එස්ටීඑෆ් ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට රජයේ වෙද්දු බැහැ කියති

කිත්සිරි විජේසිංහ විසිනි.


සුගිය සතියේ දී මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් ජනයා ඉලක්ක කරමින් දියත් කළ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට යැයි පවසමින් යොදවන ලද පොලිස් විශේෂ කාර්ය බලකායේ (Special Task Force - STF) සෙබළුන් විසින් කරන ලද  පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබු තමන්ට, තෙල්දෙණිය දිසා රෝහලේ කාර්ය භාර වෛද්‍යවරුන් විසින් 'ත්‍රස්තවාදී' චෝදනා එල්ලකොට ප්‍රතිකාර කිරීම ප්‍රතික්‍ෂේප කරන ලද බවට පහර කෑමෙන් බරපතල තුවාල ලැබුවෙකු චෝදනා කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් තමන්ට සහ තවත් දෙදෙනෙකුට පෙට්‍රල් බෝම්බ පිරවු බෑගයක් අතට දී එය සිංහල වෙළද සැල්වලට පහර දීමට රැගෙන ආ බවට පිළිගන්නා ලෙස බල කරමින් අත් සහ දෙපා බැඳ පොලුවලින් පහර දුන් බව ජේඩීඑස් හා කියා සිටි මැද දුම්බර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකු වන මහනුවර, දිගන, හිජ්රාපුර පදිංචි අබ්දුල් සලීල් මොහොමඩ් ෆාසිල් (43),  එම පහර දීම් නිසා හිස පැලී අධිකව රුධිරය වහනය වූ තමන් තෙල්දෙණිය පොලිසියට භාර දී පැය කිහිපයකට පසුව ඔවුන් විසින්ම  ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල වෙත රැගෙන ගිය බව ද ප්‍රකාශ කළේය. නමුත් එහිදී රෝහලේ සිටි වෛද්‍යවරුන් විසින් "තම්බි ත්‍රස්තවාදීන්" ලෙස අපහාසාත්මක ලෙස බැණ වදිමින් තමන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්‍ෂේප කළ බව ඔහු අනාවරණය කර සිටියේය.

'මුස්ලිම් ත්‍රස්තවාදීන්' සහ 'බෞද්ධ වෛද්‍යවරුන්'

පසුගිය 5 වැනි දා වෙනිදා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් විසින් මුස්ලිම් ජනයාට පහර දෙන බව සැළවීමෙන් පසු ඒ ගැන විමසා බැලීම සඳහා සිය මිතුරෙකු වූ මොහොමඩ් ෆයිසාල්ගේ නිවසට ගිය බව මොහොමඩ් ෆාසීල් ජේඩීඑස් හා ප්‍රකාශ කළේය.

"අපිට මිනිස්සු ඇවිත් කිවුවා හිජ්රාපුර පල්ලියේ මවුලවිලා දෙන්නට එස් ටී එෆ් එකෙන් හොඳටම ගහලා කියලා. ඒ ගැන විමසලා බලන්න මම ගිහින්, මගේ යාලුවෙක් වන ෆයිසාල්ගේ ගෙදර ඉන්නකොට එක පාරම ගෙදර දොරට ගැහුවා. අපි බයට ගේ ඇතුළේ හැංඟුනා. ඒ වුණත් එස්ටීඑෆ්  එක කුස්සියේ දොර කඩාගෙන ඇතුළට ඇවිත් අපි දෙන්නට දරුණු විදිහට පහර දුන්නා. කම්පනයට පත්වුණු ගෙදර හිටිය පොඩි දරුවෝ සහ ගෑණු අය කෑ ගහලා ඇඬුවා. අපි දෙන්නව පඩි 20 ක් දිගේ පහලට  ඇදගෙන ඇවිත් බිම දාගෙන ගැහුවා"යි ඔහු කීය.

