ධර්මරත්නම් සිවරාම්: ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද උපාය මාර්ගික අභිලාෂයන් - II

මෙහි පළවන්නේ 'ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද උපායික අභිලාෂයන්' මැයෙන් ධර්මරත්නම් සිවරාම් විසින් අවසන් වරට ලියමින් සිටි ලිපියේ පූර්ණ සිංහල පරිවර්තනයක දෙවන සහ අවසාන කොටසයි. 2005 අප්‍රේල් මාසයේදී සිවරාම් පැහැරගෙන ගොස් මරා දමන ලද්දේ මෙකී වැදගත් ලියැවිල්ල ලියමින් සිටි අතරවාරයේ ය. ඔහුගේ මරණයෙන් තුන් මාසයකට පසු, ටැමිල් නෙට් වෙබ් අඩවිය විසින් පළමු වරට මෙම ලිපිය ප්‍රසිද්ධ කිරීමට පියවර ලන්නා ලදී. සිවරාම් ඝාතනය කොට දස වසරක් සම්පූර්ණ වීම නිමිති කොටගෙන ඔහුගේ ජීවිතයත්, දේශපාලන හා බුද්ධිමය කාර්යභාරයත් අගයනු වස් JDS සංස්කාරක කමිටුව විසින් තෝරා පළ කරන ලද ලිපි පෙළද, මෙම වැදගත් ලියැවිල්ල මගින් අවසන් කිරීමට අපි අපේක්‍ෂා කරමු.

දෙමළ අරගලය විසින් එල්ල කරන ලද අභියෝගය මැඩලා ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීමේ කාර්යය, එක්සත් ජනපද උපාය මාර්ගික අභිලාෂයන් සාක්‍ෂ්‍යාත් කරගැනීමට කෙතරම් වැදගත් වන්නේදැයි ධර්මරත්නම් සිවරාම්  තරම් සංගත සහ විචක්‍ෂණ ලෙස විග්‍රහ කළ වෙනත් විශ්ලේෂකයෙකු නැති තරම් ය. ශ්‍රී ලංකා රජය විසින් ගෙනයන ලද යුදමය ක්‍රියාමාර්ග සහ එක්සත් ජනපද රජය අතර පැවතුණු අවබෝධය හා සක්‍රීය හවුල්කාරීත්වයේ ඉතිහාසය ගැන සිවරාම් විසින් කරන ලද අනාවරණයන්,  දකුණේ සිංහල ජනයා අතර මුල් බැස ඇති 'දේශප්‍රේමී විශ්වාසයන්ට' ඉඳුරාම පටහැනි යථාර්ථයක් ගෙනහැර දක්වයි. නමුත් සිවරාම් විසින් පළ කළ උපායික අනුමානයන්ට පදනම් වී ඇත්තේ එවැනි  ළිං මැඩි විශ්වාසයන් දෙපයින් සිටුවන්නට සමත් භූ දේශපාලනික හා යුදමය යථාර්ථයන් ගැන පෘථුල අවබෝධයයි. සිවරාම්ගේ මරණයෙන් දස වසරකට පසු අප මුහුණ දී ඇති යථාර්ථයන් විසින් ඔහුගේ අනුමානයන්ගේ  නිරවද්‍යභාවය තව දුරටත් තහවුරු කරමින් ඇත්තේ එබැවිනි.

ධර්මරත්නම් සිවරාම්ගේ ලියැවිලි විසින් සම්පාදනය කරන්නා වූ වැදගත් දේශපාලන විදර්ශනාවන්, ජාතික විභේදන රේඛා විනිවිද යමින් ග්‍රහණය කරගන්නට සමත් පරම්පරාවක් දකුණේ සිංහල සමාජය තුළින් නිර්මාණය කිරීමට මෙම ලිපි පෙළ යම්තාක් දුරකට හෝ ඉවහල් වනු දැකීම අපගේ අපේක්‍ෂාවයි.

මෙම ලිපියේ පළමු කොටස: ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපද උපායික අභිලාෂයන් - I

සංස්කාරක කමිටුව


මා කලින් කී ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යයනයට අනුව "එක්සත් ජනපද ගුවන් හමුදා මෙහෙයුම් සඳහා දැනටමත්  ආධාර කරගත හැකි (හෝ ආසන්නයේදී එසේ කරගත හැකි) කඳවුරු හඳුනා ගැනීම දේශපාලන මෙන්ම ආර්ථික වශයෙන් ද වාසි සහිත වේ. එක්සත් ජනපදය තුළ වේවා, කලාපය තුළ වේවා අතිරේක මිලිටරි සංකීර්ණයන් ගොඩනැංවීම කෙරෙහි පවතින්නේ අඩු උනන්දුවකි.... මෙම විශ්ලේෂණය තුළදී හඳුනාගනු ලබන කඳවුරු වනාහි එක්සත් ජනපද ගුවන් හමුදාවන්ගේ ඩොලර් වැය හෝ ඇමරිකානු දේශපාලන ප‍්‍රාග්ධනය වැඩි වශයෙන් වැය කිරීමට අවශ්‍ය වන්නා වූ වැඩි දියුණු කිරීම් ඇවැසි නොවන ඒවා ය."

මෙහිදී මෙකී අධ්‍යයන ලියැවිල්ල, ප‍්‍රධාන කොට මූලික ගුණාංගයන් 5 ක් කෙරෙහි අවධානය යොමු කරයි. 1.) අදාළ කඳවුරේ ගුවන් ධාවන පථයන්ගේ දිග  2.) ධාවන පථයන්ගේ පළල  3.) ජංගම සෝපානයන් සඳහා ඇති ඉඩ ප‍්‍රමාණය  4.) ප‍්‍රහාරක යානා කොපමණ ප‍්‍රමාණයක් නැවැත්විය හැකිද යන්න සහ  5.) අවි ගබඩා  පහසුකම් ඇතිද යන වග.

ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යයන වාර්තාවට අනුව ඉන්දීය උප මහාද්වීපයට ප්‍රවේශ වීමේ එක්සත් ජනපද උපාය කේන්ද්‍රගතව ඇත්තේ ශී‍්‍ර ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින සහ නේපාලය යන "කලාපය තුළ ආරක්‍ෂක හවුල්කරුවන් වීමේ විභවයන් සහිත රටවල හමුදා විහිදුවීම සහ හවුල් අභ්‍යාස සඳහා වන අවස්ථාවන් වැඩි කිරීම" මත ය. කලාපය තුළ ආරක්‍ෂක හවුල්කරුවන් වීමේ විභවය සහිත රටවල භූමි භාගයන් තුළ "ඉලෙක්ට්‍රොනික සහ ඔත්තු සේවා වත්කම්’’ විශාල වශයෙන් වැඩි කිරීමේ සැළසුම් ද ඉහතින් කී ‘‘ප‍්‍රවේශ උපායයට" ඇතුළත් බව මෙහිදී අවධාරණය කළ යුතුව තිබේ.

පලාලි, චීන වරාය සහ කුඩා ඔය

මෙහිදී හේතු දෙකක් මත ශී‍්‍ර ලංකාවට මේ සම්බන්ධයෙන් ප‍්‍රධානතම අපේක්‍ෂකත්වයක් හිමි වේ.

1. "මලක්කා සහ හෝර්මූස් සමුද්‍ර සන්‍ධි අතර කේන්‍ද්‍රීය ස්ථානයක් දිවයිනට හිමිවීම." - එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තු වාර්තාවට අනුව ශී‍්‍ර ලංකාව තුළ "කඳවුරු ලා ගැනීමේ අවස්ථාවන් සඳහා වන යටිතල පහසුකම් විශිෂ්ඨ මට්ටමක පවතී. එක්සත් ජනපද ගුවන් හමුදාවේ ආරක්‍ෂක ඔත්තු සේවා නියෝජිත පිරිසක් 2001 දී පලාලි, චීන වරාය, සීගිරිය, කොග්ගල සහ කුඩාඔය යන ප‍්‍රදේශවල කරන ලද නිරීක්‍ෂණ චාරිකා මගින් RAND ආයතනයේ "එක්සත් ජනපදය සහ ආසියාව: නව හමුදා වින්‍යාසයක් කරා" මැයෙන් වූ අධ්‍යයන වාර්තාව සංක්‍ෂිප්තව යාවත්කාලීන කරනු ලැබිණ. (මෙම අධ්‍යයන වාර්තාවේ ප‍්‍රසිද්ධ කරන ලද සංස්කරණයක් RAND ආයතනයෙන් ලබාගත හැකි නමුත් එමගින් සැබෑ චිත‍්‍රය නො සැපයේ.) දකුණු ආසියාව පිළිබඳ පර්යේෂණ වාර්තාව සඳහා අනුග‍්‍රහ සපයන ලද්දේ ගුවන් සහ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා වූ එක්සත් ජනපද නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානියාත්, එක්සත් ජනපද ගුවන් හමුදාව සහ එක්සත් ජනපද පැසිෆික් ගුවන් සේනාංකයන්ගේ ආඥාපතිවරයාත් විසිනි. ශී‍්‍ර ලංකාව පිළිබඳ මෙම යාවත්කාලීන කරන ලද රහස්  වාර්තාවේ පිටපත් ඒ පිළිබඳ ප‍්‍රතිචාර ලබාගැනීම සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවටත්, හමුදා මූලස්ථානයටත්, මිලිටරි ඔත්තු සේවා අධ්‍යක්‍ෂ කාර්යාංශයටත් ලබා දී තිබේ.  එහි මූලික වශයෙන් අඩංගු වන්නේ පලාලි සහ චීන වරාය වැඩි දියුණු කිරීමත්, නව ද්විකාර්ය ජාත්‍යන්තර ගුවන් තොටක් කුඩාඔය ගොඩනැංවීමත් පිළිබඳව ය. මෙම යාවත්කාලීන කරන ලද කොටස ඉහතින් කී වාර්තාවත් සමග කියවූයේ නම් පලාලි, ති‍්‍රකුණාමලය සහ කුඩාඔය සංවර්ධනය කිරීමට අදාළ එක්සත් ජනපද උපාය මාර්ගික අරමුණු පිළිබඳ පැහැදිලි චිත‍්‍රයක් සැපයෙනු ඇත.

2. ශී‍්‍ර ලංකාවේ මිලිටරි සහ ඔත්තු සේවා අංශ, බි‍්‍රතාන්‍ය MI6 හා MI5 සහ එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සේවා ඒජන්සිය (Central Intelligence Agency - CIA) සමඟ දීර්ඝකාලීන හා සමීප ආයතනික සබඳතා පවත්වාගෙන විත් තිබේ. 1984 දී ජාතික රහස් ඔත්තු සේවා බියුරෝව (NIB) බවට පත්වූ විශේෂ ඒකකයට සපයන ලද පුහුණු වැඩසටහනට ප‍්‍රධානම දායකත්වය දැක්වූයේ වූයේ බි‍්‍රතාන්‍ය ඔත්තු MI6 සේවාව විසිනි. (මේ වනවිට ජාතික රහස් ඔත්තු සේවා බියුරෝව හැඳින්වෙන්නේ අභ්‍යන්තර ඔත්තු සේවා අධ්‍යක්‍ෂ කාර්යාංශය - DII වශයෙනි).

