අචින්තාව: ජයපාලන් සමඟ දැන් හිටගන්නේ කවුද?

රෝසා ලක්සම්බුර්ග් සිය ‘රුසියානු විප්ලවය‘ කෘතියේ නිදහස ගැන ලියන්නේ, 'තථ්‍ය වූ නිදහස යනු හැමවිටම සහ විශේෂයෙන්ම වෙනස් ලෙස සිතන්නාට ඇති නිදහස විය යුතු බව'යි. 'සංඛ්‍යාත්මකව කෙතරම් විශාල වුවද, ආණ්ඩුවේ ආධාරකරුවන්ට හෝ පක්‍ෂයේ සාමාජිකයන්ට පමණක් හිමි නිදහස කිසිසේත්ම නිදහසක් නොවේ' යැයි ඇය ලියයි. මන්ද යත් වෙනස් ආකාරයේ සිතීම් සියල්ලන්ටම මෙකී නිදහස විසින් මඟ අවුරා ඇති බැවිනි.

ලාංකීය සන්දර්භය තුළම සරළ නිදසුනක් ගතහොත් මෙබඳු ය. 2009 වසරේ වෙසක් මාසයේ දස දහස් සංඛ්‍යාත දෙමළ ජනයා ඝාතනය  හරහා සිද්ධ වූ දේ, යුද ජයග්‍රහණයකැයි කියන්නට සමාජය සතු නිදහස,  'නිදහස' නොවේ. නිදහස වනාහි,  එය යුද ජයග්‍රහණයක් නොවන බවට පවසන්නට ඇති හැකියාව ආරක්ෂා වීම ය. ඒ අනුව 2009න් පසු ‘නිදහස ලැබී ඇතැ'යි පැවසෙන ‘නිදහස් වටපිටාවක‘ , ඒ නිදහස ලැබූයේ කවුරුන්ද යන්න සොයා බැලීම වැදගත් වන්නේ‍, එබැවිනි. ඒ නිදහස ලැබුණේ කාටදැයි විමසා බැලීම දේශපාලනික වන්නේ ද එබැවිනි.

‘රාජපක්ෂ වහ පාලනයෙන්' හෙවත් 'මහින්ද චින්තනයෙන්' පිටුවහල් කෙරුණු ව.අයි.ස. ජයපාලන් කවියාට ‘සිරිසේන යහපාලනයෙන්‘ නෙහොත් ‘මෛත්‍රී යුගයෙන්‘ යළි සිය රට ඒමට මඟ අවුරා ඇත්තේ ඇයි? ඉහත පසු බිම යටතේ, මෙම ලිපිය තුළ අවධාණයට ලක් කෙරෙන්නේ මෙම කේන්ද්‍රීය ප්‍රශ්නයයි. 

වන්නියනාදර් අයියම්පිල්ලෛ ෂන්මුගම්පිල්ලෛ ජෙයපාලන් හෙවත් ව.අයි.ස. ජයපාලන් ආශ්‍රිතව මෑතකම පැන නැඟුණු සිද්ධිය සැකෙවින් මෙබඳු ය. ඔහුගේ කෙටි නවකතා තුනක සිංහල පරිවර්ථන, යාපනය විශ්ව විද්‍යලයේ වාග්විද්‍යා අංශයේ ආචාර්ය, එමෙන් ම ප්‍රකට කවියකු හා පරිවර්ථකයකු වන සාමිනාදන් විමල් විසින් ‘සෙක්කු ගොනා‘ නමින් සිංහලට පරිවර්ථනය කරනු ලැබ එය ජනගත කිරීමට නියමිතව තිබිණ. ඒ නොවැම්බර් මස 29වැනි දා ය. මෙය සංවිධානය කෙරී තිබුණු තැන, එම්. නුහුමාන් කවියාට අනුව සිංහලුන් විසින් බුදුන්ගේ ශ්‍රී දේහය ගිනිතැබුණා වූ යාපනය පුස්තාලකාල පරිශ්‍රය යි.

