මාතලේ මළවුන්ගේ කැරැල්ල: 'යහ පාලනය' අැටකටුවලට යුක්තිය පසිඳලනු ඇතිද?

මෙම ලිපියේ පළමු කොටස: ගොළුවතින් වැසීයන සංහාරයක සාක්‍ෂි

මාතලේ සමූහ මිනීවල 1950න් එපිටට අයත්යැ'යි කියමින් ඇමරිකාවේ බීටා ඇනලිටික් ආයතනය විසින් ලබාදෙන ලද කාලනිර්ණ වාර්තාව ජනාධිපති කොමිසම විසින් තමන්ට පෙන්වූ ආකාරය ඊට පෙර මේ පිළිබඳ කාල නිර්ණයක් සිදුකළ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ‘වංචාවක්’ ලෙස හඳුන්වන විට අප සොයාබැලිය යුත්තේ එවැනි වංචාවකට තුඩුදෙන හේතුකාරණා මොනවාද යන්නයි.

‘වංචාවේ’ සැඟවුණු පැත්ත හෙවත් ‘ගෝඨාගේ යුද්ධය’

හේතු සොයමින් වැඩිපුර මහන්සි වියයුතු නැත. ජනමාධ්‍ය ආයතනයක රැකියාව කරන, පැවැති රාජපක්ෂ පාලන තන්ත්‍රයේම සහචරයකු අතින් අදාළ සාක්‍ෂ්‍ය හෙළිදරව් වී තිබේ. ඒ ‘ශී‍්‍ර ලංකාවේ කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම’ උදෙසා ගෝඨාභය රාජපක්ෂගේ කාර්යභාරය උත්කර්ෂයට නංවනු වස් සී ඒ චන්ද්‍රපේ‍්‍රම විසින් 2012 වසරේ, මාතලේ සමූහ මිනීවල මතුවීමට පෙර, එළිදක්වන ලද ‘ගෝඨාගේ යුද්ධය’ (Gota’s War: The Crushing of Tamil Tiger Terrorism in Sri Lanka) කෘතියෙනි. මෙය ගෝඨාභය රාජපක්ෂගේ වුවමනාවට, පැවැති ආණ්ඩුවේද පූර්ණ අනුග‍්‍රහ අනුබල යටතේ ලියැවුණකි.

එම කෘතියේ 28 වැනි පරිච්ඡේදය වෙන්වන්නේ ‘දෙවැනි ජවිපෙ කැරැල්ල’ ට අදාළ ගෝඨාභය රාජපක්‍ෂගේ භූමිකාව උත්කර්ෂයට නංවනු පිණිස ය. එහි 173 පිටුවේ මෙසේ සඳහන් වේ:

‘‘1989 මැයි 01දා, කර්නල් විමලරත්න බි‍්‍රගේඩියර් තනතුර දක්වා උසස් කරන ලදුව, ගෝඨා ගජබා රෙජිමේන්තුවේ පළමු බල අැණියේ අණදෙන නිලධාරී තනතුරට පත්කැරිණි..... මේ උසස්වීමත් සමඟ ඔහු ජවිපෙ කි‍්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් මාතලේ දිස්ත‍්‍රික්කයට පත්කර යැවිණි. වසර එකහමාරකට ආසන්න කාලයක් ත‍්‍රිකුණාමලයේ සේවයේ නියුතුව සිටි ගජබා පළමු බල අැණිය මාතලේ කරා ගෙනඑන ලදී. ෂවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් හා සුමේධ පෙරේරා යන ලූතිනන්වරු මාතලේ ඔහුගේ සෙසු අණදෙන නිලධාරීහු වූහ.’’

එහිම 177 පිටෙහි මෙසේ සඳහන් වේ. ‘‘දෙවැනි ජවිපෙ කැරැල්ල අවසානය දක්වා ගෝඨා මාතලේ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරියා ලෙස රැඳී සිටියේය. 1990 ජනවාරියේදී තෙමසක නිවාඩු අයැදුම් කළ ඔහු සිය පවුලේ අය දැකබලාගැනීමට ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත් විය.’’ මේ සඳහනට අනුව උතුරේදෙමළ ජනයාට එරෙහි මෑත දී සිදුකළ යුද අපරාධ සම්බන්ධයෙන් නම් කියැවෙන ප‍්‍රධාන හමුදා නිලධාරීන් කිහිප දෙනෙක්ම ගෝඨාභය සමඟ විසි වසරකට කලින් මාතලේ තරුණ තරුණියන්ට එරෙහිව ද භීෂණය වපුරමින් සිට තිබීම දෛවයේ සරදමක්ද?

