'අපේ අරමුණ පළිගැනීම නොවෙයි, සාධාරණය සහ යුක්තියයි' - මහා ඇමති විග්නේස්වරන්

2015 පෙබරවාරි 10 වැනිදා  උතුරු පළාත් සභාවේ නියෝජිතයින් අති මහත් බහුතරයකගේ එකඟතාවයෙන් සම්මත කරගන්නා ලද 'වර්ග සංහාරය' පිළිබඳ යෝජනාව සභාගත කරන ලද්දේ පළාතේ මහ ඇමති සී වී විග්නේස්වරන් විසිනි. දෙමළ ජනයා විෂයෙහි ශ්‍රී ලංකා රාජ්‍යය විසින් අතීතයේ සිට කලින් කලට අනුගමනය කරන ලද පිළිවෙත් මගින් කැටිකොට දක්වන්නේ දෙමළ ජනයාගේ සමූහික ජාතික ජීවිතයේ පදනම් විනාශ කිරීම අරමුණු කොටගත් වර්ග සංහාරක චේතනාවකැයි සනාථ කරන්නට ඉදිරිපත් කරන ලද කරුණු සභිකයින් බහුතරයක් විසින් පිළිගන්නා ලදී. උතුරු පළාත් සභාව විසින් ‍සම්මත කරගන්නා ලද මෙම යෝජනාව, 2013 දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර නීති හා මානව හිමිකම් විශාරදයින්ගේ මැදිහත්වීමෙන් ජර්මනියේ මුළුදුන් නිත්‍ය මහජන විනිශ්චය සභාව විසින් දෙන ලද තීන්දුව යළිත් අවධාරණය කිරීමක් සේ සැළ‍කිය හැකි ය.

යෝජනාව සභාගත කරමින් කතාකළ මහා ඇමති විග්නේස්වරන්, දකුණේ සිංහල ජනයාගේ අවධානයට පාත්‍රවිය යුතු අදහස් සමුදායක් කියා පෑවේය. මෙම යෝජනාව මගින් දෙමළ ජනයා ඓතිහාසිකව මුහුණ දුන් රාජ්‍ය සැහැසිකම් පිළිබඳ යථා චිත්‍රයක් සහෝදර සිංහල ජනයාට සැපයෙනු ඇතැයි විශ්වාසය පළ කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුද වන මහ ඇමතිවරයා, 'දෙමළ ජනයාට යුක්තිය හා සාධාරණය දිනීම අරමුණු කරගත් මෙම යෝජනාවට සහෝදරාත්මක සහාය පළ කරන මෙන් සිංහල ජනයා වෙත ආයාචනය කර සිටියේය. දෙමළ බසින් කරන ලද ඔහුගේ කතාව, විචාර බුද්ධියක් සහිත දකුණේ පාඨකයින්ට කියවනු පිණිස සිංහල බසින් පළකළ යුතු යැයි අප කල්පනා කළේ, සිංහල සහ දෙමළ ජනයා අතර සැබෑ සහයෝගීතාවකට තිරසාර පදනමක් දමනු ඇත්තේ එකිනෙකාගේ සාමූහික ඉරණම් පිළිබඳ ඇතිකරගන්නා අන්‍යෝන්‍ය අවබෝධය විසින් බැවිනි.

පරිවර්තනය: අතුල විතානගේ සහ එස්.රාජ්කුමාර්


සුගිය වසරේ අවසන් මස පැවති  සභාවාරයේදී  සිවාජිලිංගම්  මන්ත්‍රීතුමාට  මා  පොරොන්දු වුයේ  අවශ්‍ය  තොරතුරු ලබාදුනහොත්  මා ඊට සෘජුව මැදිහත්ව  වර්ග සංහාරය පිලිබඳ යෝජනාව සුදානම් කර මේ සභාවට ඉදිරිපත් කරන බව ය. ලංකාවේ ජීවත්වන දෙමළ ජනයාගේ අයිතීන්, අභිලාෂයන්, අවශ්‍යතාවයන් හා ඔවුන්ගේ අනාගතය  වැනි සෑම කරුණක් ගැනම අද පවතිනුයේ දුර්මුඛව බොඳ වී ගිය තත්ත්‍වයකි.  දෙමළ ජනයා ජාත්‍යන්තරයේ නොයෙකුත් පාර්ශවයන්ගේත්, අනෙකුත් විරුද්ධවාදීන්ගේත් පා පහරට ලක්ව එකිනෙකා අතර හුවමාරු වන පාපන්දුවක් බඳු ය.

