අසිරිමත් උදෑසන

කො

ළ හැලුණු ඉති අග
මල් පුබුදුවනු බැරි වුව
ඉපල් සෙවණක් වුවද සෑහේ
ඉරි තැළුණු බිම මත
ළා දලු පුබුදුවන්නට...

අනෝරා වැසි වැස
සූරා මහපොළෝ හදවත
උදුරා රැගෙන ගිය සාරය
රැකගෙන හිඳී ඈ
සඟවා කලල් අතරෙහි...

සිඳුණු වෑ පිටියෙහි
පැළිවළං පැළී ගිය ළය මත
කැටි කොටැ නිදන් කර
මළා සේ වැතිරී හිඳී ඈ...

දරාගෙන සැඩ තාප
අහසට යවා දිය බිඳු
වලාකුළු සමඟ රහසේ
මන්ත්‍රණ කරයි ඈ
අනෝරා වැසි නොව
පොද වැසි රැගෙන එන ලෙස...

ඉවුරේ හිඳී ඔහු
ඉපල් සේ වෙස්වළාගෙන
පපුතුරෙහි දරා ජීවය...

අඳුරෙහි වැටුණු පොද වැහි
දැනෙන නොදැනෙන පදමට
කොඳුරා රහස් පණිවුඩ
අවදිකරවයි ජීව අංකුර

ඉපල් සෙවණක් වුවද සෑහේ
ඉරි තැළුණු බිම් මත
ළා දලු පුබුදුවන්නට...

දවසක උදෑසන
හරිත තණ පලස මත
දහසක් මල් පිපී ඇත!
පමා වී අවදි වූ ලොව
දසතින් නැඟේ පිළිරැව්
"කිමද මේ එක රැයෙක අසිරිය..!"

මඳ සිනා නඟයි ඈ
මඳ සිනා නඟයි ඔහු...!

 

ජයසිරි ජයසේකර


© JDS