ධර්මරත්නම් සිවරාම්: විප්ලවකාරී දිවි සැරිය පිළිබඳ කෙටි සටහනක්

සංස්කාරක කමිටුව


ර්මරත්නම් පුවිරාජකීර්ති සිවරාම්, මඩකළපුවේ පුවිරාජ් ධර්මරත්නම් හා මහේෂ්වරී අම්මාල් යුවළට දාව උපන්නේ 1959 අගෝස්තු 11 වැනිදා ය. බ්‍රිතාන්‍ය විජිත සමයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මඩකළපු දකුණ ආසනය නියෝජනය කළ ඇන්ඩෘ සභාපතිපිල්ලෛ ධර්මරත්නම් හෙවත් 'ධර්මරත්නම් වන්නියනාර්' ඔහුගේ සීයා ය. ‘කුන්චී’ යන සුරතල් නමින් කුඩා වියේදී හැඳින්වුණු සිවරාම් අක්කරෙයිපත්තුවේ සුවිශාල ඉඩම් හිමිකම් සහිත ප්‍රභූ පසුබිමකින් පැවත ආවෙක් වූ අතර ඔහුගේ පියා කේම්බි‍්‍රජ් සරසවියේ අර්ථ ශාස්ත්‍රය හැදෑරූ සමයේ බටහිර දර්ශනවාදයේ ප්‍රමුඛයින් වූ රසල් හා විට්ගන්ස්ටයින්ගේ දේශනවලට උනන්දුවෙන් සහභාගී වෙමින් පතපොතෙහි ගැලීගත් මැඩලිය නොහෙන බුද්ධිමය පිපාසාවකට හිමිකම් කී අයෙකු විය. පසු කලෙක සිවරාම් වෙතින් විශද වූ නොතිත් බුද්ධිමය පවසෙහි මුල් අග්නිය ඇවිළ ආයේ පියා විසින් රැස් කළ පතපොත පිරී ගත් මඩකළපුවේ ලේඩි මැනින්ග් ඩ්‍රයිව් හි ස්ටැන්ලි මැදුරේ පොත් ගුලෙහිදී ය.

මඩකළපුවේ ශාන්ත වින්සන්ට් විදුහලෙන් හා ශාන්ත මයිකල් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලද සිවරාම්, පියාගේ මරණයෙන් පසු එළඹි දුෂ්කර සමයෙහි ඔහුගේ ගුරුවරුන් සියල්ලන්ම මවිතයට පත් කරමින් සාමාන්‍ය පෙළ විභාගය අසමත්ව ගෙදර ආයේය. අනතුරුව කොළඹ ඇක්වයිනාස් විදුහලේ ගත කළ කෙටි කාලයකින් පසු පෙරළා මඩකළපු බලා ගිය හෙතෙම උසස් පෙළ විභාගය ද අසමත් වීමෙන් පසු යළිත් ඇක්වයිනාස් විදුහලට යාමට තීරණය කළේය. කෙසේ හෝ 1982දී ඉංගී‍්‍රසි සාහිත්‍ය පිළිබඳ විශේෂවේදී උපාධිය සඳහා පේරාදෙණිය සරසවියට ඇතුල් වූ සිවරාම් සමග බටහිර දර්ශනවාදය පිළිබඳව වාද කිරීමෙහි සමත් කතිකාචාර්යවරුන් පේරාදෙණියෙහි නොසිටිය තරම් යැයි එවකට සිවරාම්ගේ සමකාලීන සිංහල සිසුවෙකු වූ, මැසෙචුසෙට්ස්හි ක්ලාක් සරසවියේ සහකාර මහාචාර්ය ජූඩ් ප්‍රනාන්දු උපුටා දක්වමින්  ඔහුගේ චරිතාපදානය ලියූ මාක් විටෙකර් ලියයි. සිවරාම්ගේ දීප්තිමත් විචක්‍ෂණ බුද්ධිය ඉක්මණින් හඳුනාගත් පේරාදෙණිය දර්ශන විද්‍යා අංශයේ මහාචාර්ය ඒඩීපී කළන්සූරිය, විවේකී සන්ධ්‍යා කාලවල නිවසට ගොඩ වැද මුරණ්ඩු ලෙස විවාදයන්හි පැටලෙන නැගෙනහිරෙන් ආ දෙමළ මානවකයා හා සාකච්ඡාවන්ට කාලය වෙන්කරන්නට හැමවිටම නිර්ලෝභී විය.

