හමුදා වාඩිලාගත් දෙමළ ඉඩම් ගැන ආණ්ඩුව දුන් තොරතුරු බොරුකරන අභියෝගයක්

රණත් කුමාරසිංහ විසිනි


යු

ද්ධයෙන් අල්ලාගත් ඉඩම් ආපසු ලබාදුන් බවට ශ්‍රී ලංකාවේ රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය පිණිස නිකුත් කර ඇති තොරතුරුවල විශ්වසනීයභාවය ජාත්‍යන්තර වශයෙන් අභියෝගයට ලක් වී තිබේ.

රජයේ හමුදා බලහත්කාරයෙන් වාඩි ලා සිටි උතුරුකරයේ ජනතාවගේ ඉඩම් වලින් 90% ක් පමණ නිදහස් කර ඇතැයි ලංකාණ්ඩුව විසින් එක්සත් ජාතීන්ට ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන නිවැරදි නම්, මේ වන විට අක්කර තුන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් නිදහස් කර තිබිය යුතු නොවේදැයි සමාජ, ආර්ථික හා පාරිසරික ගැටලු පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වන ස්වාධීන සංවිධානයක් විසින් ප්‍රශ්න කර ඇත.

ඒ, සාමය සහ සංහිඳියාව පිළිබඳව ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය පෙන්වමින් එක්සත් ජාතීන්ගේ 48 වැනි මානව හිමිකම් සැසිවාරයට ආරම්භයට පෙර, එනම් 2021 අගෝස්තු 27 දින ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කොළඹ සිටින සියළුම නේවාසික රාජ්‍ය තාන්ත්‍රික දූතයන් වෙත යවනු ලැබූ වාර්තාවක් සම්බන්ධයෙන් කැලිෆෝනියාව මුලස්ථාන කොටගත් ඕක්ලන්ඩ් ආයතනය විසින් එක්සත් ජාතීන් වෙත සංදේශයක් ඉදිරිපත් කරමිනි.

2014 වසරේ සිට ශ්‍රී ලංකාවේ උතුරු, නැගෙනහිර ඉඩම් අත්පත් කර ගැනීම්, හමුදාකරණය සහ නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් එම ආයතනය විසින් සිදු කරන ලද නිරීක්ෂණ මත පදනම්ව ඇති එම සංදේශය ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ වෙත ය.

'ප්‍රතිශත' සූත්‍රය

ලංකාණ්ඩුවේ නිවේදනය පවසන්නේ “ආරක්ෂක හමුදාව විසින් පවරාගෙන තිබූ රජයේ ඉඩම් වලින් 89.26%ක් නිදහස් කරනු ලැබූ අතර, පෞද්ගලික ඉඩම් වලින් 92.22% ක් 2019 දෙසැම්බර් 31 වන විට සිවිල් අයිතිකරුවන්ට ලබා දී ඇත,” යනුවෙනි.

ඕක්ලන්ඩ් ආයතනය පෙන්වා දෙන්නේ, තම ආයතනයට සම්බන්ධ පර්යේෂකයන් විසින් සම්පාදනය කළ 2021 මාර්තු වාර්තාව අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ පෞද්ගලික ඉඩම් අක්කර 16,910 ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කර 4,374.8 ක්, යාපනය දිස්ත්‍රික්කයේ අක්කර 3,027 ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ අක්කර 1,414 ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයේ අක්කර 8,511 ක් ලෙසින් උතුරු පලාතේ පමණක් අක්කර 34,226.8 ක් ඒ වන විට ඒවායේ අයිතිකරුවන්ට පවරා දී නොතිබුණු බව ය.

ආණ්ඩුව කියන පරිදි පවරාගෙන තිබූ පුද්ගලික ඉඩම් වලින් 92.22% ක් පවරා දුන්නේ යැයි සළකා බැලුවහොත්, එම ඉඩම් ප්‍රමාණය සමාන වන්නේ පෞද්ගලික ඉඩම් වලින් පවරා දී නොතිබූ 7.88% ටය.