විශේෂ සහ නිශ්චිත කාරණාවන් සම්බන්ධයෙන් ජාතික රහස් ඔත්තු බියුරෝවේ කටයුතු සඳහා එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සේවා ඒජන්සියත්, MI6 ඔත්තු සේවාවත් සහායක කටයුතුවල නිරත වුණ අතර විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම හරහා ජාතික රහස් ඔත්තු බියුරෝවේ කාර්යාලයන්ට ප‍්‍රවේශ වීමේ අවසරය ඔවුන්ට තිබේ. (විදේශ දූත කාර්යාල සමඟ ගණුදෙනු කිරීම සඳහා වූ අංශ ප‍්‍රධානියෙකු ජාතික රහස් ඔත්තු සේවා බියුරෝවේ සිටියද බොහෝ දුරට ඔත්තු කාර්යාංශයේ අතිරේක අධ්‍යක්‍ෂකවරයා හරහා) ජාතික ඔත්තු සේවා බියුරෝව සමඟ කොළඹ ස්ථාන ගත කොට ඇති CIA නිලධාරියා සම්බන්ධීකරණයන් පවත්වාගෙන යනු ලබයි. මෙම නිලධාරියා උසුලනු ලබන්නේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ තනතුරු ලැයිස්තුවට ඇතුළත් නොකරන ලද "කලාපීය ආරක්‍ෂක නිලධාරී" (regional security officer) යන ධූර නාමයයි.

ආසියාවේ ඇමරිකානු ඔත්තු සේවා වින්‍යාසය

(මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප‍්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ CIA සංවිධානයේ කොළඹ ස්ථානගත වී සිටින ප‍්‍රධානියායි.) නවදිල්ලි නුවර ස්ථානගත කොට තිබෙන CIA කාර්යාංශයද ජාතික ඔත්තු සේවා බියුරෝව (DII) හෙවත් අභ්‍යන්තර ඔත්තු සේවා කාර්යාංශය සමඟ නිශ්චිත ව්‍යාපෘතීන්ට ආදළව සම්බන්ධීකරණ කටයුතු පවත්වයි.

ලොව විශාලතම ඔත්තු සේවා සංවිධානය වන එක්සත් ජනපද ජාතික ආරක්‍ෂක ඒජන්සිය (NSA) කොළඹ ස්ථානගත වී සිටින අතර, අගනුවර එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පවත්වාගෙන යනු ලබන එක්සත් ජනපද හමුදා / ආරක්‍ෂක ඔත්තු සේවා ඒජන්සි කාර්යාලය හරහා එය කි‍්‍රයාත්මක වේ. මෙකී මෙහෙයුම් කි‍්‍රයාකාරීත්වයන්ගේ මට්ටම් පැහැදිලි නැත. මෙම ආරක්‍ෂක ඔත්තු සේවා ඒජන්සිය හා ජාතික ආරක්‍ෂක ඒජන්සිය ඔවුන්ගේ වාර්තා කිරීම් සිදු කරන්නේ ඍජුවම ඔවුන්ගේ මූලස්ථානය වෙතටය. CIA ක්‍රියාකාරීත්වයන් තානාපතිවරයාගේ විෂය පථයට යටත්ව කි‍්‍රයාත්මක වෙයි.

විදේශ දූත කාර්යාලයන්හි පවත්වාගෙන යනු ලබන එක්සත් ජනපද හමුදා හෝ රාජ්‍ය දෙපාර්තමේන්තු තනතුරු හරහා ජාතික ආරක්‍ෂක ඒජන්සි (NSA) හා මධ්‍යම ආරක්‍ෂක සේවා (Central Security Service - CSS) නියෝජිතයන් කි‍්‍රයා කරයි. කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කලින් සිටි ඇතැම් දෙවෙනි ලේකම්වරුන් රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ස්ථීර කරනලද මෙකී ජාතික ආරක්‍ෂක ඒජන්සියේ නිලධාරීන්ය.

මධ්‍යම ආරක්‍ෂක සේවය (CSS) වනාහී ජාතික ආරක්‍ෂක ඒජන්සියට (NSA) අනුබද්ධ අංශයක් වන අතර ඒජන්සිය විසින් එක්සත් ජනපදයේ ප‍්‍රාථමික ආරක්‍ෂක හවුල්කාර රාජ්‍යයන් නොවන රටවල පවත්වාගෙන යනු ලබන සවන්දීමේ මුරපොළවල් හා මෙහෙයුම් කටයුතු කළමනාකරණය කරනු ලබන්නේ එමගිනි. (ලන්ඩන්, ඔටාවා, ටෝකියෝ, බැන්කොක්, කැන්බරා, වෙලින්ග්ටන්, සියොල් සහ සිංගප්පූරුව යන එක්සත් ජනපදයේ ප‍්‍රාථමික ආරක්‍ෂක හවුල්කාර රටවල අගනගරවල ජාතික ආරක්‍ෂක ඒජන්සියේ ‘තානාපතිවරුන්’ සිටින අතර ඔවුන් හඳුන්වනු ලබන්නේ විශේෂ සම්බන්‍ධන නිළධාරීන් වශයෙනි.)