නමුත් දෙමළ ජනයාට එරෙහිව නැග එන වර්ගවාදයේ නව රළ වේගයන් හමුවේ සරසවි අධ්‍යාපනය අතහැර දමා පූර්ණ කාලීන දේශපාලන කි‍්‍රයාධරයෙකු වන්නට සිවරාම් ඉක්මණින් තීරණය කළේය.

සටන්කරුවා

1982 දෙමළ මහජන විමුක්ති සංවිධානයේ (PLOTE) පෙරමුණු සංවිධානයක් වශයෙන් සැළකුණු ගාන්ධියන් ව්‍යාපාරයට සම්බන්ධ වූ සිවරාම්, 1983 කළු ජූලියත් සමඟම මහා පරිමාණ සිවිල් යුද්ධය ඇවිළ යාම හමුවේ 'එස්ආර්' (SR) යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සුප‍්‍රකට ප්ලොට් සටන්කරුවා බවට පරිණාමය විය. ප්ලොට් සංවිධානය තුළ සිවරාම් දේශපාලන සහ මිලිටරි යන දෙඅංශයෙහීම ප‍්‍රමුඛයෙක් ලෙස නැගී ආවේය. සංවිධාන අභ්‍යන්තරයෙහි සැඩ කුණාටු හා මතභේදයන්ට මැදි වූ ඔහු 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ප්ලොට් සංවිධානය විසින් පිහිටුවන ලද  ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණෙහි (DPLF) ප‍්‍රධාන ලේකම්වරයා වශයෙන් පත් කරනු ලැබුණි. නමුත් පසුකාලීනව තීව්‍ර වූ මතවාදී පරස්පරතා මත සිවරාම් ප්ලොට් සංවිධානය අතහැර දමනු ලැබීය.

සිවරාම් හා රිචඩ් ද සොයිසා අතර මිතුදමට පදනම වැටුණේ මේ අවධියේය. DPLF ලේකම්වරයාව සිටියදී දැන හඳුනාගත් සිවරාම්ගේ තියුණු බුද්ධිමය ශක්‍යතා ඉතා ඉක්මණින් රිචඩ්ගේ සිත් පැහැර ගත්තේය. විශේෂයෙන්ම සිවරාම් සතු තියුණු විශ්ලේෂක හැකියාවත්, භාවිතාවෙන් පන්නරය ලද දේශපාලන විචක්‍ෂණභාවයත් රිචඩ්ගේ නොමද ඇගයුමට පාත්‍ර වූ අතර රිචඩ්ගේ ආරාධනයෙන් ඉන්ටර් ප්‍රෙස් සර්විස් ප‍්‍රවෘත්ති ආයතනය හා එක්ව කටයුතු කරන්නට සිවරාම්ට අවකාශ විවර විණ. ඒ වන විටත් රිචඩ් එහි වාර්තාකරුවෙක් වශයෙන් කටයුතු කළේය. ‘දි අයිලන්ඩ්’ පත‍්‍රයේ කර්තෘ ගාමිණී වීරකෝන් හා සිවරාම් අතර හැඳුනුම්කම ඇති වූයේ රිචඩ්ගේ මැදිහත්වීමෙනි. දෙමළ ජාතික දේශපාලන විශ්ලේෂකයෙකුගේ අවශ්‍යතාව ගාමිණී වීරකෝන් රිචඩ් හා ප‍්‍රකාශ කළ විටෙක, රිචඩ් විසින් සිවරාම්ගේ නම යෝජනා කරන ලදී. දශක එක හමාරකට අාසන්න කාලයක් තිස්සේ ලංකාවේත්, ඉන් පිටතත් ලාංකීය දේශපාලන වර්ධනයන් පිළිබඳ උද්‍යෝගයක් දක්වන්නවුන් අතර සුපතල වූ ‘තරාකී’ නාමය උපන්නේ මේ සම්බන්ධතාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙනි. 

