි. එකී ඝාතනය සිදු කරන ලද්දේ මුතූර්හි ACF සමූහ ඝාතනයෙන් දින 20 කට පසුව ය. QA 2178 අංකය දරන මෙම කොළ පැහැති ත්‍රිරෝද රථයේ රියැදුරු  එල්.හේමචන්ද්‍රන් නැමැත්තා පොලිසියේ ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කළ අතර ඔහු සිසු ඝාතනයේ එක් චුදිතයෙකු වූ නාවික හමුදා ලුතිනන් උඩවත්තේ වීරක්කොඩි සහ ඔහුගේ සහෝදරයන්ගේ හිතවතෙකි. මෙම ත්‍රිරෝද රිය පොලිසිය ඉදිරිපිට නිතරම මෙන් නවතා තිබෙනු දුටුවන් සුලභ ය. ලුතිනන් උඩවත්තේ වීරක්කොඩි යනු ත්‍රිකුණාමල නගරයේ සිංහල ව්‍යාපාරිකයෙකු වූ ඇල්බට් වීරක්කොඩි නැමැත්තාගේ පුත්‍රයෙකි.

ඇල්බට් වීරක්කොඩි වනාහී ත්‍රිකුණාමල නගරයේ සිහල උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි සංවිධාන පෙරටු කොටගෙන ජාතිවාදී උද්ඝෝෂණ සංවිධානය කිරීමට මෙන්ම නගරයේ හින්දු ආගමික ස්ථානවලට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට ද පෙරමුණ ගත් අයෙකි. 2005 මැයි 15 වැනි දින එක් රැයෙකින් ත්‍රිකුණාමල නගරය මැද ත්‍රිරෝද රියගාලට සහ බස් නැවතුමට ආසන්නව පොදු බිම්කඩක බුදුරුවක් ස්ථාපිත කරමින් ආගම්වාදී සහ ජාතිවාදී  ගැටුම් ඇති කිරීමට දායක වූවන් අතර එක් ප්‍රධාන පුද්ගලයෙකු වූයේ මෙකී ඇල්බට් වීරක්කොඩි ය. මෙම නීති විරෝධී ඉදිකිරීමට  එරෙහිව  ත්‍රිකුණාමල ශිෂ්‍ය සංවිධානය විසින් හර්තාල ව්‍යාපාරයක් කැඳවා තිබුණු අතර දෙසැම්බර් 22 පමණ නගරයට එස්ටීඑෆ් බලඇණි කැඳවන ලදී.  එයින් දින දෙකකට පසු, 2005 දෙසැම්බර් 24 දින වීරක්කොඩිව කිසියම් පිරිසක් විසින් මරා දමනු ලැබුණු අතර  මෙකී සිදුවීම ඔහුගේ පුත්‍රයා වූ ලුතිනන් වීරක්කොඩිට කවරෙකුගෙන් හෝ පලිගැනීම පිණිස හේතු සපයා තිබිණ.

මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගීර්දරාජන්

සිසුන් මරණයට පත් වූයේ බෝම්බ ප්‍රහාරයෙන් බව රජය සහ ආරක්ෂක අංශ ගෙන ගිය ප්‍රචාරය අසත්‍යයක් බව ඔප්පුකිරීමට හැකි එක් ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කරන ලද්දේ වරාය අධිකාරියේ ද රැකියාවක් කරන අතරවාරයේ, නිදහස් මාධ්‍යවේදියෙකු මෙන්ම සුඩර්ඔලි පුවත් පතේ ත්‍රිකුණාමල වාර්තාකරු වශයෙන් කටයුතු කළ සුබ්‍රමනියම් සුගීර්දරාජන් විසිනි. ඉතා ආසන්නයේ සිට තබන ලද වෙඩි පහරවලින් සිදු වූ තුවාලවලින් සිසුන් මියගිය බවට ඔප්පු කරන්නට විශාල වශයෙන් මග පාදන ලද්දේ රෝහල් මෘත ශරීරාගාරයට ගොස් ඔහු විසින් ලබා ගන්නා ලදුව සුඩර්ඔලි පත්‍රය විසින් පළකළ ඡායාරූප මගිනි. 2006 ජනවාරි 24 දින උදෑසන 6.00ට පමණ නිවසේ සිට සේවයට යෑමට පිටත්වන තෙක් රැක සිටි යම් පිරිසක් විසින් නිවස අසළදීම සුගීර්දරාජන්ගේ හිසට වෙඩි තබා මරා දමන ලදි. (වමේ සේයාරුව: වෙඩි තබා ඝාතනය කළ සුගීර්දරාජන්)

