චීන - ඇමරිකානු උපායික සංග්‍රාමය III: චීනයේ උපාය මාර්ගික ඉදිරි දැක්මේ සාරය කුමක්ද?

පළමු කොටස: ලෝකයේ පළමු මූල්‍ය අධිරාජ්‍යයේ නැගීම
දෙවන කොටස: 'ආසියා පැසිෆික් පුනර්තුලන' සැළැස්මක් කුමටද?

චීන මහජන විමුක්ති හමුදාව යටතේ ස්ථාපිත ආරක්‍ෂක සරසවියේ මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කරන  ෂියාඕ ලියාන්ග් මේජර් ජෙනරාල්වරයෙකි. මෙම ලිපිය සංක්‍ෂිප්ත කොට සිංහලට පෙරළන ලද්දේ ඔහු විසින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ ග්‍රන්ථ අධ්‍යයන සංසදය හමුවේ 2015 අප්‍රේල් මාසයේදී සිදු කරන ලද දේශනයක් ආශ්‍රයෙනි.

සිය ව්‍යාප්තවාදී ගෝලීය අධිකාරයට අති මූලික තර්ජනය එල්ල කරනුයේ චීනය විසින් බව එක්සත් ජනපදය විශ්වාස කරයි. ඔබාමා පරිපාලනයේ ආසියා පැසිෆික් ප්‍රතිතුලන උපාය මාර්ගය සඳහා කේන්ද්‍රීය පිටුබල සපයන ලද්දේ ද, උතුරු කොරියාව ආශ්‍රිතව නැගෙනහිර ආසියානු කලාපය තුළ දැන් තීව්‍ර වන උපායික ආතතිය පවත්වාගෙන යනු ලබන්නේ ද මෙකී විශ්වාසය විසිනි. නමුත් පැසිෆික් සාගරය හරහා නැගෙනහිර දෙසින් චීනය වෙතට එල්ල කෙරෙන පීඩනයට ප්‍රතිවිරුද්ධ ප්‍රහාරක පිළිවෙතක් අනුගමනය කරනු වෙනුවට චීනය, ඇමරිකානු පීඩනයට පිටුපා බටහිර දෙසට සිය බලය ව්‍යාප්ත කිරීමේ සැළැස්ම පෙරට ගෙන ඇත්තේ ඇයි? ඊට පිටුබල සපයන්නේ එළඹෙන දශකයන් තුළ නිර්මාණය වන ගෝලීය ආර්ථික සැකැස්ම පිළිබඳ චීනයේ විචක්ෂණ උපායික ගණන් බැලීම් බැව් ජෙනරාල් ලියාන්ග් විසින් සම්පාදනය කරන ලද මෙකී දේශනයේ අවසාන කොටසින් සුගම ලෙස සාධනය කරයි.

එක්සත් ජනපදය, චීනය, ජපානය සහ ඉන්දියාව මූලික කරගනිමින් ආසියාව කේන්ද්‍රීයව තීව්‍රවන 21වන සියවසේ වැදගත්ම උපාය මාර්ගික ආතතීන්ගේ වා සුළිය තුළට දිනෙන් දින සෘජුවම ඈඳී යමින් ඇති ශ්‍රී ලංකාව, මෙම ලිපියෙන් මතුකෙරෙන කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත්තේ ඒ පිළිබඳ ගැඹුරින් විමසා බැලෙන බැරෑරුම් සාකච්ඡාවන් තවමත් මතුව නැති හෙයිනි.

මෙම දේශනයේ ඉංග්‍රීසි සටහන මුල්වරට පළවූයේ chinascope.org වෙබ් අඩවියේ ය.

පරිවර්තනය: අජිත් සී. හේරත්


ක්සත් ජනපද මිලිටරිය ඩොලරය වෙනුවෙන් සටන්වැදීමේ රහස

A. ඉරාක යුද්ධය: තෙල් වෙළෙඳාමේ දී භාවිතා කළ යුත්තේ කාගේ මුදල් වර්ගය ද?

එක්සත් ජනපදයේ ශක්තිය රඳා පවතින්නේ කුළුණු තුනක් මත යැයි බොහෝ දෙනා පවසති. එනම් මුදල්, තාක්ෂණය සහ හමුදා බලය මත ය. සැබැවින්ම අද අපට පෙනෙන පරිදි එක්සත් ජනපදයේ ශක්තිය රඳා පවත්නේ හමුදාව සහ මුදල, එනම් ඩොලරය මතයි. සැබෑ ලෙසම එහි මුදලට පිටුබලය සපයන්නේ පෙට්‍රෝලියම් හෝ රත්‍රන් නොව, එහි හමුදාවයි.

මේ ලෝකයේ තිබෙන සෑම රටකටම තමන් යුද්ධයක නිමග්නව සිටින විට දැවැන්ත මුදල් ප්‍රමාණයක් ඒ සඳහා වැය කිරීමට සිදු වේ.  කෙසේ වුව ද එක්සත් ජනපදය තරමක් විශේෂිත ය. එයට යුද්ධය සඳහා මුදල් වියදම් කරන අතරම යුද්ධයෙන් මුදල් ඉපැයීමට ද හැකි ය. වෙනත් කිසිදු රටකට එය කළ නොහැකි ය.

ඇමෙරිකානුවෝ ඉරාකය තුළ යුද්ධයක් සිදු කළේ ඇයි?