අන්දමන්ද කර්තෘ

‘දි අයිලන්ඞ්’ පුවත්පතට ‘ශානී’ නමින් වසර ගණනාවක් තීරු ලිපි සැපයූ ලන්කානේසන් නේසයියා 2013 මාර්තු 01 වැනිදා ‘‘මානව හිමිකම් පිළිබඳ කාරණය අතහැර නොදැමිය යුතුය. එය අප සියල්ලන්ටම බලපායි’’ යනුවෙන් ලියන කොලමේ ‘ගෝටාගේ යුද්ධය’ පොතෙහි ඉහත කොටස උපුටා දක්වයි. එහෙත් අදාළ කොලම ඒ සතියේ පලවන්නේ මෙම කොටස වාරණයට ලක්කරමිනි. උත්ප්‍රසාය මෙයයි: ‘ගෝටාගේ යුද්ධය’ හි කර්තෘ ‘දි අයිල්න්ඞ්’ හි නියෝජ්‍ය කර්තෘවරයාය. තමන්ගේ නියෝජ්‍ය කතුවරයාගේ පොතකින් උපුටාගත් කොටස තමන්ගේම පුවත්පතෙහි වාරණයට ලක්කරමින් ලිපියක් පලකරන්නට පුවත්පතකට සිදුවීම කෙබඳු සරදම් සහගත ජනමාධ්‍ය කලාවක්ද? මෙයින් පෙනීයන්නේ ගෝඨාගේම පෙළඹවීම මත පොත ලියූ චන්ද්‍රපේ‍්‍රම, මාතලේ මිනී ඇටකටු මතුවීමෙන් පසු සිය හෙළිදරව්ව ගැන කොතරම් අන්දමන්දව සිටියේද යන්නයි.

මේ තතු යටතේ මාතලේ සමූහ මිනීවල වෛද්‍ය ජයසේන නිගමනය කරන අපරාධ කි‍්‍රයාවන් සහිතව, මහාචාර්ය සෝමදේව නිර්ණය කරන කාලසීමාවන්ට අයත් වන්නක් බවට පත්වීමට ජනාධිපතිවරයාගේ සහෝදරයා දෙවැනි බලවතාව සිටි පාලන තන්ත්‍රයක් ඉඩදෙතැයි කල්පනා කිරීම විහිළුවකි. දැන් ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු ‘වංචාවක්’ බවට පෙරැලී  ඇති නම් එය පුදුමයක් නොවේ.

පිරික්සුම්වලට බාධා

එසේම මෙම මිනීවළ සම්බන්ධ පරීක්ෂණවලට බාධා පැමිනුණු හා පරීක්ෂණ නොමඟ යැවීමට උත්සාහ දැරුණු එකම අවස්ථාවද මෙය නොවේ. 2013 මැයි මස 20 වැනිදා මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය කටයුතු සිදුකරමින්, ඒ පිළිබඳ වැදගත් නිගමනයන් ඉදිරිපත්කරමින් සිටි වෛද්‍ය අජිත් ජයසේන කුරුණෑගල මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙස මාරුකර යැවිණි. 2013 ජුනි මස 24 වැනිදා සිට මිනීවල සම්බන්ධ නඩුව විභාග කරමින් සිටි මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ විනිසුරු චතුරිකා ද සිල්වා වහාම කි‍්‍රයාත්මක වනපරිදි කොළඹට මාරුකර යවන ලදී. එම මාරුවට හේතුව, පොදුවේ ඇය මෙම නඩුව සම්බන්ධයෙන් අපක්ෂපාතී ස්ථාවරයක් අනුගමනය කිරීමත්, විශේෂයෙන් නඩුවිභාගයේදී මහජනයා වෙනුවෙන් පෙනී සිටීමට ඇය විසින් ශ‍්‍රී ලංකා නීතීඥවරුන්ගේ සංගමයට අවසර ලබාදීමත් බව අධිකරණ ක්‍ෂේත්‍රයේ විශ්වාසය විය. සරදම්කාරී ලෙස මෙම මාරුවීම සිදුවූයේ හිටපු ජනාධිපතිවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාවක් පත්කිරීමට සමගාමීව ය. මෙම ජනාධිපති කොමිසම පත්කිරීමද සිද්ධිය යටපත් කිරීමේ චේතනාවෙන් කරන ලද්දක් බව, ජනාධිපති කොමිසම් ඉතිහාසයේ නිශ්ඵලත්වය ගැන අත්දැකීම් ඇති දේශපාලන හා නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රබල කතාබහක් ඇතිවූ අතර, අද මහාචාර්ය සෝමදේව කියන අන්දමේ ‘‘පිළිගත නොහැකි ලියැවිල්ලක්’’ ප‍්‍රශ්න කිරීමකින් තොරව විද්‍යාත්මක වාර්තාවක් ලෙස සිය පරීක්ෂණ සඳහා යොදාගැනීමෙන් සේම, එය මේ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පැවැත්වූ වෛද්‍යවරයාගෙන් හා මූලික පරීක්ෂණ මෙහෙයවූ පුරාවිද්‍යාඥයාගෙන් වසංගා තැබීමෙන් පවා මෙම සැකය තීව‍්‍ර වේ. අවස්ථාවන් ගණනාවකදී මේ පිළිබඳ පරීක්ෂණ නවතා දමා මිනීවල වසාදමන්නැ’යි පුදුමාකාර ඉල්ලීම්ද පොලීසිය වෙතින් අධිකරණයට ඉදිරිපත් විය.