ආණ්ඩුව සියයට ගණන් මගින් ඉදිරිපත් කරන අපබ්‍රංශය විසඳන ඔක්ලන්ඩ් ආයතනය, මෙය තේරුම් ගැනීමට පහසුකරමින් භාර නුදුන් ප්‍රමාණය 10% ක් ලෙස ආසන්න ප්‍රතිශතයකත්, එම බාර නුදුන් 10% = අක්කර 34,000 ලෙසින් ආසන්න වශයෙන් සැළකුවහොත් ඒ අනුව බාරදුන් 90% ප්‍රමාණය = අක්කර 300,000 ඉක්මවන බව ය.

ජනතාව සතු මේ සා විශාල ඉඩ කඩම් අත්පත් කරගත්තේ කුමන ප්‍රදේශවලින්ද, ඒවා නිදහස් කළේ කවදා ද මෙන්ම රජය විසින් ඒවා ප්‍රදානය කරන ලද්දේ කා වෙතද යන නිශ්චිත විස්තර ද ඒ සමඟ ඇතුළත් විය යුතු බව ද එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඊට අමතරව, ඝන වනාන්තර තුළ මිලිටරි ජනාවාස විශාල සංඛ්‍යාවක් පිහිටුවා ඇති බව වාර්තා වන මුත්, මේවා මෙම සංඛ්‍යාලේඛන වලට ඇතුළත් නොවන බවද ඔවුන් පෙන්වා දෙයි.

වර්ග තාන්ත්‍රික රාජ්‍යයක්

මේ නිශ්චිත කරුණු හෙළිනොකරන තාක් දුරට සිය නිවේදනයෙන් ලංකාණ්ඩුව ඉදිරිපත් කර ඇති, ලාංකීය දෙමළ ජනතාවගේ විනාශ කෙරුණු ඉඩ කඩම්, ජීවිත, සහ අනන්‍යතාවයන් සම්බන්ධයෙනුත්, හමුදාව විසින් දිගින් දිගටම අත්පත් කරගෙන සිටින ඉඩම් අතරින් මුදා හරින ලද ඉඩම් ප්‍රමාණය සම්බන්ධයෙන් වන තොරතුරු සහ අවතැන්වූවන් නැවත පදිංචි කිරීම් සම්බන්ධ සංඛ්‍යා ආදිය අභියෝගයට ලක් වන බව ද ඕක්ලන්ඩ් ආයතනය අවධාරණය කරයි.

තම ආයතනය මෙහෙයවූ පර්යේෂණ තුළින් ලබා ගත්තාවූ හා පෙර කී 2021 මාර්තු වාර්තාවේ විස්තරාත්මකව ඉදිරිපත් වන කරුණු වලින් පෙන්නුම් කරන්නේ දෙමළ ජනතාවගේ ඉතිහාසය සහ සංස්කෘතිය මුලිනුපුටා දැමීම අරමුණු කරගත් වර්ග තාන්ත්‍රික රාජ්‍යයක ලක්ෂණ සමඟ, ලංකාව පුරා සිංහල ජාතියේ ආධිපත්‍යය පවත්වා ගැනීමේ රජයේ ක්‍රියාකාරකම් අනුරූප වන බව ඔවුන් ප්‍රකාශ කරයි.

රජයේ මේ අභිප්‍රාය විවිධ දෙපාර්තමේන්තු හරහා සිදු කෙරෙන ක්‍රියාකාරකම් තුළින් පැහැදිලි වන බවත්, 2015 ට වඩා වැඩි වේගයකින් දෙමළ ජනතාවගේ ඓතිහාසික භූමි ප්‍රදේශ, ස්මාරක සහ දෙමළ ජනතාවගේ ආගමික වන්දනීය ස්ථාන යනාදිය බෞද්ධ සිද්ධස්ථාන, බෞද්ධ සංස්කෘතික හා චාරිත්‍ර බවට හැරවීමේ රාජ්‍ය යාන්ත්‍රණයක් එහි උපරීම වේගයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එම සංදේශය මගින් කියා සිටී.

