සුදු ඉරක මුණිවත

 

තාර පාරක සුදු ඉරක් යට
කතන්දර සඟවා තබා ඇත
අලස ලෙස දිග ඇදී උන්නට
කල්පනාවන් සිය ගණන් ඇත

පුට් බයිසිකල් ත්‍රීවීල් සිට
ටෙන් වීල් දක්වා සියල්ලෙම
කට්ට ගෙවෙනා බවක් දුටුවම
හිතා ගන්නැති නිහඬ වන්නට

දහස් ගණනක යටිපතුල් ගැන
පාවහන් වහගත් කතන්දර
කිසිම කෙනෙකුට කියා නැත තව
ඇහැව්වත් නොකියාවි කිසි දින

බ්‍රේක් පාරක ගර්ජනාවෙන්
වෙව්ලනවා ඇති සෑම මොහොතෙම
හෝන් එකකින් කරන තර්ජන
නින්ද බිඳ ඇති බොහෝ රැයවල

ආර්ඩීඒ කරන වෙනසට
එකඟ නැතිමුත් මුණිවතින්ම ය
ලංගමය මෙන් රතට නොහැරී
කසාවත වුව සුදු කරන් ඇත

චණ්ඩ හිරු යට සඳ සිසිල යට
පහන් කණුවක මඳ එළිය යට
කඳුළු නොසලා සිනහ සඟවා
කඩින් කඩ නෙත් පියයි සුදු ඉර

 

චලක ප්‍රමුදිත ලුණුවිලගේ


© JDS