කඳුරට කාහළය: කලු ජූලියේ දුමාරය මැද වතු ජන සටන් ඇවිළේ - II

'කඳුරට කාහළය' ලිපි මාලාවේ පළමු ලිපිය පළවූයේ ඉකුත් අප්‍රේල් මාසයේ 8 වැනිදා ය. නමුත් නොවැළැක්විය හැකි හේතු මත එකී ලිපි මාලාවේ ඉතිරි කොටස් පළවීම ප්‍රමාද වූ අතර මෙහි පළවන්නේ එහි දෙවැනි කොටස ය. අදාළ ප්‍රමාදය පිළිබඳව අපගෙන් නිරන්තර විමසීම් කළ ක්‍රියාකාරී සහෝදර පිරිස් ඇතුළු සියළු පාඨකයන්ට අපි කණගාටුව පළ කර සිටිමු.

පළමු කොටස: වේවැස්ස වත්තේ කම්කරුවෝ පොලිස් බල බිඳ බලය අල්ලති - I


ක් දහස් නමසිය හැත්තෑවේ දී බලයට පත් තුන් හවුල් ආණ්ඩුවට සම සමාජ - කොමියුනිස්ට් පක්ෂ කම්කරු නායකයන්ට අමතරව ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය ද සහාය දැක්වූ බැවින් එහි නායක අබ්දුල් අසීස් පත් කළ මන්ත්‍රීවරයකු ලෙස ආණ්ඩුවට එක් විය. ජනසතුකරණ වැඩපිළිවෙල යටතේ එතෙක් බ්‍රිතානීන් සතුව තිබු වතු රජයට පවරාගෙන ජනතා වතු සංවර්ධන මණ්ඩලය (ජනවසම), උඩරට වතු සංවර්ධන මණ්ඩලය (උසවසම) සහ රාජ්‍ය වැවිලි සංස්ථාව යන ආයතනයන්ගේ පාලනයට යටත් කරනු ලැබුණි.

එතෙක් වතු කම්කරුවන් කෙරෙහි බලපෑම් කළ නීති අණ පනත් කිහිපයක්ම සංශෝධනයට හා අහෝසි කිරීමට වැවිලි කර්මාන්ත ඇමතිවරයා වූ කොල්වින් ආර් ද සිල්වා විසින් ක්‍රියා කරන ලදී. මේ අනුව වතු හිමියාගේ අවසරයකින් තොරව වෘත්තීය සමිති නියෝජිතයන්ට වතුවලට ඇතුල් වී කම්කරුවන් මුණ ගැසීම, රැස්වීම් පැවැත්වීම ආදිය අවුරා පනවා තිබු නීති ඉවත් කරනු ලැබිණි. ඊට අමතරව ලයින් කාමර අයිතිය සම්බන්ධයෙන් එතෙක් පැවතී නීති රෙගුලාසි ද මේ ආකාර සංශෝධනයන්ට ලක් කෙරුණි.

වතුකරයේ සාගතය

1973 ඔක්තෝම්බරයේදී ආණ්ඩුව නිවේදනය කර සිටියේ සහල්, පිටි සහ සීනී මිල සංශෝධනය කරන බවත්, සහල් සලාකය කප්පාදු කරන බවත් ය. ආහාර සලාකය කප්පාදු හා සීමා කිරීම් නිසා විශේෂයෙන් උඩරට වතුකරයේ කම්කරු ජනතාව සාගතයකට මුහුණ දී ඇති බව 1973 නොවැම්බර් 8 වැනිදා 'ඇත්ත' පත්‍රය වාර්තා කළේය. විවෘත වෙළඳ පොළේ සහල් මිල ඉහළ යාමත්, සීමා පැනවීමත් හේතුවෙන් දුෂ්කරතාවන්ට පත් වතු කම්කරු ජනතාවෝ, තමන් සන්තක ස්වර්ණාභරණ උගසට තැබූ අතර අවසානයේ ගේ දොර ඇලුමිනියම් භාණ්ඩ පවා උගස් කළහ. සාගතයට ගොදුරු වූ බොහෝ වතු කම්කරුවෝ මිය ගියෝය.

