’71දී ලංකාවට කැරළි මර්දන යුද උපදෙස් සැපයුවේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවායි' - ෆිල් මිලර්

එක්දහස් නවසිය හැත්තෑ එකේ අප්‍රේල් නැගිටීම ‘තරුණයන් බාගන්න’ එක්සත් ජනපද මධ්‍යම ඔත්තු සේවාව විසින් අටවන ලද ‘කෙමනකැ’යි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයට අයත් ’ඇත්ත’ පත්තරය කැරැල්ල සමයේ දී ලීවේය. සම සමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂ ද ඇතුළත් කොට පිහිටුවා ගත් ‘වාමාංශික ප්‍රගතිශීලී’ සමගි පෙරමුණු ආණ්ඩුව අවි බලයෙන් පෙරළා දැමීමේ උවමනාව බටහිර කඳවුරේ ප්‍රමුඛතාවක්  බව ඒ මගින් හඟවනු ලැබුණි.

නමුත් කැරැල්ලෙන් 40 වසරකට පසු ෆිල් මිලර් විසින් සිදුකළ වෙහෙසකර පර්යේෂණ මගින් අනාවරණය කරන ඇත්ත මීට හාත්පසින්ම වෙනස් ඉතිහාස කතාවක රහස් දොරටු විවර කර තිබේ. බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකා රාජ්‍යයන් අතර පවතින ව්‍යුහාත්මක සබඳතාවන් මෙන්ම ඊට පිටුබල සපයන භූ දේශපාලනික  යථාර්ථයන් හෙළිදරව් කරනු වස් බ්‍රිතාන්‍ය රජයේ පැරණි රහස්‍ය ලිපි ගොණු ගවේෂනය කරමින් ෆිල් මිලර් විසින් ගෙනගිය පුරෝගාමී ප්‍රයත්නයන් ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක් සම්පූර්ණ කරයි.

බ්‍රිතාන්‍යයේ Corporate Watch සංවිධානයේ පර්යේෂකයෙකු වශයෙන් කටයුතු කරන ෆිල්, 1971 කැරැල්ල සමයේ බ්‍රිතාන්‍යය විසින් ඉටුකළ අප්‍රකට වැඩ කොටස පිළිබඳ වැදගත් ලිපි ලේඛණ ගණනාවක සම්පාදකයා වේ. තිස් වසක් තිස්සේ දිග්ගැසුණු දෙමල ජනයාට එරෙහි යුද්ධය තුළ බ්‍රිතාන්‍ය භූමිකාව, අප්‍රකට රහස්‍ය ලිපි ලේඛණ ඇසුරින් අනාවරණය කෙරෙන Britain’s Dirty War against the Tamil People 1979 - 2009 මැයෙන් වූ වාර්තාව 2014 දී එළිදැක් වූ හෙතෙම, මේ වසරේ මාර්තුවේදී එකී මුල් වාර්තාවට Exporting Police Death Squads: From Armagh to Trincomalee මැයෙන් සංක්‍ෂිප්ත ඌන පූර්ණයක්ද සම්පාදනය කළේය.

71 තරුණ නැගිටීමට 44 වසරක් සම්පූර්ණ වන මේ අප්‍රේල් මාසයේදී,  ඔහුගේ ප්‍රෝත්සාහී පර්යේෂණයන් මගින් අනාවරණය කොටගත් එතෙක් වැළලී තිබූණු ඉතිහාස කරුණු පිළිබඳ JDS හා සාකච්ඡා කරන්නට ෆිල් මිලර් එක් විය.

[*අප්‍රේල් නැගිටීම මර්දනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය දැක් වූ දායකත්වය විශ්ලේෂණය කරමින් ෆිල් මිලර් විසින් ලියන ලද ලිපි පෙළක් ඉදිරියේදී ජේඩීඑස් විසින් පළ කිරීමට නියමිත ය.]

