කඳුරට කාහළය III: "ඔබ උණ්ඩයෙන් කරන දේ මම කට වචනයෙන් කර දෙන්නම්"

පළමු කොටස: වේවැස්ස වත්තේ කම්කරුවෝ පොලිස් බල බිඳ බලය අල්ලති
දෙවැනි කොටස: කලු ජූලියේ දුමාරය මැද වතු ජන සටන් ඇවිළේ


ක් දහස් නවසිය අසූ අටේ අවුරුද්දේ අයවැය යෝජනා මගින් අවම මාසික වැටුප රුපියල් 1250 ක් විය යුතු බවට ප්‍රකාශ කළ ද වතු කම්කරුවන් වෙනුවෙන් කිසිදු වැටුප් වැඩි වීමක් නොවුණි. මෙසේ අසාධාරණ ලෙස සැලකීමට එරෙහිව ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය 1988 පෙබරවාරි පළමු වැනිදා සංකේත වැඩ වර්ජනයක් කැඳවන ලද්දේ වතු කම්කරුවන්ගේ මාසික වැටුප රුපියල් 1250 ක් සහ ජීවන වියදම් දීමනාව වැනි ඉල්ලීම් පෙරටු කොටගෙන ය.

ලංකා කම්කරු කොංග්‍රසය මෙම වර්ජනයට එරෙහි වෙමින් එය කඩාකප්පල් කරන්නට ක්‍රියා කළේය. ඒකාබද්ධ වතු වෘත්තීය සමිති නායකයෝ, විශේෂයෙන් හැටන් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්, වතු කම්කරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කළ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ඇම්.ඇස්. සෙල්ලසාමි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම වෘත්තීය සමිතිය දැනටමත් ජනවසම හා රාජ්‍ය වැවිලි සංස්ථා බලධාරීන් සමග වැටුප් වැඩිකිරීම ගැන සාකච්ජා කරමින් සිටින බැවින් කම්කරුවන් වර්ජනයට එක් වීමෙන් වැලකී සිටිය යුතු බව ය.

එහෙත් එම නිවේදනය ඔහුගේ වෘත්තීය සමිති සාමාජිකයෝ පවා මායිම් නොකළහ. කම්කරු ඇමති පී සි ඉඹුලාන සමග එකඟතාවයකට පැමිණීමට ඒකාබද්ධ වතු නායකයෝ දරු උත්සහාය ව්‍යර්ථ වීමෙන් අවසානයේ වර්ජනය ඇරඹුණි. 400,000 ක් පමණ වතු කම්කරුවෝ වර්ජනයට එක් වීම නිසා ආණ්ඩුවට මෙම ඉල්ලීම් මග හැර යාමට නොහැකි විය. ඒ අනුව පෙබරවාරි මස අවසන් වීමට පෙර වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 5 කින් වැඩි කළේය. මෙම ජයග්‍රහණය විශේෂ වන්නේ ජයවර්ධන ආණ්ඩුව සමග එක්ව වර්ජනයට එරෙහිව ලංකා කම්කරු කොන්ග්‍රසය කළ පාවාදීම් පරාජයට පත් කිරීම හේතුවෙනි.