දෙමළ ජනයාද මෙරට මුල් පදිංචිකරුවන්ගෙන් කොටසක් යන්න පැහැදිලි යථාර්තයකි. ඔවුන් බහුතරයක් ලෙස වාසය කල භුමි ප්‍රදේශ පැවතිනි. දෙමළ ජනයාටද අනෙකුත් මුල් පදිංචිකරුවන්ට මෙන් සමාන උරුමයන් වන භාෂාව, සම්ප්‍රදායන්, ජීවන රටාවන් , වාසය කරන ප්‍රදේශ කෙරෙහිවූ ලැදියාව සහ වගවීම ඇති බවට තහවුරු කොට අයිතීන් දිනා ගැනීමේ වෑයමක් කාලාන්තරයක් පුරා තිබිණි. නමුත් අපේ සහෝදර ජාතිය වන සිංහල ජනයා නිරන්තරයෙන්ම අපේ ප්‍රයත්නය කෙරෙහි දැක්වුයේ සැකයකි. එපමණක් නොව, පටු දේශපාලන ලාභ අපේක්‍ෂාවෙන් එම සැකය හොඳින් පවත්වාගෙන යනු ලැබුවේ සිංහල දේශපාලකයන් විසිනි. මේ දේශපාලන බලලෝභීත්වයට මේ වනවිටත් අපි බිලිවී සිටින්නෙමු. අයිතීන් ඉල්ලා නැගී සිටියහොත් ඊට පා පහර එල්ල කරමින් මේ බල ලෝභී දේශපාලනය, ලබාදෙන දෙයකින් සෑහීමකට පත්වන ලෙස ද බලපෑම් කරති. දෙමළ ජනයා සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලැබුණේ මෙවන් යටත් වැසි මානසිකත්වයකි.

අද දවස, දෙමළ ජනයාට යුක්තිය දිනාගැනීමේ සටනේ තීරණාත්මක කඩඉමකි. ඉතිහාසයේ පටන්ම වර්ග සංහාරයකට මුහුණ දෙමින් සිටින අප ජනතාවගේ දුක් වේදනාවන් ලෝකය  හමුවේ තබමින් ජාත්‍යන්තර විමර්ශනයක් මගින් යුක්තිය අපේක්‍ෂාවෙන් සිටින මේ මොහොත ඉතා වැදගත් ය. අප අතර පවතින සියලු විෂමතා පසෙක ලා, පීඩාවට පත් ජාතියක් ලෙසින් එකට බැඳී කටයුතු කිරීමට කදිම අවස්ථාවකි, මෙය.

සිංහල ජනයා‍ට වසන් කළ ඇත්තක්

විශේෂයෙන්ම, අපේ ජනතාව අත්විඳි යතාර්ථය අපගේ සිංහල සහෝදර සහෝදරියන්ට  අවබෝධ කරදෙන මාර්ගයක් ලෙසද මෙම යෝජනාව හැඳින්විය හැකිය. මේ තුළින් ශ්‍රී ලාංකික වැසියන් වන අප බෙදා වෙන්කර දේශපාලන වාසි ලබා ගන්නා දේශපාලඥයින්ගේ වෙස් මුහුණු ඉරා දැමෙනු ඇත. දෙමළ ජනයා මුහුණ දුන් ඉතාමත් කුරිරුකම්, විනාශයන්  ගැන විදේශකයින්ට දැන ගන්නට හැකි මුත්, එ් තරමටම අප රටේ බහුතරය වන සිංහල ජනයාට දැන ගැනීමේ අවස්ථාවන් ලබා දී නොමැත.