සටහන: අතුල විතානගේ


බ විසින් කරන ලද පර්යේෂණවලින් ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන ඉතිහාසය පිළිබඳ සුවිශාල තොරතුරු සම්භාරයක් අනාවරණය කරන්නට ඔබට පුළුවන් වුණා. මේ උනන්දුව, උවමනාව පටන් ගත්තේ කොහොමද?

ෆිල්: සංක්‍රමණිකයින් දහස් ගණනක් රඳවලා තිබුණු බ්‍රිතාන්‍යයේ දේශපාලන සරණාගතයින්ගේ රැඳවුම් මධ්‍යස්ථානවලට ආ - ගිය ශිෂ්‍ය කණ්ඩායමකට කාලයක් මම අයත් වුණා. මේ විදියට රඳවා සිටි අය එක්කෝ ආපහු මුල්රටවලට නෙරපා හරින්න හරි, එහෙමත් නැතිනම් සරණාගතභාවය ලබාදෙන්න හරි නියමිතව සිටි පිරිස්. 2011 වසර වෙනකොට දෙමළ දේශපාලන සරණාගතයින් විශාල ප්‍රමාණයක් රඳවා තබාගෙන, එයින් පසු කුලියට ගත් ගුවන් යානා මගින් ඒ අයව නෙරපා හරින්නත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව කටයුතු කරමිනුයි හිටියේ. මේ විදියට රටින් නෙරපීම් පටන් ගත්තාට පස්සේ කොළඹින් ගොඩ බැස්ස ඇතැම් දෙමළ ජනයා අත් අඩංගුවට ගෙන වද හිංසාවන්ට පාත්‍ර කළ බවට සාක්‍ෂි ලැබෙන්න පටන් ගත්තා. නමුත්  බ්‍රිතාන්‍ය ආණ්ඩුව මේ සාක්‍ෂි නොතකා  හරිමින් දිගින් දිගටම දෙමළ ජනයා නෙරපීම කරගෙන ගියා. දෙමළ ජනයා වද බන්ධනයන්ට ලක්කරන්න මගේ රට හවුල් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය මට මතුවුණේ මේ තත්ත්වය නිසායි. ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විදේශ ප්‍රතිපත්තිය ගැන ගවේෂනය කරන්නට මම පටන් ගත්තේ මේ කාලයේදීයි.

බ්‍රිතාන්‍යයත්, එහි කලින් යටත් විජිතයක් විදියට පැවති ශ්‍රී ලංකාවත් අතර තියෙන ගැඹුරු ව්‍යුහාත්මක සම්බන්ධය පිළිබඳ කාරණාව පර්යේෂකයින් තුළ ප්‍රමාණවත් උනන්දුවක් අවුලවා නැහැ වගේම ඒ සම්බන්ධයෙන් තිබෙන්නේ නොදැනුවත්කමක්. මේ තත්ත්වයට හේතුව මොකක්ද?

ෆිල්: මම හිතන්නේ ශ්‍රී ලංකාව ගැන වැඩිමනත් පර්යේෂණවල යෙදිලා තියෙන්නේ ලංකාවේ තිබුණු ගැටුමේ බහු වාර්ගික මානයන්ට වශී වුණ මානව විද්‍යාඥයින් විසිනුයි. ජන වාර්ගික භේදයන් වංචනික විදියට හසුරුවපු බ්‍රිතාන්‍ය වැනි බාහිර බලවේග පිළිබඳ ගවේෂණය කරනව වෙනුවට පිළිතුරු හොයා ගන්න ඔවුන් වැඩියෙන් නැඹුරු  වෙන්නේ දිවයින ඇතුළටයි. ඒ වගේම අපේ විජිතවාදී උරුමය විවේචනය කරන එක බ්‍රිතාන්‍යය ඇතුළේත් ඒ තරම් සම්මත විලාසිතාවක් නෙවෙයි. ප්‍රධාන ධාරාවේ තියෙන ආකල්පය තමයි, නයල් ෆර්ග්‍යුසන් වගේ ඉතිහාසඥයන්ගෙන් නියෝජනය කෙරෙන, ‘අපි ඒ අයට දුම්රිය මාර්ග දුන්නා’ කියන වර්ගයේ ආකල්ප.