ජාතික ආරක්‍ෂක ඒජන්සිය යටතට වැටෙන තවත් ඒකකයක් වන විශේෂ ආරක්‍ෂක මිසයිල සහ ගගන විද්‍යා මධ්‍යස්ථානය (Defence Special Missile and Astronautics Centre - DSMAC) ‘සියලූ විදේශ අභ්‍යවකාශ සහ මිසයිල වැඩසටහන් පිළිබඳ වාර්තා කිරීම් සහ මූලික විශ්ලේෂණ’ භාරව සිටින අතර පසුගිය වසර හය ඇතුළතදී ඉන්දියාව තුළ ස්වකීය නීරීක්‍ෂණ කටයුතු තීව‍්‍ර කර තිබේ. 1999 දී ඉන්දීය න්‍යෂ්ටික පරීක්‍ෂණ පිළිබඳ කල් තබා වාර්තා කිරීමට අපොහොසත් වීම හමුවේ සිය සෝදිසි පහසුකම් වඩාත් වැඩි දියුණු කිරීමට ජාතික ආරක්‍ෂක ඒජන්සියට බල කෙරිණ.

ශී‍්‍ර ලංකාව තුළ ජාතික ආරක්‍ෂක ඒජන්සියේ මෙහෙයුම් පිළිබඳ සිදුකෙරෙන කවර හෝ විමසීමකදී සැළකිල්ලට ගත යුතු කරුණක් වන්නේ ‘80 දශකයේ මැද භාගයේ සිට දිවයිනේ බටහිර වෙරළබඩ තීරයේ’ ‘ඇමරිකානු හඬ’ මධ්‍යස්ථානය තුළ එක්සත් ජනපදය විසින් වැදගත් යටිතල පහසුකම් ප‍්‍රමාණයක් සංවර්ධනය කර ඇති බවයි. එමෙන්ම ලොව අන් ප‍්‍රදේශවලත් මීට සමානව ගොඩනංවා ඇති ‘ඇමරිකානු හඬ’ මධ්‍යස්ථානය තුළ ජාතික ආරක්‍ෂක ඒජන්සියේ ඉලෙක්ට්‍රෝනික නිරීක්‍ෂණ සම්පත් පහසුකම් ස්ථාපිත කර තිබේ.

බ්‍රිතාන්‍ය ඔත්තු සේවා ක්‍රියාකාරකම්

ශී‍්‍ර ලංකාව තුළ MI6 ඔත්තු සේවය නියෝජනය කරනු ලබන්නේ එක්සත් රාජධානියේ ශී‍්‍ර ලංකා දූත කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා විසිනි. බි‍්‍රතාන්‍ය මිලිටරි ඔත්තු සේවා ආයතනය සහ MI6 ඔත්තු සේවය, ලංකාවේ ජාතික ඔත්තු සේවා බියුරෝව සමඟ සම්බන්‍ධීකරණ කටයුතු දූත කාර්යාලයේ දෙවන ලේකම්වරයා හරහා ද සිදුකරනු ලබයි. දූත කාර්යාලයේ පළමු ලේකම් ධූරය ඉසිලූ නිලධාරියෙකුගේ නායකත්වයෙන් MI6 ඔත්තු සේවා ආයතනය 1994 දක්වා ස්වකීය මධ්‍යස්ථානයක් කොළඹ පවත්වාගෙන යනු ලැබිණ. එයින් පසු කොළඹ මධ්‍යස්ථානයේ කටයුතු MI6 ඔත්තු ආයතනයේ ජාකර්තා නුවර කලාපීය මධ්‍යස්ථානය සමඟ අනුබද්ධ කරන ලදී.

එක්සත් ජනපදය සමඟ බි‍්‍රතාන්‍යයට ආරක්‍ෂක හා ඔත්තු සේවා කටයුතු පිළිබද මිත‍්‍ර ගිවිසුමක් තිබේ. එම හේතුවෙන් ශී‍්‍ර ලංකාව සමඟ බි‍්‍රතාන්‍යයට පවත්නා සාම්ප‍්‍රදායික මිලිටරි සහ ඔත්තු සේවා සම්බන්‍ධතා එක්සත් ජනපදයට ප‍්‍රයෝජනවත් වේ. (1997 වන තෙක්ම ශී‍්‍ර ලංකා හමුදාවන්ගේ නිළධාරීන්ගේ සාරය පුහුණු කරන ලද්දේ එක්සත් රාජධානියේය. ලූතිනල් ජෙනරාල් ශී‍්‍ර ලාල් වීරසූරිය දක්වා වූ සියලූම ශී‍්‍ර ලංකා හමුදාපතිවරුන් එක්සත් රාජධානියේ සෑන්ඩ්හර්ස්ට් හී රාජකීය යුද ඇකඩමියේ උපාධිධාරීන් ය.)

මෙහිදී වැදගත් කොට සඳහන් කළ යුතු වන්නේ එක්සත් ජනපදයේ ප‍්‍රාථමික ආරක්‍ෂක හවුල්කරුවන් සියල්ලන්ට ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක ආයතනයන්ට ප‍්‍රවේශ පහසුකම් පවතින බවයි. සිංගප්පූරුවේ ස්ථානගත කොට තිබෙන  ඕස්ටේ‍්‍රලියානු ආරක්‍ෂක ඔත්තුසේවා සංවිධානයේ (Australian Security Intelligence Organisation - ASIO)  නිළධාරීන්ට කොළඹ අභ්‍යන්තර ඔත්තු සේවා කාර්යාංශය (DII) විසින් අවශ්‍ය තොරතුරු සම්පිණ්ඩනයන් නිරන්තරයෙන් සිදුකරනු ලබයි. අදාළ සම්බන්‍ධීකරණ කටයුතු සිදු කෙරෙන්නේ කොළඹ  ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලයේ (ඇත්ත වශයෙන්ම නම් එහි දෙවන ලේකම් ධූරය හොබවන) නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා විසිනි.