බොහෝ දෙනෙකු පිළිතුරු දෙනු ඇත්තේ 'ඛනිජ තෙල් නිසා'යි යනුවෙනි. කෙසේ වුව ද ඇමෙරිකානුවන් සැබැවින්ම යුද්ධ කළේ ඛනිජ තෙල් වෙනුවෙන්ද?  ඔවුහු සැබැවින්ම ඛනිජ තෙල් වෙනුවෙන් යුද්ධ කළේ නම් එකදු තෙල් බැරලයක් හෝ ඉරාකයෙන් පිටතට ගෙන නොගියේ මන්ද? එමෙන්ම ඉරාක යුද්ධයට පසුව බැරතෙල් බැරලයක එක්සත් ජනපද ඩොලර් 149 දක්වා ඉහළ නැග්ගේය. යුද්ධයට පෙර බොරතෙල් බැරලයක මිල වූයේ එක්සත් ජනපද ඩොලර් 38කි.  සිය හමුදාව ඉරාකය ආක්‍රමණය කළ පසුව ද ඇමෙරිකානු ජනතාවට පහළ මිල  ගණන් වලට ඉන්ධන ලැබුණේ නැත.

එහෙයින් ඇමෙරිකානුවන් ඉරාකය මත යුද්ධයක් දියත් කළේ තෙල් වෙනුවෙන් නොවන බව පිළිගැනීමට අපට සිදු වේ. සැබැවින්ම ඔවුන් ඉරාකය ආක්‍රමණය කළේ ඩොලරය වෙනුවෙනි. ඒ ඇයි? උත්තරය පැහැදිලි ය. ඒ ලෝකය පාලනය කරනු සඳහා ය. ලෝකයේ සියළු රටවල් විසින් ඩොලර් භාවිතා කරවීමට එක්සත් ජනපදයට අවශ්‍ය ය. 1973 දී සවුදි අරාබියට සහ අනෙකුත් රටවලට සිය තෙල් අපනයනය සඳහා හුවමාරු මුදල් ඒකකය ලෙස  ඩොලරය ස්ථාපිත කරන ලෙස බල කිරීම වනාහී ඉතා දක්ෂ පියවරකි.

ඔබ එය අවබෝධ කරගත් විට එක්සත් ජනපදය විසින් තෙල් නිපදවන රටක් තුළ යුද්ධයක් ආරම්භ කළේ මන්දැයි ඔබට වැටහෙනු ඇත. තෙල් නිපදවන රටක් තුළ යුද්ධයක් ඇරඹීමේ සෘජු ප්‍රතිඵලය තෙල් මිල ඉහළ යාමයි. තෙල් මිල ඉහළ යන විට ඩොලරය සඳහා වන ඉල්ලුම ද ඉහළ යයි.

නිදසුනක් ලෙස, ඔබට එක්සත් ජනපද ඩොලර් 38ක් ඇත් නම් ඉරාක යුද්ධයට පෙර එයින් ඔබට බොරතෙල් බැරලයක් ගත හැකි ය. යුද්ධයට පසුව බොරතෙල් බැරලය මිල එමෙන් සිවු ගුණයකටත් වඩා ඉහළ ගොස් ඩොලර් 149ක් බවට පත් විය. දැන් ඔබට ඔබේ ඩොලර් 38න් ගත හැක්කේ තෙල් බැරල් කාලකට ආසන්න ප්‍රමාණයක් පමණි. ඔබට අවශ්‍ය ඉතුරු තෙල් බැරල් තුන්කාල ඔබට ලබාගත හැක්කේ කෙසේද? ඔබට ඔබගේ නිෂ්පාදන සහ සම්පත් වැඩි වැඩියෙන් ඩොලර් සඳහා ඇමෙරිකානුවන්ට විකිණීමට සිදුවනු ඇත. එවිට එක්සත් ජනපද රජයට ඉතා විවෘතව සහ නීත්‍යානුකූලව වැඩිවැඩියෙන් ඩොලර් මුද්‍රණය කළ හැකි ය. රහස එයයි.

ම'විසින් සියළුදෙනා වෙත මේ කරුණ ද පවසනු කැමැත්තෙමි. එක්සත් ජනපදයේ ඉරාක යුද්ධයේ අරමුණ ඉහත දැක් වූ පරිදි තෙල් මිල ඉහළ දැමීමම අරමුණු කොටගත්තක් නොවීය. එය ඩොලරයේ ආධිපත්‍යය රැක ගැනීම සඳහාද දියත් කළ යුද්ධයක් විය. සදාම් හුසේන්, ත්‍රස්තවාදින්ට හෝ අල්කයිඩා සංවිධානයට ආධාර කළේ නැත. එමෙන් ම එය සතුව ජන සංහාරක ආයුධ ද නොපැවතිණි. එසේනම් ඉරාකය ආක්‍රමණය කොට ඔහුව එල්ලා මරා දැමුවේ මන්ද?  ඒ මක් නිසාද යත් ඔහු එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය අතර “ගේමක් “ ගැසූ බැවිනි. 1999දී යුරෝපා සංගමය තුළ යුරෝ මුදල් ඒකකය බිහිකළ පසුව ඉරාකයේ තෙල් වෙළෙඳාම යුරෝව හරහා සිදු කරන බව සදාම් හුසේන් විසින් නිවේදනය කරන ලදි. මෙය ඇමෙරිකානුවන් කුපිත කළ කරුණක් විය. විශේෂයෙන්ම තවත් බොහෝ දෙනා ඔහු අනුගමනය කිරීමට සැරසී සිටි බැවිනි. රුසියානු ජනාධිපති පුටින්, ඉරාන ජනාධිපති අහමදිනේජාඩ් සහ වෙනිසුවේලා ජනාධිපති හුගෝ චාවේස් යන අය ද එයම නිවේදනය කළහ. මේ තත්ත්වය ඇමෙරිකානුවන්ට පිළිගත හැකි එකක් වීද?