ඔබ විසින් සිදුකර තියෙන  ගවේෂණාත්මක අධ්‍යයනයන් මගින් ආවරණය කරන ප්‍රධාන කාල පරිච්ඡේදයක් තමයි, පශ්චාත් යටත් විජිත ලංකාවේ පළමු සන්නද්ධ නැගිටීම වශයෙන් සළකන 1971 අප්‍රේල් නැගිටීමට අදාළ වකවානුව. අප්‍රේල් නැගිටීමේ 44 වැනි සමරුව යෙදෙන්නේ මේ අප්‍රේල් පස් වැනිදාට බව ඔබ දන්නවා ඇති. ඔබේ උත්සාහයන් හරහා මේ සම්බන්ධයෙන් ඔබ සොයාගත්ත නිශ්චිත තොරතුරු මොනවාද?

ෆිල්: සාමාන්‍යයෙන් අවුරුදු 30ක සම්බාධකයකට යටත්ව තියෙන බ්‍රිතාන්‍ය රාජ්‍ය ලිය කියවිලි මහජනයාට විවෘත කෙරෙන  ජාතික ලේඛණාගාරයට වරක් මම ගියා. පුදුමයකට වගේ, ‘චේ ගුවේරාවාදී කැරැල්ලක්’ විදියට බ්‍රිතාන්‍යය හඳුන්වපු 1971 ජනතා විමුක්ති පෙරමුණේ නැගිටීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශයේ ලිය කියැවිලි තොගයක් එතැන තිබුණා. ජවිපෙ නැගිටීම මර්දනය කිරීම සඳහා ලංකාවේ හමුදාව හා පොලිසිය සන්නද්ධ කරන්න සහ උපදෙස් සපයන්න  බ්‍රිතාන්‍යය විසින් රහසිගතව කටයුතු කළ ආකාරය දැක්වෙන, ඒ දක්වා රහස්‍ය තොරතුරු වශයෙන් තිබුණ රාජ්‍ය තාන්ත්‍රික පණිවුඩ සිය ගණනක් මම කියෙව්වා. තමන් විසින් සපයපු අවි ආයුධ සිවිල් වැසියන් සංහාරය කරන්න යොදාගත් බවට මනා පරිපූර්ණ වැටහීමක් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශයට තිබිලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ මැදිහත්වීමේ ප්‍රමාණය ගැන ඇමතිවරු එවකට පාර්ලිමේන්තුවට කියලා තිබුණේ බොරු.

එවකට තිබුණ සමගි පෙරමුණු ආණ්ඩුව වාමාංශික ප්‍රගතිශීලී ආණ්ඩුවක් වශයෙනුත්, ඒ නිසාම බටහිර රටවල වෛරයට පාත්‍ර වූ එකක් වශයෙනුත් තිබුණු පොදු විශ්වාසයට ප්‍රතිවිරුද්ධ අභියෝගයක් ඔබේ සොයාගැනීම් විසින් මතු කරනවා. ඒ වෙනුවට, ඔබේ පර්යේෂණයන් විසින් අනාවරණය කරන්නේ, ලංකා රජයේ යුදමය ශක්‍යතා වැඩි දියුණු කරන්න - බ්‍රිතාන්‍ය Mi5 ඔත්තු සේවාව විසින් සපයපු සහායත් ඇතුළු - විශේෂඥ උපදේශනය හා සහයෝගය බ්‍රිතාන්‍යය විසින් සම්පාදනය කරපු බවයි. මේ හා සම්බන්ධ කාරණා යම් තාක් සවිස්තරාත්මකව පැහැදිලි කරන්න පුළුවන්ද?