එහෙත් වාමාංශික නායකයන්ගෙන් සැදුම් ලත් ආණ්ඩුව මේ කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකළ බැවින්, 1973 නොවැම්බර් පළමු වැනිදා සියලුම වතු කම්කරු සමිතිවල දායකත්වයෙන් එක් දින සංකේත වර්ජනයක් කැඳවනු ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා කම්කරු කොන්ග්‍රසය හැර අනෙකුත් සියලුම වතු වෘත්තීය සමිති අගමැතිනි සිරිමා බණ්ඩාරනායක විසින් අරලියගහ මැදුරට කැඳවූවාය. වතු කම්කරුවන් මුහුණ දී සිටින තත්ත්වය ගැන කම්පාවට පත් වූ බවක් හැඟ වූ ඇය, යෙදිය හැකි පිළියම් ගැන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මුදල් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කළාය. එහෙත් ඉන් විසඳුම් සඳහා කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධස්ථානය (JCPTU) මගින් නිවේදනය කර සිටියේ නොවැම්බර් අවසානයට පෙර විසඳුමක් ලබා නොදුනහොත් වැඩ වර්ජනයක් කැඳවන බව ය. ඔවුන්ගේ මූලික ඉල්ලීම වූයේ වතු කම්කරුවන් සඳහා ස්ථිර මාසික වැටුපකි. ඒ සමගම ලංකා කම්කරු කොංග්‍රසය ද නිවේදනය කර සිටියේ දෙසැම්බර් 18 වැනිදා වැඩ වර්ජනයක් දියත්කරන බව ය. ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ එක්සත් වැවිලි කම්කරු සංගමය (UPWU) ද එදිනම වර්ජනයක් කැඳවීමට සැළසුම් කළේය.

කෙසේ නමුත් වර්ජනය දියත් කිරීමට නියමිත දිනට දවස් හතරකට පෙර සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් සිය නිල නිවසට කැඳවූ වැවිලි කර්මාන්ත ඇමති කොල්වින් ආර්. ද සිල්වා ඉල්ලා සිටියේ මාසික වැටුප ගැන සළකා බලමින් සිටින බැවින් වර්ජන තර්ජනය ඉවත් කරගන්නා ලෙස ය. ඊට එකඟ නොවූ ලංකා කම්කරු කොංග්‍රසය සාකච්ජාවෙන් ඉවත් විය. කොමියුනිස්ට් පක්ෂය විසින් නායකත්වය දුන් එක්සත් වැවිලි කම්කරු සංගමය වැඩ වර්ජනයක් දියත් කිරීම ගැන තමන් විමතියට පත් වූ බව පැවසු ඇමති කොල්වින්, සන්නද්ධ හමුදා යොදවා වර්ජනය නවතා දමන බවට ද තර්ජනය කළේය. අවසානයේ එක්සත් වැවිලි කම්කරු සංගමයේ නියෝජිතයෝ ඉල්ලා සිටියේ වතු කම්කරුවන්ගේ මාසික වැටුප් ඉල්ලීම ගැන වගකීමෙන් කටයුතු කරන බවට අගමැතිනිය ලිඛිතව පොරොන්දුවක් දෙන්නේ නම් වර්ජනය කල් දමන බව ය. අදාළ ලියැවිල්ල දින තුනක් ඇතුළත ලබා දෙන බව ඇමතිවරයා සහතික වුවද, එය කිසිදිනෙක නොලැබුණි.