එසේ රැගෙන යාමෙන් අනතුරුව පෙට්‍රල් බෝම්බ පිරවු බෑගයක් අතට දී එය තමන් විසින් රැගෙන ආ බව පිළිගන්නැයි කියමින්  අත් පා බැඳ දමා, විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 15 දෙනෙකු පමණ පොලු සහ බැටන් පොලුවලින් තමාටත්, තමන් සමග සිටි අනෙක් දෙදෙනාටත් පහර දුන් බව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

"මේ පෙට්‍රල් බෝම්බ උඹලා සිංහල කඩවලට ගහන්න ගෙනාපුවා කියලා පිළිගනින්' කියලා දිගන ටවුමේ කතෝලික පල්ලිය ළඟ බිම දාගෙන අපිට ගැහුවා. මගේ ඔලුව පුපුරලා ලේ  ආවා. පස්සේ අපි තුන් දෙනාව තෙල්දෙණිය පොලිසියට අරන් ගියා. මම කිවුවා මට අමාරුයි කියලා. ඊට පස්සේ මට 'තම්බියා' කියලා බැණ, බැණ තෙල්දෙණිය ඉස්පිරිතාලෙට අරන් ගියා. ඒ වුණාට එතැන හිටපු වෛද්‍යවරු මම මුස්ලිම් කියලා මට බෙහෙත් කරන්න බැහැ කිවුවා. එක දොස්තර කෙනෙක් එස්ටීඑෆ් එකේ අයට මගේ ඉස්සරහදිම කිවුවා ‘මුන් අපේ රට කනවා, මේ තම්බි ත්‍රස්තවාදීන්ට බෙහෙත් නෙමෙයි, පැනඩෝල් පෙත්තක්වත් දෙන්නේ නෑ.  මුන්ව ගිහින් කූඩූවටම දාන්න' කියලා. ඉන් පස්සේ එස්ටීඑෆ් එකෙන් මාව පොලිසියට අරන් ගිහින් කූඩුවට දැම්මා. එළි වෙනකම්ම මගේ ඔලුවෙන් ලේ ගියා" ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

ශාරීරික හා මානසික පීඩනය

මෙම සිදුවීමට පසුදා තෙල්දෙණිය දිසා විනිසුරු එම් එච් ෆරීක්ඩීන් හමුවට පමුණුවන ලද මොහොමඩ් ෆාසීල් සහ මොහොමඩ් ෆයිසාල් යන දෙදෙනාට රුපියල් ලක්ෂයක ශරීර ඇප සහ රුපියල් 10,000 බැගින් වු මුදල් ඇප නියම කරන ලද අතර සතියේ සෑම ඉරිදාවකම තෙල්දෙණිය පොලිසිය වෙත පැමිණ අත්සන් කිරීමේ ඇප කොන්දේසි මත නිදහස් කර හරින ලැබිණ.

ඇප නියමවීමෙන් පසුව දින දෙකක්  මහනුවර මහා රෝහලේ 10 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලැබු තමන්ගේ හිසට මැහුම් පහක් දැමු බව ද ෆාසිල් ප්‍රකාශ කළේය.

මේ අතර මොහොමඩ් ෆාසීල් සමඟ අත්අඩංගුවට ගත් 40 හැවිරිදි මොහොමඩ් මසුඩ් මොහොමඩ් ෆායිසාල් ජේඩීඑස් හා කියා සිටියේ තමන්ට හා ෆාසීල්ටත්, මඩවල මදීනා විද්‍යාලයේ ශිෂ්‍යයෙකුටත් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් පහර දුන්නේ තමන් මරා දමන බවට තර්ජනය කරමින් බව ය.

මෙම පහර දීම් හේතුවෙන් තමන් ශාරීරිකව මෙන්ම මානසිකව ද අසනීප තත්ත්වයෙන් පසුවන නමුත්, රෝහල් ගතව ප්‍රතිකාර ලැබීමටද නොගියේ විශේෂ කාර්ය බලකායේ සෙබළුන් විසින් කරන ලද මරණ තර්ජන නිසා බියට පත්ව බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

'කළු ඇඳගත් යක්කු'

"මගේ දරුවෝ දැන් හීනෙන් බයවෙලා රෑට කෑගහනවා.'කළු ඇඳ ගත්ත යක්කු'  ආයෙත් එයිද කියලා අහනවා. ඇත්තටම අපිට දැන් අපේ ජීවිත ගැන තියෙන්නේ ලොකු බයක්", ඔහු කීය.