රජයේ වෙනත් ආයතන යොදාගෙන දෙමළ ඉඩම් කොල්ලකෑමේ නිරත වන ආකාරයද ඕක්ලන්ඩ් ආයතනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට පෙන්වා දී ඇත.

බෞද්ධකරණය, පුරාවිද්‍යා සහ වන සංරක්‍ෂණ

බෞද්ධ සිද්ධස්ථාන වලට බෙදා හැරීම සඳහා රජය පෞද්ගලික හා රජයේ ඉඩම් පවරා ගන්නා බව ප්‍රකාශ කරන ඕක්ලන්ඩ් ආයතනය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අක්කර 340.33 ක ඉඩම් 2020 ඔක්තෝම්බර් 2 දින නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් බෞද්ධ ආයතන 7 කට බදු දී ඇති බව පෙන්වා දී තිබේ.

පුරා විද්‍යා කැණීම් මුවාවෙන් සිදු කෙරෙන ඉඩම් අත්පත් කර ගැනීම් ද පසුගිය මාස කිහිපය තුළ උතුරු - නැගෙනහිර පුරා වැඩි වී තිබෙන බව පෙන්වා දෙන එම ආයතනය, ඒ අතර මුලතිව් දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අක්කර 32,110 ක් හා ඉඩම් හා වනජීවී දෙපාර්තමේන්තුව අක්කර 23,515 ක ඉඩම් ද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අක්කර 202 ක් සහ මහවැලි අධිකාරිය අක්කර 4,368 ක් අත්පත් කරගෙන ඇති බව වැඩිදුරටත් පෙන්වා දෙයි.


2009 යුද්ධය අවසන් වීමෙන් පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ පමණක් බෞද්ධ විහාරස්ථාන 67 ක් පිහිටුවා ඇති අතර නැගෙනහිර පළාතේ ද ගැසට් මගින් හා වෙනත් විවිධ බලපෑම් මගින් ඉඩම් අත්පත් කර ගැනීම් සිදුවෙමින් පවතී.

වාරි "සංවර්ධන ව්‍යාපෘති" නමින්, ජන සංයුතිය වෙනස් කිරීමේ සහ දෙමළ ජනයාට තම ඉඩම් වල උරුමය ලබා ගැනීමට ඇති අවකාශ ඇහිරීමේ අරමුණින්, රජය විසින් මෙහෙයවන සිංහල ජනපදකරණය දෙමළ ප්‍රදේශ තුළ වර්ධනය වෙමින් තිබෙන බවට ද ඔක්ලන්ඩ් ආයතනය තම වාර්තාව මගින් සාධක ඉදිරිපත් කරයි.

කිවුල් ඔය ව්‍යාපෘතිය යටතේ දකුණේ සිට රැගෙන එන සිංහල ජනයා පදිංචි කරවීම සඳහා වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සිදු වූ දැවැන්ත වන විනාශය, තම ආයතනයේ පර්යේෂකයන් සියැසින්ම දුටු බව ප්‍රකාශ කරන ඔක්ලන්ඩ් සංදේශය, වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කෙර්නි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යටතේ වෙඩිවයිත්ත කල්ලු ග්‍රාම නිලධාරී කොට්ඨාශය ඇතුළු තවත් බොහෝ ප්‍රදේශයන්හි, වනාන්තර පසුගිය වසරවලදී විනාශ කර ඇති අතර පෙර ඇස්තමේන්තු කර ඇති පරිදි 2000 ක් පමණ සිංහල ජනතාව පදිංචි කර ඇති බව පෙන්වා දෙයි.

මෙම ප්‍රදේශවල තවත් සිංහල පවුල් 3,000 ක් පදිංචි කිරීමට පියවර ගනිමින් ඇති අතර, ඉන් එක් එක් පුද්ගලයාට වනාන්තර අක්කර 2.5 ක් ලබා දෙනු ලැබෙන බවත්, පදිංචි වූ එක් පවුලක් සඳහා දිනකට රුපියල් 800 දක්වා නඩත්තු දීමනා ලැබෙන බවත් ඔවුන් ප්‍රකාශ කරයි.