දෙසැම්බර් 18 වැනිදාට යෝජිතව තිබූ වැඩවර්ජනය දියත් කෙරුණි. උණුසුම් ප්‍රතිචාර මැද දහස් ගණන් කම්කරුවෝ වර්ජනයට එක්වූහ. පැතිර යන වර්ජනය හමුවේ මුදල් ඇමති ඇන්ඇම් පෙරේරා මහත් කෝපයට පත් විය. ඔහුගේ කෝපයට හේතු වූයේ ඔහු සභාපතිධූරය හොබවන ලංකා වතු කම්කරු සංගමය ද වර්ජනයට එක්වීම ය. ලෝකයේ කිසිම රටක වතු කම්කරුවන්ට මාසික වැටුපක් ගෙවන්නේ නැතැයි වැඩ වර්ජනය හෙළා දකිමින් මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළේය. ආණ්ඩුව හා ආණ්ඩුවට හිතවත් වෘත්තීය සමිති නායකයෝ වර්ජනය කඩාකප්පල් කිරීමට මහත් වෙහෙසක් දැරූහ. එහෙත් එල්ලවූ පීඩනයන් නොතකා වර්ජනය අඛණ්ඩව ඇදී ගියේ උද්‍යෝගීමත් කම්කරුවන්ගේ සටන්කාමීත්වය හේතුවෙනි. වතු කම්කරුවන්ගේ ශක්තිය හමුවේ අබ්දුල් අසීස්ගේ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය ද, සරත් මුත්තෙට්ටුවේගම නායකත්වය දුන් වැවිලි කර්මාන්ත කම්කරු සංගමය ද වර්ජනයට එක් වීමට තීරණය කළහ. සතියක් ඉක්මවා වැඩ වර්ජනය ශක්තිමත්ව ඉදිරියට ගිය මුත් දහ වැනි දින ලංකා කම්කරු කොංග්‍රසය වර්ජනය අත් හැර දැමීමට තීරණය කළේය.

ආහාර සලාකය අහෝසි කිරීම

වතු කම්කරුවන්ට ආර්ථික ගැටළුවලට වඩා පුරවැසිභාවය පිළිබඳ ගැටළු බරපතලව දැනුනු අතර සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම හරහා ලංකාවේ ජීවත් විය හැකිද, නැතහොත් ඉන්දියාවට යාමට සිදුවේද යන්න පිළිබඳව ඔවුන් පසු වුයේ දෙගිඩියාවෙනි. ජේආර් ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ද වැටුප් සඳහා වූ අරගලය ප්‍රමුඛව ඉදිරියට ගියේය. 1979 සැප්තැම්බරයේදී ජයවර්ධන ආණ්ඩුව මගින් එතෙක් ජනතාවට ලබා දුන් හාල් පොත හා සලාක කාඩ්පත අහෝසි කිරීමෙන් වතු කම්කරුවෝ දැඩි අසීරුතාවට පත්වූහ. ජයවර්ධන ආණ්ඩුව හඳුන්වා දුන් ආහාර මුද්දර සහනාධාර ක්‍රමයට බහුතරයක් වතු කම්කරුන්ට හිමිකමක් නොලැබිණි. පෙර ගණන් බැලීම් අනුව වතු කම්කරුවෝ සියල්ලෝම අඩු ආදායම්ලාභී ගණයට වැටුණු මුත් නව ආණ්ඩුවේ ගණන් බැලීම් අනුව ඒ ගණයට අයත් වූයේ වතු කම්කරුවන්ගෙන් සියයට දහයක් තරම් වූ පංගුවක් පමණි.

ඒ අනුව, 1981 අයවැය මගින් සියලුම රජයේ සේවකයන් සඳහා රුපියල් 70ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලද මුත් වතු කම්කරුවෝ ඊට නිර්දේශ නොකෙරිණ. වතු කම්කරුවන් නියෝජනය කරන වතු වෘත්තීය සමිති 14 ක් එකතුව සැදුම්ලත් ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය (JCPTU) මගින් 1981 අගෝස්තු 18 වැනිදා සංකේත වැඩ වර්ජනයක් කැඳවීමට තීරණය කළේ වතු කම්කරුවන්ගේ ද වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමිනි. එහෙත් ආණ්ඩු හිතවාදී වෘත්තීය සමිති වූ ලංකා කම්කරු කොංග්‍රසය (CWC) සහ ලංකා ජාතික වැවිලි කම්කරු සංගමය (LJEWC) වර්ජනය හෙළා දකිමින් කියා සිටියේ මෙය අසාධාරණ හා කාලෝචිත නොවූ තීන්දුවක් බව ය. ලංකා වතු කම්කරු සංගමය හා ලංකා වැවිලි කම්කරු සංගමය (CPWU) වතු කම්කරු විරෝධී වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා නිසා වර්ජනයට මෙය සුදුසු අවස්ථාව නොවන බව පවසා ඉන් ඉවත් වූහ.

