කිත්සිරි විජේසිංහ විසිනි
පසුගිය මාසයේ සිදුවු බෝම්බ පිපිරීම්වලින් පසුව ආරක්ෂක අංශ විසින් විවිධ චෝදනා නගා අත් අඩංගුවට ගෙන පොලිසි ඇතුළු විවිධ ස්ථාන වල රඳවාගෙන සිටින මුස්ලිම් ජාතිකයන් පිළිබඳව රජය විසින් ඉදිරිපත් කෙරෙන සංඛ්‍යා ලේඛනවල බරපතල පරස්පරයක් ඇති බව ජේඩීඑස් වෙත අනාවරණය වී තිබේ.
මේ අනුව, අත් අඩංගුවට ගනු ලැබුවන් පිළිබඳව රජයේ ආරක්ෂක අංශ විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පිළිගත නොහැකි බව මුස්ලිම් ප්‍රජා නායකයෝ සහ දේශපාලනඥයෝ ජේඩීඑස් හා කියා සිටියහ.
පාස්කු ප්‍රහාරයෙන් පසු රජයේ ආරක්ෂක අංශ විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් අත් අඩංගුවට ගනු ලැබුනි. රැඳවුම් නියෝග, හදිසි නීතිය වැනි අණ පනත් යටතේ විවිධාකාරයේ චෝදනා එල්ල කරමින් ඔවුන් සිරගත කොට තිබේ.
ජාතික තවුහිද් ජමාත් සංවිධානය සහ මේ වන විට රජය විසින් තහනම් කොට ඇති සෙසු මුස්ලිම් සංවිධාන සමගත් සබඳතා පැවැත්වීම, ගිනි අවි හා කඩු ඇතුළු අවි ආයුධ ලඟ තබා ගැනීම, මුස්ලිම් ධර්ම ප්‍රචාරක සංයුක්ත තැටි ළඟ තබා ගැනීම, ඉස්ලාමීය ආගමික ග්‍රන්ථ සන්තකයේ තබා ගැනීම යනාදිය ඒ චෝදනා අතර වෙයි.
ප්‍රහාරවලට ලක් වු දේවස්ථාන සහ සංචාරක හෝටල්වල බෝම්බ පුපුරුවා හරින ලද බවට රජය විසින් සැක කෙරෙන පුද්ගලයන් සමග විවිධ සබඳතා පැවැත්වීමේ චෝදනාව යටතේ ද පිරිසක් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
ඇතැමුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ ආරක්ෂක අංශ විසින් හඹා ගිය ප්‍රධාන පුද්ගලයාගේ අසල්වැසියන් වීම හේතු කොටගෙන ය. වෙසක් සැරසිලි ඇතුළු ඇතැම් ස්ථාන ඡායාරූපගත කිරීම පිළිබඳව චෝදනා කරමින් ද තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
එසේ ආරක්ෂක අංශ බාරයට ගත් පිරිස අතර ව්‍යාපාරිකයන් හා ඉස්ලාමීය පූජකවරුන් මෙන්ම ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ද, පාර්ලිමේන්තු සේවකයන් ඇතුළු රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලතල දරන ලද ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම අය වෙති.
පරස්පර සංඛ්‍යා
දැනට වාර්තා වී ඇති පරිදි මෙම අත් අඩංගුවට ගැනීම් බහුතරයක් සිදුකර තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසිනි. ඒ හැරුණු විට ගුවන් හමුදාව, ජාතික බුද්ධි තොරතුරු කාර්යාංශය සහ ඒ ඒ පළාත්වල පිහිටි ප්‍රාදේශීය පොලිසි විසින් ද පුද්ගලයන් විශාල පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ. ආරක්ෂක අංශ ඒකාබද්ධ මෙහෙයුම් මගින් අත් අඩංගුවට ගන්නා ලද අය මෙන්ම සිංහල ජාතිකයන් විසින් බලහත්කාරයෙන් රඳවාගෙන පොලිසි සහ ආරක්ෂක අංශ වෙත භාර දීමෙන් පසුව අත් අඩංගුවට ගන්නා ලද මුස්ලිම් ජාතිකයෝ ද වෙති.
ආන්ඩු පක්ෂය නියෝජන කරන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබුර් රහ්මාන් ජේඩීඑස් සමඟ කියා සිටියේ ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින මුස්ලිම් ජාතිකයන්ගේ ලේඛනයක් තමන් සතුව ඇති බව ය.