1989 ජනතා විමුක්ති පෙරමුණේ තරුණ නැගිටීම හා සම්බන්ධ වූ ඇතැම් තරුණයන්ගේ දිවි බේරාගනු වස් රිචඩ් සිවරාම්ගේ උදව් පැතුවේය. ඔහුගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් රිචඩ් දැන සිටි සිංහල කැරළිකාරී තරුණයන් රජයේ හමුදාවන් අත් අඩංගුවට පත්වනු වළකා සඟවන්නට නැගෙනහිර පළාතේ  ආරක්‍ෂිත නිවෙස් සපයා දෙන්නට සිවරාම් නොපැකිළව ක්‍රියා කළේය. නමුත් දකුණේ ගම් නියම් ගම් වෙළාගත්, එ් සැහැසි ධවල භීෂණයේ ප්‍රචණ්ඩ කුණාටුවෙන් සිය මිතුරා වූ රිචඩ්ගේ දිවිය බේරා දෙන්නට සිවරාම්ට නොහැකි විය. ඒ වෙනුවට 1990 පෙබරවාරියේ දී පැහැර ගෙන ගොස් ඝාතනය කරන ලද රිචඩ්ගේ දේහය හඳුනාගැනීමේ වගකීම පැවරුණේ සිවරාම්ට ය.

චින්තකයා

යුද හා දේශපාලන විද්‍යාව, උපාය මාර්ගික අධ්‍යයනය හා භූ දේශපාලනය පිළිබඳව මෙන්ම බටහිර දර්ශනවාදය, සමාජ විද්‍යාවන් හා සාහිත්‍ය පිළිබඳවත්, ඉතිහාසය හා දෙමළ භාෂාව විෂයෙහිත් සිවරාම් හා සම කළ හැකි ප‍්‍රමාණික බුද්ධිමත්හු ලංකාවේ විරල වෙති. '90 දශකය තුළ නිදහස් මාධ්‍යවේදියෙකු වශයෙන් වේගයෙන් ප‍්‍රමුඛත්වයට ආ සිවරාම් ‘දි අයිලන්ඩ්’ පත‍්‍රයට මෙන්ම පසුකාලීනව ලංකා ගාඩියන්, සන්ඩේ ටයිම්ස්, මිඩ් වීක් මිරර්, ඩේලි මිරර්, වීර කේසරී, ටැමිල් ටයිම්ස් යන පුවත්පත් හා වාර ප්‍රකාශනවලට ද ලේඛන කටයුතු හරහා නිරන්තරයෙන් දායක විය. 1997 ඔක්තෝබරයේ දී ටැමිල් නෙට් වෙබ් අඩවියේ ජ්‍යෙෂ්ඨ සංස්කාරක ධූරය භාර ගත් හෙතෙම, ටැමිල් නෙට් වෙබ් අඩවිය සතු වෘත්තීමය ප‍්‍රමිතීන් වේගයෙන් ඉහළ නංවමින් එය ජාත්‍යන්තර ජනමාධ්‍ය බහුතරයක් අතර ලංකාව පිළිබඳ වැදගත් ප‍්‍රවෘත්තිමය හා විශ්ලේෂණාත්මක මූලාශ‍්‍රයක් බවට පරිවර්තනය කිරීමෙහි ලා පුරෝගාමී වැඩ කොටස ඉටු කළේය.