දිගින් දිගටම බලයට පත් ආණ්ඩු විසින් කරනු ලැබූ දෙමළ ජන සංහාරය ගැන යුක්තිය සොයමින් සිටින සියලු පාර්ශවයන්ට මෙම යෝජනාව සහයක් වනු ඇත.එමෙන්ම ස්ථිර සාමයක් සහ ජාතින් අතර සහ ජීවනයක් ගොඩනැගීමට ද මේ යෝජනාව වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

යටත්භාවයේ හෙළමින්, අයිතීන් ලබා නොදෙමින්, යුක්තිය ඉටු නොකරමින්, පක්ෂග්‍රාහී පිළිවෙත් මගින් සහජීවනය ඇති කළ නොහැක. එම නිසා යථාර්තයට මුහුණ දීමට සුදානම් කොටස්, ස්ථිර සාමයක් සහ සහජීවනයක් අපේක්‍ෂා කරන පාර්ශවයන්, මානව හිමිකම් ක්‍රියාධරයන් යන සියල්ලෝ මෙම යෝජනාව සාර්ථක කරගැනීමට ඒක විය යුත්තෝය. කිසිදු ජාති ආගම් භේදයකින් තොරව සිංහල සහෝදර සහෝදරියන්ගෙන්ද අප ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මීට පුර්ණ සහාය ලබා දෙන ලෙස ය. මෙය කිසිවෙකුගෙන් පලිගැනීම සඳහා ගෙන එන්නක් නොව, සියලු දෙනාටම නීතියේ සාධාරණත්වය හා යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ගෙනඑන යෝජනාවකි.

ඒ සඳහා වන පළමු පියවර මෙයයි.

දස දහස් ගණන් සංහාරයට ලක් වන විට ඔවුන්ව බේරාගැනීමට අපට නොහැකි විය. එහෙත් ඔවුන් වෙනුවෙන් යුක්තිය හා නීතියේ සාධාරණත්වය ලබා දීමට කටයුතු කිරීම අපේ වගකීමකි.

දෙවන ලෝක මහා සංග්‍රාමයේදී මිනිස් සංහාරයක යෙදුනු බොහෝ දෙනා අදටත් අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියක් තිබේ. කොපමණ කලක් ගතවුවද යුක්තිය ඉටුවන බවට ජනතාව තුළ විශ්වාසයක් පවතී.

ලංකාව තුල සිදු වූ වර්ග සංහාරය ජාත්‍යන්තරය හමුවේ ගෙන යාම වැළැක්වීමට රට තුළ නොයෙකුත් කුමන්ත්‍රණ සිදු විය. නමුත් මෙම යෝජනාව මගින් සැකයකින් තොරවම රට තුළ සිදුවුයේ වර්ග සංහාරයක් බවට ජාත්‍යන්තර නීති රීතීන්ට අනුකූලව පිළිබිඹු කෙරෙනු ඇත. අපත් සහාය ලබා දුන් රජය අපහසුතාවයට පත් කරමින් මෙවන් අවස්ථාවක මෙවන් යෝජනාවක් ගෙන එම පිළිබඳව නොයෙකුත් පාර්ශවයන් ප්‍රශ්න කළ හැකිය. එත් සත්‍යය කථා කිරීමට කාලය විසින් පනවන සීමාවන් අවශ්‍ය නොවන අතර යුක්තිය පසිඳලීමට දිගුකල් ඉවසීමද අවශ්‍ය නොවේ.

රනිල් - රුවන්

ඉකුත් දා රුවන් විජේවර්ධන ඇමතිවරයා හමුදා සෙබළුන් අමතා කියා තිබුනේ උතුරේ හමුදා කඳවුරු ඉවත් නොකරන බවයි. මෙය ඔහුගේ ප්‍රකාශයක් ලෙස මා විශ්වාස නොකරමි. එක්සත් ජාතික පක්‍ෂය කාලයක් හැදින්වුයේ මාමා- බෑණා ගේ පක්‍ෂය ලෙසිනි. එබැවින් මාමාගේ අදහස බෑණා විසින් ප්‍රකාශයට පත් කිරීමක් ලෙසද මෙය හැඳින්විය හැකිය. ජනාධිපතිවරණයෙන් පසුව, කොළඹ පැවති හමුවකදී මාමා වන අගමැති රනිල් පැවසු දේ මට සිහිපත් කළ හැකිය. 'අපි මහානායක හිමිවරුන් හමුවෙලා උතුරු පළාතේ කිසිදු හමුදා කඳවුරක් ඉවත් නොකරන බවට පොරොන්දු වෙනවා'යි විජේවර්ධනගේ මාමා,  ජේ ආර් ජයවර්ධන මෙන් මද සිනහවක් පාමින් කියා සිටියේය. නාහිමිවරුන්ට මෙවැනි පොරොන්දු ලබා දෙමින් ඔවුන්ගේ සිත් සතුටු කරනුයේ මහ මැතිවරණය ජයග්‍රහණය ඉලක්කරගෙන බව මම අවබෝධ කර ගත්තෙමි.