මිනීවලේ කාලනිර්ණය පිළිබඳ ප‍්‍රබල වෛද්‍ය හා පුරාවිද්‍යාත්මක මත පලවෙද්දීත්, ආරම්භයේ පටන්ම ඇතැම් බලධාරීන් දැඩි වෙහෙසක් ගත්තේ මෙය වෙනත් කාලවකවානුවකට අයත් බව කියාපෑමටය. 1940 ගණන්වල නායයාමකට, 1915 සිංහල මුස්ලිම් කෝලහාලයට, 1848 අධිරාජ්‍ය විරෝධී සටනට සේම වසංගතාදියට ද මේ මිනීවල සම්බන්ධ කරමින් මත පළවිය. එහෙත් වෛද්‍ය ජයසේන හා මහාචාර්ය සෝමදේව නිගමනය කරන හිස් කඳෙන් වෙන්කිරීම්, ශරීරාංග ඡේදනයන් ඇතුළු වධ බන්ධන සේම සොයාගෙන ඇති ඇටසැකිලි ප‍්‍රමාණයන්ද ඉහත යෝජිත කාල හා සිද්ධීන් සමඟ ඍජුව ගැලපෙන්නේ නැති බව පෙනීයයි. එහෙත් බීටා ඇනලිටික් වාර්තාව නම් ‘හිස් කොලයක ලියූ වැදගැම්මකට නැති පේළි කිහිපය’ ආණ්ඩු වෙනස්කම් එසේම තිබියදී පවා සම්මත වුවහොත් බොහෝවිට මාතලේ සමූහ මිනීවල මේ කියන කිසියම් සිද්ධියක ගිණුමට බැරවීමට හොඳටම ඉඩ ඇත.

බීටා ඇනලිටික් වාර්තාව තමන් අතට පත්කර නොමැති බව වෛද්‍ය ජයසේනත්, මහාචාර්ය සෝමදේවත් කියාසිටින බැවින්, JDS  එම වාර්තාව පලිබඳව ඇමරිකාවේ බීටා ඇනලිටික් ආයතනයෙන් විමසීමක් කළේය. ඊට ජනවාරි 03 වැනිදා පිළිතුරක් ලබාදෙමින් එම ආයතනය කියා සිටියේ රහස්‍ය භාවය පිළිබඳ ප‍්‍රතිපත්ති මත සිය සේවාදායකයාගේ අනුමැතියකින් තොරව කිසිදු පාර්ශවයකට වාර්තාව හෝ අදාළ වෙනත් තොරතුරු ලබාදීමට තමන්ට නොහැකි බවය.

ගොළුවත

එහෙත් දරුණුම ඛේදය වන්නේ මේ ප‍්‍රශ්නකාරී කි‍්‍රයාදාමය හමුවේ ශී‍්‍ර ලාංකේය සිවිල්, දේශපාලන හා ජනමාධ්‍ය සමාජයේ පවත්නා දැවැන්ත නිහඬතාවයි. එදා 1994 ජනාධිපතිවරණයේදී සූරියකන්ද නම් අබිරහස් මිහිදන් භූමිය කෙබඳු තීරණාත්මක භූමිකාවක් රඟපෑවද මෙදා බෙහෙවින් උද්වේගකර ජනාධිපතිවරණයක් හමුවේ පවා මාතලේ සමූහ මිනීවල දෙස ඇසක් හැර බැලූ කෙනෙක් නොසිටි ගාණ ය. එය නිසැක වශයෙන්ම ඛේදයකි. නමුත් දුරවබෝධී ප‍්‍රහේලිකාවක් නම් නොවේ.