දෙවන ලෝක යුද සමයේ සිට ස්වකීය ප‍්‍රාථමික ආරක්‍ෂක හවුල්කරුවන් සමඟ අති සමීප යුද හා ඔත්තු සේවා සම්බන්‍ධතා පවත්වාගෙන යාම කෙරෙහි යොමු වී කටයුතු කිරීම මගින් අදාළ රටවල දේශපාලන සහ මහජන තලයන් හරහා එන පීඩනයන්ගෙන් තම උපායික අභිලාෂයන් ආරක්‍ෂා කර ගැනීමට එක්සත් ජනපදය සමත් විය. එක්සත් රාජධානිය,  ඕස්ටේ‍්‍රලියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවල පවත්වාගෙන යනු ලබන එක්සත් ජනපද ඔත්තු සේවා පහසුකම් මධ්‍යස්ථාන අදාළ රටවල දේශපාලන සංස්ථාවන්ට වගකීමට බැඳී ඇත්තේම නැති තරම් වන අතර, එසේ ඇති නම් ඒද සුළු වශයෙනි.
නිදසුනක් වශයෙන්  ඕස්ටේ‍්‍රලියාව තුළ පවත්වාගෙන යනු ලබන ජාතික ආරක්‍ෂක ඒජන්සියේ ආයතනයන්ට ප‍්‍රවේශ වීමේ අවකාශයක්  ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තුවට නැත. මෙම ප‍්‍රශ්නය අවසන් වරට නඟන ලද්දේ 1999 දී ය. එමෙන්ම මෑතක් වන තෙක්ම කැනේඩියානු ආරක්‍ෂක ඔත්තු සේවාව (Canadian Security Intelligence Service - CSIS) හරහා කි‍්‍රයාත්මක වන කැනේඩියානු සංක‍්‍රමණික ප‍්‍රතිපත්තීන්ට අදාළ එක්සත් ජනපද ඔත්තු සේවා ප‍්‍රමුඛතා සම්බන්‍ධයෙන් කැනේඩියානු පාර්ලිමේන්තුවට වගකියනු නොලැබිණ.

'සෝෆා' සහ 'අක්සා' ගිවිසුම්

ඉහත තත්ත්වය හරහා ස්වකීය ප‍්‍රාථමික ආරක්‍ෂක හවුල්කාර රටවල් තුළ දේශපාලන තලයන්හී ඇතිවන වෙනස්කම්වල අවම හෝ බලපෑමකින් තොරවම එක්සත් ජනපද ආරක්‍ෂක ආයතනයන්ගේ ගෝලීය උපායික අභිලාෂයන් සහ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට හැකි වී තිබේ. අසූව දශකයේ අග භාගයේදී විශාල සංඛ්‍යාවක් දෙමළ ජනයාට පදිංචි වීමට කැනේඩියානුවන් ඉඩ සලසන ලද්දේ ඇමරිකානු අභිලාස්‍යන්ට යටත්ව බව කැනේඩියානු සංක‍්‍රමණික ප‍්‍රතිපත්ති පිළිබඳ ඉතිහාසඥයෙකු වන රෙග් විටේකර් වරක් කීවේය. එය වනාහී කැනේඩියානු ආරක්‍ෂක ඔත්තු සේවය විසින් පිළිගන්නා ලද එක්සත් ජනපද උපායික අවශ්‍යතා සමඟ සුසංගත වූවක් බව ඔහු අවධාරණය කරයි.

කලාපීය බලවතුන් සේ සැළකෙන රටවලට යාබදව පිහිටා තිබෙන ආරක්‍ෂක හවුල්කරුවන් වීමේ විභවය සහිත රාජ්‍යයන් සමඟ සමීප මිලිටරි සබඳතා වර්ධනය කිරීම හා තහවුරු කිරීම සඳහා කටයුතු කිරීමේදී ඇමරිකානු පුරවැසියන් හා අදාළ ඉලක්ක රටෙහි ආණ්ඩුව ප‍්‍රකෝප කිරීමෙන් වැළකී සිටීමට එක්සත් ජනපදය විශේෂ සැළකිල්ලක් ගනු ලබයි. ආරක්‍ෂක හවුල්කාරීත්වයක් සඳහා විභවයක් ඇති අදාළ රටෙහි ආරක්‍ෂක හමුදා පද්ධතිය විනිවිදීම මගින් එය නම්‍යශීලී කිරීමට එක්සත් ජනපදය අරමුණු කරන අතර, එමගින් උපායික සබඳතා ප‍්‍රමාද කරන හෝ අවහිර කරන දේශපාලන පීඩනයන් එල්ලවීම වළක්වනු ලබයි. අදාළ ‘විනිවිදීම’ වසරින් වසර ක‍්‍රමානුකූලව සිදුකරනු ලබන ඒකාබද්ධ අභ්‍යාස, (දේශීයව මෙන්ම එක්සත් ජනපදය තුළත් පවත්වන) පුහුණු වැඩසටන්, උපදේශනය, මිලිටරි උපකරණ සැපයුම හා කි‍්‍රයාකාරී ඔත්තු සේවා සහායවීම් ආදිය හරහා සිදු කෙරේ. මෙම කි‍්‍රයාදාමය තුළින් නිශ්චිත වශයෙන්ම ඉලක්ක කරනු ලබන්නේ ඔත්තු අංශවල මෙන්ම යුද, නාවික, ගුවන් හා පොලිස් හමුදාවන් තුළ විශිෂ්ටතම ඒකකයන් එක්සත් ජනපද මිලිටරිමය සහෝදරත්වයේ ‘ගොණුව’ තුළට ඇතුළත් කරගැනීම ය.