සංකේත වර්ජනයට පෙර දින ආණ්ඩුව විසින් හදිසි නීතිය පනවන ලද මුත් වැඩ වර්ජනය සාර්ථක විය. ආණ්ඩු හිතවාදී වෘත්තීය සමිතිවල බොහෝ කම්කරුවෝ ද වර්ජනයට එක් වූහ. වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දෙකකින් වැඩි කිරීමට පඩි පාලක සභාවේ අනුමැතිය හිමිවීම වර්ජනයේ ජයග්‍රහණයකි.

කෙසේ වුවද, 1982 අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමති රොනී ද මැල් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම ගැන අවධානය යොමු කර නොතිබුණු නමුත් රජයේ සේවකයාගේ මාසික වැටුප රුපියල් 45 කින් වැඩි කරමින්, වැඩිවන ජීවන වියදම් අංකයට රුපියල් දෙකක් ලබා දීමට කටයුතු කළේ '80 වර්ජනය විසින් එල්ලකර තිබූ පීඩනය හේතුවෙනි. කෙසේ වුවද වඩාත් පීඩිත ජීවන කොන්දේසි යටතේ දිවි ගෙවූ වතු කම්කරුවන්ට කරනු ලැබූ නොසැලකිල්ලට එරෙහිව 1982 මැයි 11 සහ 12 යන දෙදින සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කළ අතර ඇමති තොණ්ඩමාන් මාධ්‍යයට කියා සිටියේ තමන් මේ ගැටළුව ගැන ජනාධිපති ජයවර්ධන සමග සාකච්ඡා කරන බව ය.

මේ අතර වතු කම්කරු ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය සමග එක්ව ලංකා වතු කාර්යමණ්ඩල සේවක සංගමය (CESU) එක් විය. පසුව ජාතික කම්කරු සංගමය (NUW) ද එක් වූ අතර බාලා තම්පෝ නායකත්වය දුන් වාණිජ හා වෙළඳ සේවක සංගමය (CMU) විසින් ජනවසම හා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවය කළ සිය සාමාජික සාමාජිකාවන්ට කියා සිටියේ වර්ජනයට සහාය ලබා දෙන ලෙස ය. ලංකා කම්කරු කොන්ග්‍රස් නායක, ඇමති සෞම්‍යමූර්ති තොණ්ඩමාන් හැටන්, නුවරඑළිය, බදුල්ල ප්‍රදේශයන්හි සංචාරය කරමින් වැඩ වර්ජනයට එරෙහිව කම්කරුවන් අතර ප්‍රචාරක කටයුතු කළ අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ වතු පාලකයෝ සියලු වර්ජකයන් සේවයෙන් පහ කරන බවට තර්ජනය කළහ. කෙසේ වෙතත් වැටුප් වැඩිවීමක්, මාසික වැටුපක් හා කාන්තා හා පිරිමි කම්කරුවන්ට සමාන වැටුපක් ඉල්ලා වතු කම්කරුවෝ 400,000 ක් පමණ වර්ජනයට එක් වූ අතර ඉන් බහුතරය ආණ්ඩු හිතවාදී වෘත්තීය සමිති කම්කරුවෝ වූහ. සිය සමිති නායකත්වය කිනම් තීරණයක සිටිය ද කම්කරුවන්ගේ දායකත්වය වර්ජනයට ලැබිණ.

නුවර, දික්ඔය, ඌව, දිඹුල, කළුතර හා ගාල්ල වතු කම්කරුවන් මෙන්ම වතු කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් අති මහත් බහුතරයක් වර්ජනයට එක් වීම විසින් බලධාරීන් සසල කෙරුණි. වර්ජනයේ සාර්ථකත්වය හමුවේ පරාජය වූ ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික වැවිලි කම්කරු සංගමය සමග ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළේ සාර්ථක වර්ජනය විසින් තම ආධිපත්‍යයට එල්ල කළ අභියෝගය අවප්‍රමාණ කරනු පිණිස ය. මෙම දෙදින වර්ජනයට එක්ව සිටියේ කම්කරුවන් 50,000කට අඩු සංඛ්‍යාවක් පමණක් බව ලංකා කම්කරු කොන්ග්‍රස් ලේකම් ඇම්ඇස් සෙල්ලසාමි විසින් පවසන ලද්දේ ඒ අනුව ය.