මා සුරංගනා කථාවක්  කියනු ලබන්නේ යැයි ඇතැමුන් සිතිය හැකිය. හොඳයි, ඉරාක යුද්ධය දිනූ පසුව  ඇමෙරිකානුවන් සිදු කළ දෙය විමසා බලමු. සදාම් හුසේන් අත් අඩංගුවට ගැනීමට පවා පෙර ඇමෙරිකානුවන් විසින් කඩිමුඩියේ තාවකාලික ආණ්ඩුවක් පිහිටුවන ලදි. මෙම තාවකාලික ආණ්ඩුවේ පළමු කාර්යය වූයේ ඉරාකයේ තෙල් වෙළෙඳාම යුරෝවේ සිට නැවතත් එක්සත් ජනපද ඩොලරය මගින් සිදුකරන බවට නිවේදනය කිරීමයි. මෙය විසින් පෙන්නුම් කරන්නේ ඇමෙරිකාව යුද්ධ කළේ ඩොලරය වෙනුවෙන් බවයි.

B. ඇෆ්ගන් යුද්ධය සහ ප්‍රාග් ධනයේ ශුද්ධ ගලනය

යමෙකුට මෙලෙස පැවසිය  හැකිය:

“ඇමෙරිකානුවන් ඉරාකයට පහර දුන්නේ ඩොලරයේ ආධිපත්‍යය රැක ගැනීම වෙනුවෙන් විය හැකි ය. එහෙත් ඇෆ්ඝනිස්ථානය තෙල් නිපදවන රටක් නොවේ. එසේ නම් ඇමෙරිකානුවන් ඇෆ්ඝනිස්ථානයට පහර දුන්නේ ඩොලරය නිසා නොවිය යුතු ය. එමෙන්ම ඇෆ්ගන් යුද්ධය පටන්ගත්තේ සැප්තැම්බර් 11 වැනිදා ප්‍රහාරයට  පසුව ය. එම ආක්‍රමණය ඇමෙරිකාව විසින් දියත් කළේ අල්කයිඩා සංවිධානයෙන් පලිගැනීමටත්, අල්කයිඩා සංවිධානයට උදව් කළ තලිබාන් සංවිධානයට දඬුවම් දීමටත් බව ලෝකයේ සියළු දෙනා දැන සිටියහ.“

එය ඇත්තක්ද?  ඇෆ්ගන් යුද්ධය පටන් ගත්තේ සැප්තැම්බර් 11 වැනිදායින් මාසයකට පසුව ය. එය ආරම්භ කරන ලද්දේ කඩිමුඩියේ බව පැහැදිලි ය. යුද්ධය මැද දී ඇමෙරිකාව විසින් එය සතු සියළු කෘස් මිසයිල භාවිතා කරන ලදි. යුද්ධය දිග්ගැස්සෙන විට එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තුමේන්තුවට ඔවුන්ගේ න්‍යෂ්ටික ආයුධ ගබඩාව විවෘත කිරීමට සිදු විය. ඔවුහු න්‍යෂ්ටික පිපිරුම් ශීර්ෂ සහිත කෘස් මිසයිල 1000ක් ඉවතට ගෙන ඒවායේ න්‍යෂ්ටික පිපිරුම් ශීර්ෂ ඉවත් කොට ඒවාට සම්ප්‍රදායික  පිපිරුම් ශීර්ෂ (එනම් න්‍යෂ්ටික නොවන පිපිරුම් ද්‍රව්‍යවලින් සමන්විත ශිර්ෂ) සවිකරන ලදි. මෙලෙස තවත් කෘස් මිසයිල 900කින් යුද්ධය දිනීම සඳහා පහර දෙනු ලැබිණි. පැහැදිලිව පෙනෙන පරිදි ඇමෙරිකානුවන් මේ යුද්ධයට සුදානම් වී නොසිටියහ. එසේනම්  ඔවුහු කඩිමුඩියේ  මෙම පහර දියත් කළේ ඇයි?

ඒ මක් නිසාදයත්, තවදුරටත් කල් අල්ලාගෙන සිටීමේ හැකියාවක් ඇමෙරිකානුවන් වෙත නොවූ හෙයිනි. ඔවුන්ගේ මුල්‍ය තත්ත්වය භයානක ලෙස පිරිහී තිබිණි. 21 වන සියවසේ මුල්භාගයේදී සැබෑ ද්‍රව්‍යමය භාණ්ඩ නිෂ්පාදනය නොකරන රටක් ලෙස එහි වත්මන් තත්ත්වය පවත්වාගෙන යාමට එක්සත් ජනපදයට වෙනත් රටවලින් අඩුතරමින් වසරකට එක්සත් ජනපද ඩොලර් බිලියන 700ක්වත් ගලා ඒමක් අවශ්‍ය වේ. සැප්තැම්බර් 11  වැනිදා සිදුවීමෙන් පසුව ගෝලීය ආයෝජකයන්ට එක්සත් ජනපදය තුළ ආයෝජනයන් ගැන දැඩි ලෙස නැවත සළකා බැලීමට සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපද ඩොලර් බිලියන 300ක් එක්සත් ජනපදයෙන් ඉවත්වීම සිදු විය.