ජයපාලන්ගේ පොත සමඟ ම ප්‍රකට සිංහල සාහිත්‍යකරුවකු වන උපුල් ශාන්ත සන්නස්ගලගේ ‘අම්මා‘ නවකතාව ද ආචාර්ය සාමිනාදන් විසින් දෙමළට නඟන ලදුව ජනගත කිරීම සිදුකිරීමට නියමිතව තිබිණ. මෙම සාහිත්‍යමය කටයුත්තට සහභාගී වනු පිණිස ජයපාලන් වීසා අයදුම් කරන ලද්දේ නොවැම්බර් 23 වැනිදා ය. ඒ අන්තර් ජාලය ඔස්සේ සපයා ඇති ඉලෙක්ට්‍රොනික වීසා අවසර පතක් (Electronic Travel Authorization - ETA) ලබා ගැනීමේ පහසුකම යටතේ ය. (මේ සම්බන්ධයෙන් හුවමාරු වූ සියළු ලිපි ලේඛනවල පිටපත් අප සතුව ඇති බව පළමුව කිව යුතු ය.) චෙන්නායි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියෙහි අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු අවසාන කාල සීමාවක් දක්වා නැති අතර, යමෙකුට වීසා බලපතක් අවසාන විනාඩියේදී වුව (last minute visa) අයැදුම් කිරීමේ පහසුකම් ලංකාවට ගොඩ බැසීමේදී ඇති බවද එහි දක්වා තිබේ. නමුත් ජයපාලන්ගේ වීසා අයැදුම්පත ප්‍රතික්‍ෂේප කෙරුණු බවට ඊ මේලයක් ඔහුට ලැබිණ. එහි දක්වා ඇත්තේ, 'අපගේ වාර්තාවන්ට අනුව ඔබට ශ්‍රී ලංකාව සඳහා නේවාසික වීසා බල පත්‍රයක් ඇති හෙයින් එහි වලංගු කාලය අවසන් වන තෙක් ඔබේ අයැදුම් පත සළකා බැලිය නොහැකි බව' ය. 

ශ්‍රී ලංකාවේ උපන් දෙමළ කවියෙකු වන තමා නෝර්වීජියානු පුරවැසියෙකු බවත්, දෙවසරකට පෙර ආරක්‍ෂක ලේකම්වරයාගේ අණින් තමා ලංකාවෙන් පිටුවහල් කෙරුණු බවත් මහ කොමසාරිස් කාර්යාලයට දන්වා සිටි ජයපාලන් තම ගැටළුවට විසඳුමක් ලබා දෙන මෙන් 24 වැනිදා ලිඛිතව ඉල්ලා සිටියේය. නමුත් පිළිතුරක් නොලැබිණ. නොවැම්බර් 27 වැනිදා, යළිත් මහ කොමසාරිස්වරයාට ඊ මේල් පණිවුඩයක් මගින් සිය ගැටළුව දන්වා සිටි ජයපාලන්, තමාට ශ්‍රී ලංකාව සඳහා නේවාසික වීසා බල පත්‍රයක් නැති බවත්, නීත්‍යානුකූල වීසා බලපතක් ලබාගෙන 2013 දී ලංකාවට පැමිණි තමා රටින් නෙරපා හරිනු ලැබූ බවත්, සිය මව මිහිදන් කළ ස්ථානයට යෑමට හා හිත මිතුරන් හමුවීමට ඉඩ සැළසෙන සේ කළ යුතු දේ පිළිබඳ උපදෙස් පැතීය. ඊට ද පිළිතුරක් ‍නොලැබිණ.

කෙසේ හෝ අවසානයේ උපුල් ශාන්ත සන්නස්ගල නම් සිංහල සාහිත්‍යකරුවාගේ සහභාගීත්වයෙන් යුතුව, ව. අයි. ස. ජයපාලන් නම් දෙමළ සාහිත්‍යකරුවාගේ සහභාගීත්වයකින් තොරව මෙම ‘පරිවර්ථනමය‘ සාහිත්‍යමය කටයුත්ත යාපනය පුස්තකාල පරිශ්‍රයේ දී සිදු කෙරිණ.