"අපිට දැනටමත් තොරතුරු ලැබිලා තියෙනවා අත් අඩංගුවේ ඉන්න 200කට වැඩි පිරිසකගේ. නමුත් අපි හිතනවා මේ සංඛ්‍යාව තව වැඩි වෙන්න පුලුවන් කියලා. ඒ නිසා අපි දිගින්, දිගටම තොරතුරු රැස් කරනවා. නමුත් අපි නිශ්චිතවම දන්නේ නෑ තවමත් කී දෙනෙක් රැඳවුම් නියෝග යටතේ ඉන්නවාද කියලා"යි රහ්මාන් කියා සිටියේය.
යුද හමුදාපති මහේෂ් සේනානායක විසින් මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළ පරිදි අත් අඩංගුවට ගනු ලබන සැමදෙනාම පාහේ මුස්ලිම් ජාතිකයෝ වෙති.
මාසයකට වැඩි කාලයක් තිස්සේ දිනපතා සිදු කෙරෙන අත් අඩංගුවට ගැනීම් පිළිබඳව ජේඩීඑස් විසින් කරන ලද සොයා බැලීම් මගින් අනාවරණය වූයේ එසේ දැනට අත් අඩංගුවට ගෙන විවිධ ස්ථානවල රඳවා තබා සිටින පුද්ගලයන් පිළිබඳව පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින බව ය.
විශේෂයෙන්ම ආරක්ෂක අංශ භාරයට ගන්නා ලද පුද්ගලයන් පිළිබඳව ජනමාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන සංඛ්‍යාවන් හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් ඉදිරිපත් කරනු ලබන සංඛ්‍යාවන් අතර විශාල පරතරයක් ඇති බව පොලිසියේම ඉහළ නිලධාරිහු පවසති.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර විසින් පසුගිය සතියේ පවසා සිටි පරිදි දැනට අත් අඩංගුවේ සිටින මුළු සංඛ්‍යාව 85කි. එයින් 65 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත්, 20 දෙනකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේත් රඳවා සිටිති. මෙම 85 දෙනාගෙන් දස දෙනකු කාන්තාවන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේය.
කෙසේ වුවද, ඔවුන් සියළු දෙනා රඳවා තබාගෙන ඇත්තේ රැඳවුම් නියෝග, ත්‍රස්තවාදය වැළැක්වීමේ නියෝග හෝ හදිසි නීති රෙගුලාසි යන කවර නීතිමය විධිවිධාන යටතේ දැයි යන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ රජයේ බලධාරීන් විසින් නිශ්චිතව හෙළිදරව් කර නොමැත.
මානව හිමිකම් කොමිසමටත් තොරතුරු නැහැ
කෙසේ වෙතත්, ජේඩීඑස් විසින් සිදුකළ විමර්ශනයන්ට අනුව අනාවරණය වී ඇත්තේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් සඳහන් කරනු ලබන සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගෙන ඇති බව ය. දින 90 රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන සිටින පුද්ගලයන් අනූ දෙනකුගේ තොරතුරු කොමිසම වෙත වාර්තා වී ඇති බව ජේඩීඑස් වෙබ් අඩවිය මේ පිළිබඳව කරන ලද විමසීමකදි ජාතික මානව හිමිකම් කොමිසම් සභාවේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.
"පොලිසියෙන් හරි හමුදාවෙන් හරි අත්අඩංගුවට අරන් රැඳවුම් නියෝග යටතේ තියාගෙන ඉන්න අය සම්බන්ධයෙන් තොරතුරු නිල වශයෙන් කොමිසමට ලැබෙනවා. ඒ අනුව දැනට අපිට දැනුම් දීලා තියන විදිහට සීඅයිඩිය භාරයේ 69 දෙනකුත්, ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) භාරයේ 21ක් දෙනෙකුත් ඉන්නවා. හැබැයි ඒ රැඳවුම් නියෝග ලබාගෙන රඳවාගෛන සිටින සංඛ්‍යාව විතරයි," ඇය කියා සිටියාය.
මෙසේ රැඳවුම් නියෝග මත රඳවා සිටින තැනැත්තන්ට අමතරව අත් අඩංගුවට ගෙන සිටින අනෙකුත් තැනැත්තන් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබෙදැයි ජේඩීඑස් කළ විමසීකට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ පැය 72ක කාලයකට හෝ රක්ෂිත බන්ධනාගාරගත කර හෝ සිටින තැනැත්තන් පිළිබඳව කිසිම තොරතුරක් මානව හිමිකම් කොමිසමට නිල වශයෙන් වාර්තා වී නැති නමුත් තවත් බොහෝ තැන්වල පුද්ගලයන් රඳවාගෙන සිටින බව ය.
