ඒ මතක මව්බිම


සි

තියම් පොතක පිටුවක
ගණ ලේ තිතකි සයුරේ
මැදියම් රැයක සිහිනෙක
සසැලී දුකින් ඇහැරේ

සාගිනි සිංහ ජය දද
යට ළතැවුලින් වට වී
නිල්වන් සයුරු රළ මැද
මට මව්බිමක් තිබුණි

දුක් වනවදුලු පීරා
හිස් ළයමඩල කණිමි
සුමිතුරු මතක ඇටකටු
වැළලූ තැනක් සොයමි

දුහුවිලි නැගෙන මංවල
දුහුවිලි මතක විසිරේ
දුහුවිලි වැසුණු මව්බිම
දුහුවිලි යටම වැතිරේ

මෝසම් සමය කාලෙට
තාමත් රෑට පාලුද?
සෝබර අඳුර විනිවිද
හාමත් කුරුළු ගී වෙද?

මෘදු වැසි වැටෙන රෑ මැද
දුක් දිය කඳුරු ඉතිරේ
තුඟු මතකයන් කඳු මෙනි
කඳු සැඩ නලින් නොසැලේ

වෙඩි වැද වැටුණු මිතුරනි
හදවත ඔබේ සොහොන ය
දිවි විඳ නිවුණු සොයුරනි
මදහස සදා නිවන ය

දැන් රෑ අඳුර ඇවිදින්
තරුවෙන් තරුව දිස්වේ
නන්නාඳුනන සුළඟින්
දුක් දිවි බඳුන හිස් වේ

හදවත, මතක චිතකය
චිතකය තුළම දැවෙමි
මතකය මගේ මව්බිම
මතකය තුළම නිවෙමි

 

රෝහිත භාෂණ අබේවර්ධන


© JDS