ප්‍රේමදාසගේ පෞද්ගලීකරණය

1989 දී ජනාධිපති ප්‍රේමදාස විසින් රාජ්‍ය ආයතන 24 ක් පෞද්ගලීකරණය සඳහා ජනාධිපති කොමිටියක් පත් කළේය. එතෙක් රජය යටතේ පාලනය වූ ජනවසම හා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වතු ද එම පුද්ගලීකරණ වැඩ පිළිවෙලට අයත් විය. ලංකා කම්කරු කොංග්‍රසය කොන්දේසි විරහිතව මෙම වැඩ පිළිවෙල සඳහා ආණ්ඩුවට සහයෝගය ලබාදීමට තීරණය කොට තිබුණි. එහෙත් සෙසු වතු වෘත්තීය සමිති ඊට විරෝධය දැක්වූහ. මේ පිළිබදව වතු වෘත්තීය සමිති සමග සාකච්ඡා කරන ලෙස ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය ද ඊට එකඟතාවයක් නොවීය. 1991 සැප්තැම්බරයේදී වතුවලට ඇතුල් වූ ආණ්ඩුවේ නියෝජිතයෝ මැනුම් කටයුතු කළ අතර ලංකා ජාතික වැවිලි කම්කරු සංගමය, ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය හා තවත් වතු කාර්ය මණ්ඩල සේවා නියෝජනය කරන වෘත්තීය සමිති දෙකක් ද එකතුව 1991 ඔක්තෝම්බර් 25 වැනිදා ජනාධිපති ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කළහ. ඒ අනුව නොවැම්බර් 9 වැනිදා පුද්ගලීකරණ වැඩපිළිවෙලේ ප්‍රධානියා වූ ආර්. පාස්කරලිංගම් කොළඹ සව්සිරිපායේදී හමු වූ වෘත්තීය සමිති නායකයෝ සාකච්ජා කළහ. ඒකාබද්ධ වතු වෘත්තීය සමිති නායකයෝ මෙහිදී යෝජනා නවයකින් යුක්ත ලියවිල්ලක් බාරදුනි.

එවකට වැවිලි කර්මාන්ත ඇමති රූපා කරුණාතිලක විසින් නොවැම්බර් 15 වැනිදා ඒකාබද්ධ වතු වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ජාවක් කැඳවනු ලැබුණි. වතු සමාගම් හා වෘත්තීය සමිති අතර සාමුහික ගිවිසුමක අවශ්‍යතාව අවධාරණය කළ ඇමතිවරයා ඒ සඳහා ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලබා දුන් යෝජනා ද සැළකිල්ලට ගන්නා බවට සහතික විය. එහෙත් 1992 ජූනි මාසයේදී ජනවසම හා රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය වූ වතු 449 කට අයත් හෙක්ටයාර් 1,89,500 ක් පුද්ගලික සමාගම් 22 ක් අතර පැවරිණි. මෙසේ පෞද්ගලීකරණයෙන් අනතුරුව වතු කම්කරුවන් එතෙක් භුක්ති විඳි සහන එකිනෙක කප්පාදු කරන්නට වීම නිසා වතු කම්කරුවන් අතර උද්ඝෝෂණ පැන නැගුණි. ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් 1992 අගෝස්තු 26 වැනිදා සංකේත වැඩවර්ජනයක් කැඳවන ලද්දේ ඒ අනුව ය. වර්ජනයට එරෙහි වූ ලංකා කම්කරු කොංග්‍රසය රාජ්‍ය මාධ්‍යක් වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් වර්ජනයට එරෙහිව පහර ගසන්නට විය.

වැඩිවන ජීවන අංකයට සරිලන පරිදි දිනකට රුපියල් විස්සක දීමනාවක් වතු කම්කරුවන්ට ගෙවීම පෞද්ගලීකරණයෙන් පසු නව වතු සමාගම්වලට පැවරුණු වගකීමකි. එහෙත් එවැනි මුදලක් එකවර ලබා දීමට නව වතු සමාගම් පැකිළුණු අතර ලංකා කම්කරු කොංග්‍රසය සමග පැවති රහස් සාකච්ජාවකදී එය අදියර දෙකකින් ලබා දෙන්නට යෝජනා විය. ඊට එකඟතාවය ලබා දුන් ලංකා කම්කරු කොංග්‍රස් නායකයෝ පළමු අදියරේදී දිනකට රුපියල් 12 ක් ද, සෙසු රුපියල් 8 සමාගම් ලාභයක් උපයන තෙක් ඉල්ලා නොසිටින්නට ද පොරොන්දු වූහ. මෙම රහස් කතාබහ හෙළිදරව්වන්නේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ ඇම් ඇස් සෙල්ලසාමි ඉන් ඉවත් වීමෙන් පසුව ය. අදාළ එකඟතා ගැන එවකට මුදල් අමාත්‍යංශ ලේකම් පාස්කරලිංගම්අ විසින් ලංකා කම්කරු කොන්ග්‍රසය වෙත ස්තූතිය පළ කොට ලිපියක් එවූ බවද ඔහු කියා සිටියේය.