වෛද්‍ය කාසිපිල්ලෛ මනෝහරන්  රටින් බැහැරව හිඳ, උදලාගම කොමිසම හමුවේ වීඩියෝ තාක්‍ෂණය උපයෝගී කරගෙන 2006 අප්‍රේල් මස  ඉදිරිපත් කරන ලද වාචික සාක්‍ෂියෙන් කියා සිටියේ මෙම ඝාතන පෙර සැලසුම් කළ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව තමන් විශ්වාස කරන බවයි. ශිෂ්‍ය ඝාතන සිද්ධිය වූ දින සවස 6.30ට පමණ,  එනම් සිදුවීමට පැයකට පෙර, ත්‍රිකුණාමලයේ  රාජ්‍ය බැංකුවක සේවය කරන, සිය පවුලේ හිතවතෙකු තම නිවෙස වෙත පැමිණ, වෙරළ ඉදිරිපිට යම් සිදුවීමක් නියමිත බවට යම් කටකතා තමන්ට ඇසුණ බවට තම බිරිය සමග පවසා ප්‍රවේසම්වන ලෙස අනතුරු හැඟවූ බව වෛද්‍ය මනෝහරන් සිය ප්‍රකාශය තුළින් හෙළි කළේය. එමෙන් ම මෙම සිදුවීමට පැයකට පමණ පෙර ඒ ආසන්න ආපන ශාලාවකින් තම රාත්‍රි ආහාරය මිලදී ගැනීමට ගොස් සිටි විශ්‍රාමලත් පොලිස් සැරයන්වරයෙකුට  පොලිස් අධිකාරි කපිල ජයසේකර සිය වාහනයේ සිට අඬගසා අද සවස වෙරළේ දී යම් සිදුවීමක් වීමට ඉඩ ඇති බවත් එනිසා වහා එහි නොරැඳී නිවසට යන ලෙස දැන් වූ බවටත් ඒකී පොලිස් නිලධාරියා විසින් සිය හිතවතුන්ට දැන්වීම හේතුවෙන් අනාවරණය වී තිබේ.

කොටකදෙණිය සහ හෙළ උරුමය

සිසු ඝාතනය  සිදු කෙරුණේ අහම්බයක් ලෙස හෝ ප්‍රතිප්‍රහාරයක් ලෙස හෝ නොව, ඉතාම සැලසුම් සහගත පෙර සුදානමක් සහිතව බව ඇතැම් පුවත්පත් විසින් ද කරුණු හෙළිදරව් කොට තිබේ. ප්‍රහාරය සඳහා ආරක්‍ෂක අංශයන්ගේ විශේෂ ප්‍රහාරක බලකායක් ත්‍රිකුණාමලයේ ස්ථානගත කොට තිබිණි. 2006 ජනවාරි 8 වන දින 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කර සිටියේ අදාළ ඝාතනයන්ට විශේෂ කාර්ය බලකාය සම්බන්ධ බවයි. එයින් සතියකට පසු එම පුවත්පත ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක  විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්එම්ජීබී කොටකදෙණිය මෙම සිදුවීමට යම් සම්බන්ධයක් ඇතැයි වාර්තා කරමින් ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වයි.

