සිය ගණනක් අතුරුදහන්වීම ගැන ශවේන්ද්‍ර සිල්වාගෙන් ප්‍රශ්න කරන්නැයි ජාත්‍යන්තර ඉල්ලීමක්

ම අවුරුද්දකට කලින් ආරක්ෂක හමුදාවන්ට භාරවීමෙන් පසු අතුරුදහන් වූ සිය ගණනක් දෙමළ ජාතිකයන්ට අත් වූ ඉරණම ගැන ශ්‍රී ලංකා යුද හමුදාවේ මානව හිමිකම් පිළිබඳ වගකීම් භාර ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයකුගෙන් ප්‍රශ්න කිරීමේ වැදගත්කම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් මතුකර තිබේ.

ආරක්ෂක අංශවලට භාර වීමෙන් පසු දින තුනක කාලයක් ඇතුළත අතුරුදහන් වූ ළමුන් ඇතුළු 500 දෙනකුට නොඅඩු පිරිසක් සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයන වාර්තාවක් එළි දක්වමින් සත්‍යය හා යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සහ මානව හිමිකම් දත්ත විශ්ලේෂණ කණ්ඩායම (HRDAG) පෙන්වා දෙන්නේ මෙම සංඛ්‍යාවන් මගින් රට තුළ එක් ස්ථානයක දී එකවර අතුරුදහන් වූ විශාලතම පිරිස ගැන අනාවරණය කරන බව ය.

2009 මැයි 17 වැනිදා සිට 19 වැනිදා දක්වා වූ තුන් දින තුළ ආරක්ෂක හමුදාවන් හමුවේ සිදුවූ යටත්වීම් අධීක්ෂණය කළ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ වනවිට ශ්‍රී ලංකා යුද හමුදාවේ මානව හිමිකම් අධ්‍යක්ෂ මඩුල්ලේ ප්‍රධානියා වශයෙන් ක්‍රියා කරයි.

"කරුණු නිරාකූල කරනු වස් කිව යුතුව ඇත්තේ, මෙම ඇස්තමේන්තු වනාහී යුද්ධය පැවති කාලය තුළ සිදු වූ සමස්ත පුද්ගල අතුරුදහන් වීම් සංඛ්‍යාව නොව, යුද්ධයේ අවසාන දින තුන තුළ යටත්වීමෙන් පසු අතුරුදහන් වූ පිරිස බව"යැයි අධ්‍යයන වාර්තාව අවධාරණය කරයි.


ළමුන් 29ක්

2009 මැයි 17 සිට 19 වැනිදා දක්වා කාලය තුළ අතුරුදහන් වූ පිරිස සමන්විත වන්නේ යුද්ධයේ අවසාන දින කිහිපය තුළ රජයේ හමුදාවන්ට යටත්වන ලෙස සිදුකළ දැන්වීමට අනුව භාර වූ අයගෙනි.

"ඇතැම් සිදුවීම්වලදී, අවම වශයෙන් දරුවන් 29 දෙනකු ද ඇතුළුව එල්ටීටීඊ සටන්කරුවන්ගේ පවුල් මුළුමණින්ම අතුරුදහන්ව ඇති අතර ඉතිරිව ඇත්තේ ඔවුන්ගේ මහළු මව්පියන් පමණකැ'යි වාර්තාව මගින් හෙළිකර සිටියි.

'මෙම පිරිස් අතුරුදහන් වූයේ යුද්ධයේ ව්‍යාකූලතා මැද නොව, ශ්‍රී ලංකා හමුදාවන්ගේ සහ රජයේ අඩස්සියට පත්වීමෙන් පසුව ය. යුද සේනාංක මෙන්ම උසස්වීම් ලද හා තවමත් සේවයේ නිරත ඒවායේ ආඥාපතිවරුන් කවුරුන්ද යන්න වසර ගණනාවක් තිස්සේ ප්‍රකටව පවතී".

අවසාන අධියරේදී යටත්වන්නන් සඳහා ඉදිරි ආරක්ෂක පරිමිතයන්හි පිහිටුවන ලද භාරවීමේ ස්ථානවල ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ හෝ එක්සත් ජාතීන්ගේ හෝ රාජ්‍ය නොවන මානූෂීය සේවා සංවිධානවල හෝ නියෝජිතයෝ නොසිටියහ.


'ඇත්ත දැනගැනීම අයිතියක්'

"2009දී යටත්වීමෙන් පසු සිදුව ඇති අතුරුදහන්වීම්වල පරිමාණය විසින් ඉල්ලා සිටින්නේ ඉක්මන් පරීක්ෂණවල අවශ්‍යතාවයැ"යි සත්‍යය හා යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්‍ෂිකා යස්මින් සූකා ප්‍රකාශ කළාය.

"නමුත් දශකයක් ගෙවී ගොස් තිබුණ ද, එක්සත් ජාතීන්ගේ වාර්තා සහ සාක්‍ෂිකරුවන්ගේ ප්‍රකාශ මගින් කර ඇති අනාවරණයන් හේතුවෙන් අප දන්නා ආකාරයට මෙම යටත්වීම් සිදුවන ස්ථානයේ සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ 58වැනි බල සේනාවේ ආඥාපතිවරයාගෙන් තවමත් ප්‍රශ්න කිරීමක් සිදුව නැත. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විධායක ජෙනරාල්වරයකුගේ ධූරයට උසස් කිරීම අතුරුදහන්වූවන්ගේ පවුල්වලට සිදුකළ අවමානයක් වන අතර සරදම්කාරී ලෙස ඔහු යුද හමුදා මානව හිමිකම් කාර්යාංශයේ ප්‍රධානියා වශයෙන් ද පත්කර තිබේ. වින්දිත පවුල්වලට පිළිතුරු ලැබිය යුතු ය. ඔවුන් සත්‍යය දැනගත යුතු අතර ඒ සඳහා අයිතියක් ඔවුන්ට ඇත."

2009 මැයි 17 හා 19වැනිදා අතර කාලයේදී සිය ඥාතීන් හමුදා සොල්දාදුවන්ට භාරවනු බොහෝ පවුල් විසින් ඇසින් දැක තිබේ.

යුද්ධයෙන් දිවි ගළවාගත්තවුන්ගෙන් ලබාගත් තොරතුරු මගින් අතුරුදහන්වූවන්ගේ විධිමත් නාම ලේඛනයන් සකස් කිරීමේ නිරතව සිටින සත්‍යය හා යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය විසින් මේ වනවිටත් 300 දෙනකුට වැඩි පිරිසකගේ නම් හා සේයා රූ ඇතුළත් ද්වීභාෂා වෙබ් අඩවියක් අරඹා තිබේ.

මෙම තොරතුරු හා දත්ත එක්රැස් කිරීම සඳහා ලොවපුරා සිටින අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් හා සගයන්ගේ සහාය මෙන්ම ලංකාව තුළ සිටින දෙමළ ජාතික මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ද දායකත්වයද ලැබී තිබේ.

මෙම ලැයිස්තු ආශ්‍රයෙන් සංඛ්‍යා දත්ත විශ්ලේෂණයක් සම්පාදනය කිරීම සඳහා දායක වී ඇත්තේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත මානව හිමිකම් දත්ත විශ්ලේෂණ කණ්ඩායම (HRDAG) විසිනි.☐

© JDS