මෙම සිද්ධිය පසුබිමේ තබාගෙන මම ඔබෙන් මෙසේ විමසමි. තවමත් ජයපාලන් පිළිබඳ සීමාව සළකුණු වන්නේ ඔහුගේ නෝර්වීජියානු පුරවැසිභාවය මත ද? යාපනයේ සිදුවූ සිද්ධිය, ලක්සම්බර්ගියානු ‘නිදහස වර නැඟීම‘ සමඟ සැසඳීම පසෙක තබා ජයපාලන් සිද්ධියට වෙනත් ප්‍රවේශයක් ලබා ගැනීමට මෙතැන් සිට මා ක්‍රියා කරන්නේ සැබැවින්ම එහි එවන් පසුබිමක් ද  තිබෙනා බැවිනි.

ජයපාලන් ‘කවියා‘ යනු 'සිංහල රජයේ හමුදාව' විසින් අතුරුදහන් කර ඇති පුදුවෛ ඉරත්තිනතුරෛ කවියා මෙන් කොටි සංවිධානයේ සාමාජිකයකු නොවේ. පුදුවෛ රත්තිනතුරෙට සිදුවූ දෙයට යහපාලනයෙන්වත් පිළිතුරක් නැතිවද එය විමසන කිසිවකු පවා නැත්තේ ඔහුගේ 'කොටි' සාමාජික හැඳුනම්පත නිසා වන්නට පිළිවන. ජයපාලන් අවම වශයෙන් කොටි සංවිධානයේ සංස්කෘතික අංශයටවත් සම්බන්ධයක් තිබූ සාහිත්‍යකරුවකු ද නොවේ. ඔහු අවිවාදයෙන්ම ප්‍රගතිහීලී මත දරන, දෙමළ ජාතිකවාදියෙකි. තමන්ගේ ජනයාගේ උස් නිදහස වෙනුවෙන් අභීතව පෙනී සිටිනා බැවින් ම, ඔහු සිංහල සහ මුස්ලිම් ජනයාගේ අයිතිය වෙනුවෙනුත් ද විවෘතව පෙනී සිටි බව ඉතිහාසය හදාරා ඇත්තෝ දනිති. නමුත් ඇතැම් ‘වාමාංශික සහෝදරයන්' ජයපාලන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඔහුගේ මෙම සිංහල සහ මුස්ලිම් සහෘදභාවය හේතුවෙන් නම් ඒ වනාහී තමන්ගේ අත ඇති කුර්තාවේ තරමට ජයපාලන් කපා ගැනීමකි. සැබෑ ලෙසම ජයපාලන් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් පෙනී සිටිය යුත්තේ 'නිදහස' පිළිබඳ ඔහු තුළ ඇති නොසංසිඳෙන අභිලාෂයට ගරු කිරීමක් වශයෙනි.

සියලු වර්ගයේ  කුලවාදයන් පරාජය කිරීමට සමත් වූ විධිමත් විමුක්ති ව්‍යාපාරයක් පැන නැඟෙන්නට කලියෙන් දෙමළ ජනතාව අතර තිබූ කුඩ පීඩනයට එරෙහිව නැඟි සිටියවුන් අතර ජයපාලන් ප්‍රමුඛ‍යෙකු විය. ඉදින් තමන් ඉඳුරා එරෙහි වූ එවැනි වැඩවසම් බන්ධනයන් විසුණු කොට දැමූ අරගලයක් විසින් පසු කාලීනව අත්පත් කර ගැනුණු සද්භාවයන් සම්බන්ධව ජයපාලන් තුළ ප්‍රසාදයක් වී නම් එහි ඇත්තේ කවර වරදක්ද?  තවමත් දෙමළ ජනතා නිදහස සහ විමුක්තිය වෙනුවෙන්  දෙමළ ජනතාව කෙතරම් පක්ෂපාතීදැයි නොපෙනෙන්නේ 'යුද ජය අපේ ජයක් යැයි' දෙමළුන් ද කල්පනා කරන බව උපකල්පනය කරන්නන්ට පමණි. කොටි සංවිධානය මුළුමනින්ම අතුගා දැමී යැයි කියා වසර හයක් ගෙවුණු පසුත් නිදහස වෙනුවෙන් දිවි පිදූවන් සැමරීමට දෙමළ ජනතාවට ඇති උවමනාව විසින් පෙන්නුම් කෙරෙන්නේ ඒ ‘නිදහස' ගැන ඔවුන් කෙරෙහි වන අමරණීය අභිලාෂයයි. නිදහස සඳහා ඇති එකී සමස්ත දෙමළ අභිලාෂයට ජයපාලන්ද ඇතුළත්ව සිටීම නිරායාසකර සංසිද්ධියකි. ඔහු කෙතරම් පැහැදිලිව එය කියන්නේද යන්න ඔහුව ඇසුරු නොකළද, ඔහුගේ කවිය පමණක් හෝ ඇසුරු කර ඇති සියල්ලෝම දනිති.  තමන්ගේ නිජභූමිය ගැන ඔහු තුළ වන ලලාසාව අප හදවතක් වේදනාවෙන් අවළුවාලයි. මෙබඳු ය:

"විජයග්‍රාහකයාගේ ගීතය
දසතින්  නැගී එයි.
එහි උත්කර්ෂය කෙළ පිඩක් මෙන්
අප මුහුණු මත පතිත වෙයි.
එහෙත් ඔවුහු තාමත් භීතියෙනි.
මක් නිසාද යත් යුක්ති සහගත බවේ සන්නාහය
ඔවුන් සතුව නොමැති බැවිනි"

(පරාජිතයන්ගේ ගීතය)

ජයපාලන් වනාහී සැබෑ ලෙසම දෙමළ ජනතා පීඩනයට එරෙහිව දෙමළ සමාජය තුළින්ම මතුවුණු දේශපාලන කවියෙකි.  නමුත් ඔහුගේ නිර්මා‍ණ හුදු ප්‍රවණතාත්මක සීමාවන් සමතික්‍රමණය කරමින් සදාතනික වූත්, විශ්වීය වූත් මානව සංවේදනාවන් ප්‍රතීයමාන කරන්නේ වෙයි.  ඔහුගේ සමස්ත කවියේ සන්දර්භය දෙමළ ජාතික විමුක්තිය නියෝජනය කරයි.  මා කල්පනා කරන ආකාරයට ඔහු කවිය දෙමළ විමුක්ති අරගලයද සමතික්‍රමණය කරමින් පීඩාවට එරෙහිව නැඟී සිටින සමස්ත පීඩිතයාගේ සන්තානය නියෝජනය කරයි.  කිසිවෙක් ඔහුව අගය කරනවා නම් ඔහුගේ කවියේ සන්දර්භය ද අගය කළ යුතු වන්නේ එබැවිනි.

ජයපාලන් ‘71 අරගලය‘ගැනද, '80 වැඩ වර්ජනය ගැනද  කවි ලියූ බව ඇත්තකි. ජයපාලන් මුස්ලිම් ප්‍රජාව ගැන සහෝදරත්වයෙන් කවි ලියූ බව ද ඇත්තකි. නමුත් ජයපාලන් අපට වැදගත් වන්නේ එසේ සිංහල හා මුස්ලිම් සහෝදරත්වය වෙනුවෙන් කවි ලී නිසාද? මේ සියල්ලටමත් වඩා, ජයපාලන් වැදගත් වන්නේ පීඩිත දෙමළ ප්‍රජාවගේ කටහඬ මුළුමනින්ම නියෝජනය කළ බැවිනි.

ජයපාලන්ගේ වීසා අයැදුම් පත්‍රය ප්‍රතික්‍ෂේප කිරීම ජනමාධ්‍ය හරහා සමාජගත වීමත් සමඟ ම, අවසානයේ ඊට රටේ විදේශ ඇමතිවරයාගේ අවධානය යොමුවූ බවක් කියැවුණි. කෙසේ හෝ ඉන් අනතුරුව ජයපාලන්ට දුරකතනයෙන් ඇමතූ චෙන්නායි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉහළම නිලයක් දරණ නිලධාරියකු සිදු වූ දෙය ගැන කණගාටුව ප්‍රකාශ කරමින්ම ‍ඔහුට පවසා ඇත්තේ යළි වීසා අයදුම්පතක් යොමු කරන ලෙස ය.  එසේ නම් ඔහුගේ පළමු අයදුම් පත ප්‍රතික්‍ෂේප කළ සැබෑ හේතුව කුමක්ද? වීසා ලබා දීම ප්‍රතික්‍ෂේප කරමින් මෙම මහ කොමසාරිස් කාර්යාලය නින්දාසහගත ලෙස, ව්‍යාංගාර්ථයක් සහිතවද, සෝපාහසයෙන් ඔහුට ලියා දන්වා තිබුණේ දැනටමත් ‘නේවාසික වීසා‘ ඇති බැවින් මෙම අයැදුම් පත ප්‍රතික්‍ෂේප කරන බවයි. ඒ ගැන ජයපාලන්ගේ ම උත්ප්‍රාසයෙන් පවසන්නේ නම් මෙසේ ය: ‘ ‘ඔවුන් මට උපහාසාත්මකව කියලා එවලා තිබුණා මට දැනටමත් නේවාසික වීසා තියෙනවා කියලා.‘‘