“මම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂට කතා කොට ඔහුගේ අනුමැතිය ලබා ගත්තා. සෙබළුන් ස්ථානගත කිරීම පිළිබඳ වගකීම මම භාර ගන්නවා. මෙය ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සොයුරු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉන්දියානු සංචාරයට සතියකට  පෙර ගත් තීරණයක්. මට දිගින් දිගටම දිස්ත්‍රික්කයේ සිංහල වැසියන්ගෙන් පැමිණිලි ලැබී තිබුණා. ඔවුන් අතරින් 40කට වඩා මරා දමා තිබෙනවා. මට හැඟෙනවා ත්‍රිකුණාමලේ නීතිය සහ සාමය ආරක්ෂා කර ගැනීමටත්, නගරයේ උපක්‍රමික වැදගත් කම නිසාත් එහි පොලිසිය ශක්තිමත් කිරීම අවශ්‍ය වන බවට. විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මුලින් මෙම යෝජනාවට එකඟ වුණේ නැහැ. නමුත් මට සිදු වුනා මෙම කාරණයේ තිබෙන වැදගත්කම සහ හදිසි වැදගත්කම පිළිබඳව ඔහුගේ සිතට කා වැදෙන විදියට ඒත්තු ගන්වන්නට."

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කොටකදෙනිය යනු එවක පැවති රජයේ ප්‍රබල හවුල්කාර පක්ෂයක් සේම සිංහල ජාතිවාදී ජාතික හෙළ උරුමය පක්ෂයේ ක්‍රියාකාරි සමාජිකයෙකු වශයෙන් බස්නාහිර පලාත් සභාවට තේරී පත්වුවෙකි.