මෙම ප්‍රාග්ධන විගලනය නැවැත්වීම සඳහා එක්සත් ජනපදයට ක්ෂණිකව යුද්ධයක් ඇරඹීමට බල කෙරිණි. එය අල්කයිඩාවට හෝ තලිබාන්වරුන්ට දඬුවම් දීම පමණක් ඉලක්ක කරගත්තක් නොවීය. එය ගෝලීය ආයෝජකයන්ගේ විශ්වාසය නැවත දිනාගැනීම ඉලක්ක කොට ගත් යුද්ධයක් ද විය. පළමු කෘස් මිසයිල කාබුල් හිදී පුපුරා යෑමෙන් පසුව එක් දිනක් තුළ ඩෝ ජෝන්ස් දර්ශකය (Dow Jones index) ඒකක 600ක් ලෙස පෙන්නුම් කළේය.  එක්සත් ජනපදයෙන් ඉවත් වූ ප්‍රාග්ධනය නැවත එය තුළට ගලා ඒමට පටන්ගත්තේය. 2001 අවසාන විට එක්සත් ජනපදය තුළට ඩොලර් බිලියන 400ක් නැවත ගලා විත් තිබිණි. මෙය විසින් නැවතත් පෙන්නුම් කරන්නේ ඇෆ්ගන් යුද්ධය දියත් කරනු ලැබූවේ ඩොලරය සහ ප්‍රාග්ධනය වෙනුවෙන් බවයි.

C. ක්ෂණික ගෝලීය ප්‍රහාරක පද්ධතිය විසින් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහක නෞකාවන් (Aitcraft carriers) විස්ථාපනය කරනු ඇත්තේ ඇයි?

බොහෝ චීන ජාතිකයන් චීනයේ ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහක නෞකාව ගැන දැඩි අපේක්ෂා සහගත බවක් දැක් වූහ. ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහක නෞකාවක අවශ්‍යතාව ඔවුහු අතීතයේදී දැක තිබිණි. චීනයේ ලියාඕනින්ග් නෞකාව විසින් චීනය ද  ගුවන් යානා ප්‍රවාහක නෞකාවන් ඇති රටවල මට්ටමට ඔසවා තබන ලදි.

ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් තවමත් ප්‍රධාන බලවත් රටවල බලය පෙන්නුම් කරන සංකේතයක් වුව ද, ඇත්තෙන්ම දැන් එය සංකේතයක්ම පමණි.

මක්නිසාද යත් ගුවන්යානා ප්‍රවාහක නෞකාව වනාහී ප්‍රවාහක අවධියේ නිෂ්පාදනයක් වන බැවිනි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය එහි ඉහළම අවධියේදී එය ගෝලීය වෙළෙඳාමට මැදිහත් විය. එය එහි නිෂ්පාදන ලෝකයේ රටවල් වෙත යැවූ අතර එම රටවල සම්පත් රට තුළට ගෙන ආවේය. සාගරය මතින් සිදුවූ මෙම ප්‍රවාහනයේදී ආරක්ෂාව සහතික කිරීම සඳහා එයට ශක්තිමත් නාවික හමුදාවක් අවශ්‍ය විය. ගුවන්යානා ප්‍රවාහක නෞකාවන් නිර්මාණය මගින් සාගරය පාලනය කිරීමට මෙන් ම මුහුදු මාර්ගවල ආරක්ෂාව සැපයීමට ද ආධාරයක් විය. ඒ යුගයේ ප්‍රකට කියමනක් වූයේ “ ප්‍රවාහනය වනාහි යතුරයි“ යන්න ය. සාගරය පාලනය කළේ කවරෙක්ද, හේ  ලෝකයේ ධන සම්පත්  පාලනය කළේය.

එහෙත් දැන් යතුර වූ කලී ප්‍රාග්ධනයයි. පරිගණක යතුරු පුවරුව කිහිපවරක් එබීමෙන් ඩොලර් බිලියන් ගණන් පමණක් නොව, ට්‍රිලියන් ගණන් වන ප්‍රාග්ධනයක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යැවිය හැකි ය. ගුවන් යානා ප්‍රවාහක නෞකාවකට භාණ්ඩ ප්‍රවාහනයේ වේගය සමග ගැලපිය හැකි ය. එහෙත් එයට ප්‍රාග්ධන ගලනයේ වේගය සමග  ගැලපිය නොහැකි ය. එහෙයින් ගුවන්යානා ප්‍රවාහක නෞකාවන්ට ප්‍රාග්ධන ගලනය පාලනය කළ නොහැකි ය. එසේනම්, අන්තර් ජාලය හරහා සිදුවන ප්‍රාග්ධන ගලනයේ දිශාව, වේගය සහ ධාරිතාව සමග ගැලපිය හැකිවන පරිදි අද ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? ලෝකයේ ඕනෑම ප්‍රාග්ධන සංකේන්ද්‍රණ මධ්‍යස්ථානයකට පහර දිය හැකි වන ලෙස, බැලස්ටික් මිසයිල, ධ්වනි වේගය මෙන් පස් හෝ දස ගුණයක වේගයකින් ගමන් කළ හැකි අධි ධ්වනි වේග ප්‍රහාරක යානා සහ කෘස් මිසයිලවලින් සමන්විත ක්ෂණික ගෝලීය ප්‍රහාරක පද්ධතියක් එක්සත් ජනපදය විසින් ප්‍රවර්ධනය කරමින් සිටින්නේ එහෙයිනි. ලෝකයේ ඕනෑම තැනකට තමන්ට විනාඩි 28 කින් පහර දිය හැකි යැයි ඇමෙරිකාව පවසයි. ප්‍රාග්ධනය ඇත්තේ කොතැනක වුව ද ප්‍රශ්නයක් නැත. ඇමෙරිකාවට එතැනට ගමන් කිරීමට අවශ්‍ය නැත. සිය මිසයිලවලින් විනාඩි 28 ක් තුළ එතැනට පහර දී එතැනින් ප්‍රාග්ධනය ඉවත් කරගැනීමට ආයෝජකයන්ට බල කිරීමට ඇමෙරිකාවට හැකි ය. ක්ෂණික ගෝලීය ප්‍රහාරක පද්ධතිය විසින් අනිවාර්යයෙන්ම ගුවන්යානා ප්‍රහාරක නෞකාවන් විස්ථාපනය කිරීම සිදුවනු ඇත්තේ එහෙයිනි.