නමුත් මෙම ව්‍යාජ හේතුව නොව, ජයපාලන්ගේ වීසා අයදුම ප්‍රතික්‍ෂේප වූ සැබෑ හේතුව කියැවී ඇත්තේ ඉහත නිලධාරියාගේ ඇමතුම මඟිනි.  එනම් ජයපාලන්ගේ ගමන් බලපත්‍රය අසාදු ලේඛනයට (black list) ඇතුල් කර ඇති බවයි. ජයපාලන්ට ලංකාවට එන්න යැයි කියන විදේශ ඇමතිවරයා මුලින් ක‍ළ යුත්තේ අතවැසි ජනමාධ්‍ය පිනවීම නොව, ජයපාලන් නාමය පැරැණි අසාදු ලේඛනයන්ගෙන් තුරන් කිරීමට ක්‍රියාකිරීමයි. අනතුරුව ඔහු සතු විනැයි පැවසෙන 'නේවාසික වීසා' අවසරය සත්‍ය ලෙසම ඔහුගේ ගමන් බලපත්‍රය තුළ මුද්‍රා කිරීමයි. නමුත් මේ කිසිවක් තවමත් සිදුවී නැත.

නෝර්වේ හෝ ඉන්දියාව කොයි කවරදාකවත් පුද්ගලයකු ලෙස ඔහුගේ ස්ථිර නිවහන වූයේ නැත. ඔහු අධ්‍යාත්මිකව සැරිසැරුයේ ඔහු කුඩාකල සිට ඇවිද ගිය ගම් නියම් ගම්වල ය. ඔහුගේ අධ්‍යාත්මික ජීවිතය කෙරෙන් නැඟ ආ කාව්‍ය සංවේදනාවන්  භෞතිකව හිටගත්තේ දෙමළ ජනයාගේ ජීවත්වීමේ නිදහස වෙනුවෙනි. එවන් මිනිසෙකු ඉන්දීය නළුවකු කළ, නෝර්වේජියානු කවියකු කළ, ඩයස්පෝරා පිල්ලියක් කළ, කොටි ඒජන්තයෙක් කළ අධිපති මාධ්‍ය සංස්කෘතිය අබියස මා පැවසූ ‘ජයපාලන් දන්නැති රටක සිංහලෙන් කවි ලියන්නකු වීමේ ලැජ්ජාව" තවමත් එසේම ය.  නිලාර් එන්. කාසිම් විසින් ලියැවී වසර 2000දී මුද්‍රණයෙන් එළිදුටු ‘දමිළ කවියෙහි ශ්‍රී ලාංකික සලකුණ, ජයපාලන්' නම් වූ කෘතියේ පවා ශ්‍රී ලංකාවේ ජීවත්වීමම හැරුණු කොට යුරෝපයේ හෝ අන් තැනක ස්ථිර වාසස්ථානයක් ගොඩනඟාගැනීම ගැන ඔහු ගුළ පැවති අස්ථිරභාවය පැහැදිලිවම සඳහන්ව ඇත. නෝර්වේජියානු පුරවැසිභාවය තිබුණද ඔහු වැඩිපුරම ගත කළේ සහ ගතකරන්නේ ඉන්දියාවේ බව ඔහු ගැන දන්නා සියල්ලෝ දනිති. ඔහුගේ නිර්මාණ දකුණු ඉන්දියාවේ පෙළ පොත් අතර පවා නිර්දේශයන් ය. ඔහු එහි ප්‍රකට හා සම්මානනීය රංගවේදියෙකි. ඒත් ඔහු ‘නළුකම‘ කරන්නේ දෛනික විය හියදම් සොයා ගැනීමට පමණක් බව දන්නේ ඔහු ළඟින් ඇසුරු කරන අතලොස්සක් දෙනා පමණි. ඔහුගේ කැමැත්ත ඇත්තේ අතීතය පුරා ඔහු කරක්ගැසූ භූමියේ සැරසරමින් 'ජීවිතය ලිවීම' බව අප කතා කළ ඈත දවසක ඔහු මට පවසද්දී මම සැලී ගියෙමි. නොවටිනා ‘පුරවැසි' ප්‍රශ්නයකට මුහුණ දී සිටින්නේ මෙවන් මිනිසෙකි. තමන්ගේම මව්බිමේ, තම සනුහරයට ම අයත් බිම් වපසරියක සැතපෙන තමන්ගේ ම මව්ගේ සොහොනට එන්නට 'නිල' අවසර නොලත් 'නිල' කවියකුගේ ඉරණම මෙබඳු ය. ඔහු අම්මාගේ මළගම ගැන දුක්වූ අයුරු වෙනම වේදනාබර කතාවකි. ඉන් අල්පමාත්‍රයක් ගැබ් කොට ‍ඔහු අම්මා වෙනුවෙන් ලියූ කවිය ඇරඹෙන්නේ මෙලෙසිනි:

"එන්න බැරිවිණ
අම්මෙ මට

ඔය නිසසල සිරුර
සිපගන්න පෙර ගින්දර
සිප ගන්න මට ඔබ......!"

(එන්න බැරිවිණ අම්මේ)

2013 නොවැම්බර් මස ජයපාලන් අත් අඩංගුවට ගැනුණේ මළගමට යන්නට බැරිවුණු අම්මාගේ  සොහොන් කොතවත් දැක ගැනීමේ නොතිත් සංවේගයෙන් මාන්කුලම වෙත යමින් සිටියදී ය. එක් වතාවක් ස්වයං පිටුවහලේ සිටි මිනිසකු දෙවැනි වතාවේ රටින් පිටුවහල් කිරීමට බලපෑ හේතු තුනක් ඇත. ඉන් දෙකක් ප්‍රකට ය. ඔහුව අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරින් පවසා සිටි අන්ධභූත හේතුව වූයේ  ජයපාලන් දෙමළ ප්‍රජාව ඇතර මෙන්ම මුස්ලිම් ප්‍රජාව සහ සිංහල රැඩිකල්වාදීන් අතර ජනප්‍රිය බැවින් මේ ජාතීන් අතර එය සහජීවනයට බාධාවක් වන බවයි. දෙවැනි හේතුව ඍජුවම ඔහුගේ නෝර්වේජියානු පුරවැසිභාවය නිසා හටගත්තකි. එනම්, ජයපාලන් නෝර්වේජියානු එරික් සෝල්හයිම් සමඟ එකතුව ලංකාවේ කීර්ති නාමය කෙ‍ළෙසීමට වැඩ කළා යන්න යි. මෙම ජනප්‍රිය හේතුදෙක මෙන් නොව, රාජතාන්ත්‍රිකයන් අතර පවා ප්‍රකට තුන්වැනි හේතුව පොදු ජනතාව අතර අප්‍රකට ය.