සේනා තත්ත්ව ගිවිසුම (Status of Forces Agreement - SOFA) සහ ප්‍රතිග්‍රහණ සහ සේවා හුවමාරු ගිවිසුම (Acquisition and Cross-Servicing Agreement - ACSA) වනාහී ආරක්‍ෂක හවුල්කරුවන් බවට පත්වීමේ විභවය සහිත රාජ්‍යයන් සමඟ වන සමීප සබඳතාවන්ගේ ප‍්‍රතිලාභ තහවුරු කරගැනීම සඳහා එක්සත් ජනපද මිලිටරිය සතුව ඇති වඩාත් ප‍්‍රතිඵලදායී මෙවලම් වේ. කලාපීය ආධිපත්‍යය සඳහා විභවය සහිත බලයන් පවතින ප‍්‍රදේශ තුළ එක්සත් ජනපද මිලිටරි බලය ප‍්‍රක්‍ෂේපණය කිරීමට අවශ්‍ය ‘නම්‍යතාව’ සඳහා වන පදනම නිර්මාණය කිරීම සිදු කෙරෙන්නේ මේ දෙවැදෑරුම් ගිවිසුම් මගිනි. ඒවායේ ‘අවිධිමත් ස්වභාවය’ කලාපය තුළත්, එක්සත් ජනපදය තුළත්, ගිවිසුමට ඇතුළත් වන රට තුළත් අඩු අවධානයක් හිමිවීමට බලපාන නමුත් එමගින් මිලිටරි කටයුතු ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය යතුර එක්සත් ජනපදයට හිමි වේ.

එක්සත් ජනපද ගුවන් හමුදාවන්ගේ වත්මන් ගෝලීය ප‍්‍රවේශවීම් සඳහා වැදගත් කොට සළකනු ලබන කලාපයක් වන බටහිර පැසිෆික් කලාපයේ හා දකුණු ආසියාවේ රාජ්‍යයන් දෙකක් වන පිලිපීනය සහ නේපාලය සමඟ 1999 දී එකසත් ජනපද හමුදාව ප්‍රතිග්‍රහණ සහ සේවා හුවමාරු ගිවිසුම් අත්සන් කරන ලදී. අවශ්‍ය සන්‍ධිස්ථානයේ දී SOFA සහ ACSA ගිවිසුම් තහවුරු කිරීම සඳහා, ඉලක්ක කරනු ලබන රාජ්‍යය තුළ මතුවන නිශ්චිත අභ්‍යන්තර වාතාවරණය දේශපාලනිකවත්, රාජ්‍ය තාන්ති‍්‍රකවත්, ආර්ථිකවත් සූරාකෑම විධිමත්ව හැසිරවීමට එක්සත් ජනපදය කටයුතු කර තිබේ.

පිලිපීන උදාහරණය

ශී‍්‍ර ලංකාවට අදාළ කදිම සමාන්තර යථාර්ථයක් පිලිපීනය සපයයි. මැනිලාව සමඟ ප්‍රතිග්‍රහණ සහ සේවා හුවමාරු ගිවිසුම අත්සන් කරනු ලබන විටත් අවසාන වශයෙන් එක්සත් ජනපදයට ප‍්‍රයෝජනවත් වන මින්දනාඕ වරාය සහ එහි ප‍්‍රත්‍යන්ත අංශ සංවර්ධනය කිරීමේ කටයුතු එකසත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (USAID) විසින් අරඹා තිබිණ. මින්දනාඕ වරාය අවට ප‍්‍රදේශය තුළ පැවැති එක්සත් ජනපද විරෝධී වාමාංශික නව මහජන හමුදාවේ (New Peoples Army - NPA) කි‍්‍රයාකාරකම්වල තර්ජනය අවම කිරීම සඳහා මැනිලාව සහ නව මහජන හමුදාව අතර සාම සාකච්ඡා සඳහා පහසුකාරක කටයුතු නෝර්වේ රාජ්‍යය විසින් සිදු කරන ලදී. ඉහතින් කී ප්‍රතිග්‍රහණ සහ සේවා හුවමාරු ගිවිසුම අත්සන් කරනු ලබන මොහොත වන විට මින්දනාඕ වරාය ප‍්‍රදේශයේ තත්ත්වය සමනය කිරීමට USAID සහ නෝර්වේජියානු පහසුකාරක කටයුතු ආධාරක වී තිබිණ.

සූබික් බොක්කේ එක්සත් ජනපද කඳවුර වසා දැමීමත් සමඟම 1990 මැද භාගය වන විට එකසත් ජනපද - පිලිපීන සබඳතාවන් අස්ථාවර ඉමකට අවතීර්ණ විය. පිලිපීනය සමඟ සමීප ආයතනගත සබඳතාවන් ප‍්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ලීවරයන් කිහිපයක්ම එක්සත් ජනපද මිලිටරිය සතුව තිබිණ. යුදමය වශයෙන් එක්සත් ජනපදයේ මිත‍්‍ර පාක්‍ෂිකයෙකු වූ සෞදි අරාබියේ රහසිගත අරමුදල් සම්පාදනය සහිතව මින්දනාඕ ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක ඉස්ලාමීය සටන්කාමීන්ගේ අඛණ්ඩ මිලිටරි පීඩනයට පිලිපීන හමුදාවන් ඉලක්ක වෙමින් පැවතුණි. මේ හේතුවෙන් පිලිපීන හමුදාවන්ගේ ත‍්‍රස්ත මර්දන ශක්‍යතා තියුණු කිරීමත්, නවීකරණය කිරීමත් ඉලක්ක කරගත් එක්සත් ජනපද විශේෂ බලකායේ ඒකාබද්ධ අභ්‍යාසයන් සඳහා පිලිපීනයේ දොර හැරුණි. හමුදාවන් දෙක අතර පැවතියා වූ සාම්ප‍්‍රදායික සබඳතාවන් විසින් මෙම කි‍්‍රයාදාමය මෘදුව ගලායාම පහසු කරන ලද අතර එම කි‍්‍රයාදාමය ප්‍රතිග්‍රහණ හා සේවා හුවමාරු ගිවිසුම අත්සන් කිරීම මගින් කූට ප‍්‍රාප්තියට පත්විණ.

