නාවික හමුදාවේ කප්පම් කල්ලි ගැන තවත් තොරතුරු හෙළි වේ

කිත්සිරි විජේසිංහ විසිනි


ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ගේ සේවයේ නියුතු ඉහළම නිලධාරියා රිමාන්ඩ් භාරයට පත් කිරීමත් සමගම, කප්පම් මුදල් ලබාගැනීම සඳහා පුද්ගලයන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම්වලට අදාළව ඇසින් දුටු සාක්ෂි රැසක් හෙළිදරව් වෙමින් පවතී.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) මෙන්ම හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් පසුව දැනට වඩාත් ප්‍රබලම සාක්ෂිය ලබා දී ඇත්තේ  නාවික සංඥා සෙබල අලුත්ගෙදර උපුල් බණ්ඩාර විසිනි.

ඇසින් දුටු සාක්ෂිකරුවෙක්

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද 11 දෙනකු සම්බන්ධ නඩු විභාගයේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට සහ පරීක්ෂණවලට බාධා කිරීමට ඇති අවදානම සලකා බලා අද්මිරාල් විජේගුණරත්නට ඇප ලබාදීම කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

අපරාධය සම්බන්ධයෙන් සැක කෙරෙන්නේ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් වන අතර, ඔවුන් සියල්ලන්ම නාවික හමුදා විශේෂ බුද්ධි එකකයට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පෞද්ගලික සහායක ඒකකයට අනුයුක්තව සිටි අයවලුන් ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ජේඩීඑස් හා කියා සිටියේ අපරාධ සියැසින් දුටු සාක්ෂිකරුවකු වන උපුල් බණ්ඩාර විසින් මහේස්ත්‍රාත්වරයා හමුවේ දෙන ලද ප්‍රකාශය ඉදිරි පරීක්ෂණවලට ඉතාම වැදගත් එකක් වන බව ය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා  රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමත් සමගම ඔහුට එරෙහිව සාක්ෂි ලබා දීමට නාවික භටයන්ම ඉදිරිපත් වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීමට සිටි පිරිස මේ තාක් බිය ගන්වමින් සිටි බව සනාථ කෙරෙන බව යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ජේඩීඑස් වෙත වාර්තාවන පරිදි උපුල් බණ්ඩාර නැමති නාවික භටයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලීමකට අනුව පසුගිය සිකුරාදා (30) මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට පැමිණවීමෙන් අනතුරුව සිය සාක්ෂිය ලබා  දී  ඇත්තේ රහසිගතව ය.

සවස දෙකේ සිට තුනයි තිහ පමණ වනතුරු මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ සිය සාක්ෂිය ලබා දී ඇති උපුල් බණ්ඩාර අතුරුදහන් වුවන් පැහැරගෙන යාමට සැළසුම් සකස් කෙරුවේ කවරෙක්ද,පැහැර ගැනීම්වලට සම්බන්ධ වු නාවික නිලධාරින් කවුද, පැහැරගෙන පැමිණි පසු අතුරුදහන්වුවන් රඳවා සිටි ස්ථාන මොනවාද ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව වැදගත් තොරතුරු රැසක් මහේස්ත්‍රාත්වරයා හමුවේ අනාවරණය කර ඇත.

දසනායකගෙන් බලපෑම්

මීට ඉහතදී සාක්ෂිකාර සෙබලා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබූ පරිදි පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ලබා දෙන ලෙස නාවික හමුදා නිලධාරීන් ඔහුට බලපෑම් කර තිබේ. එකොලොස් දෙනා පැහැරගෙන ගොස් වධහිංසා කොට අතුරුදහන් කිරීම සම්බන්ධ සැකකරුවකු වන හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඩී කේ පී දසනායක එසේ බලපෑම් කළ එක් අයකු ලෙස නම් කර තිබුනි.

කපිතාන්වරයා නාවික සෙබල බණ්ඩාරගෙන්  ඉල්ලා ඇත්තේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර ඇති තමන් ඇතුළුව සුමිත් රණසිංහ සහ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන ලුතිනන් කොමදෝරු දෙදෙනා “බේරෙන්න” සාක්ෂි දෙන ලෙස ය.