තොණ්ඩමාන් - දිසානායක ගැටුම

එක්සත් ජාතික පක්ෂය ජයගත් 1977 ජූලි මහා මැතිවරණයෙන් පසු දිගින් දිගටම දෙමළ වතු කම්කරුවන්ට ප්‍රහාර එල්ල විය. ඉන් සාහසිකම ප්‍රහාරය වුයේ 83 ජූලි මාසයේදී ය. වතු කම්කරුවෝ මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල විසූ දෙමළ ජනයා ලක්‍ෂ ගණනකට උන් හිටි තැන් අහිමි වූ අතර තවත් දහස් ගණනක් සිංහල ජාතිවාදී මැරයන් අතින් මරණයට පත් විය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධූරයක් දරමින් සිටි ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෞම්‍යමූර්ති තොණ්ඩමාන්ට වතු කම්කරුවන් අතර තිබූ පදනම දෙදරමින් තිබිණි. '83 ජූලි සංහාරයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් මාතලේ පවත්වා ගෙන ගිය සරණාගත කඳවුරක් වෙත ගිය ඔහුට අනාථ වූ වතු කම්කරුවන්ගේ විරෝධය එල්ල විය. තොණ්ඩමාන්ට සිදු වූයේ විරෝධතා හූ හඬ මැද්දේ ඉන් පිටව යාමට ය. '83 ජුලි සංහාරයට එරෙහිව තමිල්නාඩුවේ පැන නැගි විරෝධතා සමනය කිරීම සඳහා ජයවර්ධන රජයේ නියෝජිතයා ලෙස ඉන්දියාව බලා ගියේ ලංකා කම්කරු කොන්ග්‍රස් නායක තොණ්ඩමාන් ය. එහෙත් තමිල්නාඩු නායකයෝ තොණ්ඩමාන්ගේ පැහැදිලි කිරීම් හා ඉල්ලීම් ඉවත දැමුහ.

කලු ජූලියේ වර්ගවාදී දුමාරය පහව නොගිය තත්ත්වය නොතකා වැඩි වැටුප් සඳහා වතු කම්කරු ඉල්ලීම යළිත් පෙරට ආවේය. ඉහළ යන ජීවන අංකයට රුපියල් දෙකක දීමනාවක්, රුපියල් 100 ක මාසික වැටුප් වැඩිවීමක්, වතු කම්කරුවන් සඳහා ස්ථිර මාසික වැටුපක්, කාන්තා හා පිරිමි වතු කම්කරුවන්ට සමාන වැටුපක් යන ඉල්ලීම් පදනම් කරගෙන ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය, 1983 නොවැම්බර් 23 වැනිදා ජනාධිපති ජයවර්ධන වෙත ලිපියක් යොමු කළේය. ආණ්ඩුවෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලදහොත් වැඩ වර්ජනයක් සඳහා කම්කරුවෝ පෙළ ගැස්වීමට සිදම්බරම් නඩේසන්, වෛද්‍ය විජය කුමාර්, වෛද්‍ය සුනිල් රත්නප්‍රිය, නාගලිංගම් ශන්මුගදාසන්, ඕඒ රාමයියා, ආර් ෂන්මුගම්, කොල්වින් ආර් ද සිල්වා, එස්ඒ සුන්දරරාජ්, ජයරත්න මලියගොඩ හා අබ්දුල් අසීස් ඇතුළු වතු කම්කරු නායකයෝ සැළසුම් කළහ. 1984 මාර්තු 19 වැනිදා ලංකා කම්කරු කොන්ග්‍රස් නායක අමාත්‍ය තොණ්ඩමාන් සහ ලංකා ජාතික වැවිලි කම්කරු සංගමයේ සභාපති අමාත්‍ය ගාමිණී දිසානායක එක්ව නිවේදනය කර සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අප්‍රියෙල් පළමු වැනිදා වැඩ වර්ජනයක් දියත් කරන බව ය. ඒ සමගම ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය ද අප්‍රියෙල් දෙවැනිදා වැඩ වර්ජනයක් කැඳවීය.