ෆිල්: අපි දන්නවා, බටහිර වගේම නැගෙනහිර කඳවුරේ රාජ්‍යයන් විසිනුත් කැරැල්ල මර්දනය කරන්න අවශ්‍ය උදව් උපකාර ලංකාවට ලබා දුන් බව. නමුත් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා විසින් පසුව යවපු විදුලි පණිවුඩයක ආඩම්බරයෙන් ආවර්ජනය කරලා තියෙන්නේ, ‘කොහොම වුණත්, වඩා වැදගත් වුණේ විශිෂ්ඨ වේගයකින් සහ තීරක බලපෑමක් ඇති කරන විදියට මහ රැජිනගේ ආණඩුව විසින් සපයපු සුළු අවි, පතුරම්, සන්නාහ රථ සහ වෙනත් දේවල්’ බවයි. නැගිටීම ඇති වුණු සැණින්ම සිරිමාවෝ බණ්ඩාරනායකට බ්‍රිතාන්‍යයේ යුද සහාය අවශ්‍ය වුණා. නමුත් ඒ මොහොතේ ඇති වුණු ආරක්‍ෂක අර්බුදය බ්‍රිතාන්‍ය දූත නිලධාරීන් දැක්කේ සමගි පෙරමුණු ආණ්ඩුව ඇතුළට බලපෑම් කරමින්, එහි වාමාංශික න්‍යාය පත්‍රය දුර්මුඛ කරගන්න  අවශ්‍ය ලීවරයක් සපයා ගන්න සුදුසු අවස්ථාවක්  විදියටයි. මේ අනුව ‘71දී, බ්‍රිතාන්‍යයේ යුද බුද්ධි අංශය වන Mi5 ඔත්තු සේවා ඒජන්සිය විසින් අගමැතිනී බණ්ඩාරනායකට ප්‍රති කැරළි යුද ක්‍රියා පිළිබඳ පෞද්ගලික උපදෙස් සපයනු ලැබුණා. ඒ මගින් ලංකාවේ අගමැතිවරයාව ඉතාමත්ම සමීප මට්ටමකින් පාලනය කරන්න හැකියාව එක්සත් රාජධානියට ලැබුණා.

ඔබේ අදහසට අනුව, ලංකා ආණ්ඩුවට උපදෙස් සැපයීමේදී ලෝකයේ වෙනත් රටවල ප්‍රති කැරළි යුද ක්‍රියා පිළිබඳ බ්‍රිතාන්‍ය අත්දැකීම් කොයි තරම් දුරකට උපකාරී වුණාද? වෙනත් රටවල බ්‍රිතාන්‍යය කළ මැදිහත්වීම් සහ ලංකාවේ දී ඉටුකළ භූමිකාව අතර යම් සංසන්දනාත්මක සම්බන්ධයක් ඔබට පෙන්නුම් කරන්න පුළුවන්ද?

ෆිල්: වෙනත් යටත් විජිතවලින් බ්‍රිතාන්‍යය ලබාගත් අත්දැකීම් ඉතාමත්ම සක්‍රීය විදියට ලංකාවට අපනයනය කළා. මලයාව, ග්‍රීසිය මීට උදාහරණ. බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය විසින් 1971 අප්‍රේල් 21 වැනිදා සිට 28 වැනිදා දක්වා සංවිධානය කරපු පස් දින උපදේශන දූත කණ්ඩායම යටතේ පලස්තීනය, සයිප්‍රස් සහ ඒඩන් ඇතුළු ‘ලෝකයේ ප්‍රදේශ ගණනාවක කැරළිකාරී තත්ත්වයන් සම්බන්ධයෙන්’ අත්දැකීම් සහිත’ කර්නල් රොජර් මේ සහ උගන්ඩාවේ පොලිස් කොමසාරිස්වරයා විදියට කටයුතු කළ මයිකල් මැකූන් ලංකාවට එව්වා. අප්‍රේල් නැගිටීමෙන් පස්සේ, මැලේසියාවේ පිහිටුවා තිබුණු පුහුණු පහසුකම් පාවිච්චි කිරීමේ අවස්ථාව ලංකාවට ලබාදීම ගැනත් බ්‍රිතාන්‍ය විසින් සහතික වුණා. ලංකාවේ සිදුකළ උපදේශන චාරිකාව අවසන් වූ සැණින් මයිකල් මැකූන් වාර්තා කළේ මෙහෙමයි:

“උද්ගතව ඇති තත්ත්වය පාලනය කරගත් පසු සන්නද්ධ හමුදාවන්ගේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඒකබාද්ධ කණ්ඩායමක් ප්‍රති කැරළි යුද ක්‍රියා පිළිබඳ ශිල්ප ක්‍රම පිරික්සා බලනු පිණිස මැලේසියාවට කාර්ය - අධ්‍යයන සංචාරයක යෙදිය යුතු බවට උපදේශන සැපයූ සියල්‌ලෝ එකඟ වූහ. එමෙන්ම පොලිස් කැරළි මර්දන පුහුණුවීම් සඳහාත් ප්‍රති කැරළි යුද ක්‍රියා පිළිබඳ විශේෂ ඒකකයේ ශිල්ප ක්‍රම අධ්‍යයනය සඳහාත් මැලේසියාවේ ඇති පහසුකම්වල ප්‍රයෝජනය මෙහිදී ගත යුතු ය. යම් කාලයක් යන තුරු ලංකා පොලිස් හමුදාවන්ට උපදෙස් සහ සහාය අඛණ්ඩව අවශ්‍ය වනු ඇති අතර, පොලිස්පති සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය සමග බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය (විශේෂයෙන්ම Mi5 ඔත්තු සේවාවට සම්බන්ධ එහි ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරියා)ට ඇති විශිෂ්ඨ සබඳතා නොනැසී පවත්වාගෙන යා යුතුව තිබේ.”

කොළඹ සහ ක්වාලාලම්පූර් නුවර බ්‍රිතාන්‍ය දූත නිලධාරීන් අතර හුවමාරු වූ 1971 ජූලි 12 වැනිදා දාතම සහිත විදුලි පණිවුඩයකින් පෙන්නුම් කරන්නේ මේ කියන අත්දැකීම් සක්‍රීයව හුවමාරු වූ බවයි. ඒ විදුලි පණිවුඩයේ මෙහෙම කියනවා:

“ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී කඩිගාව අගෝස්තු 16 වැනිදා සිට නොවැම්බර් 06 වැනිදා දක්වා කාලය තුළ මැලේසියාවේ විශේෂ ඒකකයේ ජ්‍යෙෂ්ඨ මූලික පාඨමාලාව සඳහා සහභාගී වනු ඇත. පාඨාමාලව නිමා කිරීමෙන් පසු, එහිදී උගත් පාඩම් මෙහි (ලංකාවේ) තත්ත්වයට උපයෝගී කරගැනීමේ අරුමුණින් යුතුව,  ප්‍රති කැරළි යුද ක්‍රියා පිළිබඳ සියළු පැතිමානයක් හැදෑරීමට කඩිගාවට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් ලංකාවේ පොලිස්පතිවරයා කෘතඥ වේ. පරීක්‍ෂණ සඳහා අවශ්‍ය සියළු සම්පත් ද, රැඳවියන් පුනරුත්ථාපනය ද, රක්‍ෂිත ආරක්‍ෂණ ශිල්ප ක්‍රමද ඇතුළත් ප්‍රති කැරළි යුද ක්‍රියා පිළිබඳ සමස්ත ක්ෂේත්‍රයම සම්බන්ධයෙන් කඩිගාව උනන්දුවක් දක්වනු ඇත. විශේෂයෙන්ම සැබෑ සටන් බිමේ මෙහෙයුම් දැක බලාගැනීමට හෙතෙම වඩාත් කැමති වනු ඇති.”

මීට අමතරව, ග්‍රීක කොමියුනිස්ට්වාදීන්ට එරෙහි යුද්ධයේදී බ්‍රිතාන්‍ය ලැබූ ප්‍රති කැරළි යුද ක්‍රියා පිළිබඳ අත්දැකීම් ද ලාංකිකයන්ට ඉගැන්නුවා. විශේෂයෙන්ම විශාල රැඳවුම් කඳවුරුවලට ගාල් කළ තරුණ කොමියුනිස්ට්වාදීන් ‘පුනරුත්ථාපනය’ කිරීමේ ආකාරයද මීට ඇතුළත්.

