අඳුර හා අතීතය


අඳුරු ආරුක්කු පාලම පසු කරමි
වැලපෙන විලෝ ගස යට
සෙලවෙන අඳුරු ඡායාව
ඒ ඔබද…! සැක සිතමි.
නැවතෙමි; එහෙත් පිටුපස හැරී නොබලමි.

ඉහලට අදිනා’තර හුස්ම
පහලට අත හරිමි ජීවිතය
බිඳී විසිරෙන සුසුමක සුරැකිව
රැගෙන යා හැකිද අතීතය.

වෙන නමක් නොමැතියෙන් දෙන්නට
ප්‍රේමය’යි නම් කරන ලද කවියක
වියරණ දෝස අතහැර විවර කර දුන් හදවත
රැගෙන පියවර ඔසවමි දන්න හඳුනන පාරක
නන්නාඳුනන විලසට.

ඉර දණින් වැටෙනා මොහොතක
ගල් වුන හදවතකි සඳවත
ඉනික්බිති එළඹෙනා අඳුරට
ඔබ කියන්නේ රාත්‍රිය.

අඳුර උසුලන මේ නිමේෂය
මම කියන්නේ…
ඔබ සිටි අතීතය…!

 

චතුරිකා විනෝදී  පෙරේරා


© JDS