සිදුවන්නට යන්නේ කුමක්දැයි යන්නට මා අවදි වූයේ, විජේවර්ධන විසින් සෙබළුන් අතරට ගොස් ලබාදුන් පොරොන්දුව හේතුවෙනි. ඊට සති කිහිපයකට පෙර නැවත පදිංචිකිරීමේ අමාත්‍ය ස්වාමිනාදන් සමග මා කථා බහ කරනු ලැබුයේ උතුරු වලිකාමම් වල හමුදාවට අවශ්‍ය නොවන ඉඩම් වල ජනතාවට පදිංචි වීමට ඉඩ සලසා දෙන ලෙස ය. හමුදාව සිටින ඉඩම් අක්කර 6500 න් අක්කර 5000 ක් වත් නිදහස් ක‍රන ලෙස මා කළ ඉල්ලීමට ස්වාමිනනාදන් අමාත්‍යවරගේ අනුකුලතාවය පළ විය. එහෙත් විජේවර්ධන ඇමති සිය ප්‍රකාශය මගින් හමුදා සෙබළුන්ට මෙන්ම සිංහල ජනයාට පොරොන්දු වුයේ හමුදා කඳවුරු ඉවත් නොකරන බවය. අනෙක් පැත්තෙන් බැළු විට හමුදාව කඳවුරු  ඉවත් කිරීම,  නැවත පදිංචියට ඉඩ සැලසීම, වැනි පොරොන්දු දෙනු ලබන්නේ දෙමළ ජනතාව වෙනුවෙනි. මේවා ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් දෙනු ලබන පොරොන්දු බව අප හොදින් වටහා ගත යුතු ය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් එක් ප්‍රශ්නයක් අසන්නට මම කැමැත්තෙමි. එළඹෙන මහ මැතිවරණයෙදී දෙමළ ජනයාගේ ඡන්දයෙන් ඔබ ජය ලබා අගමැති වරයා ලෙස කටයුතු කරනු ඇතැයි සිතන්න. එවිට හමුදා කඳවුරු ඉවත් කිරීමට ඔබට ජන්දය ලබා දුන් සිංහල සහෝදර සහෝදරියන් අවස්ථාව ලබා දෙනු ඇත්ද? මෙහිදී සිංහල ජනයා ඔබට කියනු ඇත්තේ  ඔබගේ බෑණා මගින් උතුරේ දී ලබාදුන් හමුදා කඳවුරු ඉවත් නොකිරීමේ පොරොන්දුව නිසා ඔවුන් ජන්දය ලබා දුන් බව ය. එවිට අප දෙසට හැරී  'මා කුමක් කරන්නද? සිංහල ජනයා හමුදාව අඩුකරන්නට හෝ කඳවුරු ඉවත්කරන්නට ඉඩක් දෙන්නේ නැහැනේ'යි වැනි ප්‍රකාශයක් කිරීමට ඔබට එතරම් කලක් ගත නොවනු ඇත. මෙවැනි අත්දැකීම් රැසක් මෑත ඉතිහාසය පුරාම අප ලබා ඇත්තෙමු.

දෙමළ භාෂාවෙන්ද කටයුතු කිරීමේ අවස්ථාව ලබාදෙමින් බණ්ඩාරනායක ගෙන එන ලද ව්‍යවස්ථා සංශෝධනය ඉරාදමන ලෙස රොස්මිඩ් පෙදෙසේ ඔහුගේ නිවෙස ඉදිරිපිට රැස්වූ දෙසීයක් පමණ බෞද්ධ භික්ෂූහු කියා සිටියහ. බණ්ඩාරනායකට එය ඉරාදැමීමට සිදු වුයේ 'සිංහල පමණක්'යන පොරොන්දු ඔහු විසින් ලබාදී තිබීම ය. මේ මොහොත අපව තව දුරටත් රවටනු පිණිස කුමන්ත්‍රණය කරනු ලබන අවස්ථාවකි.