“මේ කේස් එකේදී මාවත්, රණසිංහවත්, හෙට්ටිආරච්චි වත් බේරෙන්න ඕනේ නිසා ත්‍රිකුණාමලේ කෑම්ප් එකේ ගන්සයිඩ් එකගැන කියන්නේ නැතිව පැහැරගත් පුද්ගලයන් කරුණාගේ කට්ටිය විසින් මරලා කැළණි ගඟට දැමූ බව කියන්නැ,”යි තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට පෙර  කපිතාන් දසනායක විසින් නියම කළ බව උපුල් බණ්ඩාර රහස් පොලිසියට දුන් කට උත්තරයක කියා  තිබුනි.

අතුරුදහන් කර සිටින එකොලොස් දෙනා අතරින් හය දෙනකු පැහැර ගැනීමට තමන් ද සම්බන්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියා ඇති  උපුල් බණ්ඩාර, එම කටයුතු සඳහා නායකත්වය ගත් අය ලෙස හෙළිකර ඇත්තේ දැනට සැකකරුවන් ලෙස නම් කර සිටින සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ සහ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන ලුතිනන් කොමදෝරුවරුන්ගේ නම් ය.

දැනට සැකකරුවන් ලෙස නම් කර තිබෙන තිලකරත්න ලක්ෂ්මන් උදයකුමාර, රාජපක්ෂ පතිරනගේ කිත්සිරි, තම්මිට ඉහළගෙදර ධර්මදාස, නලින් ප්‍රසන්න වික්‍රමසුරිය සහ  කස්තුරිආරච්චිගේ ගාමිණී යන නාවික හමුදා නිලධාරීන්ට අමතරව කෝට්ටෙගොඩ, විජේකෝන් මුදියන්සේලාගේ  චන්ද්‍රකුමාර්, පාලක ප්‍රධාන නිලධාරි මෙන්ඩිස් සහ සංජීව යන පුද්ගලයන්ද පැහැරගැනීම්වලට සම්බන්ධ වුවන් ලෙස සංඥා සෙබල උපුල් බණ්ඩාර විසින් නම් කරන ලද අය අතර වේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පසුගිය 28 වැනි දින රිමාන්ඩ් භාරයට පත් කිරීමේදි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක, සැකකරුට ඇප ලබා නොදීමට හේතු ලෙස දක්වනු ලැබුවේද  ඔහු දරණ නිලය උපයෝගි කොටගෙන සාක්ෂිකරුවන්ට බලපෑම් කරනු  ඇතැයි යන සැකයයි. තමන්ට එරෙහි අපරාධ චෝදනා විමර්ශනය කරනු ලබන විමර්ශන නිලධාරියා මාරුකර හරින  ලෙස අද්මිරාල් විජේගුණරත්න  දුරකතනය මඟින් සහ වාචිකව පොලිස්පතිවරයා අමතා කර ඇති බලපෑම් ද  තමන් සැලකිල්ලට ගන්නා බව අද්මිරාල්වරයාව  රිමාන්ඩ් බන්ධනාගාරගත කරමින් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදි කියා සිටියේය.

සාක්ෂිකරුවන්ට තර්ජන

"ඇප පනත ප්‍රකාරව සැකකරුට ඇප ලබා දීමට විරුද්ධ වෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ විමර්ශන නිලධාරියා නිදහසේ රාජකාරී සිදුකිරීමට ඉඩ නොදී ස්ථාන මාරු කිරීම සහ සැකකරු දැනට දරන නිලය සහ තනතුර හේතුවෙන් විමර්ශනයට බාධා සිදුකිරීමයි. මෙයින් දෙවන කාරණය ඉතාම බරපතලයි. විමර්ශනවලට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කෙරී ඇති බවට පෙනී යන බැවින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමි," යි මහේස්ත්‍රාත්වරයා පැවසීය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ජනාධිපති නිතීඥ අනුජ ප්‍රේමරත්න මඟින් අධිකරණයට භාරවීමට පෙර දින නාවික හමුදා නිලධාරි නිවස්නයක් තුළදි ඔහුගේ ආරක්ෂක නිලධාරින් සමඟ ලුතිනන් කොමදෝරු ගලගමගේ ලක්සිරිට පිස්තෝලයක් පෙන්වා පහරදීමට තැත් කිරීම ද  මහේස්ත්‍රාත්වරයාගේ සැලකිල්ලට ලක්විය. ලුතිනන් කොමදෝරු ගලගමගේ ලක්සිරි යනු මෙයට පෙර අවස්ථා කිහිපයකදීම අද්මිරාල් විජේගුරත්න ඇතුළු පිරිසට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සාක්ෂි ලබා දී ඇති නිලධාරියෙකි.