සාක්‍ෂි නසා ඝාතකයන් නිදොස් කිරීම

මියගිය සිසුන් එල්ටීටීඊ සාමාජිකයන් හෝ ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූවන් බවට පොලිසියත්, ආරක්ෂක අංශත් ආරම්භයේ සිටම ප්‍රචාරය කළහ. මරණ පරීක්ෂණ පැවැත්වෙන අවස්ථාවන්හි දි මෙන්ම අධිකරණය තුළ මුලික සාක්‍ෂි විභාගයන් පැවැත්වෙන අතරවාරයේත් මියගිය සිසුනගේ දෙමාපියන් අතුළු පවුල් සාමාජිකයින්ට නොයෙක් ආකාරයේ බලපෑම් සහ බිය ගැන්වීම් කරමින් පරීක්‍ෂණවලින් ඔවුන්ව ඈත් කොට තැබීමට ඇතැම් පොලිස් නිලධාරීන් ක්‍රියා කළහ. මරාදැමුණු සිසුන් රජයේ හමුදාවන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දැරූ බව ආරක්‍ෂක අංශ සහ රජය නිරන්තරයෙන් කියා සිටිය ද සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව එම වෙඩි තැබීම සහ ප්‍රහාරය එල්ල කෙරී ඇත්තේ බොහෝ පිරිසක් බලා සිටියදී ආරක්‍ෂක සෙබළුන් විසිනි. අපරාධය පිළිබඳව ඇසින් දුටු සාක්ෂිකරුවන් බොහෝ සිටියද ඒ කිසිවෙකුත් සාක්‍ෂි ලබා දීම සඳහා ඉදිරිපත් නොවුයේ ජීවිතාරක්‍ෂාව පිළිබඳව කිසිදු විශ්වාසයක් නොතිබු බැවිණි. 2006 ජනවාරි 10 වන දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මරණ පරීක්ෂණයට පැමිණි වෛද්‍ය මනෝහරන්හට අධිකරණ භූමිය තුළදිම පොලිස් නිලධාරින් විසින් නොයෙක් අපහාසාත්මක දෑ කියමින් තර්ජනය කර ඇත. එදිනම රාත්‍රී ඔහුගේ නිවසට ගල් ගසන ලද අතර දුරකතනය ඔස්සේ තර්ජනය කරමින් තමන්ව  සහ  දරුවන්ව මරා දමන බවට යම්, යම් පිරිස් තර්ජනය කරන්නේ යැයි කාසිපිල්ලේ මනෝහරන් විසින් පැමිණිලි කරන ලදී. ඝාතනයෙන් පසු තම වැඩිමහල් පුතු වන කෝඩීස්වරන්ට යම් පිරිසක් විසින් දුරකතන ඇමතුම් ලබාදෙමින් සොහොයුරාගේ ඝාතනය පිළිබඳ සොයා බලන්නේ නම් ඔහුවද මරා දමන බවට තර්ජනය කළ බව ඔහු කියා සිටියේ යැයි යෝගරාජා පසුව හෙළිදරව් කර සිටියේය. ඒ නිශ්ශංක උදුලාගම කොමිසම හමුවේ වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ සාක්‍ෂි ලබා දෙමිනි. සිද්ධිය සම්බන්ධයෙන් දේශීයව සහ ජාත්‍යන්තරව පැන නැගි උද්ඝෝෂණයන් යටපත් කිරීමේ උපක්‍රමයක් ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් දෙන ලද නියෝගයකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයෙක් ඇතුළු විශේෂ කාරය බලකායේ භටයන් 12 දෙනෙක්  අත් අඩංගුවට ගනු ලැබුවද නිතිපතිවරයා විසින් රහස් පොලිසියට දෙන උපදෙස් මත පදනම්ව මෙකී සැකකාර සෙබළුන් පසුව නිදහස් කරන ලද බව වාර්තා විය. ඒ සඳහා බලපෑවේ මළ සිරුරුවලින් සොයා ගත් වෙඩි උණ්ඩ සැකකාර සෙබළුන්ගේ ගිනි අවිවලින් නිකුත් වු උණ්ඩයන්ට සමාන නොවේ යැයි සඳහන් කරමින් රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින්  දෙන ලද වාර්තාවක් හේතුවෙනි. කෙසේ වෙතත් පසු කලෙක බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව සොයා බැලීමට පත්කළ නිශ්ශංක උදුලාගම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පරීක්ෂණ ලේඛනයටද මෙම පංච පුද්ගල සිසු ඝාතනය ඇතුළත් කෙරුණු අතර එයින්ද පලක් නොවුණි.

සිදුවීම යට ගැසීමට කටයුතු කරන ලෙස රජයේ ඉහළ තැන්වලින් එල්ලවූ බලපෑම් නොතකා යුක්තිය වෙනුවෙන් කටයුතු කිරීමට උත්සාහ කළ පරීක්‍ෂණ කමිටුවේ සිටි එකම දෙමළ සාමාජිකයාට මරණ තර්ජන එල්ලකරමින් ඔහුට ඉල්ලා අස්වන ලෙස බල කරන ලදි. ජනාධිපති විසින් ම පත් කරන ලද පරීක්‍ෂණ කමිටුව ජනාධිපතිවරයා විසින්ම  බලරහිත කරන ලද්දේ ජීවිතාරක්‍ෂාව පතා විදේශ ගත වූ සාක්‍ෂිකරුවන්ගේ වීඩියෝ සාක්ෂි ලබාගැනීමට කටයුතු කිරීම, ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කියමිනි. සිසු ඝාතනය ගැන පරීක්‍ෂණ පැවැත්වීමට යාමෙන් රජය ආරක්‍ෂක හමුදාවන්ගේ ධෛර්යය බිඳ හෙළීමට කටයුතු කරන බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ ත්‍රිකුණාමලයේ සිංහල ජාතිවාදී කණ්ඩායම් සමග එක්ව උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත් වූ අතර ඝාතනයට සම්බන්ධ ඒ සඳහා ආරක්‍ෂක අංශවල පූර්ණ සහයෝගයද හිමිවිය.

