මගේ නොවැම්බරය

 

(උතුරේ හා දකුණේදී සිහිපත් කෙරෙන මගේ මිතුරන් පිළිබඳ මතකයෙනි.)

දුල් සරා සඳින් මිදී
මව් කිරෙන් පෙඟී
නිල් වළා විමානයෙන්
රැස් ගලා බසී
ඒ රැසින් පෙරා පෙවූ
මව් ඇකෙන් වැටී
නිම් වළල්ල මායිමෙන්
දූ පුතුන් නිදී...

සිත් අහස් ගඟේ මැදින්
රැල් නගා බිඳී
නිම් තෙරේ ඔබේ සිනා
රැව් දිදී වදී
දුක් වියෝ ළසෝ තැවුල්
කාටවත් නොදී
සෝ සුසුම් දරා ළයේ
සෝයුරන් නිදී...

සීතලෙන් හමා ඇදේ
රෑ සුළං රැළී
මේ නොවැම්බරෙත් හදේ
වාලුකාවකි
ආදරේ මිසක් ඔබේ
නෑ කිසිත් නැතී
තාරුකා නිවා ළයේ
යාලුවන් නිදී...


රෝහිත භාෂණ අබේවර්ධන


© JDS