සටන්කාමී සමිති මෙල්ලකිරීම

වතු සමාගම් සමග එක්ව කටයුතු කරමින් සිටි ලංකා කම්කරු කොංග්‍රසයට ඔවුන්ගෙන් බිඳී වෙන් වූ කඳුරට ජනතා පෙරමුණේ සටන්කාමීත්වය හිසරදයක් විය. ඔවුන් මර්දනය කිරීමට සෞම්‍යමුර්ති තොණ්ඩමාන් ප්‍රේමදාස ආණ්ඩුව සමඟ සමීපව සිටිමින් එහි නායකයන් සිරගත කරලීමට අවශ්‍ය දායකත්වය ලබාදුන්නේය. පෞද්ගලීකරණයෙන් පසු වතු සමාගම් පාලකයෝ කම්කරු සහන සහ හිමිකම් කපා හරින්නට වූ අතර සටන්කාමී කම්කරු වෘත්තීය සමිති අඩපණ කිරීමට ද ඇතැම්විට හීලෑ කරගැනීමට ද ඔව්හු ප්‍රයත්න දැරූහ.

1994 මහ මැතිවරණයෙන් ජයගත් පොදුජන එක්සත් පෙරමුණේ චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව පිහිටුවීම සඳහා අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව සපුරාලීමට සමත් වූයේ කඳුරට ජනතා පෙරමුණේ මන්ත්‍රීවරයාගේ සහයෝගය නිසාවෙනි. පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවට සහය පළ කිරීම සඳහා කඳුරට ජනතා පෙරමුණ මගින් ඉල්ලීම් අටක් ඉදිරිපත් කළේය. එහි පළමු ඉල්ලීම වූයේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම ය. ඒ අනුව පෞද්ගලීකරණ ක්‍රියාවලියෙන් පසු වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට ආණ්ඩුවක් සෘජුව මැදිහත් වූ පළමු අවස්ථාව ලෙස මෙය හැඳින්විය හැකි ය.

ආණ්ඩුවේ මැදිහත්වීමෙන් වතු සමාගම් නොසන්සුන් වූ අතර ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ කම්කරුවන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් සුභ සාධන කටයුතු කිරීමට ක්‍රමවත් ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ය. ඒ අනුව දෙවර්ෂයකට වතාවක් අත්සන් කෙරෙන සාමුහික ගිවිසුමකට එළඹීමට තීරණය විය. අදාළ ගිවිසුම වතු සමාගම් හාම්පුතුන් හා කම්කරුවන් නියෝජනය කරමින් වතු වෘත්තීය සමිති නියෝජිතයන් ද එක්කරන්නා වූ එකකි. මෙහිදී ඒ වන විටත් වතු සමාගම් සමග සමීපව කටයුතු කරමින් සිටි ලංකා කම්කරු කොන්ග්‍රසය හා එක්සත් ජාතික පක්ෂයේ වතු කම්කරු සමිතිය කම්කරුවන්ගේ නියෝජිතයන් ලෙස තෝරා ගැනිණි. වතු කම්කරු සමිති 14 කින් සමන්විත ඒකාබද්ධ වැවිලි වෘත්තීය සමිති මධ්‍යස්ථානය ද අදාළ ගිවිසුමේ පාර්ශවකරුවෙක් ලෙස පිළිගැනීමට හාම්පුතුන් එකඟ විය. ඒ අනුව 1997 දී නව සාමුහික ගිවිසුමට හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති නියෝජිතයෝ එළඹුණාහ.