නිශා බිස්වාල්ගේ ඉල්ලීම

ඇමෙරිකාවේ සහයෝගය ඇතුව බලයට පත් ආණ්ඩුවක් නිසා එක්සත් ජනපදය නව රජයට අනුග්‍රහ දක්වන බව මට වැටහුනේ  අමෙරිකාවෙන් පැමිණි නිශා බිස්වාල් හමුවීමෙන් පසුව ය. ජිනීවා මානව හිමිකම් සමුළුවට මාර්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිත යුධ අපරාධ විමර්ශන වාර්තාව කල්දමා ගැනීම  අමෙරිකාවේද අපේක්‍ෂාව වනු ඇත. ඒ තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ මේ ආණ්ඩුව නැවත බලයට ගෙන ඒමට ය. මෙහිදී දෙමළ ජාතික සන්ධානයේ නායකයින් කියාසිටියේ  නියමිත පරිදි විමර්ශන වාර්තාව ඉදිරිපත් කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව ය. විමර්ශන වාර්තාව මාර්තුවේදී ඉදිරිපත් කිරීම ගැන බිස්වාල්ගේ යහපත් ප්‍රතිචාරයක් නොවුණි. එය කල්දමා ගැනීම තුළින් ආණ්ඩුවට සිංහල ජන්ද ලබා ගත හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. එහෙත් අප පෙන්වා දෙනු ලැබුයේ විමර්ශන වාර්තාව කල් දැමීම තුළින් දෙමළ ජනයා සිය ඡන්දය වර්ජනය කළහොත් ඇතිවන තත්වය කුමක්ද යන්න ය.

මෙපමණ විනාශයක් සිදුව තිබියදීත් දේශපාලඥයින් උත්සාහ කරනුයේ තමන්ගේ සුපුරුදු සූදු කෙළියෙහි යෙදීමට ය.

මම, නව ආණ්ඩුවෙන් ප්‍රශ්න කිහිපයක් අසන්නට කැමැත්තෙමි. මෙතෙක් කල දෙමළ ජනයා මුහුණ දුන් ප්‍රශ්න මෙන්ම සංහාරයන් පිළිබඳව සිංහල ජනයාට පැහැදිලි කරමින්, උතුරු නැගෙනහිර හමුදා කඳවුරු කේන්ද්‍රීය ස්ථාන වල පමණක් පිහිටුවන බවත්, අනෙකුත් කඳවුරු ඉවත් කරන බවත්, වැඩිපුර සිටින හමුදා පිරිස් සාමාන්‍ය ජීවිතයට යොමු කරන බවත් ප්‍රකාශ කොට නව දේශපාලන  සංස්කෘතියක් ගොඩනගන්න කටයුතු කරන්න බැරි ඇයි? උතුරු දකුණු යා කරමින් කටයුතු කරනවා යැයි කිව ජනාධිපතිවරයා ඉතා පහත් පෙළේ කුහක පිළිවෙත්වලට යට වී සිටිනුයේ ඇයි?

මේ ප්‍රශ්නයම අගමැති රනිල් ගෙන් විමසන්නට මම කැමැත්තෙමි. රැවටීම දේශපාලන සංස්කෘතිය ලෙස තවදුරටත් පෝෂණය නොකොට ජනතාවට යථාර්තය අවබෝධ කොට දී උසස් දේශපාලන සංස්කෘතියකට මුල පිරීමට ඔබට නොහැකි වී ඇත්තේ ඇයි?

මේ යෝජනාව මගින් දෙමළ ජනයාගේ ඉරණම පිළිබඳව සිංහල ජනයාට අවබෝධයක් ලබා දෙනු ඇත. හමුදා කඳවුරු ඉවත් නොකළහොත්, නිසිකලට ජිනීවා විමර්ශන වාර්තාව ඉදිරිපත් නොකළහොත් දෙමළ ජනයා මුහුණ දෙන තත්ත්වය කෙබඳුද යන්න මින් පෙන්නුම් කරනු ඇත.☐

©  JDS