මුග්ධත්වයේ හා ආධානග්‍රාහීත්වයේ තෝතැන්නක් බඳු ලාංකීය ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ සිවරාම් වනාහී, ඉතිහාසය, දර්ශනවාදය, සාහිත්‍ය-කලා හා දේශපාලන විද්‍යාව ආදිය පිළිබඳ පැතිරුණු ප්‍රමාණික දැනුමක් සහිතව කලාතුරකින් පහළ වන දුලබ වර්ගයේ චින්තකයෙකි. ඔහු ශී‍්‍ර ලංකාවේ පමණක් නොව, අන්තර් ජාතික තලයේදී ද ඉතිහාසඥයන්, භූ දේශපාලන විද්‍යාර්ථීන්, මානව විද්‍යාඥයන්, ප‍්‍රතිපත්ති විශේෂඥයන් හා දේශපාලන විද්‍යාඥයන් යනාදී සකළ විධ ප්‍රවීණයන් සමඟ සමීප සබඳතා පවත්වමින් අන්තර් ක්‍රියාකාරීත්වයන් හි නියැළුණේය. ආසියාවේත්, යුරෝපයේත්, උතුරු ඇමරිකාවේත් බුද්ධිමය හා දේශපාලන කවයන් තුළ සිවරාම් තරම් ප්‍රකටව සිටි  සිංහල හෝ දෙමළ බස කතා කරන අන් කිසිදු මාධ්‍යවේදියෙකු නොමැති තරම් ය. සිවරාම් මිය යන විටත් එක්සත් ජනපදයේ කෙන්ටකි සරසවියේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය මාක් විටෙකර් විසින් සම්පාදනය කරමින් සිටි සිවරාම්ගේ බුද්ධිමය චරිතාපදානයක් වශයෙන් සැළකිය හැකි Learning Politics from Sivaram: The Life and Death of a Revolutionary Tamil Journalist in Sri Lanka කෘතිය, සිවරාම්ගේ කටුක දිවි මගත්, බුද්ධිමය  ශක්‍යතාත්, සරළ ජීවන පැවතුම් රටාවත් මනා සේ කැඩපත් කොට පෙන්වයි.

සරල මිතුරා

රත්මලානේ මහින්දාරාම මාවතේ සිංහල අසල්වාසීන්ගෙන් වට වූ පහළ මැද පංතික කුලී නිවසක,  සැකයේ හා පසමිතුරුභාවයේ ඇස් මගහැර, නිරන්තරයෙන් කඩා වදින පොලිස් සෝදිසි බල ඇණිවල හිරිහැරයන් ඉවසමින්, දරුවන් තිදෙනෙකුගේ ජීවන මග හෙළි කරන්නට අසීරු ජීවන අරගලයක යෙදුණු සිවරාම්, ඔහු දැන සිටි සිංහල මිතුරන්ගේ ගැඹුරු ආදරයත්, ගෞරවයත් නොමදව දිනා සිටියේය.

2005 අප්‍රේල් 28 වැනිදා මහ රැයෙහි පැහැර ගෙන ගොස් හිසට වෙඩි තබා ඝාතනය කළ සිවරාම්ගේ මරණය, ලංකාව විචාරශීලීත්වයෙන් හා  බුද්ධියෙන් තවදුරටත් පිරිහෙලා දැම්මේය.

අන් සියළු කාරණා පසෙකින් තැබුව ද, මෑත කාලීනව ගත් විට සංග‍්‍රාම විද්‍යාව, භූ දේශපාලනය හා උපායික අධ්‍යයන ක්‍ෂේත්‍රයට අදාළ සංකීර්ණතා සරල හා සුගම විශ්ලේෂණාත්මක බුද්ධියෙන් විනිවිදීමට සමත්, න්‍යායික හා ප‍්‍රායෝගික අවබෝධයක් සහිත ශ‍්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨතම විශ්ලේෂකයා අවිවාදයෙන් ම ධර්මරත්නම් සිවරාම් ය. ඔහු වැන්නෙකුගේ අඩුව කිසි කලක පිරවිය නොහැක්කකි.

ධර්මරත්නම් සිවරාම් ඝාතනයෙන් දස වසක් සම්පූර්ණ වන මොහොතේ ඔහු විසින් ලියන ලද ලිපි කිහිපයක සිංහල පරිවර්තනයන් මෙන්ම ඔහුගේ ජීවිතය සහ විශ්ලේෂණාත්මක භාවිතාව ස්මරණය කරන ලිපි මාලාවක් ඉදිරි දින කිහිපය තුළ JDS හි පළ කෙරෙන්නේ කෘතහස්ත ලේඛකයෙකු, දීප්තිමත් චින්තකයෙකු හා සරල  කුළුපග මිතුරෙකු පිළිබඳ වියැකී නොයන සදාතනික මතකය වෙනුවෙනි.☐

© JDS

ධර්මරත්නම් සිවරාම් ලිපි එකතුව