දුරකතන අංකවලින් නාවික හමුදා කප්පම්කරුවන් හෙළිවේ

කිත්සිරි විජේසිංහ විසිනි


ප්පම් මුදල් ලබා ගැනීමේ අරමුණින් පුද්ගලයන් පිරිසක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වගකිව යුත්තේ කවරෙක්දැයි දුරකතන දත්ත ඇසුරින්  නිශ්චිතවම හඳුනා ගැනීමට තමන්ට හැකිවුණු බව රහස් පොලිසිය පවසයි.

නාවික හමුදාවේ විශේෂ බුද්ධි ඒකකයේ පිරිසක් විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇති එකොලොස් දෙනකු පිළිබඳව අංක සී. 267/09 සී. එම්. දරණ නඩුව පසුගිය 10 වැනි දින කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඒ බව දැනුම් දී තිබේ.

ව්‍යාජ නම් නාවික නිලධාරීන්ගේ

එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ජේඩීඑස් හා කියා සිටියේ ව්‍යාජ නම් භාවිතා කරමින් අදාළ දුරකතන භාවිතා කොට ඇත්තේ නාවික හමුදා නිලධාරීන් විසින් යැයි සැකහැර සහතික කොටගෙන තිබෙන බව ය.

"මේ අංක මොනවද කියලා අපි දැනට හොයාගෙන තියෙන්නේ. ඒ හැම අංකයක්ම බොරු නම් සහ විස්තර උපයෝගි කොටගෙන තමයි භාවිතා කරලා තියෙන්නේ. නමුත් අපිට නිශ්චිතවම කියන්න පුලුවන් ඒ අංකවලින් කතා කරලා පැහැරගත්ත අයගේ පවුල්වලින් කප්පම් මුදල් ඉල්ලා තියෙන්නේ නාවික හමුදාවේ දැනට සැකකරුවන් හැටියට නම් කරලා තියන පිරිස විසින්ම යැයි කියලා. මොකද කලින් අපි හොයාගත්ත දුරකතන දත්ත සහ ටවර් ලොකේෂන් එක්ක මේ තොරතුරු හරියටම ගැලපෙනවා," යි හෙතම පැවසීය.

මෙයට පෙර අවස්ථා කිහිපයකදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවට වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් කියා සිටියේ ද සැකකාර නාවික නිලධාරින් මෙම අපරාධයට සම්බන්ධ බවට දුරකතන දත්ත ඇසුරින් තමන්ට තහවුරු කළ හැකි බවයි.

විසඳුමක් නැති හබයාස් කෝපුස්

එසේම අතුරුදහන්ව සිටින සිය දරුවන් අධිකරණය හමුවට පමුණවන්නැයි ඉල්ලමින් 2011 නොවැම්බර් මස 11 දින අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද හබයාස් කෝපුස් පෙත්සම් ත්‍රිත්වයකට අදාල නඩු විභාගයේදි, 2012 ජූනි මස 13 දින අධිකරණය හමුවේ සාක්ෂි දෙමින්, අතුරුදහන්ව සිටින රාජීව් නාගනාදන්ගේ මව වන සරෝජනී නාගනාදන් කියා සිටියේ, 2008 නොවැම්බර් මාසයේ දිනක සිය පුත්‍රයා දුරකතනයෙන් තමන්ට කතා කොට, තමන් නාවික හමුදා අත්අඩංගුවේ සිටන බවත්, සම්පත් මුණසිංහ සහ හෙට්ටිආරච්චි නමැති නාවික නිලධාරින් දෙදෙනා තමන් ඇතුළු පිරිස පැහැරගෙන පැමිණි බවත් ය. පසු දිනෙක චමින්ද නැමැත්තෙකු දුරකතනයෙන් කතා කොට සිය ප්‍රත්‍රයා නිදහස් කිරීමට  නම් රුපියල් ලක්ෂ පහක මුදලක් රැගෙන නාරම්මල ප්‍රදේශයට පැමිණිය යුතු බවට දැනුම් දුන් බව ද ඇය ප්‍රකාශ කර ඇත.

එවකට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාව සිටි තිළිණ ගමගේ හමුවේ 2008 ජූනි 16 වන දින සාක්ෂි දෙමින්, රාජිව් නාගනාදන් සමග පැහැරගැනීමට ලක්වු ඩීලාන් රාජරත්නම්ගේ මව ද කියා සිටියේ සිය දරුවන් මුදා හැරීමට රුපියල් කෝටියක මුදලක් ලබා දෙන ලෙසට නාඳුනන පුද්ගලයකු තමන්ට දුරකතනයෙන් කතාකොට දැනුම් දුන් බවයි. තමන් ඒ පිළිබඳව පසුව මානව හිමිකම් කොමිසමට සහ රහස් පොලිසියට පැමිණිලි කළද සිය දරුවන් සොයා දීමට එකල රහස් පොලිසිය කටයුතු නොකළ බවද ඇය කියා සිටියාය.

මේ අතර, පසුගිය 10 වැනි දින අධිකරණය හමුවට පමුණවන ලද මෙම නඩුවේ එක් සැකකරුවකු වන ලුතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි තව දුරටත් රීමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදි. නමුත් ඔහුට රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න අධිකරණය හමුවට පමුණවීමට රහස් පොලිසිය තවමත් අසමත්ව සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන්නේ ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙසට තමන්ට ජනාධිපතිවරයාගෙන් සෘජු බලපෑම් එල්ල වෙමින් තිබෙන බව ය.

කෙසේ වෙතත් මේ වන විට මෙම අපරාධයට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි නාවික හමුදාවේ සෙසු සියළු සැකකරුවෝ ඇප පිට නිදහස්ව, සේවා උසස්වීම් ද ලැබ රාජකාරී කටයුතුවල නිරතව සිටිති.☐

© JDS