තොණ්ඩමාන් සහ දිසානායක අමාත්‍යවරුන් වර්ජනයක් කැඳවා තිබුණේ උපක්‍රමයක් ලෙස ය. එහෙත් ඔවුන්ගේ ක්‍රියාමාර්ගය ව්‍යාකූල වූයේ ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය ද වැඩ වර්ජනයක් කැඳවීම නිසා ය. වර්ජනය වළක්වා ගැනීම සඳහා ඔවුහු විසඳුම් සොයන්නට යුහුසුළු වුහ. ඉල්ලීම් කිහිපයක් ලබාදීම මගින් වතු කම්කරුවන් වැඩ වර්ජනයකට යාම වළක්වාලීම ආණ්ඩුවේ අපේක්ෂාව විය. ගාමිණී දිසානායක ඊට සැළසුම් කරමින් සිටිය දී තොණ්ඩමාන් ඉන්දියාව බලා පිටත්විය. ඒ අතරේ ක්‍රියාත්මකවූ දිසානායක, ජනාධිපති ජයවර්ධන හා සාකච්ජා කොට දෛනික වැටුප රුපියල් 2.50 කින් වැඩි කිරීමටත්, කාන්තා හා පිරිමි කම්කරුවන්ව සමාන වැටුප් තලයන්හි පිහිටුවීමටත් ආණ්ඩුව ක්‍රියා කරන බව නිවේදනය කළේය. ලංකා ජාතික වැවිලි කම්කරු සංගමය වර්ජනයෙන් ඉවත් විය. ඒ වන විටත් ඉන්දියාවේ සිටි තොණ්මාන් තමන් මග හැර එසේ තීරණවලට එළඹීමෙන් වතු කම්කරුවන් අතර ගාමිණී දිසානායකට පමණක් කීර්තිනාමය හිමි වීම ගැන උරණ විය. දිගු කලක පටන් දිසානායක හා තොණ්ඩමාන් අතර පැවති සීතල යුද්ධය යළිත් කරළියට එන්නට මේ සිදුවීම ද පිටුබල සැපයීය. අවශේෂ ලංකා කම්කරු කොන්ග්‍රස් නායකයෝ ද තීරණයක් ගත නොහැකිව ලත වුහ. යොදා ගත් පරිදි අප්‍රියෙල් පළමු වැනිදා වර්ජනය දියත් කරන ලෙස තොන්ඩමාන් විධායක කමිටුවට දැන්වීය. ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය ද සිය වර්ජන තීන්දුව යළි අවධාරණය කර සිටියේය. ලංකා ජාතික වැවිලි කම්කරු සංගමයේ සාමාජිකයන් ද වර්ජනයට එක් වෙමින් වැඩ වර්ජනය සාර්ථක අන්තයක් කරා තල්ලු වෙමින් තිබුණු අතර හැටන්, මස්කෙළිය, තලවකැලේ, ආගරපතන, නුවරඑළිය, රාගල, හපුතලේ, සහ බදුල්ල ප්‍රදේශවල එය සියයට සියයකම සාර්ථකභාවයක් පෙන්නුම් කළේය.

වර්ජනය ආරම්භයේදී ම ආණ්ඩුවේ මාධ්‍ය ඊට එරෙහිව විසකුරු අවලාද ව්‍යාපාරයක් ගෙන ගිය අතර වැටුප් වැඩි කිරීම හා සමාන වැටුප් පිළිබඳ ඉල්ලීම දැනටමත් ඉටු කර ඇති බැවින් පළමුව වැඩට ගොස් දෙවනුව ඉල්ලීම් ගැන සාකච්ජා කරමු යැයි ජනාධිපති ජයවර්ධන තර්ජනාත්මක ස්වරුපයෙන් පැවසීය. එහෙත් ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය හා ලංකා කම්කරු කොංග්‍රසය එක්ව වර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියෝය. අප්‍රියෙල් 5 වැනිදා වැවිලි කර්මාන්ත ඇමති මොන්ටේගු ජයවික්‍රම විසින් වතු වෘත්තීය සමිති නියෝජිතයෝ කැඳවීමට වර්ජනයේ ශක්තිය බලපෑවේය. සෞම්‍යමූර්ති තොණ්ඩමාන්, ඇම්ඇස් සෙල්ලසාමි (CWC), සිදම්බරම් නඩේසන්, අලෙවි මවුලානා, රොසයිරෝ ප්‍රනාන්දු (ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය), කොල්වින් ආර් ද සිල්වා (ලංකා වතු කම්කරු සංගමය), සීවී වේලුපිල්ලේ (ජාතික කම්කරුකොංග්‍රසය) සහ ගාමිණී දිසානායක (ලංකා ජාතික වැවිලි කම්කරු සංගමය) යනාදී වෘත්තීය සමිති නියෝජිතයන් ඇමතු වැවිලි ඇමතිවරයා ඉල්ලා සිටියේ මෙම අර්බුදකාරී මොහොත ගැන සළකා වර්ජනය අත් හරින ලෙස ය. එය ප්‍රතික්ෂේප කළ වෘත්තීය සමිති නියෝජිතයෝ ඉල්ලීම් ගැන ජනාධිපති ජයවර්ධන සමග සාකච්ජා කිරීමට එකඟ වූහ. ඒ අනුව තොණ්ඩමාන්, නඩේසන් සහ කොල්වින් කම්කරු නියෝජිතයන් ලෙසින් ජනාධිපති හමුවීමට නම් කෙරුණි.

