මකුළුවා - බැටළුවා - කොටළුවා - දළඹුවා සහ පිනි මුවා

 

රක් ඇටවූ දැලක්
යළිත් ගෙන හකුළුවා
තව තැනකට ගෙන නොයයි
මකුළුවා

ලොම් කපන කටර් එක
ස්ටාර්ට් කළ හඬින්
හිම පැහැති සිහිනයෙන්
අවදිවෙයි බැටළුවා

තණ බබල්ගම් හප හප
තවලමේ යන ගමන්
අනිත් තවලම්වලට
විරිත්තයි කොටළුවා

අලුත් ආණ්ඩුවෙ උයනේ
මයික්වල රොන් උරයි
පෙර පැවති ආණ්ඩුවෙ ඇඟපතේ
පලු මැවූ දළඹුවා

දැන් ඉතින් මදැයි ඔය මෙතෙක් කල් ලද තෑගි
මේ පාර නත්තලට
තෑගිත් අරගෙන බලන්න යං අපි
තෑගි ඇදලම වැහැරිච්ච පිනි මුවා ...........!

 

රුවන් බන්දුජීව


© JDS