තර්ජන මගින් දෙමව්පියන්ගේ සාක්‍ෂි නිහඬ කළ නොහැකි වූ වූ විට රජය ඔවුන්ට වරදාන මගින් නිහඬ කිරීමේ  උත්සාහයක පවා නිරත විය. මෙවැනි සිදුවීමක් පිළිබඳව වෛද්‍ය මනෝහරන් සිය සාක්‍ෂි ප්‍රකාශනයේ ඉදිරිපත් කර ඇත. 'මේ ප්‍රශ්නය තවදුරටත් ඉදිරියට ගෙනයාමෙන් කිසිවෙකුට යහපතක් නොවන බවත් එහෙයින් මෙම පැමිණිල්ල අත්හැර දමන ලෙසත් එසේ කරන්නේ නම්  කොළඹින් නිවසක් සහ ආරක්ෂාව ද සැපයීමට තමන්ට හැකි බව'ත් මානව හිමිකම් සහ ආපදා කළමණාකරණ ඇමැති මහින්ද සමරසිංහ පැවසූ බව අදාළ සාක්‍ෂියේ සඳහන් කර ඇත.

විකීලීක්ස් සහ බැසිල් රාජපක්‍ෂ

මේ අතර විකීලීක්ස් කේබල්වලින් හෙළිදරව් වී ඇති කරුණු අනුව, මහාමාර්ග සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ එවකට ඇමෙරිකන් තානාපතිව සිටි රොබර්ට් බ්ලේක් සමග පවසා ඇත්තේ එස්ටීඑෆ් භටයන් ක්‍රියාවට සම්බන්ධ වූ බව තමන් (ආණ්ඩුව) දන්නා නමුත්, ඔවුන්ට නඩු පැවරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති කම නිසා බවයි. 'තුවක්කු සහ උණ්ඩ පිළිබඳ සාක්‍ෂිවලින් එය ඔප්පු කළ නොහැකියි. සමහරවිට මිනිසුන් ඝාතනයේදී ඔවුන් වෙනස් අවි භාවිතා කරනවා විය හැකි යැ'යි ඔහු ප්‍රකාශ කළ බව විකීලීක්ස් හෙළිකරයි. මෙය සත්‍ය ගරුක ප්‍රකාශයක් ලෙස විස්තර කිරීමට ඇතැමුන් කැමැති වුවද මෙම සමස්ත ඝාතන මාලාවේ ස්වභාවය පිළිබඳ වැටහීමක් ඇති අයට එය ඝාතනය ලක්වූවන්ගේ මිනීවලට ද සරදම් කිරීමක් ලෙස පෙනී යනු ඇත. මෙම ඝාතනවල චුදිතයෙකු වූ කපිල ජයසේකරට මාස කීපයක් ඇතුළත උසස්වීමක් දෙන ලද්දේ ඔහුගේ සොහොයුරන් වූ ආරක්‍ෂක ලේකම්වරයා සහ ආරක්‍ෂක ඇමැති වූ ජනාධිපතිවරයාගේ සෘජු අනුමැතිය යටතේ ය. එමෙන්ම ඝාතනයට සම්බන්ධ එස්ටීඑෆ් බලකායේ වසර දශක දෙකකට ආසන්න කාලයක් සේවය කළ ජයසේකර, ත්‍රිමලේ සිසු ඝාතනය සහ මුතුර් ඝාතනය භාර ප්‍රධාන පරීක්‍ෂක නිලධාරියා බවට පත් කළේ ද ඔවුන් විසිනි. ඇසින් දුටු සාක්‍ෂි කරුවන් මරා දමා හෝ බියගන්වා නිහඬකර - නැතහොත් රටින් පලා යාමට බල කෙරෙන කොන්දේසි නිර්මාණය කරමින්ද, ද්‍රව්‍යමය සාක්‍ෂි විනාශකරමින් නැතහොත් විකෘති කරමින් ද, අවසානයේ එස්ටීඑෆ් සෙබළුන්ට චෝදනා එල්ල කිරීමට සාක්‍ෂි  නැතැයි කීම තුළින් හෙළිවනුයේ, ඔවුන්ගේ ක්‍රෑරත්වයත්, දෙමළ ජනයාට එරෙහිව ඕනෑම අපරාධයක් දඬුවම් නොලබා සිදු කළ හැකියැයි ඔවුන් තුළ පවතින නරුම විශ්වාසය මිස අන් යමක් නොවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක් පවත්වා වරදකරුවන්ට දඬුවම් පමුණුවන බවට 2009 ජූනි 12 වැනිදා වෛද්‍ය කාසිපිල්ලෛ මනෝහරන් වෙත ප්‍රතිඥාවක් දුන් එවකට ජනාධිපති උපදේශකයෙකු ලෙස කටයුතු කළ මහාචාර්ය රජීව විජේසිංහ, 2012 මැයි 16 වැනිදා ලන්ඩන් නගරයේ පැවති ප්‍රසිද්ධ සංවාදයකදී කිසිදු පැකිලීමකින් තොරව ප්‍රසිද්ධියේම පවසා සිටියේ සිද්ධිය යටපත් කිරීම සඳහා සූක්‍ෂ්ම ක්‍රමවේදයක් තමන් නීතිපතිට ඉගැන් වූ බවයි. ඒ අනුව, අදාළ චූදිතයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පෙරට ගෙනයාමට හැකියාවක් නැතැයි නීතිපති පැවසූ විට 'මෙවැනි දේ සම්බන්ධයෙන් බ්‍රිතානීන් සාමාන්‍යයෙන් කරන්නේ මුලින් දහ දෙනෙකු අත් අඩංගුවට ගෙන පසුව නව දෙනෙකු නිදහස් කර යැවීම බවත්, දෙවියන්ගේ නාමයෙන් බ්‍රිතානීන් වැඩ කරන විධියෙන්ම පඩමක් ඉගෙනගෙන කටයුතු කරමු යැයි තමා උදදෙස් දුන් බවත් ' මහාචාර්යවරයා කීවේය. ඔහු විසින් මෙම ප්‍රකාශය කරන ලද්දේ ඝාතනයට ලක් වූ මනෝහරන් රජීහර්ගේ පියා වන වෛද්‍ය කාසිපිල්ලෛ මනෝහරන් ද සහභාගීව සිටි විවෘත සභාවකදී ය.