එසේ වුවද ගුවන් යනා ප්‍රහාරක නෞකාවන්ට එයටම අයත් කාර්යභාරයන්ද තිබේ. එනම් මුහුදු මාර්ගවල ආරක්ෂාව සැපයීම සහ හදිසි මානුෂික මෙහෙයුම් වැනි කටයුතු ය.

IV. ගගන සාගර සංග්‍රාමය (Air Sea Battle) එක්සත් ජනපදයේ ගැටළු විසඳීමට සමත් නොවනු ඇත.

චීනයේ නැගීමට එරෙහි ප්‍රතිචාර සැලසුම් කිරීමේ දී  ලෙස ඇමෙරිකාව විසින් "ගගන සාගර සංග්‍රාමය" (Air Sea Battle) නම් සංකල්පයක් ඉදිරිපත් කරන ලදි. එය පළමුවෙන්ම හඳුන්වා දෙනු ලැබූයේ 2010 දී ය. යුද සංකල්පයක් ලෙස, එහි අර්ථය වන්නේ චීනයට එරෙහිව සටන්වැදීමේදී ගුවන් හමුදාව සහ නාවික හමුදාවේ එකාබද්ධ  සම්බන්ධීකරණයක් තුළින් එය සිදු කිරීම ය. මෙම සංකල්පය නිර්මාණය කිරීම තුළ පෙන්නුම් කරන්නේ ඇමෙරිකන් මිලිටරිය දුර්වල වෙමින් සිටින බව ය. චීනයට පහර දීම සඳහා ඔවුනට එක්කෝ ගුවන් හමුදාව පමණක් හෝ නාවික හමුදාව පමණක් ප්‍රමාණවත් වනු ඇති බව අතීතයේදී ඇමෙරිකා එක්සත් ජනපදය කල්පනා කළේය. එහෙත් දැන් මෙම එක් හමුදාවක් පමණක් යෙදීමෙන් චීනයේ මිලිටරි බලය අභිබවනය කිරීමට නොහැකි බව ඔවුන්ට වැටහී ඇත. එහෙයින් මෙම හමුදාවන් ඒකාබද්ධව යෙදවීමට අවශ්‍යව ඇති බව ඔවුහු දකිති. මෙම 'ගගන සාගර සංග්‍රාමය' සංකල්පය බිහිවූයේ ඒ අනුව ය.

චීනය සහ ඇමෙරිකාව අතර යුද්ධයක් ඉදිරි දස වසර තුළ ඇති වේයැයි ඇමෙරිකාව නොසිතයි. එක්සත් ජනපදයේ වර්තමාන මිලිටරි ශක්‍යතාවන් චීනයට එරෙහි යුද්ධයකදී වාසිදායක තත්ත්වයන් සම්පාදනය කිරීමට අසමත් බව, ගුවන්යානා ප්‍රහාරක නෞකාවන්ට සහ අභ්‍යවකාශ පද්ධතීන්ට පහර දීමට චීනය සතු හැකියාවන් ආදියෙන් සමන්විත චීනයේ මිලිටරි සංවර්ධනය අධ්‍යයනය කිරීමෙන් පසුව එක්සත් ජනපදය විසින් තේරුම් ගෙන ඇත. එහෙයින් චීනය අභිබවනය කළ හැකි මට්ටමට සිය සංග්‍රාමීය පද්ධති සංවර්ධනය කිරීමට එක්සත් ජනපදයට තව වසර දහයක කාලයක් ඇත.

එහි තේරුම වන්නේ චීනයට එරෙහි සිය යුද්ධයේ කාල සටහන ඇමෙරිකාව විසින් වසර දහයකට කල් තබා ඇති බවයි. වසර දහයක් තුළ යුද්ධයක්  සිදු නොවීමට ඉඩතිබුණ ද අප එයට දැන් සිටම සුදානම් විය යුතුව තිබේ. දස වසරකින් පසු යුද්ධයක්  ඇතිවීම වැළැක්වීමට නම් අපි අපගේ කාර්යභාරයන් සම්පූර්ණ කළ යුතු වෙමු.
යුද්ධයට සුදානම් වීමද මේ කාර්ය භාරයන්ට ඇතුළත් ය.