කලක් ලෝකයේ ‘විශාලතම ට්‍රොට්ස්කිවාදී පක්‍ෂය’ සේ සැළකුණු ලංකා සම සමාජ පක්‍ෂය වගේම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයත් ඇතුළත්ව ගොඩ නගාගෙන තිබුණු හවුල් ආණ්ඩුවක දේශපාලන සංයුතිය මුළුමණින්ම නොතකා හැරලා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යුහය ආරක්‍ෂා කරන්න බ්‍රිතාන්‍ය‍යට මේ තරම් උවමනාවක් ඇති වුණේ ඇයි කියන එක ගැන ඔබේ අදහස මොකක්ද?

ෆිල්: ආණ්ඩුව ඇතුළේ කොමියුනිස්ට් පාක්‍ෂිකයින් හිටියත්, දේශපාලන සහ මිලිටරිමය වශයෙන් ලංකාවේ රාජ්‍ය ව්‍යුහය සෑහෙන්න කොනසර්වේටිව් එකක් වූ නිසා තව දුරටත් අතීත විජිත පාලකයා වූ බ්‍රිතාන්‍යය එක්ක ගැටගැහිලායි තිබුණේ. රාජ්‍ය යන්ත්‍රයේ වැදගත් අංගයන් මත තමන්ගේ බලපෑම නැවත තහවුරු කරගැනීමට අවස්ථාවක්  අප්‍රේල් නැගිටීම විසින් බ්‍රිතාන්‍යයට ලබා දුන්නා. මම ඉහතින් කියපු කර්නල් රොජර් මේ තමන්ගේ ලංකා සංචාරයෙන් පසු වාර්තා කළේ මෙහෙමයි:

“සංචාරය පුරාම මා විස්මයට පත්කරන ලද්දේ බ්‍රිතාන්‍යය සහ ලංකාව අතර පැවැති විශේෂ සම්බන්ධතාව විසිනි. ප්‍රධාන වශයෙන් සන්නද්ධ හමුදාවන් විෂයෙහිද මේ කාරණාව එක සේ අදාළ වූ අතර විශේෂයෙන්ම (මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත) ආරක්‍ෂක පරිවාරකයා මනාව ස්ථානගතව සිටියේය. ඔහු, ලංකාවේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සමග මිත්‍ර පදනමින් සබඳතා ගොඩනගා ගෙන තිබුණි (අප හමුවූ සම්බන්ධීකරණ නිලධාරීන් තිදෙනාම මේ ගණයට අයත් වූහ). ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ගණනාවක්ම සෑන්ඩ්හර්ස්ට් රාජකීය යුද ඇකඩමියේ ඔහුගේ සමකාලීනයන් වූ අතර ක්‍රැන්වෙල් රාජකීය ගුවන් හමුදා පාසලේදී තරුණ ගුවන් නියමුවන් කිහිප දෙනෙකුම ඔහුගෙන් පුහුණුව ලබා තිබුණි. බ්‍රිතාන්‍ය ඔත්තු සේවා සමග ද තවමත් ඉතා සමීප සබඳතා පැවතුණි. මා හමු වූ නිලධාරීහු විවෘත, මිත්‍රශීලී, අඩුපාඩුකම් පිළිබඳ සවිඥාණික, බ්‍රිතාන්‍ය විශේෂඥ ඥාණයෙන් ඵලප්‍රයෝජන ගැනීමට හා වැඩි දියුණු වීමට උනන්දු සහගත පිරිස් වූ අතර කුඩා දරුවන් මෙන් අනුබල සහ දිරි ගැන්වීම් අපේක්‍ෂා කළහ. මෙම සබඳතා පෝෂණය කිරීම සඳහා දැනුවත් ප්‍රයත්නයන් දැරීම මහත් ආනිශංස ගෙනෙනු ඇතැයි මම විශ්වාස කරමි.”