කෙසේ වුවද කම්කරු ඉල්ලීම් ගැන අවධානය යොමු කළ ජනාධිපතිවරයා දැනටමත් ජීවන වියදම් දීමනා හා වැටුප් වර්ධක ගැන සළකා බලමින් ඇති බැවින් සෙසු ඉල්ලීම් වර්ජනය නතර කිරීමෙන් අනතුරුව සාකච්ජා කළ හැකි බව පැවසීය. ඉල්ලීම් පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කරමින් එදිනම සවස වතු වෘත්තීය සමිති වෙත ජනාධිපතිවරයා දන්වා සිටියේ කොන්දේසි විරහිතව වර්ජනය අවසන් කරන ලෙස ය. ඊට ලංකා කම්කරු කොංග්‍රසය එකඟ වූවද, ඒකාබද්ධ වතු වෘත්තීය මධ්‍යස්ථානය ඊට එරෙහි වීම නිසා වර්ජනය දිගටම ගෙනයාමට සියළු දෙනාම එකඟ වූහ. මේ අතර යළි සේවයට වාර්තා නොකළහොත් මාර්තු මස වැටුප් , ආහාර සලාක හා උත්සව දීමනා ලබා නොදෙන බවට වතු අධිකාරිය කම්කරුවන්ට තර්ජනය කරන්නට විය.

වතු කම්කරුවන්ගේ ශක්තිය හා ධෛර්ය වර්ධනය කිරීම වෙනුවෙන් තොණ්ඩමාන්, නඩේසන් හා ජයරත්න මලියගොඩ මහනුවර දී කම්කරුවන් ඇමතූහ. ඉන් දිරිමත් වූ වතු කම්කරුවෝ උණුසුම් ප්‍රතිචාර දක්වමින් කෙතරම් තර්ජන ගර්ජන පැමිණියද වැඩ වර්ජනය ඉදිරියට ගෙන යාමට සපථ කළෝය. මේ අතර අප්‍රියෙල් 10 වැනිදා ජනාධිපති ජයවර්ධන හමුවට කැඳවූ තොණ්ඩමාන් හා දිසානායක ඇමතිවරුන් දිනකට රුපියල් දෙකක අතිරේක වැටුප් වර්ධකයක් , කාන්තා හා පිරිමි කම්කරුවන් සඳහා සමාන වැටුප් , සතියකට වැඩ දින හයක් සහ සෙසු ඉල්ලීම් වෙනුවෙන් කමිටුවක් පත් කොට මැයි මස අවසානයට පෙර එහි වාර්තාව එළිදැක්වීමටත් කරනු ලැබූ යෝජනාවලට එකඟ වී වර්ජනය අත්හළහ. මේ ඉල්ලීම් දිනා ගැනීම තුළින් තොණ්ඩමාන් විශාල ජයග්‍රහණයක් ලැබීය. ඒ මගින් 83 ජනසංහාරයෙන් පසු වතු කම්කරුවන් අතර පදනම් බිඳී සිටි ඔහු සැළකිය යුතු ශක්තියක් යළිත් උපයා ගැනීමට සමත් විය.☐

තෙවැනි කොටස: "ඔබ උණ්ඩයෙන් කරන දේ මම කට වචනයෙන් කර දෙන්නම්"

(මතු සම්බන්ධයි)

අතුල විතානගේ


 © JDS