V. “එක් කලාපයක්, එක් මාවතක්“ ව්‍යාපෘතියේ උපායමාර්ගික අර්ථය

ඇමෙරිකානුවෝ බාස්කට් බෝල් සහ බොක්සිංවලට කැමැත්තාහ. බලය සම්බන්ධව ඇමෙරිකානු ආකල්පයේ  සුපුරුදු ස්වභාවය බොක්සිං ක්‍රිඩාව මගින් පෙන්නුම් කරයි. එනම් ප්‍රතිවාදියා බිම ඇද වැටෙතැයි අපේක්ෂාවෙන් මුළු ශක්තිය යොදා සෘජු ලෙස පහරදීමයි. සියල්ල සරල ය.

චීනුන් මෙහි සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට අයත් ය.  ඔවුහු වක්‍රෝක්තියට සහ 'බලය පැරදවීමට මුදු බව' යෙදවීමට ද වඩාත් කැමැති ය. එනම් බලය යොදා ප්‍රතිවාදියාට පහර දී බිම දමනවාට වඩා ප්‍රතිවාදියාගේ සියළු පහර වළකමින් ඔහුව වෙහෙසට පත් කිරීම ය. චීනුන් කැමැති තායි චී කලාවටය. එය සටන් කලාවක් ලෙස බොක්සිං වලට වඩා ඉහළ අදියරක පවතින්නකි. චීනයේ “එක් කලාපයක්, එක් මාවතක්" (One Belt - One Road) ව්‍යාපෘතියේ උපාය මාර්ගය තුළ මෙම දර්ශනය පරාවර්තනය වේ.

ඉතිහාසය පුරාම, මහා අධිරාජ්‍යයන් පැන නැගුන සෑම විටෙකම එයට සම්බන්ධිත ගෝලීයකරණ ව්‍යාපාරයක්ද සිදු වෙයි. මෙහි අදහස වන්නේ එම ගෝලීයකරණය යනු අතීතයෙන් පටන්ගෙන වර්තමානය දක්වා විහිදෙන අඛණ්ඩ ප්‍රපංචයක් බව නොවේ. නමුත් එය නිශ්චිත අධිරාජ්‍යයකට අයත් බවයි. රෝමානු අධිරාජ්‍යය යටතේ එයට ආවේණික ගෝලීයකරණ ක්‍රියාදාමයක් සිදු විය. ක්‍රි.පූ. 200 දී පමණ චීනයේ  චින් රාජවංශය (Qing-Dynastie) යටතේද ඔවුන්ටම ආවේණික ගෝලීයකරණයක් සිදු විය.

සෑම ගෝලීයකරණයක්ම අරඹනු ලබන්නේ නැගී එන අධිරාජ්‍යයක් විසිනි. එකී ගෝලීයකරණ ව්‍යාපාරය සීමාව එකී අධිරාජ්‍යයේ ශක්තියේ සීමාවයි. අධිරාජ්‍යයේ බලපෑමට සහ එහි ප්‍රවාහනයට යටත් ඈතම කෙළවර විසින්, එකී අධිරාජ්‍යය සිදුකරන ගෝලීයකරණයේ ද සීමා මායිම් සළකුණු කරනු ලබයි.  එහෙයින්  අද දකින අන්දමට රෝමානු අධිරාජ්‍යය සහ චින් රාජවංශය විසින් සිදු කළ ගෝලීයකරණයන් වූ කලී ප්‍රාදේශීය ව්‍යාප්තියක් ලෙස හැඳින්විය හැකි ය.  ගෝලීයකරණයේ වර්තමාන අර්ථයට අනුව එය ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයත් සමග ය. එක්සත් ජනපදය විසින් බ්‍රිතාන්‍ය වෙළෙඳගෝලීයකරණය ටික කලක් සඳහා කරගෙන ගිය අතර පසුව එය එක්සත් ජනපද ඩොලර් ගෝලීයකරණයට මාරු විය.

චීනය 'එක් කලාපයක්, එක් මාවතක්' ව්‍යාපෘතියේ අරමුණ  එක්සත් ජනපද  ඩොලරය යටතේ පවතින වර්තමාන ගෝලීය ආර්ථික පද්ධතියට එක්වීම නොවේ. 'එක් කලාපයක්, එක් මාවතක්' උපාය මාර්ගය  වූ කලී නැගී එන සුපිරි බලවතෙකු ලෙස චීනය විසින් තමන්ගේම ගෝලීයකරණයක් සඳහා තබන ලද ආරම්භක පියවරකි. එය ප්‍රබල රාජ්‍යයක් ලෙස තමන්ගේ නැග්ම සිදුවන අවධියේදී සිදු කළ යුතුවන අනිවාරණය ගෝලීයකරණ ක්‍රියාදාමයකි.

'එක් කලාපයක්, එක් මාවතක්' ව්‍යාපෘතිය මේ මොහොතේදී චීනයට ඉදිරිපත් කළ හැකි හොඳම සුපිරි බල උපායමාර්ගයයි. මක් නිසාද යත් එය එක්සත් ජනපදය සිය අවධානය නැගෙනහිර ආසියාව වෙතට මාරු කරමින් ගෙන දියත් කර ඇති උපාය මාර්ගික සැලසුමට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයක් වන හෙයිනි.