ශී‍්‍ර ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින සමඟ SOFA හෝ ACSA ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ඉන්දීය උප මහාද්වීපය තුළ එක්සත් ජනපද උපායික ස්ථානගත වීම සම්පූර්ණ කෙරෙනු ඇත. (2007 මාර්තුවේදී රාජපක්‍ෂ පාලනය යටතේ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ACSA ගිවිසුමට අත්සන් තැබුණු අතර, මාලදිවයින සමග අත්සන් කිරීමට සූදානම් කොට තිබූ SOFA ගිවිසුමට තමන් නොඑළඹෙන බව මාලදිවයින් ජනාධිපතිවරයා 2014දී නිවේදනය කළේය. බංග්ලාදේශය සමග එවැනි ගිවිසුමකට එළඹීමට 1969 සිට ගන්නා ලද ඇමරිකානු ප්‍රයත්නයන් බංග්ලාදේශ මහජන විරෝධතා හේතුවෙන් මේ වනතුරුත් සඵල වී නැත. - පරිවර්තක)

'මිස්ටර් ස්මිත්'

කලාපය තුළ වැදගත් ආරක්‍ෂක හවුල්කරුවෙකු වන ශී‍්‍ර ලංකාව සමඟ වන මිලිටරි සහ ඔත්තු සේවා සබඳතා ‘ප‍්‍රමාණවත්’ ලෙස ව්‍යාප්ත කිරීමට සහ ශක්තිමත් කිරීම සඳහා ලංකාවේ ජවාර්ගික ගැටුම ‘කළමනාකරණය’ කිරීමද එක්සත් ජනපදයට වැදගත් වේ. ශී‍්‍ර ලංකා රජය සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය අතර යුද්ධය තීව‍්‍ර වීම විසින් එක්සත් ජනපද පැසිෆික් ආඥාවට මේ සඳහා පුළුල් අවස්ථාවන් උදාකර දී තිබේ.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර සබඳතා පුළුල් කිරීම ආරම්භ කෙරුණු 1993 පටන්, ශ්‍රී ලංකාවේ හමුදා ව්‍යුහය සහ යුද සිද්ධාන්ත එක්සත් ජනපද හමුදාවන්ට සමාන වන ආකාරයකින් පිළිසැකසීමකට පාත්‍ර කෙරුණි. ශ්‍රී ලංකා හමුදාවන්ගේ යුද ඉගැන්වීම් තුළ ගුවන් බලයට ප්‍රමුඛ භූමිකාවක් ලබාදීම අවධාරණය කෙරුණේ එක්සත් ජනපද දායකත්වය සහ ආධාර හේතුවෙනි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා එක්සත්ජනපද ගුවන් හමුදාව විසින් සකස් කෙරුණු විශේෂ පුහුණු වැඩසටහන් මූලික වශයෙන් යොමුවූයේ ප්‍රති කැරළි යුද ක්‍රියාවන්ට සම්බන්ධ උපක්‍රමික ගුවන් සටන් බල ඇණි වෙනුවට උපායික ගුවන් බලය සංවර්ධනය කිරීම සඳහා ය.

2000 - 2001 කාලය තුළ ශ්‍රී ලංකාවේ යුද සිද්ධාන්තයන්හි දැන හෝ නොදැන ගුවන් බලයට වැඩි අවධාරණයක් යෙදවීමට දැන හෝ නොදැන මාරුවීම විසින් ඊට අදාළ පහසුකම් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව ඉහළ දැමුණි.

ඉහත සන්දර්භ තුළ, ආරක්‍ෂක හවුල්කරුවන් වීමේ විභවයක් සහිත ශ්‍රී ලංකාව වැනි රටවල් සම්බන්ධයෙන් එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යයන ලියැවිල්ල කියන්නේ කුමක්දැයි සටහන් කරගැනීම වැදගත් වේ. "ඉදිරි ආසන්න කාලය තුළ, ආසියාවට ප්‍රවේශන උපාය කේනද්‍රගත විය යුත්තේ, කලාපයේ ආරක්‍ෂක හවුල්කරුවන් වීමට විභවයක් ඇති රටවල් සමග සේනා විහිදුවීම් හා ඒකාබද්ධ අභ්‍යාස සඳහා ඇති අවස්ථා වැඩි කිරීම සහ භව්‍යතා ගිවිසුම් සංවර්ධනය කිරීම මත ය. ප්‍රතිඵල වශයෙන් ඇති කරගන්නා සම්බන්ධයේ සමීපතාව මත, එක්සත් ජනපද ගුවන් හමුදා මෙහෙයුම් සඳහා උචිත පරිදි ගුවන් ධාවන පථ දිගු කිරීම, ගුවන් සේවා පාලන පහසුකම් වර්ධනය කිරීම, යානා නාවතාලීමේ උපාන්ත තීරු හා ඒ හා සමාන වෙනත් පහසුකම් අලුත්වැඩියා කිරීම ආදී ක්‍රියාමාර්ග මෙයට ඇතුළත් විය හැක."