ජයපාලන්ගේ අම්මාගේ සොහොන ද සහිත මාන්කුලම් ආසන්නයේ ඇති ජයපාලන්ට සහ ඇගේ සොහොයුරියට හිමිකම් ඇති භූමි වපසරියෙන් වැඩි පංගුවක් හමුදාව විසින් අත්පත් කරගෙන සිටීම මෙම අප්‍රකට හේතුවයි. දැනටත් එය ඉඩම භුක්තිවිඳින්නේ සිංහල සොල්දාදුවන් විසිනි.  එබැවින් එහි හෙබැවෙන්නේ හමුදා නීතිය යි. ජයපාලන්ට අම්මාගේ සොහොනට ආචාර කිරීමට නොලැබීමටත්, ඔහුව හදසියේ පිටුවහල් කිරීමටත් ඇත්ත හේතුව ඇත්තේ එහි ය.  මෙම අත් අඩංගුවට පත්වීම මාන්කුලමට යමින් සිටියදී සිද්ධ වූ අතර  ගෝඨාභය රාජපක්ෂ ඍජුවම ඊට සම්බන්ධ වී තිබේ.  ඔහු තම අනුචරයෙකු අත සුපුරුදු 'චණ්ඩිකමෙන්' ජයපාලන්ට දැනුම් දී ඇත්තේ වහාම 'කේ.පී.' හමුවන ලෙසට ය.  ජයපාලන්  අබියසට පැමිණියවුන් ඒ වන විට වවුනියාවට නුදුරේ නැවති සිටි කුමාරන් පද්මනාදන් හමුවන්නට තමන් සමඟ පැමිණෙන ලෙසට දන්වා ඇති නමුත් ජයපාලන් විසින් මෙම නිර්ලජ්ජිත යෝජනාව තරයේ ම ප්‍රතික්‍ෂේප කරනු ලැබුණි. ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඔහු අත්අඩංගුවට ගනු ලබන්නේ හරියටම මෙම ප්‍රතික්‍ෂේපයෙන් විනාඩි 45ක් ඉක්ම යන්ට පෙර ය.  ජයපාලන් පිටුවහල් කිරීමේ නාටකය මින් පැහැදිලි වි යුතු ය.

ජයපාලන්ගේ සියරට පැමිණීම තවදුරටත් වැළැක්විය යුත්තේ මෙම 'ගෝඨාභයමය චර්යාව' තවදුරටත් පවත්වාගෙන යන ආණ්ඩුවකට පමණි. පැහැරගත් දෙමළ ජනතාව සතු ඉඩකඩම් ජාතික ආරක්ෂාවේ සළුපිළිවලින් වසා  තවදුරටත් භුක්ති විඳින නින්දා සහගත සිංහලයන්ට පමණි. එවන් ආණ්ඩුවක් ‘යහපාලනයක්‘ ගෙන යතැයි කීම මොන අර්ථයෙවන් ගත්ත ද මාරාන්තික ලෙස සෝපහසය දනවන්නක‍් බව අවධාරණය කළ යුතු ය. ‍

මෙම සිද්ධියෙන් පසුවද මම ජයපාලන්ට කතා කළෙමි.  සියරට නිදහසේ කරක්ගසමින් අතීතය පිටු අතරට ගොනු කිරීමේ ලලාසාව තවමත් එසේ ම ය. මවගේ සොහොනයට යාමේ වේදනාබර අපේක්‍ෂාවද හතවතේ තිබූ තැනම ය. එපමණක් නොව, දැනටමත් බොහෝ සේ කතිකා කරගෙන ඇති පරිදි, සිනමාවේදී ප්‍රසන්න විතානගේ සමඟ සිනමා කෘතියක් නිර්මාණය කිරීමේ නිර්මා‍ණ පිපාසයකින්ද ඔහු පෙළේ. ඒ සියල්ල එසේ තිබියදී වුව ජයපාලන් අවසාන වශයෙන් මට පවසා සිටි දෑ මම ඔහුගේ ම වචනයෙන් මෙසේ සටහන් කරමි:

"මට ලංකාවට එන්නට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතු වන්නේ සිංහල සාහිත‍්‍යකරුවන්, කලාකරුවන් සහ ප්‍රගතිශීලී සිංහල සිවිල් සමාජ ක්‍රියාකාරීන්.  ඔවුන් ඒ වෙනුවෙන් ක්‍රියා නොකරන්නේ නම් එහි අර්ථය 'දෙමළා' පිළිබඳ වන ආකල්පය තව දුරටත් දකුණේ සිංහල සමාජයෙන් දුරු වී නැති බවයි. එහෙම රටකට මං ඇවිත් වැඩක් නෑ. මං ජීවිතේ ඉතුරු කාලෙත් කොහේ හරි තැනක ගෙවලා දානවා.  මාව ලංකාවට ගෙන්වීමේ දොරටුව අරින්න පුළුවන් යතුර තියෙන්නේ මා පෙර සඳහන් කළ සහෝදර සිංහලයන් අතේ පමණයි".

එපමණකි.

මංජුල වෙඩිවර්ධන


© JDS