ගලගමගේ ලක්සිරි  විසින් කොටුව පොලිසියට ලබා දී ඇති පැමිණිල්ලෙහි දැක්වෙන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් ඔහු තමා වෙත ඇදගෙන එන ලෙසට ආරක්ෂක නිලධාරීන්ට නියෝග කළ බවත්, පසුව එක් නිලධාරියෙක් පිස්තෝලයක් එල්ල කරගෙන පැමිණ තමා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වෙත රැගෙන යාමට උත්සහ දැරු බවත් ය.

සාක්ෂි විනාශවීමේ අවදානම

එම පහරදීම පිළිබඳව කරුණු විමසීමට අධිකරණය හමුවට කැඳවන ලද කොළඹ කොටුව පොලිස්ථානාධීපතිවරයා කියා සිටියේ පහරදීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් ලෙස සැලකිය නොහැකි වන බව ය. නමුත් නිසි විමර්ශනයක් සිදු කිරීමට තමන්ට නාවික හමුදා මුලස්ථානය තුළට යෑමට එහි නිලධාරින් අවසර ලබා නොදුන් බවද අධිකරණය හමුවේ පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළ අතර එහිදී එසේ අවසර ලබා නොදුන්නේ නම් ඒ සම්බන්ධව අධිකරණයට පැමිණිලි නොකළේ මන්දැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේය. විමර්ශනය සඳහා දිනකට පසු ගිය  විට සාක්ෂි විනාශ වීමේ අවදානමක් පවතින බව ද මහේස්ත්‍රාත්වරයා විසින් අවධාරණය කරනු ලැබුණි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මෙයට පෙර අත්අඩංගුවට නොගැනීම පිළිබඳවද එහිදී  කරුණු  විමසා ඇති මහේස්ත්‍රාත් රංග දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් වෙතින්  ප්‍රශ්න කොට ඇත්තේ  ප්‍රකාශ සටහන් කර ගැනිමට දැනුම් දී තිබියදි මාණ්ඩලික ප්‍රධානියා එසේ නොපැමිණියේ නම් ඔහු ළඟට ගොස් අත්අඩංගුවට නොගත්තේ කවර හේතුවක් මතද යන්න ය.

පොලීස් පක්ෂග්‍රාහීත්වය ගැන චෝදනා

නිවැරදි පුද්ගලයන්ට එරෙහිව  ව්‍යාජ චෝදනා  යටතේ නඩු පවරන පොලීසිය, අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු තිබියදීත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එරෙහිව ඇති චෝදනාවලදි ඔහුට විශේෂත්වයකින් කටයුතු කොට ඇති බව සඳහන් කරමින් මහේස්ත්‍රාත් රංග දිසානායක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපයද දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මෙයට පෙර අවස්ථා තුනකදි අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ ද ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. එයට හේතු ලෙස එම පරික්ෂණය භාර ප්‍රධාන විමර්ශන නිලධාරි පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා  අධිකරණය හමුවේ කියා සිටියේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට නොගන්නා ලෙසට තමන්ට  බලපෑම් එල්ල කෙරෙමින් තිබෙන බව ය. නමුත් එම නිදහසට කරුණු දැක්වීම නොපිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා විසින් සඳහන් කරනු ලැබුවේ ආර්ක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම පැහැර හරිනු ලබන්නේ නම් විමර්ශන භාර නිලධාරි පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාට එරෙහිව චෝදනා ගොනු කිරීමට නියම කරන බවටයි.

කප්පම් මුදල් ලබා ගැනීමේ අරමුණින්  පුද්ගලයන් පිරිසක් පැහැරගෙන ගොස්  අතුරුදහන් කිරීමේ අපරාධය සම්බන්ධ එක් සැකකරුවකු වන  නාවික හමුදාවේ ලුතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට නීති විරෝධී ලෙස රැකවරණය සැළසීම පිළිබඳව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එරෙහිව චෝදනා නැගී ඇත.

එම අපරාධය සම්බන්ධයෙන් දැනට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කොට ඇති බී 732/2009 අංකට දරණ නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කොට තිබෙන්නේ ද අද්මිරාල් විජේගුණරත්නයි. මේ සම්බන්ධයෙන්  සැකපිට මෙයට පෙර අත්අඩංගුවට ගෙන රීමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටි  සෙසු නාවික නිලධාරින්ගෙන් බහුතරයක් මේ වන විට ඇප පිට නිදහස්ව උසස්වීම්ද ලබා නාවික හමුදාවේම සේවය කරති.☐

© JDS