"එහෙම කිසිම තොරතුරක් නිල වශයෙන් ලැබිලා නෑ. හැබැයි අපිට ආරංචි විදිහට බන්ධනාගාරවලයි, පොලිසිවලයි විශාල පිරිසක් රඳවාගෙන ඉන්නවා. ඉදිරි සති කිහිපයේදි ඒ පිළිබඳ තොරතුරු අපේ ප්‍රාදේශීය කාර්යාල සහ පොලිස්ථානවලිනුත් ලබා ගන්න අපි බලාපොරොත්තු වෙනවා," යි ඇය වැඩිදුරටත් පැවසුවාය.
මේ සම්බන්ධව පරීක්ෂණ සිදුකරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ජේඩීඑස් හා පවසා සිටියේ රැඳවුම් නියෝග නොමැතිව 70ට ආසන්න පිරිසක් සිය දෙපාර්තමේන්තුවේ සිර මැදිරි තුළ පමණක් රඳවා සිටින බව ය. ඒ වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා පැය 72ක කාලයක් පොලිසිවල රඳවා තබා ගැනීමටත්, රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ප්‍රාදේශීය පොලිසි විසින් මහේස්ත්‍රාත්වරුන්ගෙන් ලබාගෙන ඇති අවසරයට අමතරව ය.
මීට අමතරව මේ වන විට පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරය, කෑගල්ල බන්ධනාගාරය ඇතුළු දිවයින පුරා පිහිටි බන්ධනාගාර බොහෝමයක මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග තහවුරු කර සිටියේය.
මේ සියළු දෙනා පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් හෙළිකරළ 85 දෙනාට අමතරව රඳවා සිටින අය වෙති.
අත් අඩංගුවට ගනු ලබන පිරිස සිරකර තැබීමට දැනට නිල වශයෙන් තහවුරු කර ඇති බන්ධනාගාර ප්‍රමාණවත් නැතිදැයි සැක ඇති කරන ගැසට් නිවේදනයක් පසුගිය 27 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් ප්‍රකාශයට පත්කර ඇති එම නිවේදනය අනුව, වැලිසර ගැමුණු නාවික හමුදා කඳවුර රැඳවුම් මධ්‍යස්ථානයක් වශයෙන් නම්කර තිබේ.
නීතිඥ සහායට බාධා
මේ අතර රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින පුද්ගලයන්ට නීතීඥ සහාය ලබාගැනීමේ අවසරය ද අවුරා ඇති බව ජේඩීඑස් වෙත වාර්තා වේ.
නීති සහාය වැළැක්වීම පිළිබඳව විමසීමේදී ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවිඩ් යූසුෆ් කියා සිටියේ කවර හෝ සැකකරුවකුට හෝ රැඳවියකුට වුව නීතිඥ සහාය ලබා ගැනීමට ඇති අයිතියට බාධා කිරීමට පොලිසියට හෝ ආරක්ෂක අංශවලට අයිතියක් නොමැති බව ය.
"රැඳවුම් නියෝග යටතේ ඉන්න අයට නීතිඥ සහාය ගන්න බෑ කියලා එකක් නෑ"යි ඔහු ප්‍රකාශ කළේය.
"හැබැයි මෙහෙම අවස්ථාවක සියලු බලතල තියෙන්නේ පොලිසිය සහ ආරක්ෂක අංශ සතුවයි. ආරක්ෂක ප්‍රධානීන්ගේ අභිමතය මතයි හැම දේම සිද්ධ වෙන්නේ. රඳවාගෙන සිටින යම් සැකකරුවකුව ඥාතීන්ට බලන්න දෙනවාද - නැද්ද කියන එක විතරක් නෙමෙයි, නීතිඥ සහාය ලබාගන්න අවසර දෙනවාද - නැද්ද කියන එකත් තීරණය කරන්නේ පොලිසිය විසිනුයි. ඒ නිසා අගතීන්ට පත්වන පුද්ගලයන්ට මේ ගැන මානව හිමිකම් කොමිසමට හෝ වෙනත් ඉහළ ආයතනයකට පැමිණිලි කරන්න පුළුවන්," යැයි නීතිඥ යූසුෆ් වැඩි දුරටත් කීය.☐
© JDS