එක්සත් ජනපද ගුවන් හමුදා කණ්ඩායමක් දැනටමත් දිවයින තුළ කඳවුරු පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙන් අඩුම වශයෙන් මූලික සමීක්‍ෂණ දෙකක්වත් පවත්වා තිබේ.  2001 පෙබරවාරි මාසයේ, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නිලධාරියාගේ නිල නිවසේ දිවා භෝජනයක දී මෙකී කණ්ඩායමේ ඇතැම් සාමාජිකයන් මම හමුවීමි. ඔවුන්ගේ ප්‍රශ්න බොහෝමයක අරමුණ වූයේ, පලාලි කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීමට එල්ටීටීඊ සංවිධානයට ඇති හැකියාව ගැනත්, කඳවුර යටත් කරගැනීමට එල්ටීටීඊ සංවිධානය සමත් වුවහොත් ඉන්දියාවේ ප්‍රතිචාරය කුමක් විය හැකි ද යන්නත් දැන ගැනීමට ය.

තනතුරක් නොදක්වා, 'සමිත් මහතා'  යනුවෙනු පමණක් එහිදී හඳුන්වා දෙන ලද එම කණ්ඩායමේ සාමාජිකයෙක්, RONCO නමින් යාපනයේ ක්‍රියාත්මක බිම් බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායමක් සමග කටයුතු කරයි. මෙකී 'ස්මිත්' නමැත්තා, යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යකරුවන් සමග සම්බන්ධ පවත්වාගනිමින්, 1) කිසියම් මොහොතකදී පලාලි - කන්කසන්තුරෛ මූලික කොටගත්, අධි ආරක්‍ෂක කලාපයට ඇතුළුවීම සඳහා යුද අනාථ ජනයා පෙළඹවීමට එල්ටීටීඊ සංවිධානය සැළසුම් කරමින් ඇතිද යන්න ගැනත්, 2) අධි ආරක්‍ෂක කලාපයේ පරිවාරයේ අවසර ලබා දී ඇති ජනාවාස තුළට ඇතුළුවීමට එල්ටීටීඊ සංවිධානයට ඇති ඉඩකඩ කෙතරම් බරපතලද යන්න ගැනත්, 3) යාපනයේ හමුදා පාලන ප්‍රදේශ තුළ එල්ටීටීඊ දේශපාලන කේඩරයේ ශක්තිය ගැනත් විමසා තිබේ.

කොටි මෙල්ල කිරීම

මේ සන්ධිස්ථානයේදී, එක්සත් ජනපද උපායික අභිලාෂයන් දිවයින තුළ ශක්තිමත් කොට තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම තීරණාත්මක ලෙස වැදගත් බව සැළකිල්ලට ගනු ලැබ තිබේ. විශේෂයෙන්ම පලාලි සහ ත්‍රීකුණාමලයට එල්ල කොට ඇති අඛණ්ඩ තර්ජනය හේතුවෙන්, එල්ටීටීඊ සංවිධානය මෙම අරමුණ සාක්‍ෂ්‍යාත් කරගැනීමට ඇති මුරණ්ඩු අවහිරයක් බවට පත්ව ඇත. විමුක්ති කොටි සීමා කොට, වඩා මෙල්ල කළ බලවේගයක් බවට පත් කිරීම ප්‍රමුඛතාවක් සේ හඳුනාගෙන තිබේ.

2001 ජූලි මාසයේදී, වොෂින්ටනයේ සිටින CIA කලාපීය විශ්ලේෂකයා මෙසේ පැවසීය: "එල්ටීටීඊ සංවිධානය සීමාකරන අතරතුර, ත්‍රස්ත ගැන්වීමේ බෝම්බ ප්‍රහාර තීව්‍ර කිරීම මගින්, එල්ටීටීඊ සංවිධානයේ පාලනය යටතේ ජීවත්වන සිවිල් ජනගහණය මත පීඩනය උත්සන්න කිරීම හරහා ප්‍රභාකරන් පහ කිරීමට අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කිරීමට ඉඩ තිබේ." 2001 අප්‍රේල් මාසයේදී, එක්සත් ජනපද ආක්‍ෂක ඔත්තු සේවා ඒජන්සිය (DIA) එල්ටීටීඊ සංවිධානයේ නැව්ගත අවි තොගයක පරිශීලක බලපත්‍රය (End User Licence), අදාළ අවි තොගයේ ඉන්දුනීසියානු හවුල්කාර පාර්ශ්වය මගින් ලබා ගත්තේය. ඒ අනුව, අදාළ ලියැවිල්ල බල්ගේරියාවට සම්බන්ධ බව සොයා ගැණුනි. බල්ගේරියානුවන්ට කතා කළ ආක්‍ෂක ඔත්තු සේවා ඒජන්සිය, මෙයට පූර්වයෙන් සිදුකළ ගණුදෙනු හා සම්බන්ධ අතීත වාර්තා ලබා ගෙන මතු විකිණුම් නවතනු ලැබීය. ආක්‍ෂක ඔත්තු සේවා ඒජන්සියේ කොළඹ ප්‍රධානියාට අනුව, මෙම පියවර එල්ටීටීඊ සංවිධානය සාකච්ඡාවන්ට පොළඹවනු පිණිස අවශ්‍ය පීඩනය ඇති කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

කෙසේ වුවද, කවර හෝ ආකාරයකින් එල්ටීටීඊ සංවිධානයට බලපෑම් කළ හැකි සෘජු ලීවරයක් නොමැති වීම ගැන, එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය ඔත්තු සේවා 'විශේෂඥයෝ' පශ්චාත්තාප වෙති. ඇමරිකාවේ ප්‍රධාන ආරක්‍ෂක හවුල්කාර රටවල් තුළ සිදු කැරෙන එල්ටීටීඊ ක්‍රියාකාරකම් නවතාලනු පිණිස එක්සත් ජනපදයේ මෙහෙයවීම විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අපේක්‍ෂිත ප්‍රතිඵල අත්කර දීමට අපොහොසත් විය.☐

ධර්මරත්නම් සිවරාම්


© JDS