කෙසේ වුවද මේ සියළු නොසළකා හැරීම් සහ බිය වැද්දීම් අතර මරා දැමුණු සිසු දරුවන්ගේ දෙමාපියන් මේ මොහොත වන විටත් යුක්තිය ඉල්ලමින් හුද‍කලා අරගලයක නිරතව සිටිති. ඇතැමුන්ට ජීවිතාරක්‍ෂාව පතා ශ්‍රී ලංකාවෙන් පිටමන්ව සැඟ වී  ජීවත් වීමට සිදුව තිබේ.  යුක්තිය ඉටු නොවූ සිය ආදරණීය දරුවන්ගේ වෙඩි වැද දැදුරු වූ ප්‍රාණය නිරුද්ධ සිරුරු පිළිබඳ සෝබර මතකයත්, රුධිරයෙන් ‍පෙඟුණු ඒ යෞවන මුහුණුවල අවසන් හැඩරුවත් ඒ සිත් සතන් තුළින් කිසි කලෙක මැකී යනු නැත. රාජ්‍ය භීෂණය විසින් උදුරාගත් තම දරුවන්ගේ දුර්වර්ණව වියැකුණු ඡායාරූප අතැතිව විසි පස් වසරකින් පසුවත් අතුරුදහන් වූවන්ගේ ස්මාරක අසලට සෑම වසරකම රොක්වන දකුණේ සිංහල මව්වරුන් විසින් හෙළිකරන සත්‍යය ඒ හැර අන් කුමක්ද?