යමෙකුට මෙසේ ඇසිය හැකි ය: “ ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයක් යනු ඔබට එරෙහිව ඔබගේ දිශාවට පැමිණෙන බලයට එරෙහි දිශාවට ක්‍රියාත්මක විය යුතු එකකි. එක්සත් ජනපදයට මුහුණ නොදී වෙනත් දිශාවකට හෝ ආපසු හැරීම ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයක් වන්නේ කෙලෙස ද?" (එක්සත් ජනපදය චීනය වෙත පීඩනය එල්ල කරන්නේ පැසිෆික් සාගරය හරහා නැගෙනහිර දිශාවේ සිට ය. නමුත් චීනය මෙම පීඩනයට පිටු පා බටහිර දෙසට ගමන් කරයි.) එය ඇත්ත ය. 'එක් කලාපයක්, එක් මාවතක්' උපාය මාර්ගය වූ කලී, එක්සත් ජනපදයේ  නැගෙනහිරට  මාරුවීමේ උපායමාර්ගයට  එරෙහිව චීනයේ ප්‍රතිවිරුද්ධ උපාය මාර්ගික සැලසුමයි. චීනය එක්සත් ජනපදයට පිටු පා ගමන් කරන්නේ සෘජු ගැටීමක් ඇති වනු වළක්වනු පිණිස ය. ඔබ මාව නැගෙනහිර දිශාවේ සිට තල්ලු කරන විට මම බටහිර දෙසට චලනය වෙමි. ඒ මට ඔබ වෙතින් පලා යාමට උවමනා නිසා නොවේ. ඒ මා තුළ ඔබ කෙරෙහි භීතියක් ඇති නිසා ද නොවේ. හුදෙක් ඒ, ඔබ මා වෙත යොදන පීඩනය බලරහිත නිෂ්ක්‍රීය සහ නිෂ්ඵල එකක් කරනු පිණිස ගත යුතු බුද්ධිමත් පියවරක් ලෙස මා විසින් සළකනු ලබන හෙයිනි.

'එක් කලාපයක්, එක් මාවතක්' උපායමාර්ගය තුළ සමාන්තර මාවත් දෙකක අවශ්‍යතාවක් පැන නොනගී. නමුත් එහි ප්‍රමුඛතාවන් තිබිය යුතුය. සාගරයේ බලය සැළකිල්ලට ගත් විට  තවමත් චීනය දුර්වල තත්ත්වයක සිටින බව දැකිය හැකි ය.  එහෙයින් අපට ගොඩබිම් මාවතට ප්‍රමුඛත්වය දීමට සිදු වේ. “එක් කලාපයක් “ යනු එහි මූලික දිශානතියයි. මෙය විසින්ද අදහස් කරනුයේ අපගේ හමුදාවේ වැදගත්කම ගැන නැවත අවධානය යොමු කළ යුතු බව ය.

චීන හමුදාව  ලෝකයේ  හොඳම හමුදාව යැයි සමහරුන් පවසති. චීනය තුළ යුද්ධයකදී නම් එය සත්‍යයකි. චීන හමුදාවට චීනය ආක්‍රමණය කරන ඕනෑම හමුදාවක් පරාජය කළ හැකි ය. චීන හමුදාව සතුව පවතින ගැටළුනම් එය සතුව චීනයෙන් පිටත යුද්ධයකදි ජය ලැබීමට හැකියාවක් තිබේද යන්න ය.

'ග්ලෝබල් ටයිම්ස්' පුවත්පතේ වාර්ෂික හමුවේදී මම මේ ගැටළුව මතු කළෙමි. චීනය තමාගේ ප්‍රතිවාදියා ලෙසින් තෝරාගෙන එයට පීඩනය එල්ලකරන විට ඇමෙරිකාව විසින් තෝරාගෙන ඇත්තේ වැරදි ප්‍රතිවාදියෙකු බව මම එහිදී පැවසුවෙමි. අනාගතයේදී ඇමෙරිකාවට මුහුණදීමට සිදුවන භයානකම තර්ජනය චීනය නොවේ. සැබැවින්ම ඇමෙරිකාවට තර්ජනයක්ව ඇත්තේ එයම ය. එක්සත් ජනපදය තමන් විසින්ම වැළලෙනු ඇත. ඒ මක් නිසාද යත් අනාගත මහා යුගයක් පැමිණෙමින් සිටියදී, තමන් විසින් නියෝජනය කරන මුල්‍ය ධනවාදය එහි උපරිමයට ළඟාවීමෙන් අනතුරුව බිඳවැටීමකට ලක්වන බව එක්සත් ජනපදය තේරුම් නොගැනීම නිසා ය. එක් අතකින් එක්සත් ජනපදය එම ප්‍රාග්ධනය විසින් උපදවන සියළු වාසි භුක්ති විඳියි. අනෙක් අතින්, ඔවුන් විසින් මෙහෙයවන තාක්ෂණික නවීකරණය හරහා අන්තර්ජාලය, විශාල පරිමාණ දත්ත රැස්කිරීම් සහ cloud පරිගණක සේවා ආදිය ආන්තික ලෙස වර්ධනය කරයි. මෙම මෙවලම් මුල්‍ය ප්‍රාග්ධනයේ අවසානය ළඟා කරවන බලවේග බවට ක්‍රමයෙන් පත්වනු ඇත.