මෙයාකාරයටම 2012 සහ 2017 අතර වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිංහල ජාතිකයන් 4000 කට වැඩි ප්‍රමාණයක් පදිංචි කර ඇති අතර ඒ හරහා අක්කර 11,639 ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතට පත් වී තිබේ.

මල්වතු ඔය වාරි ව්‍යාපෘතිය උතුරු පලාතේ සිංහලකරණය තවදුරටත් පුළුල් කරනු ලබන වාරි ව්‍යාපෘතියක් වනු ඇති බවට ද ඕක්ලන්ඩ් ආයතනය සාක්ෂි ඉදිරිපත් කරයි.

මේ අතර සංදේශය තවදුරටත් පෙන්වන්නේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කෙවිලියාමඩුහි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අක්කර තුන බැගින් ඉඩම් අක්කර 1,500 ක් පමණ ග්‍රාම ආරක්ෂකයන් සඳහා පවරා දී ඇති අතර, මයිලත්තමඩු සහ මාදවනෙයි සිංහල ජනතාව අක්කර 1,500 ක බලහත්කාරයෙන් බඩ ඉරිඟු වගා කරන බවයි. මෙම ප්‍රදේශ කාලාන්තරයක් තිස්සේ දෙමළ කිරි ගොවීන් සිය ගවයන් කැවූ තණ බිම්ය.

හමුදා ගොවිපොළවල් සහ නිවාඩු නිකේතන

සිවිල් ඉඩම්වල ස්ථාන ගත වී සිටින හමුදාව එම ඉඩම් වගා කර අස්වනු නෙලාගෙන එම අස්වැන්න මුල් ඉඩම් හිමියන්ට විකුණනු ලැබීමේ ඉතිහාසයේ සරදමක් වී ඇති අතරම, හමුදාව විසින් නිවාඩු නිකේතන සහ සාප්පු ද පවත්වාගෙන යන බව ද ඔවුහු පෙන්වා දෙති.

යුද සමයේ අවතැන් වූ දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම වළක්වන අධි ආරක්‍ෂක කලාප ගණනාවක් හමුදා පාලනය යටතේ පවතින බවත්, විශේෂයෙන් නැවත පදිංචි කිරීම් සඳහා ප්‍රසිද්ධ අවසරයක් දී ඇති යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් උතුර ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම්වල විශාල හමුදා කඳවුරු සහ නිල නිවාස තවදුරටත් පවතින අතර බොහෝ ප්‍රදේශවලට මිනිසුන්ට තම පෙර ඉඩම්වලට ඇතුල්වීමට ඉඩ අහුරා තිබෙන බවද මෙම සංදේශය සඳහන් කරයි.

ඉඩම් අහිමි වීම නිසා යුද්ධයෙන් වසර දොළහක් ගතවීත් තවමත් නිවෙස් බලා යා නොහැකිව සිටින දෙමළ ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුවේම ආයතන දක්වන සංඛ්‍යා ලේඛනවල ඇති පරස්පරතාද එහි පෙන්වා දී තිබේ..

විදේශ කටයුතු අමාත්‍යාංශයේ පෙර කී වාර්තාවට අනුව, අවතැන්වූවන් 1,176 ක් සුබසාධන මධ්‍යස්ථාන වල සිටින අතර, 7,182 ක් තම මිතුරන් හා ඥාතීන් සමඟ ජීවත් වෙති.

කෙසේ වෙතත්, ඕක්ලන්ඩ් ආයතනය පෙන්වා දෙන්නේ, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ 2021 ජූලි සංඛ්‍යා ලේඛනවලට අනුව, යාපනය දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයන් 1,391 ක් සුබසාධන මධ්‍යස්ථානවල ජීවත් වන අතර පුද්ගලයන් 11,451 ක් තවමත් මිතුරන් හා ඥාතීන් සමඟ ජීවත් වන බව ය.☐

© JDS