1971 විදේශ අමාත්‍යාංශයට අයත් තවත් ලියැවිල්ලකින් අනාවරණය කරන්නේ ලංකාවේ පොලිස් ප්‍රධානීන් එක්ක බ්‍රිතාන්‍යයට තිබු සමීප සම්බන්ධතාවත්, වැඩිදුර සංචාර සංවිධානය කිරීම හරහා මේ සම්බන්ධකම් නඩත්තු කිරීමට තිබුණු අභිලාෂයයි. මේ ලියැවිල්ලට අනුව කර්නල් රොජර් මේ සමග සංචාරයට හවුල් වූ විදේශ පොලිස්උපදේශකවරයා වූ මයිකල් මැකූන්, ආරක්‍ෂක සහ විදේශ සේවා අමාත්‍යාංශයේ අතිරේක ස්ථිර ලේකම්වරයා වුණු එස් ඒ දිසානායකගේ ‘පෞද්ගලික මිතුරෙක්,'

“දෙදෙනාම හෙන්ඩන් හි ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිස් විද්‍යාලයේ එකට උගෙන ඇත්තේ 1938දීයි. 1965 දී ලංකාවේ පොලිස්පති ධූරයෙන් නිසි කල් පිරීමට පෙර විශ්‍රාම ගත් දිසානායක මහතාට සිය පෞද්ගලික ආරක්‍ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කරන මෙන් 1970දී බණ්ඩාරනායක මහත්මිය විසින් කළ ඉල්ලීම පිළිගනිමින් ඔහු 1971 මාර්තු 1 වැනිදා එම ධූරය භාරගන්නා ලදී. ලංකාවේ සංචාරය කිරීම සඳහා මෑකූන් මහතා දිරිගැන්විය යුතු තවත් හේතුවෙක් වන්නේ මේ සමීප මිත්‍රත්වයයි.”

ඇත්තෙන්ම මේ කියන ‘මිත්‍රත්වය වැදගත් වුණේ ඉන්දියානු සාගරයේ වෙළඳ මුහුදු මාර්ගවල මැද ලංකාවේ භූ දේශපාලන පිහිටීමත්, ත්‍රීකුණාමල වරායේ යුදමය වැදගත්කමත් නිසායි. 1971 මැයි මාසයේදී බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශ විසින් බ්‍රිතාන්‍යයේ අගමැති එඩ්වඩ් හීත්ගේ අවධානය සඳහා ’ලංකාවට සෝවියට් යුද ආධාර: ත්‍රීකුණාමලයේ නාවුක පහසුකම් සෝවියට් සංගමයට පවරාදීමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක’ යන මැයෙන් රහසිගත ලියැවිල්ලක් සකස් කළා. ඒ ලියැවිල්ල තුළින්,

‘ත්‍රීකුණාමලය සෝවියට් සංගමයට භාවිතා කිරීමට ලැබුණහොත් ඉන්දියානු සාගරය තුළ එහි සේනාංක විහිදුවීමට හැකිවන පරිදි සෝවියට් නාවුක හමුදාවන්ගේ ශක්‍යතා වැඩි දියුණු වනු ඇත්තේ හරියටම ඊජිප්තු වරායන් භාවිතා කිරීමට හැකිවීම මගින් මධ්‍යධරණී සාගරය තුළ ඔවුන්ගේ මෙහෙයුම් සඳහා පහසුකම් සැළසුන විදියට ය. එමගින්, එක්සත් රාජධානියට සහ බටහිර යුරෝපයට වැදගත්වන වෙළඳ මාර්ග විහිදී ඇති ඉන්දියානු සාගරයේ කේන්ද්‍රීය ස්ථානයක් පවත්වාගෙන යාමට රුසියානුවන්ට තවදුරටත් පහසු වනු ඇත,” කියලා අනතුරු හඟවා තිබුණා.