අත්‍යවශ්‍ය පසුවදනක්: ඝාතනයේ දේශපාලන පසුබිම

ත්‍රීමලේ සමූහ සිසු ඝාතනය හුදකලා අහඹු සිද්ධියක් සේ සළකා වටහා ගැනීම ප්‍රමාණවත් නොවේ. එම සිදුවීමට පෙර මෙන්ම පසුවද සිදු වූ සිද්ධි මාලාවක් විසින් ත්‍රීමලේ ඝාතනය වටහා ගැනීමට අවශ්‍ය වැදගත් දේශපාලන සන්දර්භයක් තනා දෙයි.

2005 වසරේ ආරම්භයත් සමග යුරෝපා සංගමය විසින් සුනාමියෙන් විපතට පත් ප්‍රදේශ සහ ජන ජීවිතය යළි නගා සිටුවීමට විශාල ආධාර ප්‍රමාණයක් වෙන් කර තිබූ අතර එම ආධාර ලබා දීමට නම් ඒවා උතුරු නැගෙනහිර සුනාමියෙන් විපතට පත් වූ ප්‍රදේශවලට ලැබෙන වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බවට යෝජනා කරන ලදි. ඒ සඳහා විමුක්ති කොටි සංවිධානය සමග එකඟතාවක් ඇති කරගත යුතු බවටත්, සටන් විරාම ගිවිසුම ආරක්ෂා කරමින් රට තුළ සාමකාමී තත්ත්වය තහවුරු කළ යුතු බවටත් කොන්දේසි ඉදිරිපත් වුනු අතර සුනාමි සහන සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් ගොඩනැගීමට ද  යෝජනා වී තිබිණි. ලැබීමට නියමිත අති විශාල මුදල් සම්භාරය සැකිල්ලට ගෙන චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය මෙම යෝජනාවට කැමැත්ත පළ කළ ද ඇය විසින් ඉදිරිපත් කළ යෝජනා මගින්  ඒකාබද්ධ සහන මණ්ඩලය තුළ දෙමළ නියෝජිතයන්ට කිසිදු තීරක බලයක් නොදීමට වග බලා ගත්තා ය. කෙසේ වුව ද ජනතා විමුක්ති පෙරමුණ සහ හෙළ උරුමය දේශපාලනයේ මූලික ඉලක්කයක් වූයේ මෙම සුනාමි සහන මණ්ඩලයයි. එය ක්‍රියාත්මක කළහොත් තමන් රජයෙන් ඉවත්වන බවට ජවිපෙ සිදු කළ තර්ජනවලට අමතරව දකුණේ ජාතිවාදි බලවේග වීදිවලට කැඳවීම ජවිපෙ සහ හෙළ උරුමය විසින් සිදු කරන ලදි. මෙකී ක්‍රියාවලිය සමග එක්සත් ජනපදයට තිබූ සම්බන්ධකම, විධිමත් ගවේෂණයක් සිදු නොකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ දෙනා නොදනිති. එය වෙනම ගවේෂණාත්මක ලිපියකට නිමිති විය යුතුව තිබේ. ත්‍රිකුණාමලයේ මෙම කාල සීමාව තුළ උත්සන්න කරන ලද ජාතිවාදී ගැටුම් පිටුපස සිටියේ මේ යුදවාදී බලවේගයන් ය.