ආරුමුගම් තොණ්ඩමාන් නායකත්වය දුන් ලංකා කම්කරු කොංග්‍රසය වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා 2000 මහ මැතිවරණය ආසන්නයේ වැඩ වර්ජනයක් කැඳවනු ලැබුණි. වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් නිර්දේශ කිරීම හා අනෙකුත් ගැටළු ගැන සොයා බැලීම සඳහා එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග කමිටුවක් පත් කළාය. තම ඉල්ලීම්වලට ජනාධිපතිනිය අවධානය යොමු කිරීම නිසා වැඩ වර්ජනය අත්හැරීමට ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කළත්, වතු කම්කරුවන්ට කිසිදු වැටුප් වැඩි වීමක් නම් නොලැබිණි.

කොල්වින් හා ඇන් ඇම්ගේ පාර

අදටත්, වතුකරයේ ක්‍රියාත්මක වතු වෘත්තීය සමිති බොහොමයක් ක්‍රියාත්මක වනුයේ සිය දේශපාලන බලය තහවුරු කර ගැනීමේ මාර්ගයක් වශයෙන් මිස වතු කම්කරුවාගේ අයිතීන් දිනා ගැනීමේ අරමුණෙන් නොවේ. ඉතිහාසයේ සිටම වතු කම්කරු වෘත්තීය සමිති අතර තිබූ විරසක මුල්කොටගෙ‍න සිදු කරනු ලැබූ පාවාදීම් හේතුවෙන් වඩාත් ශක්තිමත් වූයේ වතු හිමියෝ ය. දශක ගණනාවක් පුරා වතු කම්කරුවන්ගේ ශ්‍රමය නිර්දය ලෙස සූරාකෑමට යට කී වෘත්තිය සමිති නායකයෝ බොහොමයක් දෙනා අඩු වැඩි වශයෙන් දායකත්වය සැපයූහ. 40 දශකයේ දී නටේස අයියර් සහ සම සමාජය වතු කම්කරු ක්ෂේත්‍රයෙන් පළවා හැරීමට වතු හිමියෝ සුක්ෂ්ම ලෙස දියත් කළ මෙහෙයුම් අදට ද නොකඩවා සිදු වෙමින් තිබේ. ඒ වෙනුවට වතු හිමියන්ගේ ආශීර්වාදය ලබමින් හැදී වැඩුණු නේරුගේ සිලෝන් ඉන්දීය කම්කරු කොංග්‍රසය (CIWC) හෙවත් පසුව නම වෙනස් කරගත් ලංකා වතු කම්කරු කොංග්‍රසය තවමත් වතු ක්ෂේත්‍රයේ බලපෑමක් කළ හැකි වෘත්තීය සමිතිය ලෙස සැලකේ.

1986 වසරේ මුල් භාගයේදී පුරවැසිභාවය මුල් කරගෙන තලවාකැලේ, ආගරපතන වැනි වතු ප්‍රදේශවල ඇති වූ විරෝධතා සමනය කිරීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක වූ, අමාත්‍ය සෞම්‍යමුර්ති තොණ්ඩමාන්, ඒකාබද්ධ සේවා මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරාල් සිරිල් රණතුංග හා ජනාධිපති ජයවර්ධනගේ පුත්, ජනාධිපති ආරක්ෂක උපදේශක රවී ජයවර්ධන සමග පැවැති සාකච්ඡාවකදී ලංකා වතු කම්කරු කොන්ග්‍රසය හා ආණ්ඩුව අතර පැවති බිඳිය නොහැකි සබඳතාවය කදිමට පෙන්නුම් කෙරිණි. කොළඹ රාජකීය විද්‍යාලය ඉදිරිපිට පිහිටි තොණ්ඩමාන්ගේ මහල් නිවාසයේ දී පැවති මෙකී කතා බහේදී තොණ්ඩමාන් මෙසේ කීවේය:

“කරුණාකර මතක තබාගන්න, මම වෘත්තීය සමිති නායකයෙක් බව. මගේ ශක්තිය අනුව ජනාධිපතිවරයාට ලැබෙන ශක්තියත් රඳා පවතින්නේ මා විසින් ලංකා වතු කම්කරු කොංග්‍රසයට නායකත්වය දෙනු ලබන තාක් පමණක් බව සැළකිය යුතුයි. කොල්වින් ආර් ද සිල්වා සහ ඇන් ඇම් පෙරේරා ගිය පාරේ යාමට මට උවමනාවක් නැහැ. වෘත්තීය සමිති නායකයන් වූ ඔවුන් රජයට සම්බන්ධ වූ වහාම වැඩ වර්ජන කඩා කප්පල් කොට කම්කරුවන් බිලි දුන්නා. ඔවුන්ට මොකද වුණේ? කම්කරු ව්‍යාපාරයේ ඔවුන්ට තැනක් නැති වුණා. කම්කරුවන් වෙනුවෙන් සටන් කොට මගේ අනන්‍යතාවය රැක ගන්නා තුරු ඔවුන් මා සමග සිටිනු ඇත. මා ප්‍රබල වුවහොත් ජනාධිපතිවරයා ප්‍රබල වෙයි. මක් නිසාද යත් මා හැම විටම ඔහුට සහයෝගය දක්වන බැවිනි. මගේ මිනිසුන් වෙනුවෙන් සටන් කරන නිසා මා ගැන සැක කරන්න එපා. සටනක් පාවා දෙන්නකු කාගේවත් ගරුත්වයට ලක් වන්නේ නැහැ. මා ඇප කැප වී සිටින සටන වෙනුවෙන් මා දිගටම සටන් කරනවා. ත්‍රස්තවාදීන්ට මා විරුද්ධ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබෙනවා. මා ඒ බව කොළඹදීත්, නවදිල්ලියේදීත් කිව්වා. ඕනෑම තැනක මම ඒක කියනවා. සන්නද්ධ හමුදා නුවරඑළියේ සේවයට යොදවා පලක් වෙන්නේ නැහැ. සතියක් ඇතුළත මම මේ තත්ත්වය පාලනය කරන්නම්. කිසිම සිද්ධියක් ඇති නොවනු ඇති. තුවක්කු උණ්ඩ බලයෙන් යාපනේදී ඔබට මෙතෙක් කරගත නොහැකි වූ දෙය කඳුකරයේදී මම කට වචනයෙන් ඉටු කර දෙන්නම්.”

තොණ්ඩමාන් ප්‍රකාශය හුදෙක් එක් දේශපාලකයකුගේ අවස්ථාවාදී ගණන් බැලීම් හා කුමන්ත්‍රණකාරීත්වය පිළිබඳ යථාර්ථයට වැඩිමනත් දෙයක් අනාවරණය කරයි. සියවස් දෙකකට නොඅඩු කාලයක් තිස්සේ අර්ධ වහල් ශ්‍රම කොන්දේසිවලට යටත්ව දිවිගෙවන ජනකොටසකගේ මූලික අයිතීන් මැඩලනු ලබන සැලැස්ම එක් ආණ්ඩුවක, පක්ෂයක හෝ වෘත්තීය සමිතියක උවමනාවන් ඉක්මවා ගිය එකක් බැව් ඒ යථාර්ථයයි. වතු කම්කරු ජනයාගේ පීඩිත ජීවිත ඉරණම අදටත් තීරණය කරන්නේ වතු හාම්පුතුන්ගෙන් ද, චිරාගත දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති නිලධරයෙන් ද, රාජ්‍ය මර්දන යන්ත්‍රයෙන් ද, වර්ගවාදී දේශපාලන බලවේගයන්ගෙන් ද සැදුම්ලත් ලත් පීඩක යන්ත්‍රයක් විසිනි.

දැන් වතුකරය මුල්කොටගෙන ඇවිළ යන සටන්කාමීත්වයේ රැළි මාලා මර්දනයේ අග්නියෙන් වාෂ්පකොට දැමීමට ඇති ඉඩ අවුරා දැමිය හැක්කේ යට කී ඉතිහාසය විසින් උගන්වනු ලබන දේශපාලන පාඩම්වල සාරය පිළිබඳ ගැඹුරු අවබෝධය මගින් පමණි.☐

අතුල විතානගේ


© JDS