’70 ගණන් සම්බන්ධයෙන් ඔබ විසින් සිදුකරපු අනාවරණයන්ගෙන් පස්සේ ඔබේ පර්යේෂණ  තවදුරටත් යොමුවුණේ ඊට පස්සේ දශකවලදී ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර වර්ධනය වුණ යුද සබඳතා හෙළිදරව් කරන්නයි. දෙමළ ජනයාගේ ස්වයං නීර්ණ අයිතිය දිනාගැනීම වෙනුවෙන් දියත් වුණු අරගලය විසින් ලංකාවේ රාජ්‍ය ව්‍යුහයට එල්ල කරපු පීඩනය සහ අභියෝගය දරාගන්න පුළුවන් විදියට රාජ්‍යයේ ශක්‍යතා ශක්තිමත් කරන්න බ්‍රිතාන්‍යය ඉටු කළ වැඩ කොටස මොන ව‌ගේ එකක්ද?

ෆිල්: ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් දියත් වුණු දෙමළ ජනයාගේ අරගලය, වඩා අවිහිංසාවාදීව ක්‍රියාත්මක වුණු හැත්තෑ ගණන්වලදී පවා, එය පරාජය කිරීම සඳහා බ්‍රිතාන්‍යය අඛණ්ඩවම ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්, පොලිසිය සහ ඔත්තු සේවා ඒකක ශක්තිමත් කළා. ඉතාම කෙටි කාලයක් පැවතුණු 1971 ජනතා විමුක්ති පෙරමුණේ නැගිටීම සමයේ  බ්‍රිතාන්‍යය හැසුරුණු විධිය විසින් හකුළා දක්වන්නේ දශක ගණනාවක් තිස්සේ දිග්ගැසුණු දෙමළ අරගලය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ප්‍රතිචාර දක්වපු ආකාරයයි. දෙමළ ජනයා සිය ඉල්ලීම ජයග්‍රහණයට ළංවන හැම අවස්ථාවකම ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් ප්‍රතිශෝධනය කරලා ශක්තිමත් කරන්න බ්‍රිතාන්‍යය මැදිහත් වුණා. මේ සම්බන්ධයෙන් වැඩිදුර කියවීම සඳහා කරුණාකර මම සම්පාදනය කරලා තියෙන ‘දෙමළ ජනයාට එරෙහි බ්‍රිතාන්‍යයේ නීච යුද්ධය 1979 - 2009 (Britain’s Dirty War against the Tamil People 1979 - 2009) සහ 'පොලිස් ඝාතක බලඇණි අපනයනය කිරීම: අර්මාග් සිට ත්‍රීකුණාමලය දක්වා’ (Exporting Police Death Squads: From Armagh to Trincomalee)  කියන වාර්තා කියවා බලන්න.

සාමාන්‍ය සිංහල ජනයා අතර බහුලව තියෙන විශ්වාසයක් තමයි දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයට විරුද්ධ යුද්ධය ඉතාම දුෂ්කරතා යටතේ කරගෙන යන්න සිද්ධවුණේ යුදමය විසඳුමක් සෙවීමට විරුද්ධ වූ බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල ආණ්ඩු විසින් අනුගමනය කළ බාධාකාරී පිළිවෙත් නිසා බව. ඒ වගේ නිගමනයකට ඔබේ පර්යේෂණ ප්‍රතිඵල පිටුබල සපයනවද?

ෆිල්: එල්ටීටීඊ සංවිධානය පරාජය කරන්න ශ්‍රී ලංකාවේ රජයට සුවිශාල සහායක් බටහිරෙන් ලැබුණා. මම හිතන්නේ බටහිර ඒ තරම් උපකාර නොකළා නම්, ශ්‍රී ලංකා ආණ්ඩුවට එල්ටීටීඊ සංවිධානය සමග සාකච්ඡාමය විසඳුමකට එළඹෙන්න සිද්ධ වෙන්න ඉඩ තිබුණු බවයි.  විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය හැම අධියරකදීම ශ්‍රී ලංකා ආණ්ඩුවට යුදමය විසඳුමකට යන්න අවකාශ සැළසුවා. කොහොමටත්, යුදමය විසඳුම්  සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය උද්‍යෝගයේ රස බලන්න හැකියාවක් 1971 ජවිපෙ නැගිටීම සිදු වූ සමයේ  සිංහල ජනයාට ලැබුණානේ.☐

© JDS