නැගෙනහිර යුද මෙහෙයුම් රජය විසින් ආරම්භ කරන විට හමුදාපති වශයෙන් සිටි  සිටි සරත් ෆොන්සේකා පසු කලෙක ප්‍රකාශ කර සිටියේ නැගෙනහිරින් යුද්ධය ආරම්භ කිරීමට ගත් රජය ගත් තීරණය ඉතා නිවැරදි එකක් වූ බවයි. විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී රජය සිය යුද සැලසුම් අනුව නැගෙනහිරින් යුද්ධය ආරම්භ කිරීමට තීරණය කර තිබූ බව මේ අනුව පැහැදිලිය. ත්‍රිකුණාමලයේ තත්ත්වය වඩාත් අයහපත් තත්ත්වයට හැරෙන්නේ ත්‍රිකුණාමල ප්‍රධාන බස්නැවතුම සහ වෙළඳපළ ඉදිරිපිට හෙළ උරුමයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලද උතුරු නැගෙනහිර සිංහල සංවිධානය සහ ත්‍රිකුණාමල ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් සිංහල ත්‍රි රෝද රථහිමියන්ගේද අනුග්‍රහයෙන් බුදු පිළිමයක් 2005 මැයි මස 15  වැනි දින රාත්‍රි එළිවන විට ස්ථාපනය කිරීමේ සිදුවීමෙන් පසුව ය. හෙළ උරුමය  නායකයෙකු වූ ජනාධිපති ආරක්ෂක උපදේශක හිටපු නියෝජ්‍ය පොලිස්පති කොටකදෙණිය ත්‍රිකුණාමලයේ සිංහල ජාතිවාදී කොටස් සමග දැඩි සම්බන්ධකම් පැවැත්වූ බවට ප්‍රබල සාක්‍ෂි තිබේ. ත්‍රිකුණාමලය නගරය තුළ විශේෂ කාර්ය බලකාය ස්ථාපිත කිරීමට මූලික කටයුතු සුදානම් කරන ලද්දේ ඔහු විසිනි. මෙම බුදුපිළිම ස්ථාපනය නීති විරෝධි ලෙස තීරණය අධිකරණයෙන් තීරණය වුව ද එය ඉවත් කිරීමට කටයුතු සිදු නොවිණි. මෙම සිදුවීම උපයෝගී කරගෙන වෛරී ව්‍යාපාරයක් අරඹමින් එය ඒකාබද්ධ සුනාමි සහන සපයාලීමේ යාන්ත්‍රණයක් සැකසීමට තිබූ එකඟතාව බිඳ දැමීමට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය සඳහා යොදා ගනු ලැබිණි.  2006 ජනවාරි මස 02 වැනි දින ත්‍රිකුණාමලයේදී  සිදුවූ ශිෂ්‍ය ඝාතනය ද රජය එම අරමුණින් සිදු කරන ලද සාහසික ඝාතන මාලාවට අයත් එක් සිදුවීමක් පමණි.

කෙසේ වුව ද ඉන් මාස කීපයකට පසුව, 2006 ජූලි මස 21 වැනි දින, ලෝක බැංකු අනුග්‍රහයෙන් නිමකරන ලද ජලසම්පාදන ව්‍යාපෘතියක් මගින්,  අදාළ ජල මුලාශ්‍රය පිහිටි දෙමළ ගම්මානවලට ජලය ලබා නොදීමට එවකට නැගෙනහිර සිටි හමුදා ආණ්‍ඩුකාරයා ගත් තීරණයට විරෝධය පළ කිරීමට ප්‍රදේශවාසීන් විසින් මාවිල් ආරු සොරොව්ව වසා දමමින් දියත්කළ විරෝධතාව මැඩ පැවත්වීමට ජූලි 26 වැනි දින ශ්‍රී ලංකා රජය හමුදාව එල්ටීටීඊ පාලන ප්‍රදේශවලට ඇතුළු වෙමින් යළි යුද්ධය ආරම්භ කළේය. ප්‍රහාර එල්ල වූයේ එල්ටීටීඊ නායකත්වය සහ සටන් විරාම නිරීක්ෂක කමිටුව අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව සොරොව්ව යළි විවෘත කිරීමට කටයුතු යොදා තිබියදී බවට සටන් විරාම නිරීක්‍ෂණ කමිටු ප්‍රධානියා කියා සිටියේය. අනතුරුව එළැඹි සංහාරක යුද්ධයේදී සමස්ත නැගෙනහිර දෙමළ ජනයාට පෙර නොවූ විරූ විනාශයන්ට සහ දුක් වේදනාවන්ට ගොදුරුවීමට සිදු විය.☐

©  JDS