1994ටත් පෙර පටන් භීෂණ සමයේ අපරාධ මත සිය ප්‍රතිරූපය ගොඩනගාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මෙදා මාතලේ ගැන කතාකරන්නට හැකියාවක් නොවූයේ සිය සොයුරු ගෝඨාභය නාමය මාතලේ අපකීර්තිමත් භීෂණ යුගයේ ඉතිහාසය හා අවියෝජනීයව බැඳී තිබීම හේතුවෙනි. මාතලේ මිනීවල හැකි ඉක්මනින් වසාදමන්නට රාජපක්‍ෂ පාලන තන්ත්‍රයට ඇවැසි වූයේ ඒ නිසා ය. එය එසේ වී නම්, මාතලේ බඳු සමූහ මිනී යායන් නිර්මාණය කළවුන් පිරිවරාගත් එක්සත් ජාතික පක්‍ෂයට සහ එහි නව හවුල්කරුවන් පිළිබඳ කවර නම් කතාද?

වසර විසිපහකට පසු පොළොව මතුපිටට ආ, තමන් සමඟ එකම අරමුණක් ලූහුබැඳයාම නිසා අති දරුණු වධවේදනාවන්ට පමුණුවා ඝාතනය කළ සිය සටන් සගයන්ගේ වීමට හොඳටම ඉඩ ඇති ඇටකටු පිළිබඳ යුක්තිය ඉටු කරන්නට මෙදා ජනතා විමුක්ති පෙරමුණටත් බැරිවිය. තමන්ගේම සටන් සගයන් කුරිරු වදබන්ධනයන්ට ලක්කොට සමූහ වශයෙන් ඝාතනය කළ ආණ්ඩුවේ හමුදා ජාතික වීරයින් බවට සුරුවම් ගතකොට මහනෙල් මල් පලන්දා උතුරේ පීඩිත දෙමළා සංහාරය කරන්නට යැවූ පාපයෙන් ඔවුහු ඒ සඳහා වන සිය සුජාතභාවය අහෝසිකරගෙන හමාර ය. එදා මාතලේ කඳවුරු බැඳ ජවිපෙ සාමාජිකයින්, හිතවතුන් ඇතුළු හාරසිය පනහකට අධික සංඛාවක ජීවිතවලට අට මසක් ඇතුළතදී කුරිරු ලෙස වගකී ගෝඨාභය රාජපක්‍ෂ, ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් වැනි හමුදා නිලධාරීහු එයින් දශක එකහමාරකට පසු උතුරේ පීඩිත ජීවිත දහස් ගණනකටද ඊටත් වඩා ක්‍රෑර ලෙස වගකීමේ අනුහසින් මව්බිමේ සාඩම්බර විරුවන් ලෙස දැන් බෞතීස්මය ලැබ තිබේ. අසූව දශකයේ මිනිස් සංහාරයෙන් දිවි ගළවාගෙන පළා ගොස් දශකයකින් පසු යළි රට පැමිණි ජවිපෙ දෙවෙනි නායක සෝමවංශ අමරසිංහ, 'දේශීය හෝ ජාත්‍යන්තර පරීක්ෂණ හරහා මේ ‘රණවිරු’ බුරුත්තට අතක් තියන්නේ නම් ඒ සිය මළකඳ උඩින් පමණකැ'යි දෙඩූ වහසි බස් මාතලේ සැඟවගත් මළවුන්ට නෑසී යාම කෙතරම් සහනයක් වන්නට ඇතිද?

මතු යම් දිනක ඉටුවනු ඇතැයි  සිතූ යුක්තිය පිළිබඳ අපේක්‍ෂාවෙන් විසි වසරකට පසු මාතලේ තෙතබත් පස් කඳු පෙරළා නැගී සිටී කැරළිකාරී මළවුන් දැන් යළිත් සදාතන නිහැඬියාවට වැද නින්දේ ය. විසි වසක් රහසේ නිදා හිඳ නැගීගත් ඒ මළවුන් අතර පැහැරගත් සිය දරුවන් ඇතිදැයි සොයා බලන්නට දිව ආ උකුවෙල වරාකන්දවත්තේ කේ.ජී. කමලාවතී දුහුවිලි පිසදා පිටතට ගත් පෙම්බර පුතුන්ගේ සදා යෞවන රුව රැගත් රාමුකළ සේයා රූ සුරැකිව තිබූ තැන්වලම යළිත්  නිහඬව තැන්පත් කරනු ඇත.

සූරියකන්දේ සිට චෙම්මනි දක්වාත්, මාතලේ සිට මන්නාරම දක්වාත්  අපරිමිත වධ වේදනා විඳ රහසේ වැළළුණු මිනිස් දරුවන්ට යුක්තිය ඉටු කර දෙන්නට අසමත් රටක 'යහපාලනයට' ඇති අරුත කුමක්දැයි මම නොදනිමි.

සනත් බාලසූරිය


© JDS