අලිබාබා සමාගම (Alibaba company) යටතේ පවතින Taobao.com සහ tmall.com යන සමාගම්  2014 නොවැම්බර් 11 වැනි දින සිය අලෙවිය යුවාන් බිලියන 50.7ක්  (එක්සත් ජනපද ඩොලර් බිලියන 8.2) ලෙස ලියාපදිංචිකර තිබිණි.  සති කීපයකට පසුව කෘතගුණ සැලකීමේ සතිය තුළ දී පමණක් (Thanks-giving weekend) ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ දී අන්තර්ජාලය හරහා සහ සැබෑ භෞතික අලෙවි සැල්  තුළ සිදු වූ අලෙවියේ සම්පූර්ණ එකතුව යුවාන් බිලියන 40.7ක් (එක්සත් ජනපද ඩොලර් බිලියන 6.6)  වටිනාකමකින් යුතු විය.  බිලියන 50.7ක අලෙවිය වූ කලී අලිබාබා සමාගමේ එක් දිනෙක අලෙවිය පමණක් විය. මෙයට චීනය තුළ ඇති 163.com, qq.com සහ  jd.com වැනි අන්තර්ජාල අලෙවි සැල්වල අලෙවිය එකතු කොට නැත. එමෙන්ම සැබෑ භෞතික අලෙවිසැල්වල වෙළෙඳාම මෙයට ඇතුළත් කොට නැත.

අලිබාබා සමාගමේ සියළු අලෙවි කටයුතු සිදුවන්නේ “අලි පේ" නමින් වන විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් (Alipay electronic payment system) යටතේය. අලි පේ යන්නෙහි තේරුම කුමක්ද? එහි තේරුම දැන් වනවිට වෙළෙඳාම නම්  වේදිකාවෙන් 'මුදල් ' එළියට විසී වී ඇති බව ය. එක්සත් ජනපද ආධිපත්‍යය පදනම්ව ඇත්තේ එහි ඩොලරය මත ය. ඩොලරය යනු කුමක්ද? එය මුදල් වර්ගයකි. අනාගතයේදී අප වෙළෙඳාම සඳහා  මුදල් භාවිතය  නතර කළ විට සියළු සම්ප්‍රදායික මුදල්වලින් කිසිදු පලක් නැතිවනු ඇත. එවිට මුදල් මත පදනම් වූ අධිරාජ්‍යයකට පැවතිය හැකිද? ඇමෙරිකානුවන් විසින් පිළිතුරු සපයාගත යුත්තේ මේ ප්‍රශ්නයටයි.

ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ද අනාගතය නියෝජනය කරයි. එය විසින් මිනිස් නිෂ්පාදන ක්‍රියාවලියේ මූලික විපර්යාසයක් සිදු කරනු ඇත. නිෂ්පාදන ක්‍රියාවලියේ ද වෙළඳ ක්‍රියාවලියේ ද විපර්යාසයන් සිදුවන විට, ලෝකය මූලධාර්මික විපර්යාසයන් හරහා ගමන් කරනු ඇත. ඉතිහාසය විසින් පෙන්නුම් කරන්නේ සමාජය වෙනස් කිරීමට බලපාන ප්‍රධාන සාධකයන් වූ කලී මෙම මූලික ක්‍රියාවලින් දෙක (එනම් නිෂ්පාදනය සහ වෙළෙඳාම) මිස සෙසු සාධක නොවන බව ය.

පවත්නා මුදල් අහෝසි වී යන විට  ප්‍රාග්ධනයද අහෝසී වී යයි. ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ඔස්සේ නිෂ්පාදන ක්‍රමය වෙනස් වන මානව ලෝකය නව සමාජ මාදිලියක් වෙත එළැඹෙනු ඇත. ඒ මොහොතේදී , මහාපරිමාණ දත්ත, සහ cloud පරිගණක සේවාවන්  ආදියෙන් සමන්විත තරඟ ආරම්භක රේඛාව මත චීනය සහ එක්සත් ජනපදය සිටගෙන සිටිනු ඇත. එවිට තරඟය තීරණය වනු ඇත්තේ මෙම දොර තුළින් පළමුව ඇතුළු වන්නේ කවුරුන්ද යන කරුණ මත මිසෙක අනෙකාට පහර දී බිම හෙළීමට සමත්වන්නේ කවුරුන්ද යන්න මත නොවේ. එක්සත් ජනපදය වැරදි එදිරිවාදියෙකු තෝරාගෙන ඇති බව මා පවසන්නේ මෙම දෘෂ්ටි කෝණයෙනි.

ඇමෙරිකාවේ සැබෑ එදිරිවාදියා මේ සිදුවීමට නියමිත විපර්යාසයන් සහ ඇමෙරිකාවම ය. මේ කරුණ වටහාගැනීමේදී ඇමෙරිකාව විශ්මයජනක ප්‍රමාදයක් පෙන්වයි. ඒ මකක් නිසාද යත් ඇමෙරිකාව තම ආධිපත්‍යධාරී තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පමණටත් වඩා ආයෝජනය කර ඇති බැවිනි. සෙසු රටවල් සමග බලය බෙදා ගැනීමට අවශ්‍යතාවක් හෝ අප විසින් තවමත් නොදන්නා බොහෝ දේ පවතින නව සමාජද්වාරය තුළින් සෙස්සන් සමග එක්ව ඇතුළු වීමට හෝ එයට උවමනාවක් නැත.☐

© JDS