ව්‍යාජ චෝදනා නගමින් පහර දී අත්අඩංගුවට ගැනීම පිළිබඳව නීතිඥවරයෙකු මගින් අධිකරණයට පැමිණිළි කරනු ලැබුවේ දැයි ජේඩීඑස් කළ විමසීමේදි ඔවුන් දෙදෙනාම කියා සිටියේ ඒ සඳහා උවමනාවක් තිබුණ ද එසේ කිරීමට තමන්ට කිසිදු ඉඩක් නොලැබුණු බව ය.

"බෝම්බ ලඟ තබා ගෙන හිටියා කියලා අපිව උසාවියට ඉදිරිපත් කළාම අපෙන් මොනවත් අහන්නේ නැතුව ඇප නියම කළා. අපිට ගහපුවා කියන්න උවමනා වුණත් කියන්න එහෙම ඉඩක් ලැබුණේ නැහැ" ඔවුහු පැවසූහ.


මේ අතර පසුගිය 9 වැනි දා මහනුවර සංචාරයක නිරත වූ  යුධ හමුදාපති මහේෂ් සේනානායක මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ගැටුම් මැඩ පැවැත්වීමට පොලිසියත්, පොලිස් විශේෂ කාර්ය බලකායත් අසමත් වීම හේතුවෙන් යුධ හමුදාව යෙදවීමට තමන්ට සිදුවු බව ය.

'පැයක් දෙන්නම්, ගහලා පලයල්ලා'

මේ අතර මුස්ලිම් විරෝධී හිංසන ක්‍රියා සම්බන්ධයෙන් සඳුදා දිනයේ දී (12) මාධ්‍ය හමුවක් ඇමතූ මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍ය මොහොමඩ් හසීම් අබ්දුල් හලීම් චෝදනා කර සිටියේ මෙම ප්‍රහාරයන් රජයේ ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත්ව, ඔවුන්ගේ අනුදැනුම මත සිදුව ඇති බවට තොරතුරු හෙළිවෙමින් තිබෙන බව ය.

"සමහර තැන්වල එස්ටීඑෆ් එක මිනිස්සුන්ව පලවා හැරලා තියෙනවා. එහෙම පලා යන අයට ප්‍රහාර එල්ල කරන්න ප්‍රචණ්ඩකාරීන්ට ඉඩ දීලාත් තියනවා. ඒ වගේම තමයි සමහර ප්‍රදේශවලදි පොලිසිය කියලා තියනවා 'උඹලට පැයක් දෙන්නම්, ගහලා පලයල්ලා' කියලා. මේ හැම දෙයක්ම වුණේ ආරක්ෂක අංශ ඉදිරිපිටදියි. පොලිසිය, හමුදාව විතරක් නෙමෙයි, එස්ටීඑෆ් එකත් බලාගෙන ඉද්දී තමයි මුස්ලිම් මිනිස්සුන්ට ගැහුවේ. ආරක්ෂක අංශ ගැන මිනිස්සුන්ට  කිසිම විශ්වාසයක් නැත්තේ ඒ නිසා" යැයි නියෝජ්‍ය ඇමතිවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේය.

නමුත් ගැටුම් ඇති වූ ප්‍රදේශවල ඉරිදා දිනයේ (10) නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ඇති වූ තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් තමන් පොලිස් සහ විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට ස්තූතිවන්ත වන බව ය.

ඉකුත් සතියේ මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය, දිගන, පල්ලෙකැලේ, මැද දුම්බර, කෙන්ගල්ල, මඩවල, මැණික්හින්න, කටුගස්තොට, නුගවෙල, වත්තේගම, අකුරණ, අඹතැන්න හා පූජාපිටිය ඇතුළු ප්‍රදේශ ගණනාවක ජීවත්වන මුස්ලිම් ප්‍රජාවට එල්ල කරන ලද ප්‍රහාරවලින් දෙදෙනෙකු මරණයට පත්ව ඇති අතර ආගමික සිද්ධස්ථාන, නිවාස, ව්‍යාපාරික ස්ථාන, හා රථ වාහන  465කට පූර්ණ හෝ අර්ධ වශයෙන් හානි සිදුව ඇති බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහනුවර දී ප්‍රකාශ කළේය.☐

© JDS